නැසීගිය කරුණාදාස සූරියාආරච්චි මහතා, මා දන්නා තරමින් ලියූ අවසන් නවකථාව වූ උං ගියාදෙං නවකථාව පසුගිය දිනක කියවා හමාර කලෙමි. පසුගිය විද්‍යෝදය සම්මාන උළෙලේ අවසන් වටයට ද, ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරි පත් වීම ද, කතුවරයා ලියූ අවසන් නවකථාව වීම හා පසුගිය වසර අටක පමණ කාලය පුරාව ට පාඨක අප කියවීමෙන් පසුතැවිල්ලක් නොවනාකාරයේ රසවත් කෘති රාශියක් ලියූ හෙයින්ද (උදා: වෑකන්දේ ගීතය, කන්ද පාමුළ, අන්ධකාර තාරකාව, රතු ඉද්ද ) 2014 දී ප්‍රකාශ වූ, කියවීමට තෝරා ගත් කෘති අතර ට මෙම කෘතිය ඇතුලත් කර ගතිමි. කතුවරයා "රතු ඉද්ද" සිට පටන් ගත් භාව-උද්දීපනය කරන්නා වූ ආඛ්‍යාන විලාසය, "මම තවම යමි" සහ "නැසෙන මානය" තුලට ගෙනයාම තුල එම රටාවේ ඒකාකාරි බවක් පාඨකයාට දැනී තිබුණි. කතුවරයා "උං ගියාදෙං" තුල දී මෙම ආඛ්‍යාන රටාවෙන් මිදී ඇත. ඒ භාවාත්මක ආඛ්‍යානය වෙනුවට මොනාරාගලින් ද ඈත දුෂ්කර කැළෑ ගම්මානයක් අලලා, එහි සංස්කෘතිය හා ජීවන රටාව යම් තාක් දුරකට ග්‍රහණය වන ආකාරයෙන් තම නිර්මාණ කටයුත්තේ යෙදී ඇත. ලේඛකයා භාවිත කොට ඇති එම වටපිටාව නවකථාවකට ඉතා උචිතය. එහෙත් ගැටළුව ඇත්තේ එතන නොව ; සොපිනා -සිරියාවති - සෝබනා නමින් වූ, තුන් පරම්පරාවක කථාන්දර තුනක්, ස්ථාන තුනකින් පටන් ගෙන, ඒකාබද්ධ වන තනි ස්ථානයක් කරා ගමන් ගන්නා, කථා තුනක් ලෙස කතුවරයා තම නිර්මාණය සිදුකොට ඇත. ඒවායෙහි ඒකාබද්ධය ඇති කරගැනීමට අවසන් පිටු 18 වැය කොට, සියළු හිඩැස්, කඩතොලු එක්තැන් කිරීමට ප්‍රයත්නයක් දරා ඇත. එම ප්‍රයත්නය අසාර්ථකය. නවකථාවේ අවසන පෙනි පෙනී, සෝබනා හා දොස්තර මහත්තයාගේ, කෘතියට ඒ වෙලාවෙ දී අනවශ්‍ය ප්‍රේම ජවනිකා ගැන කියවෙයි. අවසන් පරිච්ඡේදයේ එක් විටම මිනුම් මහත්තයා සුළු සාධකයක් මත තම පුතු විවාහ වූ කාන්තාව කාගේ කවුරුදැයි සැක කොට සිරියා සොයා ගෙන එයි. එහි යම් අභව්‍ය ස්වභාවයක් ඇත. කසුරි අන්තිම පරිච්ඡේදය වෙනතක් ම විසඳිය යුතු ගැටළු හා කඩතොලු තබා, හදිසියෙන් මෙන්, ඒවා උඩින් පල්ලෙන් වසා දමයි. නැතිනම් හොඳ නවකථාවකට වස්තු බීජ මෙහි තිබේ. කියවාගෙන යන විට පාඨකයාට දැනෙන්නේ කිසිදා හමුවන මාවත් තුනක් ඔස්සේ ගමන් කරන්නාක් මෙනි. එනුමුදු එහි හමු වීමක් තිබේ ; එහෙත් ඒ හමුවීම සාර්ථකව කිරීමට කතුවරයා සමත් වී නැත.
පාඨකයා ට දැනෙන්නේ කතුවරයා තම නවකථාව උදෙසා සාදාගත් ආකෘතියේ යම් දෝෂ තිබෙනා ලෙසට ය. කතුතුමා ම හෝ සංස්කාරකවරයකු - නෑ, සංස්කාරක කෙනෙක් ම විය යුතු යැයි හැඟේ - මෙම කෘතිය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෙමින් කියෙව්වා නම්, මුල් පරිච්චේද වල අනවශ්‍ය විස්තර වලට තැබූ ඉඩ කපා හැර, නවකථාවේ විශ්වාසනීයත්වය ඇතිකිරීමට මීට වඩා ඉඩක් හා සාධක, වෙන් කිරීමේ වැදගත්කම තේරුම් යනු ඇත.
මම කසුරිගේ ප්‍රබන්ධමය නිර්මාණයක් ලෙස පළමු වරට කියෙව්වේ කන්ද පාමුළ
නවකථාවය. එතැන් පටන්, වෑකන්දේ ගීතය, අන්ධකාර තාරකාව, කළු දෝංකාරය, රතු ඉද්ද, මම තවම යමි , නෑසේන යාමය සහ උං ගියාදෙං තෙක් වූ සියළු නවකථා මම කියවා ඇත්තෙමි. එකම කතුවරයකුගේ කෘති අටක් යනු විශාල සංඛ්‍යාවකි. ඉන් එකම කෘතියකින් හෝ මා යම් රසාස්වාදයක් නොලැබූ බව කිව නොහැක. මේ කෘති අට අතරින් උන් ගියාදෙං වඩාත් දුර්වල වුවත්, එහි ද නිර්මාණාත්මක බව, අප රට කැළෑ ගම්මාන ආශ්‍රිත ජන ජීවිතය ආදි ඉසවු සංවේදිව මතු කිරිමට කතුවරයා සමත් වී ඇත.
පසුගිය වසර අට තුල ඔහු තෙවතාවක් ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරි පත්විණි. රතු ඉද්ද ඒ වසරේ සම්මානය ජය ගැනීමට සුදුසු කෘතියක් යැයි අප කණ්ඩායමේ යම් අයගේ විශ්වාසය විය. (ඒ වසරේ ප්‍රකාශ වූ කෘති අතරඉන් පියැසි කවුළුවට මා වඩාත් මනාපය - රතු ඉද්ද ඊට තිබෙන්නේ එතරම් පසු පසකින් නොවේ ). පුවත්පත් කතුවරයෙකු වශයෙන් රටේ විවිඪ දෙසින් ගලා එන පුවත්, සමාජ ආශ්‍රය ආදියෙන් ඔහුට මේ විශාල නවකථා ගොන්නට වස්තු බීජ ලැබුනා විය යුතුය. ඒ මිනිස් ආශ්‍රය තුලින් ම කසුරිගේ කෘතීන් හි පාඨකයා වඩාත් බැඳ ගන්නා සුළු, සංවේදි බව උනන්නට ඇත. කසුරි අප හැර ගොස් දැනට වසරෙකි. කසුරි, ඔබ අප හට ප්‍රධානය කළ සාහිත්‍ය සම්පත ට තුති!
No comments:
Post a Comment