මහගමසේකරයන්ගේ පළමු ඒකල කාව්‍ය සංග්‍රහය යැයි ගිණිය හැකි මුල් වරට 1962 වසරේ දි ප්‍රකාශ වූ "සක්වා ලිහිණි" නම් වූ කාව්‍ය සංග්‍රහය නැවත කියවූවෙමි.
කාව්‍ය විචාරයේ කිසිදු වෙසෙස් දැනීමක් නොවූයෙකු වන මුත්, මේ කාව්‍ය සංග්‍රහයේ ගුණදාස අමරසේකරගේ මුල් කාලීන කවි ආර ද, සේකරගේ ම සැත්තෑව මැද සහ අග බාගයෙදි දුටු දාර්ශනික කවියේ බීජානු අවස්තා ද දකිය හැකිය.
මෙහි අපිට දැකිය හැකි දීර්ඝතම කාව්‍ය පංතිය, කවි සියයකින් හෙබි "කිඳුරු කුමරිගේ කතාව" නම් වූ කවි පංතියයි. පුළුල් වශයෙන් ශෝකාන්ත කාව්‍ය නිර්මාණයකට නෑ කම් කියන මෙය, දහ අට මත් සමුදුරුගොස් ආකෘතියක් අනුව නිර්මිතය.
"සිහින් සිනිඬු පෙණ ඇතුරු සිරි යහනේ
ගිලන් සිතින් කුමරිය සැතපෙයි දුකිනේ
කෝන් ආවද මේ සිතුවිලි නො දැනේ
එයින් සිතට නැත අස්වැසුමක් ඉතිනේ"
මේ කාව්‍ය පංතිය ට හාන්ස්-ක්‍රිස්ටියන්-ඇන්ඩර්සන්ගේ "The Little Mermaid" හි අනුවර්තනයක් බැව් පෙනෙන්නට තිබේ. අවසානය, එම කථාවට යම් ආකාරයකින් අසමාන වුව ද, එම කතානදරය මෙම නිර්මාණයට මුල් වූ බැව් සිතේ.
මෙහි පස්මත් විරිත අනුව පබැඳි සමහර නිර්මාණ මා මතකයේ තිබුනේ, අමරසේකරයන්ගේ කවි ලෙස ය. වසර ගණණාවකට පසුව, මෙය නැවත කියවීමේදි ය, මට තහවුරු වූයේ ඒවා සේකරුන්ගේ බව. ඊට හේතුව ලෙස ඒවා තුලින් දැකිය හැකි සම විරිත හා එකල අමරසේකරුන්ගේ සහ සේකරයන්ගේ නිර්මාණ විෂයේත් යම් සමාන කම් වීම යැයි සිතමි. "මගේ පැලට ඔබ එන්න" එවන් නිර්මාණයකි.
"උදෑසන ඉර එලිය
කවුළුවෙන් ගෙට වැටෙන
සිනාවෙන් තොර මසිත
සිනාවෙන් පුබුදන්න
අලස නිඳිමර මසිත
ජීඅයෙන් පුරවන්න
සුදු සිනා මල් රැගෙන
සුදු මවෙත ඔබ එන්න"
අන් ප්‍රධාන ලක්ෂණයක් නම්, පසු කාලීනව නිසදැස් නිර්මාණයෙහි වැඩි නැබුරුතාවක් දැක්වූ සේකර මෙහි ඇතුලත් කල ඇති නිසදැස් ගණණ එක අතක ඇඟිලි ගණණට ත් අඩු වීම ය. මොනාලිසා එවන් නිර්මාණයකි;
"ඔබේ තොල් අග ඇදුණු සිනහව
සදාකාලික ගැටළුවකි මට
ඔබේ දෑසේ තියුණු බැල්මෙන්
අන්ද මන්ද ව වශී වන මා
ගුප්ත වූ ඒ සිනාවෙන්
සියුම් රසයක් ලබන බුත්
අරුත නෑඟෙන එයින් මා තුළ
බියක් සැකයක් ජනිත වෙයි..."
පසු ගිය දිනෙක දිවි ගමන හමාර කල අමරදේවයන්ගේ මධුර කටහඬින් අප කුල්මත් කල, ගී ස්වරූපයෙන් අප වඩා හොඳින් අඳුනන කාව්‍ය නිර්මාණ කිහිපයක් ද මෙහි එයි;
"ඉරට මුවාවෙන් ඉඳගෙන
ඉස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන
සළු පළඳිනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මූණ බලනවා
වලාකුළෙන් අහස් තලෙන් බිමට වඩිනවා... " ( සොබා )
"ඇසේ මතු වන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරි පා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්.... " ( අවුකන පිළිමය )
"මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුණු කළුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ... " ( සන්නාලියන්ගේ ගීතය - සරෝජිනී නායිදු මැතිණියගේ කවියක් ආශ්‍රයෙනි )
"ඉර පායා ඉර අවරට ගියාදෝ
හඳ පායා හඳ අවරට ගියාදෝ
ඇඬු කඳුළු මූදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි ගියාදෝ" ( දුකට කියන කවි සීපද )
මේ සමහර කවි පංති වල, අප පසු කාලීනව ඇසූ ගී වල නොමැති කවි ද වෙති...
"එගොඩත් බැලිමි එගොඩත් නුඹ නැතේයා
මෙගොඩත් බැලිමි මෙගොඩත් නුඹ නැතේයා
දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතේයා
සිව්පද කියන මම තනියම පැලේයා" ( දුකට කියන කවි සීපද )
පසු කලෙක වඩා ප්‍රවීණත්වයට පත් වූ සේකර ගේ දාර්ශනික කවියේ මූල අවස්ථා ද මෙහි දැකිය හැකි ය." කලාමැදිරියා", "මගේ කවියෙන් ඔබ දකින්න"
"මා ලිව කවි මට වාගේම
ඔබ හැමටත් පොදු වනු ඇත.
සබඳ! එවිට මගෙ කවියේ
මා නොසොයා ඔබ දකින්න"
ඉදින් සඳැස්, නිසඳැස්, දාර්ශනික කවි, ගී ලෙස ප්‍රසිද්ධ වූ නිර්මාණ වල මුල් කවි පංති, තත්කාලීන අන් නිර්මාණ වලින් ආභාෂය ලැබූ නිර්මාණ ආදි වශයෙන් විවිධත්වයක් ඇති නිර්මාණ පැසකි මේ කෘතිය. සේකර කියවන්නෙකු, ඔහුගේ පසු කාලීන පරිපූර්ණත්වය තේරුම් ගැනීමට යත්න දැරීමේදී වැදගත් කෘතියක් ලෙස දකිමි.
No comments:
Post a Comment