Friday, 25 September 2015

අයාලේ ගිය සිතක සටහන් - තිස්ස අබේසේකර

(මෙය මා පළමුව 2013 අගෝස්තුවේ "පොත් කියවන අය" මුහුණු පොත් කණ්ඩායම සඳහා ලියූවකි. ආරක්ෂණය උදෙසා බ්ලොගයට එක්කාසු කලෙමි )

පොතක් ලියා විචාර කොට අවසන් කළ නොහැකි අනර්ඝ පොතක්, පසු ගිය දිනෙක කියවා හමාර කලෙමි. ඒ තමන්ම කියනා පරිද්දෙන් අවිධිමත් අධ්‍යාපනයකින් පෝෂණය වූ, නැසී ගිය තිස්ස අබේසේකරයන්ගේ "අයාලේ ගිය සිතක සටහන්" පොතයි. මට සිතෙනා පරිද්දෙන් මේ පොත මා වෙසෙන කොයිම හෝ පෙදෙසක මා අසබඩ හැම දා තියේවී. සකල කලා වල්ලභයකු ලෙස තිස්ස අබේසකරයන් ගේ එම සටහන් මා නැවත නැවත කියවාවි. මා ඉන් පෝෂණය වේවි.

හේ තම කෘතියේ මුල් ලිපි දහය ම තමන් ජිවීත කාලයම පාහේ ගත කල කැළණි ගං මිටියාවත - එනම් කෝට්ටේ, නුගේගොඩ, රත්තනපිටිය, දෙපානම ආශ්‍රිත ඉතිහාසය ගවේෂණය කරයි. පරංගියා ඇත්තෙන්ම එතරම් වටරවුම් පාරකින් කෝට්ටේ ගියේ ඇයිදැයි තම මතය තහවුරු කරයි. පෙර කල්හි කොළොම්පුරේ විත්ති කියා පායි. කෝට්ටේ රාජධානියේ නටඹුන් අවම වශයෙන් අපට දැකිය හැක්කේ ඇයි දැයි කියයි. පෙර කලැ කොට්ටේ රාජධානිය ආශ්‍රිත පෙදෙස රාජධානිය බිඳ වැටීමෙන් අනතුරුව "පිටගම්කාරයන්ගේ" වාසභූමියක් වූයේ ඇයි දැයි කියා පායි. ඔහු විස්තර කරනා බොහෝ පෙදෙස් මාද හඳුනන නිසා මා එම විස්තරයට කැමතිය (මා ගේ කෙටි දිවියේ ද වසර 30 ට වැඩි කලක් කැළණි ගං මිටියාවතේම ජීවත් ව ඇත )

දෙවෙනි ලිපි එකතුව "සත්සර සටහන්" වලට යොදා ඇත. ඔහු ජෑස්ස් සංගීතයේ මූලය ගැන කියා පායි. අප්‍රිකාවේ ජන ඇදහිලි වල ඇති සංගීත මූලයන් (මේවා සුද්දා තම නොදන්නාකම විදහා දක්වමින් වූඩූ / voodoo යන තනි ගොඩකට ගොණු කර ඇත ) සොයයි . මේ හේතුන් නිසා ම තොවිල් බෙරයේ රිද්ම රටා සමඟ ජෑස් වාදන මුසු කිරීමට හර්ෂා මාකලන්දටත්, රවිබන්දුටත් ලෙහෙසි වූ බැව් කියා පායි - මාකලන්ද සමඟ රාත්‍රියක් පුරා හෝකන්දර ආශ්‍රිත  පෙදෙසක තොවිලයකට සහභාගි වූ අයුරු කියා පායි. (මේක කිය වූ මා නතර වූයේ, මාකලන්ද හා ජනනාත් වරකාගොඩ එක්කාසු වී නිකුත් කර ඇති Aspects නම් වූ සංගීත තැටියක් මිල දී ගැනිමෙනි - මා පෙර කිවා සේ මා නිබදව මේ කෘතියෙන් පෝෂණය වෙමි ). ඊට අමතරව ඔහු සෝබන සැන්දෑවේ ගීතය වෙනුවෙන් එක් ලිපියක් වෙන් කරයි. දේවාර් සූරියසේනගෙන් සිංහල සංගීතයට වූ මෙහෙය ගැන කියා පායි. ඔහු පහත දැක්වෙන ඉතා වැදගත් කාරණාවද මතු කරයි...  
"ජන ගීයේ මුලින්ම බිහිවන්නේ පදයයි. ගායනය බිහිවන්නේ පදය ආත්ම කොට ගෙන ය. එබැවින් පදය ඉක්මවා කෙතරම් ඉහළට ස්වරාකාරයෙන් වර්ධනය වුවත්, පදයේ ශබ්ද ආකෘතිය එතුළ නිධන්ගත වී ඇත...... කේමදාසයන්ගේ මානස විල හා පිරිනිවන් මංගල්‍යයේ සමහර අවස්ථා, අප තුල රසභංගයක් ඇති කලේ ද බසේ සහ ස්වරයේ ඇති වූ නොපැහීම නිසා ය" ( සංගීතය නොදත් නලින් ද සිල්වා කේමදාසයෝ තම ගෝලපිරිස් ට කියා හූ කියා ගන්නවා යැයි කීම තුල එතරම් නොපැහීමක් නැති සේය ).

