Wednesday 23 November 2016

පරදේසි - එරික් ඉලයප්ආරච්චි



  
තම තුන් ඈදුතු නවකතා යැයි සැලකුණු කෘති වලින් අනතුරුව, කෘතියෙන් කෘතිය විවිධ ඉසවු පිළිබඳ අධ්‍යයන කරමින්, පාඨක ප්‍රජාවට නැවුම් අත්දැකීම් ගෙනෙන කතුවරයෙකි, එරික් ඉලයප්ආරච්චි. මා දන්නා තරමින්, ඔහු තම නවකතා වලට සම්මානයක් කියා දිනා ඇත්තේ "විතණ්ඩ සමය" උදෙසා දිනා ගත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය පමණි. මෑතක ප්‍රකාශ වූ ඔහුගේ නව කතා අන් සියළු සම්මාන උදෙසා ම , අවසන් වටය දක්වා පමණක් පැමිණිනි.
එරික් අවම වශයෙන් තම අවසන් නවකතා ත්‍රිත්වයෙන් හෝ, නවකතාවේ මූලික කතා ධාරාවට අමතරව, කොලාජ් චිත්‍රයක් ආකාරයෙන් අප්‍රධාන ඉසවු පිළිබඳ ව ද පාඨකයා තරමක් හෝ අවදි කරමිනි ඉදිරියට යන්නේ. මට දැනෙනුයේ, වංගු වලින් පිරි කඳුකර පාරක යන ගමන්, එරික් තමන් තෝරා ගත් සමහර පටුමං ද, අවට සිරි විස්තර ද ලුහුඬින් දක්වමින් ඉදිරියට යන බවකි. ඉදින් එහෙව් යන ගමනක මගතොට විස්තර ය වඩා රසවත්; නවකතාව අවසානය කතුවරයාට පහසු නැවතුමකි.
ඉදින් පරදේසි නවකතාවේ ප්‍රධාන චරිතය නොහොත් කථිකයා, ඔහුගේ චරිත ස්වභාව නොවලහා පැවසීම ඔස්සේ අපට හෙළිදරවු වන්නේ, මෙතෙක් සිංහල නවකතාවේ හමුනොවුනාකාරයේ නිදහස්කාමී, මතවාද වල සිර නොවුණු, විටෙක තම පැවැත්ම උදෙසා තම මතවාද උචිතාකාරයෙන් වැළඳගන්නා සුළු අවස්තාවාදියෙකු ලෙසට ය.. තැනෙක ඔහු ගැන ස්වයං විවේචනයක යෙදෙන මුත්, ඔහු ආශ්‍රය කරනා කතුන් හා සබැඳි සිද්ධීන් වලින් ඔහු පිළිබඳ මනා කියවීමක් ලබා දීමට කතුවරයා සමත්ව ඇත. නිදසුන් ලෙස ඊවා ඔහුට ගෙන දෙන අනේකවිධ අපහසුතා සහ නින්දා අපහාසත්, ටිකිරි ට අපහසු අවස්තාවක, ඉතා පෞද්ගලික සෞඛ්‍ය කාරණාවක් උදෙසා උදවු කිරීමට ඉදිරිපත් වන අයුරුත් ගෙනහැර දැක්විය හැකිය.
මේ කෘතිය කියවාගෙන යාමේදී, මා මීට කලින් කියවා ඇති ඉංග්‍රිසි නවකතා දෙකක් මා මතකයට ආවේ ය. එකක් නම්, ග්‍රහැම් ග්‍රීන්ගේ "Our Man in Havana" ය - කියුබානු දේශාපාලන කියවීමේ දි එහි මතකයට ඒම ස්වභාවිකය. වෙනසකට ඇත්තේ, ග්‍රීන් හසු නොකර ගත් කියුබානු කලාව, සංස්කෘතිය යම් තරමකින්, අප කතුවරයා ඉදිරිපත් කර තිබීමයි. අනෙක් කෘතිය, අර්නස්ට් හෙමිංවේ ගේ "Farewell to Arms" කෘතියයි. වෙසෙසින්, පීරු රාජ්‍යයේ ගත කල අවධිය කියවාගෙන යද්දි මේ කෘතිය මා මතක‍ය ට ආවේය. ඉලයප්ආරච්චි කෘතිය පුරාවට ම තැනින් තැන යම් යම් දේශපාලන නිරීක්ෂණ මගින් තම කෘතිය පොහොසත් කරනුයේ, මුඛ්‍ය ගමන යන අතරතුර සිදුවන අවැදගත් සල්ලාපයක කොටස් ලෙස ය. ඉන් ලේඛක න්‍යාය පත්‍රයක් නො ඇඟෙනවා පමණක් නොව කෘතිය ට බරක් ද නැත. නිදසුන් - රාජනි තිරාණගම ඝාතනය හේතුවෙන් උග්‍ර LTTE විරෝධියෙකු වූ සචිත්තානන්දන් ට පිරබාහරන්ගේ ඝාතනය පිළිගත නොහැකිව රෝගාතුර වීම ; ඊවා, අප ආඛ්‍යායිකයා ලාංකික තරුණියන් නො ඉවසන මුත්, යුරෝපීය කාන්තා ආශ්‍රයේ වරදක් නොදැකීම ; බර කොට නොකියැවෙන මුත්, ඉංග්‍රීසි කතා කරන සමාජයේ රිචඩ් ද සොයිසා අප රට ගම්බද පෙදෙස් වලින් පැමිණි ප්‍රගතිශීලින් කෙරෙහි සහය පළ කිරීම; නිල වශයෙන් අනාගමික කියුබාවේ සාමාන්‍ය ජනතාවගේ කතෝලික ලබ්ධියේ බලවත්කම ; පීරු, බොලිවියා, නිකරාගුවා වන් රට වලින් නොබෙල් සම්මාන ලාභි සාහිත්‍යකරුවන් බිහි ව ඇතත්, ඒ මගින් ඒ රටවල වල සාහිත්‍ය පරිශීලන තත්ත්වය කෙසේ වෙතත්, සාක්ෂාරතාව ඇත්තේ කොහේ ද යන්න ප්‍රශ්ණ කිරීමත් ; අප රට මැදි ආයාදම් රටක් බවට පත් වීමත් සමඟ රාජ්‍ය නොවන සංවිධාන යම් තාක් ඉවත් වීමත් සමඟ, එහි සේවය කල ඉහළ වැටුප් ලද්දන්ගේ ඉරණම - ආදි වශයෙන් විවිධ ඉසවු කෙරෙහි තම නෙත යොමු කරමින්, ආඛ්‍යායිකයා ලංකාවේන් කියුබාවටත්, ඉන් අනතුරුව දකුණු අමරිකානු රටවල් කිහිපයකත් කරක් ගසන්නේ, පාඨක අප ව සමාජ, දේශපාලන,සෞන්දර්යාත්මක චාරිකාවක ගෙන යමින් පමණක් නොව, අවසන දි සියල්ල පෞද්ගලික හේතුන් මත තීරණය වන බවත්, බොහෝ විට මතවාදි ආස්ථානය එම ඉරණමේ දිගුවක් බවත් ඉඟි කරමිනි. කෘතියාවසානය ළඟා වත් ම ඊවා සහ අප ආඛ්‍යායිකයා, දකුණු අමරිකාවේ නැවත මුණ ගැසීම තරමක් අභව්‍ය වුව ද, පරිණත සහ ශික්ෂිත, එනමුත් මනරම් ලියැවිල්ලක තුල එවන් සුළු දොසකට යම් අවසරයක් දිය හැකි සේ ය.

