මෑත දිනෙක, මහජන පුස්තකාලයේ කෙටි කතා පොත් ගොන්නේ දුර්ලභ කෘතියක් සොයා ගතිමි. ඒ 1990 වසරේ, සර්වෝදය ග්‍රන්ථ ප්‍රකානයක් ලෙස පළ වූ, ලියනගේ අමරකීර්තිගේ "මානව භක්තිය හා සිත්තරා" යන කෙටි කතා සංග්‍රහයයි (එකල එහි මිල රුපියල් පණහකි ). කතුවරයා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු කල ප්‍රකාශ වූ මේ කෙටි කතා ඊටත් වසර 3-4ක් පෙර සිට ලිය වුනු කෙටි කතා හතකින් සමන්විතය. විවෘතව කිව යුත්තේ, කතුවරයාගේ දේශපාලන-සමාජ දර්ශනය, මේ කෙටි කතා වලින් ඉඟි කරන අයුරින් නම් එකල සහ මෙකල අතර එකම දිශානතියක ඔස්සේ ප්‍රගනය කර ඇති බවකි. එපමණක් නොව, එදත් ඔහුගේ දේශපාලන අදහස් රගත් කෙටි කතා තරමක කෘතීම බවකින් යුක්ත අතර, එම බරින් මිදුණු කෙටිකතා ඉතා රසවත් අපූරු නිර්මාණ වීමයි.
සංහිඳියාව - මෙහි එන සංහිඳියාව, පුතෙකු තම මවකගේ අන් වල්ලභයකු හා ඇති වන සංහිඳියාවකි. ඒ තම පියාගේ නොපනත්කම් ඉදිරියේ, අසාධාරණකම් ඉදිරියේ මව ට අන් විකල්පයක් නැති බැව් වටහා ගැනීම ඔස්සේ ය. ලාංකේය සමාජයේ සංවේදි මාතෘකාවක් වන මෙය, මාතෘකා කොට ගෙන මා මීට කලින් කෙටි කතා දෙකක් කියවා ඇත - ඉන් එකක් මෑතක නැසී ගිය ඇරැව්වල නන්දිමිත්‍රයන්ගෙනි -එහි පුතු සහ මව අතර සංහිඳියාවක් ඇති නොවේ. දෙවැන්න මෑතක කියවූ වෙඩිවර්ධනගේ කෙටි කතාවයි ; එය වඩා ප්‍රගතිශීලි විවෘත අදහස් රැගත් පුතෙකුගේ ආඛ්‍යාන ස්වරුපයෙන් ලියැවී ඇත.
මෙම සංග්‍රහයට නම ලබා දුන් කෙටි කතාව, මානව භක්තියේ නාමයෙන් සිත්තරෙකු ඔහුගේ අග්‍ර නිර්මාණයන් දන් දීම මුල් කොට ගත්තකි. මානව භක්තිය යන්න මතු කරලීමට ලියැවුන්නක් නිසා දෝ, එහි යම් කෘතීම බවක් හැඟෙන අතර, මා එතරම් රස නොවෙන්දෙමි.
ඉඩෝරය : මෙය ද මානව භක්තිය තේමා කොට ගත්, "වතුර හොරෙකු" දෙස දයාව දක්වන ඉඩෝරයෙන් පීඩා විඳින ගොවියෙකු මුල් කොට ගත් කතාවකි. එහි ගොවිතැන හා විස්තර ඉතා රසවත් හා තාත්වික ලෙස ලියැවුණ ද, අවසන එතරම් මා සිත් ගත්තේ නැත.
මිතුරියෝ: මෙය මෙහි එන වඩාත් රසවිඳි කෙටිකතාවකි. ඊරිසියාව යනු මිනිස් සන්තානයේ නැගෙන පැරදවීම අපහසු ක්ලේශයකි. විටෙක අන් අයෙකුට වළක් කැපීමේ අදහසින් යොදවන උගුලක් ඒ අයට ආශිර්වදයක් විය හැකිය. අමරකීර්ති එදා සිට අද දක්වා ලියූ සියළු කෙටි කතා අතර පවතින ඉහළම තලයේ කෙටිකතාවකි.
අසල් වැසියෝ: තමන් සමඟ ම ජීවත් වන්නෙකු ගේ දියුණුව නො ඉවසීම වෙසෙසින් අප භූ ගෝලීය කලාපීය දුර්වලතාවක් වැනි ය. පෙර් කී මිතුරියෙ කෙටිකතාවේද අඩු වැඩි වශයෙන් මේ ලක්ෂණය පැවතීය. අසල් වැසියෝ කෙටිකතාව ද මේ තේමව මුල් කොට ගත්, ඒ වගේම මිනිස් සන්තානය සෑහීමක ට පත් නොවීම යන ලක්ෂණය ද අලලා ලියැවුණු රසවත් කෙටි කතාවකි.