"නොදනිමි කාගේ දොසා" නම් වූ ඉතා වැදගත් ලිපියක් ද මේ අතර වෙයි. ඉන් වෙසෙසින් සරච්චන්ද්රයන්ගේ අදානග්‍රාහිකම නිසා අප රට සංගීතයට සිදු වූ අවැඩ ගැන කියයි.
සිවුපද සංවාද නම් වූ තෙවෙනි ලිපි එකතුවේ ලිපි පහක්ම උභය භාෂා ලංකාරය නොහොත් උබබස්ලකරට වෙන්කොට ඇත. ජන කවිය වේවා (උදා - අල්ලාගෙන නෙරිය ... ), පැරකුම්බා සිරිතෙහි වේවා උබබස්ලකරේ ලක්ෂණ පෙන්වා දී එය නූතන යුග ගි දක්වා (සමරකෝන්ගේ "එන්ඩ ද මැනිකේ", "ප්‍රේමාලෝකය නිවී ගියා ") ආ මග කියා පායි. අප නාඩගම් වල හමුවෙන "සින්දු" නමින් හැඳින්වෙන සංගීත ශෛලිය පද්‍ය නොවන්නේ ඇයි දැයි කියා පායි. නාඩගම් යුගයෙන් පසු ව පැමිණි නූර්තියේ අවතීර්ණයත් සමඟ උත්තර භාරතීය රාගධාරි සංගීත අභාෂය ලැබු ආකාරය ගැන පවසයි. මේ ලිපි පෙළැ කියවා අවසානයේ සමරකෝන් ශූරින්ගේ එන්ඩ ද මැණිකේ වඩා දැනුම් තේරුම් ඇතුව ශ්‍රවණය කලෙමි (ඔවු - මෙම විශ්ව කෝෂයක් බඳු කෘතියෙන් උගනිමි ). මෙම ලිපි පෙළේ වැදගත් ලිපියකි, "පැදියේ නිමල පැන් පොද" යන ලිපිය. ඔහු ද වික්‍රමසිංහයන් මුලින් ම කීවාක් මෙන් (සිංහල සාහිත්‍යයේ නැඟීම ) හා අමරසේකරුන් "සිංහල කාව්‍ය සම්ප්‍රදාය" නම් වූ කෘතියෙන් කියා පෑ පරිද්දෙන්, ස්වභාවෝක්තියේ පිහිටා රස නිෂ්පත්තියට අරමුණු කල කවි සමයක්, සකු අලන්කාරවාදයෙන් වැසී යාමට පෙර අප සතු වූ බව උදාහරණ සහිතව කියා පායි. අප මුක්තක කවි ආර ගැන ලිපියක් ලියයි. මාටින් වික්‍රමසිංහයන් ගුත්තිල ගීතය ලියා කල ඓථිහාසික මෙහෙවර ගැන කියා පායි. අබේසේකරුන් තැනෙක කියන්නේ අපූරු කවීත්වයක් උරුම කොට ගත් සේකරුන්ගේ කවීත්වය කලට මල් පල නො දැරුයේ බුද්ධිගෝචර සංකල්පවාදයට ගොදුරු වූ නිසා ය ( උදා - ඇසේ මතුවන කඳුළු බිඳු ... හි එන 'නො අදහා බුදු කෙනෙකු දෙවියෙකු - මානයෙන් වල්මත්ව සිටි මම ).හතර පදයයි-ගේය පදයයි අතර ඇති සබඳතාව, ගජමන් නෝනා ගේ සුල මුල ගැන කියවෙන ලිපිය හා පැබ්ලෝ නෙරූඩා ලංකාවේ ගත කල කාලය පිළිබඳ ලියවුණු ලිපිය ආදිය මෙහි එන තවත් වටිනා ලිපි සමහරකි.
සිතැඟි නම් වූ අවසන් ලිපි දහයෙන් හයක් ඔහු විශාරද වූ සිනමාව හා සබැඳිය. මෙහි එන ඉතා වැදගත් ලිපියක් නම් "සුනිල් සාන්ත, සමරකෝන් හා ජාතික ගීය" නම් වූ වටිනා ලිපියයි. මට එම ලිපිය කියවූ කල සරච්චන්ද්‍රයන් සිතා හෝ නොසිතා හෝ  ආදානග්‍රාහිව කටයුතු කළ බව තහවුරු වෙයි. මෙම ලිපියත්, සත්සර සටහන් කොටසේ හමුවන "නොදනිමි කාගේ දොසා" යන ලිපියෙනුත්, සරච්චන්ද්රයන් හේතුවෙන් අප සංගීතය පටු තැනකට තල්ලු වූ බවට සාක්ෂි සැපයෙයි. ඒ හේතුවෙන් සුනිල් සාන්ත, සමරකෝන් ආදින්ට සිදු වූ අසාධාරණය සුලු පටු නැත.
මියෙන තුරා සම සමාජ පාක්ෂිකයෙකු වූ හෙතෙම මෙසේ කියයි (පිට 45 )
" ආර්ථිකය, සමාජය හා පොදු සිරිත නොහොත් සංස්කෘතිය ඒකාබද්ධ ව හැදී වැඩෙන ජාතික සම්ප්‍රදාය තුළ අර්බුධයක් ඇතිවන්නේ ඉන් එක් කොටසක් අනෙක් දෙකොටසට ප්‍රතිවිරුද්ධ දිසාවකට ඇදෙන්නට වුවහොත් පමණි. මාර්ක්ස්වාදය අනුව පොදු සිරිත නොහොත් සංස්කෘතිය අනෙක් දෙකොටසට පදනම් කොට ගත් මතු මහලකි. ඒ මතු මහල එහි පදනම වූ සමාජ සංවිධානයේ හා ආර්ථික රටාවේ පිළිඹුවකි. ආර්ථික රටාව හා සමාජ සංවිධානය ඒ රටෙහි පොදු ජනතාවට අසාධාරණ ව හා පීඩාකාරී ලෙස ක්රියාත්මක වූ කළ විරෝධයක් පැන නගියි."
අප රට පොදු සිරිතට වින කරන්නට මාන බලනා නූතන මාක්ස්වාදින් කිනම් වූ  න්‍යායකට අනුව එසේ කරන්නේ ද යන්න මට මෙය කියවන කල ඇති වූ ගැටළුවයි.
පාපොච්චාරණය - මගේ මේ ලඝු විචාරය මේ වටිනා පොත පැත්තකින් තියන්නට තරමවත් වටින්නේ නැත. එහෙත් මගේ සිමාසහිත ලිවීමේ හැකියාව මට ලියන්නට ඉඩ ප්‍රස්ථා දෙන්න මෙපමනකි. මා මෙහෙම කියා නවත්වන්නම් - අප රට කලාවන්, සංස්කෘතිය අගය කරන්නෙකු මේ පොත කියවිම මගහරී නම්, ඔහු හෝ ඇය හෝ තමනට මහත් වූ අසාධාරණයක් ම කරගන්නෙකි.
මගේ ශ්‍රේණී ගත කිරීම - කිසිදු පැකිලීමකින් තොරව - *****

Wednesday, 23 September 2015

නරේන්ද්‍රසිංහ නිරිඳුන් සහ ගණේවරුන්ගේ යුගයට අප ගෙන යන "මහාසාමි"


"දෙවැනි විමලධර්මසූරිය සමයේ දී සපුවිද සරණංකර හිමියන්ගේ ශිෂ්‍ය වූ රම්මල වනරතන හිමියන් අස්‌ගිරි ගෙඩිගේ විහාරයේ අධිපතීත්වය දැරූ අතර, එම පරපුරෙන් පැවත ආ 'ඒකනායක සුමංගල' නම් ගණින්නාන්සේ නරේන්ද්‍රසිංහ රාජ්‍ය සමයේ දී කඩදොර විහාරයේ වැඩ වෙසෙමින් මහනුවර ගෙඩිගේ විහාරයේ ද භාරකාරීත්ව උසුළා ඇති බව කඩදොර තුඩපතේ සඳහන් වෙයි. " 
        (දළදා ගමන් මාළිගාව - නිමේෂ තිවංකර සෙනෙවිපාල : දිවයින 2014 අගොස්තු සවෙනිදා )
සේපාලී මායාදුන්නේ ගේ සම්මානලාභි "මහාසාමි" නවකථාව කියවාගෙන යනාතරේ නිසඟයෙන් පාඨක මනසට එල්බෙන කුකුසකි, ආඛ්‍යායනය උත්තම පුරුෂයෙන් මෙහෙයවන ඒකනායක සුමංගල ගණින්නාන්සේ සත්‍ය වශයෙන් ම වැඩවිසූ චරිතයක් ද යන බව.  සීමිත පොත් ප්‍රමාණයක් සමඟ රටින් බැහැරව වෙසෙද්දි, අප කථක, ඓථිහාසික චරිතයක් බව සොයා ගැනීමට "ගූග්ල්" මෙසේ උපකාරි වුණි .  නවකථාව මුළු පිටු 390-ගණණාවක් පුරාවට ම දිග හැරෙන්නේ මේ ගණින්නාසේගේ ආඛ්‍යායනයෙන් හා දෘෂ්ඨි කෝණයෙනි. භාවිත වහර අදාළ ඓතිහාසික යුගයේ භාවිත බස ද නොදන්න මුත්, සංඝත ලෙස කෘතිය පුරාව ට ම එක ම ආදි වහරක් භාවිතාව හරහා පාඨකයා කෘතිය පුරාවට උක්ත යුගයේ ජීවත් කරවීමට සමත් වී ඇත. කෘතිය ආරම්භව නොබෝ වෙලාවකින්, ආඛ්‍යාන රටාවට හුරු වන පාඨකයා, ඉන් මිදෙන්නේ නැත. අප ද නරේන්ද්‍රසිංහ යුගයේ ජීවත්වෙමින් ගණින්නාන්සේ ලා ගේ කියුම් කෙරුවල් හා ජීවන රටා අතර ජීවත් වෙයි.කෘතියට පුරාවටම භාවිත බස පිළිබඳ නිදර්ශනයක් ලෙස මෙය ගෙන හැර දක්වමි :

