Thursday, 5 November 2015

කිඳුරා ගොසින් වැටුණයි පුර මඩුල්ලේ - කේ. කරුණාධීර අල්විස්



"60,70 දශක තුල ක්‍රමිකව ඉතා සෙමින් ද,අනතුරුව එළඹි 80,90 දශකයන් තුළ ක්ෂණික උඩු යටිකුරු වීමක් ලෙස සමහර විට කෙනෙකුට හැඟී යාමට වුව හැකි ශීඝ්‍ර විපරිණාමයකින් ද, අප රටෙහි සිදු වූ එම සමාජ පරිවර්තනය හා එහි පසුබිම් හේතු සාධක දෙස, සංවේදි වූ ද, උපෙක්ෂාශීලි වූද, ආවර්ජණයෙහි පසුවන සඳ, මෙම නිර්මාණය මා සිතෙහි ගොඩනැඟිණි." (පෙරවදන)

ලේඛකයා තම ආවර්ජනය විස්තර කරනු වස් භාවිත කරන වචන දෙකකි - සංවේදි වීම හා උපෙක්ෂක වීම - මෙම කෘතියේ සාර්ථකත්වයට අඩිතාලම වැටෙනුයේ මෙම සංවේදි වීම හා උපෙක්ෂාවෙන් යුක්තව තම නිර්මාණ කාර්යයේ යෙදී තිබීම මතය. අත්ථදස්සි ලොකු හාමුදුරුවන්ගේ චරිතය, ධම්මදස්සි පොඩි හාමුදුරුවන්ගේ චරිතය ඉතාමත්ම සාර්ථකව ගොඩ නඟා තිබීමත්, මෙම චරිත දෙකේ ගුණ-දොස්, ඒ චරිත දෙක හරහා පැරණි සමාජය, එම සමාජය වෙනස් වීම, එම සමාජය වෙනස් වීමේ ප්‍රවේගය ඔරොත්තු නොදීම ආදිය ලේඛකයා පාඨකයාගේ මනසට දැනෙන අයුරින් ආදානග්‍රාහිවීමකින් තොරව ලියා ඇත.
පිටු 175ක් වන් ඉතා අල්ප පිටු ප්‍රමාණයක් භාවිතයෙන්, පසුගිය දශක හතර පුරාවේ අප ගම් දනව් බොහෝමයක් මුහුණ පෑ විපරිණාමයන් ඉදිරිපත් කර ඇත. සංවර්ධනය ඔස්සේ විපරිණාමයට පත් වීමට පෙර ගැමියන්ගේ සිතුම් පැතුම් මැයි නෝනාගේ චරිතය හා ඇගේ අහිංසක බලාපොරොත්තු මඟින් ඉතා අපූරුවට නියෝජනය කරයි. ඉන් පසු කාලයේ දී දේශපාලඥ්ඥයින් ආශ්‍රයෙන් ගමට සංවර්ධනය ඒම, ඊට ගමේ තරුණයින්ගේ මැදිහත් වීම, ඒ පිළිබඳ අත්ථදස්සි හිමියන්ගේ ප්‍රථිචාරය හා උන්වහන්සේ තෝරා ගන්නා මාර්ගය, ගමේ මේ සිදුවන අනවරත ධාරාවට එරෙහි විරෝධතාව කිඳුරා මඟින් නියෝජනය කිරීම හා ඒවායේ අසාර්ථකත්වය, සුනීත හිමියන්ගේ චරිතය මඟින් අද වන විට අපි ට දැක පුරුදු භික්ෂු චරිත බිහි වීම සහ, ඒමිස් ගේ අත්දැකීම් මඟින් මේ විපරිණාමය උක්ත ගමට පමණක් සීමා වූවක් නොවන්න බව පසක් කිරීම, ආදි සිදුවීම් පෙළ ඉතා නිර්මාණාත්මක ලෙසත්, අතිශයෝක්ති දෝෂයට කිසිදු මොහොතක හසු නොවන  ස්වභාවික අයුරකින් ඉදිරිපත් කිරීමත් ඔස්සේ, මෙම නවකථාව සැළකිය යුතු මට්ටමක සාර්ථකත්වයකට එළෙඹෙන්නේ ය. පසුගිය වසරේ ප්‍රකාශ වූ කෘති කිහිපයක් සඳහා ත්, ඊට පෙර ප්‍රකාශ වූ කෘති වලත්  අප රට පසුගිය දශක පහ-හය තුල සිදූ වූ මේ ශීඝ්‍ර වෙනස්වීම ට වස්තු බීජ සැපයුන ද, මගේ හිතට දැනෙන අයුරකින් මෙම වෙනස්වීම නිර්මාණ කාර්යයක් උදෙසා භාවිත වූ එක් අවස්ථාවක් ලෙස මට මෙම කෘතිය හඳුන්වා දීමට  නොපැකිළෙමි. 



ධම්මදස්සි හිමියන්ගේ පහත උදෲත පසුතැවිල්ල මුසු ප්‍රකාශය නවකථාවේ ඉතා බලවත් ප්‍රකාශනයකි.
"මට වෙලාවකට හිතෙනවා ඒමිස්, ඔය බඩු භාණ්ඩ නිෂ්පාදනය කරන පිටරට සමාගම්වලට අවශ්‍ය වෙළඳපොළ මෙහෙන් අපේ ගම් කොරෙන් හදා දෙන්ඩ, මමත් උදව් උපකාර කළාදෝ කියලත්. ඒ වගේම මේ මිනිස්සුන්ට ගිය කල දසාව, මුදල් යහමින් ඇතා නැතා, ඔය තියන විදියකට කාලා ඇඳලා, ඔහේ තමුන්ගේ පාඩුවේ හිටි, අඩු වශයෙන් ඔළුව අවුල් නොකරගෙන හිටි ගමම, එකම පිස්සු පොරයක වැටිලදෝ කියලා මට හිතෙනවා ඒමිස්"
   "හැබැයි ඉතින් අනෙක් අතට, අපි මෙහෙම මේ වලටැ මැදිහත් වුණා නැතා, මේවා දැන්ම නැතත්, ටිකක් පහු වෙලා හරි, මෙහෙම්ම සිද්ධ වෙන එක සක්කරයට වත් වළකන්ට ඇහැක් දෙයකුත් නොවෙයි. ඒ කොහොම වුණත් කොපමණ සද්භාවයෙන්, හිතේ සොම්නසින් මේ කාරණා කටයුතු වලදි මැදිහත් වෙලා කටයුතු කළත් මගේ හිතේ දැන් නම් තියෙන්නේ මහ කලකිරීමක් විතරයි, ඒමිස්"

  මෙම කෘතිය පළමු ස්වර්ණ පුස්තක සම්මානය (2006)  උදෙසා අවසන් වටයට තේරිණි ( ඒ වසරේ සම්මානය කුමන හෝ පොතකට ලබා නොදී, මූල්‍යමය ත්‍යාගය සමසේ බෙදා දුන්හ ). ඒ වසරේ එසේ නිර්දේශ කෘති අතරින් මා කියවා ඇත්තේ කසුරිගේ පොතත්, මෙයත් නිසා සමස්ත වශයෙන් ඒ අවසන් කෘති පහ ගැන යමක් කිව නොහැකි වුවද, මා සිත බොහෝ ලෙස ඇළලුමට ලක් කල, සාර්ථක නිර්මාණයක් බව කිව හැකිය. (මීට අමතරව 2004 වසරේ ඩී.ආර්. විජේවර්ධන සම්මානයේ දෙවෙනි තැන  ට ද මෙම කෘතිය පාත්‍ර විය)

No comments:

Post a Comment