මේ කෘතිය වූ කලි එහි හැඳින්වීමේ ම, පැවැසෙන පරිදි මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර රචනා කල "Dutthagamini and the Buddhist Conscience" හා එහි සිංහල පරිවර්තනය වන "දුටුගැමුණුගේ හෘද සාක්ෂිය" නම් ලිපිවල ඇතුලත් කරුණු පදනම් කොටගෙන, ඒවාට සපයන පිලිතුරකි. කතුවරයා හැඳින්වීමේ ම පවසන පරිදි, මෙවන් පිලිතුරක් ලිවීමට උත්සුක වූයේ ඔබේසේකරගේ ලිපි වල "බොහෝ කරුණු අපේක්ෂා කළැ නොහැකි තරම් අසංඝත හා පක්ෂපාතීත්වයකින් යුතු" හෙයිනි. පාඨක අප ගැන සැලකිලිමත් ලේඛක තෙමේ, ඔබේසේකර ලිපියේ සිංහල පෙරළුම මෙහි ඇතුලත් කොට ඇත.
ඔබේසේකරගේ ලිපියේ පිරීක්සන මල්සිරි, ඔබේසේකර "මහවංස ප්‍රවෘත්තියට සපුරා වෙනස් මතයක් ඉදිරිපත් කරමින් දුටුගැමුණුගේ හදවත සසල වූයේ එළාර මැරීම නිසා" (5 පිටුව ) බවත්, තම පියා හා සමඟ ගැටුම, පියාගේ මරණයට සහභාගි වීමට නොහැකි වීම, එළාර ඝාතනය සහ එළාර තම පිය රජුට සම කොට සිතීම යන කාරණා එකට ආඳා, මේ කරුණු සියල්ල හේතුවෙන් දුටුගැමුණු මරණ මංචකයේදී, එළාර ඝාතනය පිළිබඳ පසුතැවෙන බවට තර්කයක් ගෙනහැර පායි.
මෙම කෘතිය පුරාවට ඔබේසේකරගේ ලේඛනයේ අසංඝත අවස්ථා පෙන්වා දෙන මල්සිරි, ඔබේසේකරට නගන ප්‍රධානතම චෝදනාව වනුයේ-
* "තමන්ට වාසිදායක වන පරිදි යම් මූලාශ්‍රයකින් තැනින් තැනින් උපුටා ගනු ලබන වාක්‍ය කණ්ඩ ඉදිරිපත් කරමින් ඒවායේ සන්දර්භයෙන් බැහැරැව අර්ථකථනය කිරීමේ ක්‍රමවේදය" පිළිබඳව ය ( VIII; හැඳින්වීම )
* "වාසිදායක සාධක මතුකර දැක්වීමත්, අවාසිදායක සාධක නොතකා හරිමින් හා ඇතැම් විට වාසිදායක තත්ත්වයට බලහත්කාරයෙන් හරවා ගැනීමෙන්" ( 40 පිටුව ) යන කාරණා තුලින් ශාස්ත්‍රීය ශික්ෂණයෙන් තොර වීම හේතුවෙන්.
ඔබේසේකර ලිපිය මුළුමනින්ම පාහේ පෙර ඇතිකරගත් මතයකට සේවය කරනු වස් ලියුවක් මිස, සාධාරණ ශාස්ත්‍රීය, පර්යේෂණ ලියවිල්ලක් නොවන බවත්, මල්සිරි ඇතිතරම් සාක්ෂි ගෙනහැර දක්වා ඔප්පු කරයි.