"... පැවිදි වීද අපුල්ලන කත් ගෙනියන නෘත්‍යා දී අංග පවත්වන ගණින්නන්සේලාගෙන් අප සර්වඥයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සිද්ද වෙන්නේ බලවත් හානියක්ම ය. රජතුමන්ටත් අදිකාරම්වරුන් ප්‍රධාන නිලමක්කාරයින්ට ත් බිම දිගා වී වන්දනාමාන සිද්ද කරන පැවිද්දන් බුද්ධ ශාසනයට අවශ්‍ය නැතුවා ය... ගිහියන් ආවාහ විවාහ කටයුතු සිද්ධ කරගෙන ලෞකික ජීවිතයේ සමෘද්ධිය සාදා ගත යුතු වගත් සැබෑය... එහෙත් පවුල් පන්සල් ඇති අය පැවිද්දන් වන්නේ නැතුවා ය..." (242 පිටුව - සරණංකර සිල්වත් තැන )


නවකථාවේ අවදානය යොමු කරන කාලපරාසය තුල, අප ඉතිහාසයේ වැදගත් අවස්ථා රාශියක් ග්‍රහණය කොට ඇත. එම සිදුවීම් ඉදිරිපත් කොට ඇති අයුරු, ඒ යුගයේ ජීවත් වන පාඨකයා ට සමීපරූ මැවෙනාකාරයෙනි. අප රට උපසම්පදාව ලැබූ සඟ පරපුරේ අභාවය, නරේන්ද්‍රසිංහ "සෙල්ලං" නිරිඳු ලෙස නම් ලද්දේ කෙසේ ද, ගණින්නාන්සේලා තමනට ලැබී ඇති පරවේනි ගම් තුලින් පෝෂණය වෙමින්, රාජපාක්ෂිකත්වය දිනාගෙන තම පැවැත්ම තහවුරු කලේ කෙසේ ද ?, සරණංකර පරපුර හා ගණින්නාසේලා අතර වූ නිරන්තර ගැටුම්, දස්කොන්-ප්‍රමිලා සිද්ධිය හා ඒ  හරහා පණ ලැබූ, අද දක්වා අප අතර ප්‍රචලිත කථා, ක්‍රමයෙන් වඬිග පරපුර රාජධානියේ බලවත් පාර්ශවය බවට පත් වූ අයුරු, අප රට රදළ පරපුර මුහුණ පෑ ගැටළු, රාජ බලය හමුවේ හා අභ්‍යන්තර මත ගැටුම් නිසා අනේකවිධ අවස්ථාවල ඔවුනට දංගෙඩියට යාමට  වූ අවස්ථා ආදි වශයෙන් පාඨකයා ඇඳ බැඳ තබා ගන්නා සිදුවීම් පෙළක් හරහා ආඛ්‍යායනය දිග හැරේ. 

කතුවරිය පසුගිය දිනෙක සිළුමිණ පත්‍රයට ( 2015-09-13) කියා තිබුණේ මේ සිදුවීම් හා වර්තමාන දේශපාලන සිදුවීම් අතර සමානකම් දැකිය හැකි බවෙකි.
මට වුවමනා වුණේ ඒ කාලෙත් මේ කාලෙත් ඒ තරම් ලොකු වෙනසක් නෑ කියන එක පාඨකයන්ට පෙන්වා දීමටයි. 
මේ ගැලපීම විවිධ ස්ථර ඔස්සේ අගයන්ට හැකිය. ඒ අනුව සමස්තයක් ලෙස එකඟ වන්නා හෝ නොවුනා හෝ වේවා, තම ව්‍යායාමය උදෙසා ලේඛිකාව දරා ඇති ප්‍රයත්නය, පාඨකයෙකු වශයෙන් මා පුදුම කරවයි. කිමද මෙහි ඇත්තේ උදෙක් ඓථිහාසික සිද්ධිදාමයන්ගේ පෙළගැන්මක් පමණක් නොවේ. එම ඓථිහාසික සිද්ධිදාමයනට ගණින්නාන්සේ ගේ දෘෂ්ඨියෙන් පණ දීම, එහි විශ්වාසනීයත්වය රැකෙනා අයුරින් එම කර්තවය ඉටු කිරීම, හුදෙක් සාහිත්‍ය් අ නිර්මාණශීලිත්වය පමණක් මඟින් හෝ, ඉතිහාසය පිළිබඳ දැනුම මඟින් පමණක් හෝ, ඉෂ්ට සිද්ධකරගත හැකි නොවන නිසාය. මේ එක් එක් අංග කිරා-මැණ විවිධ මාත්‍රාවෙන්, සුදුසු අවස්ථාවන් වලදි පමණක් භාවිත කරමින්, මෑත කාලයේ බිහි වූ විශිෂ්ඨතම කෘතියක් ලේඛිකාව බිහි කොට ඇත. අවසන් වශයෙන් කිව හැක්කේ, මේ කෘතිය මේ වසරේ නිර්දේශ නොවී වෙනයම් කිනම් වසරක හෝ ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වූවත් එය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ
 බවයි. එක් වසරක රන්කරඬුව හා මහාසාමි යන විශිෂ්ඨ කෘති දෙකම කියවීමට ලැබීම හරහා, අපි පාඨකයන් ලෙස වඩා බලාපොරොත්තු තබා ගත හැකි අවදියකට පා තබා ඇතැයි සිතමු.