ගඟ ළඟ පෙම: මෙහි එන වඩාත් සංකීර්ණ කෙටි කතාව විය යුතුය. මෙහි එන ප්‍රධාන චරිත දෙක, ඔවුන්ගේ මානසික මට්ටම් සහ අපේක්ෂාවන් වල සීමාවන් මත සිට තේරුම් ගත යුතු රචනයකි.
එපුරවර දැවී යයි: දෙමළ තරුණියක් හා සිංහල තරුණයකු අතර හටගත් ප්‍රේමයක් අලලා, එකල් හි ම හට ගත් "ජාතියාල" ඉදිරියේ අප රට මිනිසුන් කෙසේ හැසිරුනේ ද යන්න කියැවෙන රසවත් කතාවකි.මේ කෙටිකතාව ලියැවී ඇත්තේ 1987 දී ය. එනම් එම ඛේදජනක සිදුවීම් සිදු වී නොබෝ කලකින් ය. කතුවරයා ට එකල තවමත් අලුත් මතකයන් මත්තෙන් ලියූවක් විය යුතුය. මා රසවිඳි කෙටිකතාවකි.
මේ කෙටි කතා සංග්‍රහය අද මුද්‍රණයේ නැත. එහෙත් එකල විශ්ව විද්‍යාල සිසුවෙකු ලෙස ලියූ මේ කෙටි කතා බොහෝමයක් ඉතා ඉහළ මට්ටමක ඇත.
එකල කතුවරයා මානව භක්තිය, සහෝදරත්වය ආදි මාතෘකාවන් කෙටිකතාවක් තුලට ග්‍රහණය කරගැනිමේ දි යම් අභියෝග වලට මුහුණු දුන් බව පැහැදිලිය. මට මානව භක්තිය සහ සිත්තරා කෙටිකතාවේ ඒ බව දැනුනි. අද ඊට වඩා බොහෝ ඇසූ පිරූ පරිණත ලේඛකයකු ලෙස, දේශපාලනමය කාරණා තම නිර්මාණ වලට අන්තර්ගත කිරීමේ දි ද යම් අභියෝග වලට මුහුණ පාන බව පෙනී යයි. "කවියෙකු සොයා" කෙටි කතාවේ, පුත්‍ර වියෝවෙන් දුක් විඳිනා දෙමළ මවක් ගැන ඉතා සංවේදි ව ලියන්නේ ජීවිත අත්දැකීම් වලින් පෝෂිත ව යැයි සිතේ. එහෙත් එතැනට ඒමට සුදුසු පාළම තැනීමට "ලෙහෙසියෙන් රැවටිය හැකි", තරමක මහන්තතයෙන් පිරුණු මහාචාර්යවරයෙකුගේ චරිතයක් මැවීමට සිදු විය. එනුමුදු අද වන විට ඔහුගේ නිර්මාණ වලින් කියවෙන දේශපාලන අදහස් බලාපොරොත්තු විය හැකි සේම මුහුකුරා ගොස් ඇත. ඔහු "අර මිහිරි සීනු නාදය" යේ "අලුත් ලෙච්චමි" ගැන කියන්නේ කාලය මැවු වෙනස සහ අවබෝධයේ වෙනස යන දෙක ම මත පිහිටා ය.
කතුවරයා ගේ කෙටිකතා සංග්‍රහයන් තුනක් පමණක් කියවා ( "විල සහ මල"; "මම දැන් නිදමි තවම කියවා නැත ), අමරකීර්ති ගේ කෙටිකතා පිළිබඳ තීන්දු දීමට ඉක්මන් නොවෙමි. එහෙත් මා කියවූ සංග්‍රහයන් තුනේ දි යම් අවස්ථාවන් හි, ඔහු ට ඇවැසි පණිවුඩය ඒත්තු ගන්වනු වස් තරමක ශ්‍රමයක් යොදා කතා ගොතන්නට වීමත්, එය පාඨකයා ට වැටහීමත් සිදු වේ.
එහෙත් මනුෂ්‍යත්වයේ ස්වභාවය අලලා ලියැවෙන කෙටිකතාවන් ඉතා ස්වභාවික ලෙසත්, රසවත් ලෙසත්, පරිපූර්ණ ලියැවේ ; නිදසුන් - මිතුරියෝ, සංහිඳියාව (මානව භක්තිය හා සිත්තරා ); ඉඩි අමීන් සහ වැලිමඩ සමන්, අළු පැහැති ආරංචි, සෝ බර සමය ( අළු පැහැති ආරංචි ). පණිවුඩය පාඨකයා ට ම ගොතා ගැනීමට ඉඩ ඇරලු අවස්ථා වල අමරකීර්ති ලේඛකයකු ලෙස වඩා සාර්ථක යැයි සිතේ.