ඔබේසේකරගේ ප්‍රධාන චෝදනාව වූයේ ගැමුණු රජු වෙත යම් හෘද සාක්ෂිය තිබුන ද, එකල රහතුන් හා අනෙක් භික්ෂූන් වෙත එවැන්නක් නොවූ බවකි. ( අප සාහිත්‍යමය මූලාශ්‍ර මත පිහිටා කරුණු කාරණා කථාකරන හෙයින්, ඓතිහාසික ග්‍රන්ථ වල එන කොටස් මෙම ලේඛකයින් දෙපළ සැලකූ අයුරින්ම මෙම ලිපියේදී ද සලකමි ) ඉදින් භික්ෂූන් කෙරෙහි මෙම චෝදනාව නැගෙන එක් අවස්ථාවක් නම්, සෝනුත්තර තෙරුන් නා ලොවෙන් ධාතු සොරකම් කරගත් බවයි. තම බෑණවුන් විසින් ධාතුව සැඟවූ බැව් සිතූ නා රජු පවසන්නේ 'ධාතු දක්නේ නම් ගන්නැ"යි යන වචන දෙපාර්ශවයෙන්ම යම් ආකාර ප්‍රයෝග භාවිතාවක් වූ බවත්, නා රජු සෝනුත්තර තෙරුන්ගේ හැකියාව අවතක්සේකල බවත් පැහැදිලිය. ඔබේසේකර ගේ බරපතල දෝෂය ඔහු එම කොටස සපුරා අතැර දැමීමයි. ශාසන සම්ප්‍රදායට අනුව භික්ෂුවකට අහේතුකව චෞර චෝදනාව නැගීම අපා ගත වන පවකි. පැසසිය යුත්ත නම් මල්සිරි එය කීමට ඉක්මන් නොවීම ය. ඔහු බොහෝ ලේඛකයින් කරන්නා සේ අවිශ්වාස කරන්නවුනට බණ පෙවීමට උත්සුක නොවේ. අප ලේඛකයා පවසන්නේ මෙපමණකි:
"භික්ෂුවකට නිකරුණේ සොරකමක් පිළිබඳ වරද ආරෝපණය කිරීම ශාසන සම්ප්‍රදායෙහි ද බරපතල වරදක් සේ සැලකෙයි. යම් කථා පුවතකින් තැනින් තැනින් කොටස් උපුටා ගෙන එය එක් කථා ප්‍රවෘත්තියක් සේ ඈඳීමෙන් සැබෑ ප්‍රවෘත්තිය විකෘති වී යන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය ශාස්ත්‍රීය ලෝකයෙහි සාමාන්‍යයෙන් සැලකෙන්නේ ශාස්ත්‍රීය වංචාවක් ලෙසයි. " (49 පිටුව )
ඔබේසේකරගේ ලිපිය පෙර තනා ගත් මත වලට සේවය කරන්නක් බව චෝදනා කරන මල්සිරි, මෙවැන්නක් පෙන්වා දෙයි. "...ඔබේසේකර ට අනුව සෝනුත්තර තෙරුන් යනු මහවංස රචකයාගේ නිර්මාණයකි. "( 60 පිටුව ) එහෙත් සෝනුත්තර භික්ෂුවගේ සොරකම සැබෑවකි. මේ ඔබේසේකරගේ "කන්න ඕනෑ විට කබරගොයා තලගොයා කිරීමේ" ශාස්ත්‍රීය යැයි කියන විධික්‍රමයයි.
මල්සිරි තම පිලිතුරු ලිපිය මගින් චින්තන ධර්මදාස වන් නන්දෙඩවිලි කරුවන්ට ද ප්‍රාමාණික පිලිතුරු සපයා ඇත. අලුත් පරපුරේ අය ට තරුණෙකු විසින් ම, තාර්කික තලයට සීමා වෙමින් පිලිතුරු දීම ඇත්තෙන්ම ප්‍රශංසනීය ය ( බලන්න 68-72 පිටු )
ඔබේසේකරගේ මගහැරීම් මෙපමණකට සීමා නොවේ. ඔහු ජනකථා තම මතය තහවුරු කිරීමට යොදා ගනී. එනුමුදු, ඔහුගේ ජනකථා තෝරාගැනීම නැවත වරක් පක්ෂග්‍රාහි බව සහ ශාස්ත්‍රීය සත්භාවය ප්‍රශ්ණ කරන්නකි. ඔහුගේ මතයට පටහැණි ජනකථා ඔහු වාංචනික ලෙස අතැර දැමූ අවස්ථා මල්සිරි ඔප්පු කර පෙන්වයි.
මල්සිරිගේ පිලිතුරු ලිපියේ, පුරාවිද්‍යා අංශයේ නිරතවූවෙකු වශයෙන් වැදගත් හෙළිදරවු වලින් ද සමන්විතය. "නූතන ඉසුරුමුණිය 'ලෙස හැඳින්වෙන විහාර නාමය ද එවැනි විකෘති හඳුනා ගැනීමක් වන අතර සැබෑ ඉසුරුමුණිය 'වෙස්සගිරිය' නමින් තවමත් සාවද්‍ය භාවිතයේ පවති. කිසිදු මූලාශ්‍රයයක දක්නට නොලැබෙන 'ලංකාරාමය' නම් ස්ථූපයක් අද අපට උරුමව ඇත්තේ ද ඒ අහිංසක ගැමියන් විසින් දෙන ලද නව නාමකරණයක් හේතුවෙනි." (87 පිටුව ). මෙය මා මුලින් ම දැන ගත්තේ මේ කෘතිය කියවීමෙනි. ඊට කතුවරයා ට තුති.