Friday, 18 September 2015

"මේ රහස් කවුළුවෙන් එබෙන්න" - අප රට ඇවන්ට්-ගාර්ඩ් නිමේෂය හා ලිබරල් වපසරියක් ඇති වී වසර විස්සක පසු විපරම



"අප බොහෝ දෙනෙක් සමාජගත වන්නේ දකුණේ සමාජය තුල සාපේක්ෂ ලිබරල් නිදහසක් සහිත චන්ද්‍රිකා පාලන සමයේදී ය. එක් අතකින් ඒ නිදහසත් අනෙක් අතින් තවමත් ලේ සුවඳ මැකී නොගිය චප්ප කරන ලද විප්ලවීය නැගිටීමක බිහිසුනු මතකයත් විසින් අලුත් අවකාශයක් බිහි කර තිබිණි... මේ සියල්ල දෙස ආපසු හැරී බලන විට පෙනෙන්නේ මෙය ලාංකීය සංස්කෘතික ඉතිහාසයේ ඇවන්ට්ගාර්ඩ් නිමේෂයක් බවයි." ( පසුපසට ගෙනගිය පෙරවදන - පිටුව 267 )

මෙම කෘතිය ට සම්බන්ධ වටපිටාව ගැන සාකච්ඡාවට මෙතනින් අවතීර්ණ වීමට සිතුවෙමි. 1994න් පසු යුගය කලා කරුවනට සැබවින්ම ඇවන්ට්ගාඩ් මොහොතක් වන්නට ඇත. ජීවිතයේට ම කිසිදු කලා නිර්මාණ කටයුත්තකට අතගසා නැති මා වැනි අය, නව යොවුන් දිවියේ වඩා තේරුම් (සාපේක්ෂ වශයෙන් ) ඇති යුගයට පා තැබුවේ මේ යුගයේ දී ය ( ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඝාතනය ආරංචි වන විට මා ශුද්ධ ගණිතය ටියුෂන් පංතියක ය ). එහෙත් මේ කියනා "සාපේක්ෂ ලිබරල් නිදහසකින්" අපි යම් පෝෂණයක් ලැබූ බව නම් සැබවි. මේ කියනා යුගය අනිවාර්යයෙන්ම චන්ද්‍රිකාගේ අවතීර්ණයෙන් ඇති වූ යුගය බවත්, බොහෝ විට ලේඛකයා අප හා සම වයස් කාණ්ඩයට අයත් වන්නෙකු වෙන්නට ඉඩ ඇති බවත් තහවුරු වන කොටසක් නවකථාවේ තිබී හමු විය (එය ලේඛකයා ද සිතා මත කල හෙළිදරව්වක් යැයි නොසිතමි ).

"අසී පුටුවේ වාඩි වී විවර වූ ලියුම් කවරයට අත දැමුවේ ය. ෆ්‍රෑන්ක් සැප්පා ගේ ගීතය අවසන් වී ඊගල්ස් සංගීත කණ්ඩායමේ නිව්යෝක් මිනිට් ගීතය ආරම්භ වී ඇත.
In a New York minute
Everything can change 
In a New York minute" (219 පිටුව )

මේ කියනා "New York minute " ගීතය අප රට බටහිර සංගීතයට ලැදි බොහෝ අයට "Eagles" කණ්ඩායමේ ගීතයක් වන්නේ, ඒ අය මේ ගීතය පළමුව ශ්‍රවණය කරනුයේ එම කණ්ඩායම  විසිරී ගොස් දීර්ඝ කාලයකින් අනතුරුව, නැවත එක්කාසු වී නිකුත් කල "Hell Freezes Over" ගීත ඇල්බමයේ මෙම ගීතය ඇතුලත් වීම නිසා ය. ඒ ඇල්බමය මුල් වරට එළිදැක්වෙන්නේ 1994 දී ය. 1995-96 පමණ වන විට පෞද්ගලික රෙදෙව් නාළිකා ඔස්සේ, පෙර ශ්‍රවණයට කරන්න නොලැබුණු ආරේ සංගීත එකතුවක් අසන්නට අපට හැකි  විණි. එකල මා ගෙදර සිටි සෑම මොහොතකම පාහේ TNL නාළිකාව ශ්‍රවණය කලේය. සමහර අවස්ථාවන් වල සම්පූර්ණ ගීත ඇල්බම ශ්‍රවණය කිරීමේ අවස්ථාවන් ද මේ වන විට අපට උදා වී තිබිණි.  එහෙත් ඇත්තෙන්ම "New York minute "  ගීතය මුල් වරට එලි දැක්වූනේ Don Henley ගේ ඒක පුද්ගල ගීත ඇල්බමයක් ( End of Innocence ) හරහා 1989 දී ‍ය (මා ද මෙය දැන ගත්තේ පසුව, අන්තර්ජාල භාවිතාව සාමාන්‍ය දෙයක් වූ කාලයක දී ය. ) එහෙත් 1989 දී අපි බොහෝ දෙනෙකු Don Henley ගැන දන්නේ නැත. එක් අතකින් අප නව යොවුන් වියට පා තැබුවා පමණකි; අනෙක් අතින් Don Henleyට වඩා, රන්ජන් විජේරත්න ලා, රෝහන විජේවීර ලා ගේ නම් අපිට ඒ කාලයේ පුරුදුය. ඉතින් අපිට උනන්දුවක් ඇති වී කරුණු සෙවීමක් කලහොත් විනා New York minute "Don Henley" ගේ ගීයක් නොව, ඔහු ඇතුලත් ව තිබූ කණ්ඩායම වූ Eagles ලා ගේ ගීයකි. මා මේ ටික කියා පෑවේ, මේ ගීය අනුසාරයෙන් අප පසු කල සංක්‍රාන්ති සමයක් විදහා දැක්වෙන නිසා ය. චන්ද්‍රිකා යනු භෞතික සංවර්ධනය අතින් අප රටට අවම වැඩ ප්‍රමාණයක් ඉටු කලා වූ ද, තම නොහැකියාව රටට වසංගතයක් ලෙස ව්‍යසනයට බඳුන් කලා වූ නායිකාවකි. ඇගේ වර්තමාන බළල් අත් ක්‍රියාවලිය ඊටත් වඩා අප්‍රසන්නය; වෛරයක ප්‍රතිමූර්තියකි. එහෙත් ඉන්ගිලිසියෙන් "Give the Devil His Due" කියා කියමනක් ඇත. ඉතින් අප  රටට අවශ්‍ය ලිබරල් අංග ඇගේ උවමනාවෙන්, හෝ ඈ ඇති කල සාපෙක්ෂ නිදහස් අවකාශය ඔස්සේ අප රට සංස්කෘතියට එක්කාසු වූයේ ඇගේ කාලයේ ය. මෙවන් පසු විපරමක් වසර විස්සකින් විතර පසුව සිදුකිරීම පහසු ය. කිමද ඒ ඒ යුගයේ ව්‍යාකූලත්වය රැගත් මානසිකත්වයෙන් මිදී ඒ දෙස බැලීම කල හැකි බැවිනි. ඉතින් මේ කෘතිය ට අවශ්‍ය සංස්කෘතික අඩිතාලම වැටෙන්නේ මේ අප කථා කරනා යුගයේ දී ය. අප ද ජීවත් වූ, අප ට ද මතක, අප ද අත් විඳි මෑත යුගයක දී ය. ඒ හරහා කුමක් හෝ ඥාතීත්වයක් වැනි හැඟීමක් අප තුල ජනිත වේ.  ( වෙනත් දිශාවකින් සලකා බලද්දි, මේ කියනා චන්ද්‍රිකා යුගය, හා රනිල් ගේ අවුරුදු දෙකක් තම වාසියට භාවිත නොකල පිරබාහරන් කෙතෙරම් මුග්ධයෙක් ද ? එහෙත් ඔහු ට පසු විපරමක් කිරීමට  අපි ඉඩ නොතිබ්බෙමු - කිම ද එවැන්නක් කිරීමට ඔහු ට හැකියාවක් ද කවදා හෝ නොතිබූ බැවිනි ).