කෘතියෙන් කෘතිය, තමන් ව ම අතික්‍රමණය කරමින්, නව ඉසවු, නව පසු බිම් සොයමින්, මහත් සේ ගවේශන කොට, පැසසිය යුතු තරමේ ශික්ෂාවකින් ඒවා ප්‍රබන්ධගත කරන ඉලයප්ආරච්චි, ඔහුගේ ඊළඟ නවකතාව පිළිබඳ පාඨක බලාපොරොත්තු ඇතිකරවනා සුළු ලේඛකයකි. අද වන විට මට මෙවන් හැඟීම් අන් කතුවරුන් කෙරෙහි ඇති වන්නේ නම් ඒ විජේමාන්න සහ කාරියවසම්ගේ කෙටිකතා පිළිබඳ පමණක් විය යුතුය. තම මතවාද සියුම්ව අනෙකා ගේ මනසේ කොණක තැන්පත් කිරීමේ න්‍යාය පතරයකින් තොරව, තම නිරීක්ෂණ සෞන්දර්‍ය චාරිකාවක් වන් ප්‍රබන්ධමය ගෙත්තමකට හසුකිරීමට සමත් ඉලයප්-ආරච්චි, සිංහල නවකතාව ට සුබ ලකුණකි.

No comments:

Post a Comment