පුරාවිද්‍යාත්මක අංශයෙන් අනෙක් වැදගත් හෙළිදරව්ව වනුයේ මෑතක් වන තුරුම එළාර සොහොන යැයි සැලකුණු ගොඩල්ල, දුටුගැමුණු දවන ලද ස්ථානය බවට හැඟෙන සාධාරණ පුරාවිද්‍යාත්මක සාක්ෂි, ඉතා සමබරව ගෙනහැර දක්වා තිබීමයි. ඔහු යම් කිසි සැකයක ට ද ඉඩ ප්‍රස්ථා ඉතිරි කොට ඇත්තේ සැබෑ ශාස්ත්‍රවන්තෙකුට උචිත ලෙස ට ය. මේ කථිකාව පිළිබඳ එකඟ විය හැකි සහ නොහැකි යන දෙපාර්ශ්වයේ ම කරුණු ඉතා සාධාරණ ලෙස කතුවරයා ගෙනහැර දක්වා ඇත. ඔබේසේකර තම ලිපියේ කොතැනවත් මෙවන් සාධාරණ ශාස්ත්‍රීය බවක් පෙන්වා නැති බව පාඨකයා ට එත්තු යයි.
මේ කෘතිය ගැන තව වටිනා තැන් මතුකර දිය හැකි මුත්, ලිපිය දීර්ඝ වීම හා කියවීමට බලාපොරොත්තු වන පාඨකයන් ගේ උනන්දුව රකිනු වස් තව නව කරුණු ඉදිරිපත් නොකරමි. එහෙත් මෙය අප රට ශාස්ත්‍රීය කෘති වලට ලැබෙන සම්මාන වලට සුදුසු කෘතියක් ලෙස සිතමි ( මෙය පළමු වර නිකුත් වූයේ 2016 දී ය ). මා එසේ කියන්නේ, මල්සිරි මේ කෘතිය පුරාවට පෙන්වා ඇති ශාස්ත්‍රීය හික්මීම, අගතිගාමි නොවීම, සියළු දිශානති පෙන්වීම සහ ඒ ඔස්සේ ඔබේසේකරගේ වාංචනිකත්වය තහවුරු කිරීම හේතුවෙනි. මට පෞද්ගලිකව, මෙය ආදර්ශ ශාස්ත්‍රීය ලිපියක්, ආදර්ශ ශාස්ත්‍රීය සංවාදයක් කෙසේ විය යුතු දැයි යන්නට නිදසුනක් සේ පෙනෙයි. රැඩිකල් මත නිසා ම විකල්ප මත හොබවන අතලොස්සක් කෙතෙරම් උඩ දමා පිම්බූ ව ද, එම රැඩිකල් මත ඇත්තෝ විටෙක කෙතෙරම් අසංඝත ද, ශාස්ත්‍රීයත්වයෙන් හීන ද යන්න, ඔබේසේකරගේ ලිපියේ ඌනතා හෙළිදරව්ව ඔස්සේ මල්සිරි අපට පෙන්වා දෙයි.
මල්සිරි කොතැනකවාත් ආගමික ලබ්ධියකට වහල් ව , අවිශ්වාසකරන්නවුනට පිලිතුරක් ලෙස කරුණු ගෙනහැර දක්වා නැත. ඔහු දුටුගැමුණු රජකරනා කලැ දේශපාලන අරමුණෙන් පමණක් තම තීරණ ගත් බවටත්, මරණ මංචකයෙදි, රජු වෙනුවට ගාමණි නම් මරණාසන්න මිනිසාගේ සිතුවිලි - එනම් යුධයෙදි සිදු වූ ඝාතන හෙතුවෙන් අපායගාමි වීමේ බිය - එය චර්යාධර්ම පිලිබඳ ප්‍රශ්ණයක් නොව - පෞද්ගලික බියකි - යන්න මතුකර, රජුට හුණුගසා නැති සුද්ධවන්තයෙකු ද නොකොට, නැති දුෂ්ටයෙකු ද නොකොට සාධාරණ ශාස්ත්‍රීය කටයුත්තක ම නිරත වී ඇත. ඔහුගේ බිය තමන් අපාගත වීම මිස, තමන් එළාරයන් ඝාතනය කිරීම පිළිබඳ පසුතැවිල්ල නොවන වග ඉතා පැහැදිලිව පෙන්වා ඇත. එය ඔබේසේකරගේ පෙර මතයනට අනුව, ශාස්ත්‍රීය යැයි කියන ලිපි ලිවීමට සපුරා වෙනස් වූ වකි. මම මල්සිරි ට සිය අනාගත පුරාවිද්‍යා ගවේෂණ, හැදෑරීම උදෙසා සුබ පතන අතර, අනාගතයේදී තවතවත් මෙවන් අගනා රචනා ලිවීමට අවශ්‍ය ධෛර්‍යය, ශාස්ත්‍රීය කෞශල්‍යය ලැබේවා ප්‍රාර්ථනා කරමි. එහෙත්, මගේ අවංක අදහස නම් මේ කෘතිය පමණක් වුව අප වන් පුඟුලන්ට නම් ජීවිතය පුරා කෙරෙන ශාස්ත්‍රීය කටයුත්තක ට තරම් බවයි.
No comments:
Post a Comment