කෘතියට පිවිසෙමි: මේ මුළු කෘතිය ම ලියැවෙන්නේ වීඩියෝ කැමරාවක් භාවිතාවෙන්, ඊට ඒ ඒ අවස්ථාවේ නාභිගත වන දසුන විකාශනය ඔස්සේ නවකථාව නිර්මාණය වන අයුරක්, පාඨක සිතේ ජනිත වන ආකාරයකිනි.. මෙය අපූරු නැවුම් ගතියක් ඇති නවකථා ආඛ්‍යායන විලාශයකි (මෙය අප නොදැන අන් තැනෙක භාවිත වී තිබෙන්නට පුළුවන. තිස්ස අබේසේකරයන් තම පිටගම්කාරයෝ ආඛ්‍යාණය උදෙසා මෙහි ප්‍රකෘති විලාශයක් භාවිත කොට ඇත ). ඉකෘතියේ තැනින් තැන, එහෙත් සමස්ථයක් ලෙස කෘතියෙන් අර්ධයක ම පාහේ මේ කල්පිත කැමරාව හඳගම  ගේ අධ්‍යක්ෂණයක් උදෙසා කැමරා කරුවා තම කැමරාව භාවිත කෙරෙන අයුරකි පාඨක මට සිහිකරවන්නේ .  ඉන් කියවෙන්නේ කතුවරයා ලත් ආභාෂය ගැනය. එහෙත් ලේඛක තෙමේ හඳයා පන්නා දැමීමට සුදුසු අවස්ථා ද තේරුම් ගැනීමට  තරම් පරිණත ය. කෞශල්‍ය කුමාරසිංහ යම් රසකාරකයක් අඩංගු කළ යුතු මාත්‍රව පිළිබඳ මනා වැටහීමක් ඇති ලේඛකයෙකු බව තම පළමු ස්ව-තන්ත්‍ර කෘතිය හරහා ම පෙන්වා ඇත.
අසීලාගේ - උවනීලාගේ - තිවංකලාගේ - කේෂූලාගේ සිව්-කොන් ප්‍රේමය එක් අන්තයකි. කමල්ලා ගේ - පද්මිලා ගේ - ටානියාලා ගේ ජීවිතය මෙම කුඩා අගනගරයේම අනෙක් අන්තයකි, එය හුදෙක්ම ජීවිත අරගලයකි. අපි සාමාන්‍ය වහරෙන් කියන්නේ, ( එය සාධාරණ විවේචනයක් හෝ පවතින නූතන සමාජ වටපිටාව පිළිබඳ නිවැරදි අවබෝධයකින් කියවූවක් හෝ නොවුවන ද ), ඉහළ කොට්ඨාශයට "කාලා තෙලේ ය". අනෙක් කොට්ඨාශය තෙල මෝදු වීම කෙසේ වෙතත් ජීවත් වීම උදෙසා සඳහා තම මුළු දිවිය ම කැප කරති. ටානියා තම ජීවිත අපායෙන් ගොඩ ඒමට මගක් පෑදෙන බව වටහා ගත් අවස්ථවේ දී, ඇගේ හැසිරීම මෙම ජීවන අරගලයේ සැබෑ තතු මතු කරලයි.
"මට ඒක අහපුවාම නිකම්ම ඇඬෙන්න ගත්ත. අම්මප අක්කේ මං දන්නෑ දුකට ද සතුටට ද කියලා." (249 පිටුව )
අප අගනුවර වෙසෙන්නන්ගේ ජීවන මට්ටම් අතර පරතරයත්, වත්මනෙහි අප රට පමණක් නොව නූතන මිනිසා තම මූලික,ප්‍රධාන සබඳතා පිළිබඳ සිතනා අයුරු ත්, ඇවන්ට්ගාඩ් මූලයකින් ව්‍යාප්ත වන සිතුවිලි පරම්පාරවක් විකාශනය ට සාර්ථක නිදර්ශනයක් ඉදිරිපත් කරමින් සාර්ථක නිර්මාණය ක් කරන  සිදු කරන අයුරු, ආදි වශයෙන් විවිධ කෝණ වලින් මෙම කෘතිය ඔස්සේ පාඨක අප සිතන්නට යොමු කරයි. 
 "ප්‍රීමා කොත්තු මී ෆන් තමා" කිව්වලු ( 
 68 පිටුව )... මෙහි ෆන් එකේ උත්ප්‍රාසය ද, සත්‍ය ද, ගැටුම ද, අසරණබාවය ද, අපි සැම ජීවත් වූ  මෑත කාලය තුල මතකයන් හාරා අවුස්සමින්  පාඨකයා ට සිතීමට යමක් ඉතුරු කරන සාර්ථක කෘතියකි.


Thursday, 10 September 2015

රන්කරඬුව-බටුවන්ගල රාහුල හිමි


රන්කරඬුව-බටුවන්ගල රාහුල හිමි
======================

*****

"රන් පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා" සහ "නයිගලින් උපන් පුත්‍රයෝ" නම් වූ තම නවකථා ද්විත්වය හරහා පිරීක්සා බැලූ නවකථා ක්‍රමය, ආඛ්‍යාන ශෛලීය, අප හිමියෝ "රන්කරඬුව" ඔස්සේ පරිපූර්ණත්වය ට ගෙන්ගොස් ඇත. මීට පෙර මෙවන් සුඛනම්‍ය ලෙස, හා මෙතරම් දක්ෂ ලෙසින් රූපක හා සංකේත භාවිතාව ඔස්සේ සිංහල නවකථාව යන කලාංගයේ අග්‍රකෘතියක් ලියැවුණේ නැති තරම් ය. 

සතර මහා ස්ථාන වන්දනාවේ යෙදෙන භික්ෂුවට කොණ්ඩඤ්ඤ හිමියන් මුණ ගැසී මුල් ධර්ම දේශනාව ඇතුලත් රන්කරඬුව ආරක්ෂාවට භාර දෙන අතර පවසන්නේ සතුරන් ලොබ බඳිනුයේ කරඬුවට මිස අන්තර්ගතයට නොවන බවකි. කරඬුව හරහා බුදු රදුන්ගේ ධර්මය මූල හේතුවෙන් හටගත් ආගම නිරූපනය වෙන බවත්, එම කරඬුව භාවිතා කොට විවිධ පුද්ගලයින් බලය, සත්කාර, ලාභ ආදිය ලැබීමට උත්සක වන බවත් පැහැදිලිය. මෙවන් "කරඬුවක්" නිසා විවිධ නඩේගුරුන් හට බැතිමතුන් "වන්දනාවේ" රැගෙන යාමට අවස්ථාව ලැබෙන බවත් පැහැදිලිය.
"නඩේගුරුන් විසින් තම කණ්ඩායම් පෙරහැරෙන් වෙන් කරගෙන ජයසිරිමහා බෝධිමළුවේ වෙන වෙනම තැන් තැන්වල,  වෙන වෙන ම සිට, වෙන වෙන ම වන්දනා කෙරුණේ ය. නඩේ ගුරුන් විසින් කියනු ලබන ගාථා කවි බැතිමත් හු ශබ්ද නඟා කීවෝය. ඒ සියළු කණ්ඩායම් වල හඬවල් එකට මුසු වී මහා ඝෝෂාවක් ලෙස බාහිරට ඇසෙන්නට පටන් ගත්තේ ය." (79-80 පිටු )


මේ කෘතිය ප්‍රධාන වශයෙන් බුද්ධාගමේ විකාශය සිදු වූ අයුරු, නවකථාව යන මෙවලම තුල, ඊට ඉතා සුදුසු අයුරින් කියා පායි.

  • බුදු රදුන්, පෙර ශාස්තෘවරුන්ගේ දහම් එක්කාසුව පෙරා, වැදගත් කුඩා කොටස තම යථාභූතඥාණදර්ශනය සොයාගැනීමට ආසනයක් කර ගත්තේ කෙසේ ද,
  • උන් වහන්සේ ඉවත ලූ කොටස තවමත් ආගමේ නාමයෙන් බුද්ධාගමට උරුමකම් පාන්නේ කෙසේ ද, 
  • වර්තමානය වන විට බුද්ධාගම එක්තරා අතකින් දෙව්දතුන් අතට ගියේ කෙසේ ද, එය එක් අතකින් වැලැක්විය නොහැකි වූ අයුරු ත්, 
  • එහෙත් තවමත් ඇවැසි අයෙකුට මුල් බුදු දහම සොයා ගත හැකි අයුරු - පුරාණ හිමියන් යන සංකේතාත්මක භාවිතාවෙන්              
                             - ආදිය පිළිබඳ ඉතා ඉහළ  නිර්මාණ කුසලතාවකින් පිරිපුන් වැ, බුදු දහම හා බෞද්ධ ඉතිහාසය ගැන පමණක දැනුමක් ඇත්තෙකු වසඟයට පත් කරනාකාරයෙන්, අප හිමියෝ රචනා කල ඇත්තෝය.


එහෙත් නවකථාව බුද්ධාගමේ විකාශය (හා විනාශය ) ගැන පමණක් කියවන්නක් නොවේ. රහල් හිමියන්ගේ කැන්වසය හා ජීවිත දැනුම වඩා පුළුල් පමණක් නොව, නූතන ය.

බුදු දහම දර්ශනය ආගමින් මුදවා ගැනීමට කැස කවන්නන් ඒ සඳහා විද්‍යාව ආයුධයක් කා ගැනීමේ නුසුදූ බව අප හිමියන් මැනවින් ගම්‍ය කරයි - බුදු දහම "ගර්භය" දෙස බලන්නට "අණ්වීක්ෂය" නම් අශූචි ගන්ධය නැගෙන  ආයුධය භාවිත කිරීම ඖචිත නිදසුනකි.(දෛනික ජීවිතයේ විද්‍යාව භාවිතාවේ අවශ්යතාව මින් ප්‍රතික්ෂේප නොවේ. )
අප හිමියන් බොහෝ ආගම් වල බැතිමතුන් "දෑස් අන්ධ කොට" දක්කාගෙන යෑම පිළිබඳ ඉදිරිපත් කිරීමට ද ඉතා අගනා රූපක භාවිත කොට ඇත. එසේ සාර්ථක රූපක භාවිතාවෙන් අනතුරුව, ගුප්ත වෙතින් නැගෙන වාක්‍ය සියල්ල කියා පායි.


"විමුක්තිය, ස්වර්ගය හෝ අවසන් සැපත වෙනුවෙන් ඔවුන් තුළ තිබූ ජීවිත් විශ්වාසයන් සියල්ල ඔවුන් අතේ ඇති අවසන් කාසියටවත් ලබා ගත හැකි යැයි විශ්වාස කිරීම භයානක විශ්වාසයක් නොවේ ද හාමුදුරුවනේ ?" (110-111 පිටු)
කතු හිමියන්, වර්තමාන අර්ථ ක්‍රමය තුල "මිටි මිනිසුන්" උස ඈයන්ගෙන් "පෙරී බිමට වැටෙන දේ" (trickle down effect of the Capitalist System ) වළඳා සැනසීමේ න්‍යාය තුල රැඳෙන අයුරුත්, එම මිටි මිනිසුන් බලැත්තන්ගේ උවමන්වාන්ට කස අතට දී, බලැත්තන්ගේ උවමනාවට පෙරහරේ යැවීමට හැකි වී තිබීම ගැනත් ඉතා මනරම් රූපක භාවිතාවක් මගින් පසක් කරයි. 
"මිටි උන් උස් උන්ගේ ඇඟිලිකරු  අතරින් පෙරී බිමට වැටෙන මිදියුෂ බිඳකින් උන්ගේ දරුවන්ගේ කුස තෙමා උන් බඩැගින්නේ සිට විලාප නැගුවෝය." (115 පිට )


"කරඬුව දෙවූ වතුරෙන් මුහුණ දොවා ප්‍රබොධය ලැබූ ඒ මිටි මිනූන් අතට රාජ පුරුෂයෙක් කස ලබා දුන්නෝය. කස අතට ගත් මිටි මිනිස්සු පෙරහට ඉඩ ගනිමින් කස ගසන්නට පටන් ගත්තෝය" (148 පිට )
පිටු 152ක් වන් අල්ප පිටු පමණකින් මෙතරම විස්මිත, නිර්මාණයක් කල අප හිමියන් ඇත්තෙන් ම පැසසිය යුතුමය. "Midnight's Children" කෘතිය  ට Booker of Booker ලැබුනේ කෙසේ ද, එලෙසම මේ කෘතිය ස්වර්ණ පුස්තක ගොන්නක් මැද ප්ලැටිනම් පුස්තකයකි ( මෙය ට ස්වර්ණ පුස්තක සම්මානය 
හෝ ලැබේ ද නොලැබේ ද යන්න අනෙකකි ). මේ කෘතිය ඉන්ගිලිසියට පෙරලා, මෙහි එන බෞද්ධ ඉතිහසායේ එන චරිත පිළිබඳ ප්‍රමාණවත් සටහනක් එක්කාසු කරන්නේ නම්, මෙය විශ්ව සාහිත්‍ය හා එකට එක සිටීමට තරම් සුදුසු කෘතියක් ලෙස මම තරයේ විශ්වාස කරමි.  

පෙරහන් කොට තෝරා, ධර්මාවබෝධයට ආසනයක් කොට ගත් තණ, හා ඉවත ලූ තණ:

නවකථාව ඔස්සේ බුදු දහමේ විකාශනය ගැන කියවෙන විචාරය සලකා බැලුවහොත්, සිද්ධාර්ථ ගෞතමයන් බුදුබව ලබනා අවස්ථාවේ උන්වහන්සේ වටහා ගත් ධර්මය, එතෙක් ලොව පැවති ඥාණ දර්ශනයක ක්‍රමික අවස්ථාවක්, බුද්ධ ඥාණය මගින් පිරීක්සා වැරදි මත, මිත්‍යා ආදිය ඉවත් කොට, තම ප්‍රත්‍යක්ෂ ඥාණය මඟින් අලුත් දෑ එකතු කොට "යථාභූත ඥාණ දර්ශණය" ලෙස දේශනා කල එකකි. එය අප ලේඛක හිමියන් ඉදිරිපත් කර ඇති අයුරු ඇත්තෙන්ම අපූරු ය.
"ඉරට බය වෙච්ච, සඳට බය වෙච්ච, වැස්සට බය වෙච්ච මිනිස්සුත් ඒ කරඬුව හදන්න සම්මාදම් වුණා" (34 පිටුව )  - බලන්න, අයිතිය කියා පාන්නේ කරඬුව සඳහා ය - අන්තර්ගතය උදෙසා නොවේ.
"බෝසතාණන් වහන්සේ එම කුසතණ බිම එළද්දි තව පිරිසක් බෝසතණන් වහන්සේ වට කර ගත්තෝය. ඔවුහු තමන් ගෙන ආ කුසතණ ස්වල්පය බැගින් බෝසතාණන් වහන්සේට පිළිගැන්නුවෝය. මේ පිරිස අතර කොණ්ඩඤ්ඤ ආදි පස්වග තවුසෝ ද, ආලාරකාලාම හා උද්දකරාමපුත්ත ද ,කපිල ඍෂිවරයා ද සිටියෝ ය. ඉතා පහසු ඉරියව්වකින් බෝමැඬ මුල ඉඳගත් සිද්ධාර්ථ තවුසාණෝ සියළු කුසතණ එක ගොඩකට දමා එම තණ සියල්ල මිශ්‍ර කළෝය. මිශ්‍ර කරමින්, එම තණ අතර තිබූ දිරා ගිය, ඉදී ගිය, මේරු කොළ හා ඊ තණ නොවන වෙනත් තණ වර්ග ඉවත් කළෝය. අවසානයේ බෝ මැඬ එළාගන්නට ඉතිරි වූයේ තණ ස්වල්පයකි.. සිද්ධාර්ථයන් වහන්සේ එම තණ පලස මත එරමිණියා ගොතාගෙන තැන්පත් වුණෝය. "(80-81 පිටු)
බුදුරදුන් ඉවත ලූ තණ බොහෝ අය අසුලා ගත්  බවත්, බුදු දහමේ නාමයෙන් වන්දනාමාන කරන බොහෝ "කරඬු" වල ඇත්තේ මේ ඉවත ලූ කොටස් මත සිට ඉදිරිපත් කෙරෙන  කොටස්  බවත්, බුද්ධඝෝෂ හිමියන් හෙළ අටුවා පාලියට නැඟීමේදි කලෙත් මෙම ඉවත ලූ කොටස ඉහළ ට ගැනීම බවත් අප හිමියන් ගේ අදහසයි. බුද්ධඝෝෂ හිමි ඉදිරිපිට දී, භික්ෂූ පිරිස කුඩා කරඬු "තම දෝත මත තබාගෙන ඔවුන් ඉදීරිපිට තිබූ එම මහා කරඬුවට වන්දනා කරමින් සිටියෝය. මේ භික්ෂූන් වාඩි වි සිටින්නේ බොස්තාණන් වහන්සේ බොමැඬ දී ඊ තණ පත් ශුද්ධ කරද්දි ඉවත ලූ තණපත්‍ර මත බව භික්ෂුව ඉක්මනින් ම අවබොධ කරගත්තෝය." (86 පිටුව ). 
අප ලේඛක හිමියන් මෙවන් මතයක් දැරුව ද, ධර්මය ට සිදුවන හානිය අවම කරගනු වස් එය "ආරක්ෂා කරලීමට" සුදුසු බසකින් ලේඛනගත  කර තබාගැනීමේ අවශ්‍යතාව පිළිගන්නා සෙයකි.
"මෙය හරියන කාරියක් නොවෙයි... අප මේ කිරි මත දුහුවිලි කුණු නොඇලෙන ලෙස මේ කිරි මුදවාලිය යුතුයි' චුල්ල පන්තක හිමියෝ නැවතත් කිරි බඳුන පෙරා ඊට මුහුන් යෙදුවේ ය. මුහුන් යොදා ටික වේලාවකින් එය ආරක්ෂා කලේ ය. කිරි බඳුන මිදී ගියේය... එය තද ඝන ගතියකින් යුක්ත වුයේය. තෙතමනය නැති වී එය වියළී ගියේය. එම ඝන වූ වියළි කිරි වාතයට අභිමුඛ කරගෙන සිටියේය... කණු අංශු රොඩු... සුළඟේ ගසාගෙන ආවේය. කිරි මත ඒවා වැටුණේය. එහෙත් ඒව කිරි මත නොරැඳුණේය." (84 පිට )

බුද්ධඝෝෂ හිමියන් වෙනුවෙන් වචනයක්:

අප ලේඛක හිමියන්ගේ බුදුදහමේ විකාශය පිළිබඳ පෙළගැසීම ට මා බොහෝ සෙයින් එකඟ වුණ ද, බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ කාරණයෙදි මා රාහුල හිමියන්ගේ මතයෙන් බැහැරව, වඩා විමසිලිදායක වීමට කැමැත්තෙමි. බුදුගොස් හිමියන් මාර්ගයෙන් බුදුරදුන් ඉවත ලූ කොටස් නැවත පාළි අටුවා තුලට ඇතුලත් වීමට අවකාශ ඇති කල බව රහල් හිමියන් චෝදනාත්මක ස්වරයකින් අඟවයි. එය එසේ වුවා නම්, අප ජාතික-සංස්කෘතික රාමුව තුල පැවත එන භික්ෂු පරපුර බුදුගොස් හිමියන්ගේ අර්ථකථනයට පක්ෂපාති වී සිටි බවට විශ්වාස කරන්නේ නම්, එහි අරුමයක් නැත. එහෙත් යුදෙව් සංස්කෘතියකට උරුම කම් කියනා, බුදු දහම ගැන පැහැදී, දර්ශනය පිළිබඳ ආචාර්‍ය උපාධිය ලබා, ඉන් අනතුරුව අප ආනන්ද මෛත්‍රේය හිමියන් යටතේ පැවිදි බාවයට ඇතුලත් වුණු, බෝධි ස්වාමීන් වහන්සේ, බුදුගොස් හිමියන්ගේ විශුද්ධිමාර්ගය ගැන පවසන්නේ මොනවා ද ?

"I have relied heavily on the Visuddhimagga (The Path of Purification ), a vast encyclopedic work which systemizes the practice of the path ( i.e. මේ කියනා මග අරි අටැඟි මග යැ ), in a detailed and comprehensive manner" (Preface - The Noble Eight fold Path - Bhikku Bodhi )
නවකථා රචකයෙකු වශයෙන් රහල් හිමියෝ, ශූරයෝ වෙති - ස්වර්ණ පුස්තක සම්මානය හඳුන්වා දීමෙන් අනතුරුව ප්‍රකාශ වූ සියළු පොත් අතරින් ස්වර්ණ පුස්තකය රන්කරඬුව යැයි කියවුනහොත්, මා එහි අසාධාරණයක් දකින්නේ නැත. ඒ බුදු රදුන් පංචශික ගේ රාග නිශ්‍රිත සංගීතය, ඔහුගේ දක්ෂතාව යන කාරණාව පමණක් සළකා වැනුවා සේය (උන් වහන්සේ රාගනිශ්‍රිත කොටස නොසලකා හැරූ සේක ). එහෙත් ධර්ම කාරණා පිළිබඳ තීරණ ගැනීමේදි, බෝධි ස්වාමීන් වහන්සේ වඩා නිවැරදි වීමට ඉඩ ඇති බව මම සිතමි. 

Friday, 4 September 2015

ඇදහිය නොහැකි නිහඬතාව - චම්පා වෛද්‍යතිලක


ඇදහිය නොහැකි නිහඬතාව - චම්පා වෛද්‍යතිලක

=================================
****
( 2014 ගොඩගේ නවකතා අත් පිටපත් තරඟයේ ජයග්‍රාහි නවකතා පහෙන් එකකි ; 2015 හොඳම නවකථාව
ගොඩගේ සම්මානයට නිර්දේශිත ; 2015 ස්වර්ණ පුස්තකය සඳහා අවසන් පූර්ව වටයට නිර්දේශිත )


මේ දම්සරණි ගැන කථාවයි. දම්සරණිත්, ඇගේ සැමියාත්, ඇගේ පවුලේ අයත්, ඇගේ සැමියාගේ පවුලේ අයත් ගැන කතාවයි - ඇය හා අම්මාත්, සහෝදර සහෝදරියන්, මස්සිනා ලා හා නෑණන්ඩියන් අතර ඇති සම්බන්ධතාව පිළිබඳ කථාවයි. ඇගේ කාර්යාල සබඳතා ගැන කථාවයි. ඒ අනුව මෙහි කථාවස්තුව පමණක් ගතහොත්, මෙය සුලභ ටෙලිනාට්‍ය කථාවක් විමට බොහෝ සෙයින් ඉඩ තිබිණි. එහෙත් මෙය එවැන්නක් නොවුණි. ඒ මෙය දම්සරණිගේ කථාව වීම උදෙසා කථිකයා නිර්මාණය කර ඇති ආඛ්‍යායනය හේතුවෙනි. කථිකයා දම්සරණි නොවේ. එහෙත් ඇගේ දෘෂ්ඨියෙන්, ඇයවත් වරෙක "කාචයට" හසුවන අයුරෙන් ආඛ්‍යයනය සිදුව ඇත්තේ අපූරුවට ය. සිහළ නවකථා වල එතරම් පභලව දැකිය නොහැකි ලක්ෂණයක් වන සියුම් උපහාසයක ඡායාවක් මතු වෙන අයුරෙන් හා, ඊට වඩා ප්‍රභලව සෝපාහාසයක් මතුවන අයුරෙන් මෙහි බොහෝ තැන ලියවී ඇත.
නිදසුන්:


(පිටු 39-40 : හමුදාවේ ඉහළ නිලධාරීන් සහභාගි වන සාදයක, ඔවුන්ගේ බිරින්දෑ වරු හා දම්සරණී අතර අවස්ථාවක් නවකථාවේ නිර්මාණය වී ඇත්තේ මෙලෙසය )
"ජාතියේ මුර දේවතාවෝ එංගලන්තයේ මහ රැජිනගේ දෙපා මුල වාඩි වී සිටිති. ඔවුන්ගේ බිරින්දෑවරු රැජිනගේ දෑතින් රූටා ගිය රාජ්‍යයක ඇගේ සිතුවම අඳිමින් සිටියෝය. දම්සරණි මුල්ලෙන් නැගිට විත් ඒ සිතුවමේ රටාවන් දෙස එබී බැලුවාය. ඒ සිතුවම වර්ණවත් කිරීමට ඔවුන් භාවිත කර ඇති පාට නොගැළපෙන බව ඇය දුටුවාය. ඔවුන් එය කර ඇත්තේ ඔවුන්ගේ සැබෑ උවමනාවට නොවන බව ඇයට පැහැදිලිය. කුමන හෝ හේතුවකට බියෙන් කරන්නන් වාලේ ඔවුහු එය කරති. ඒ චිත්‍රය කිසිදු හැඩයක් නැති, ගැළපෙන පාටක් නැති, එක බවට පත්ව, අසරණව ඇත්තේ එහෙයිනි.
'නුඹලා ඔය චිත්‍රය අඳින්නේ කුමක් උදෙසා ද ? කා වෙනුවෙන් ද? ' දම්සරණි බිසෝවරුන්ගෙන් ඇසුවා ය.
'අපි එය නොදන්නෙමු' තැතිගත් දෑසින් අයාගත් මුව්න් ඔවුහු එකවරම ප්‍රකාශ කළෝය.
'නුඹලා ට මෙසේ කරන්න ය‍යි පැවසූවෝ කවුරු ද?'
'අපි එය ද නොදන්නෙමු' "
 (පිටු 90-91): "නඩුකාරයා බැස ගිය පසු පිරිස කතිකා කර, දම්සරණි වැරදිකරු බව ඒකමතිකව පිළිගත් හ.කොටි ත්‍රස්තවාදීහු වරදින් මිදහස් කෙරිණි. අනතුරුව ඔවුහු එක් වෙස් මුහුණක් තනාගත් හ. එය නපුරු පෙනුමැති රුදුරු ගැහැනියකගේ මුහුණකි. එහි චපලකම හා කාමුක බව තිබිය යුතු යැයි එකෙක් යෝජනා කලේ ය. ආලෝකා ද එයට යමක් එක් කිරීමට උනන්දු වුවාය. ඇය පැවසුවේ කුඩුකේඩු ගතිය හා නුරුස්නා ගතිය එයට අවශ්‍ය බවයි. ආත්මාර්ථකාමි බව එහි නැතිවුවහොත් අඩුවක් බව විශ්ව ප්‍රකාශ කළේය. කපටි පෙනුම එයට එක් විය යුතු බවට අම්මා උපදෙස් දුන්නාය.
    මෙසේ සියල්ලන්ගේම සහයෝගයෙන් තනාගත් මුහුණ ඇයට පැලැන්දවීමේ උත්සවයක් සංවිධානය වුණි. එය මහා සභාවක දී කළ යුතු කාර්‍යයකි. එහෙත් වෙස් මුහුණ පැලඳවීමේ වගකීම බාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවුණි. එය ගැටලු සහගත තත්ත්වයක් බවට පත් විය"

දම්සරණිගේ විෂාදයේ ස්වභාවය ගැන ද සැකයක් පාඨකයා තුල ට ඒත්තු ගැන්වීමට කතුවරිය සමත් ව ඇත. ඇයට යමෙකු ගේ යථාසිතුවිල්ල යම්තාක් දුරකට තේරුම් ගැනීමට ඇති හැකියාව, හා ඇයෙගේ "භූත පෙනුම" හේතුවෙන් ඒ අය තමන්ගේ යථා ස්වරූපය යම්තාක් දුරකට වටහා ගත් යැයි ඇති වන සැකය, ඈ වෙත අන් අයගේ හැසිරීම ට ප්‍රධානත ම හේතුව බැව් පසක් වේ.

නවකථාවේ මා දුටු තව එක් ගුණාංගයක් නම්, මෙහි බොහෝ චරිත ඉතා ගැඹුරෙන් විග්‍රහ කොට, ඒ ඒ අවස්ථාවන්හි සිතුවිලි හා අපේක්ෂා පාඨකයා අභිමු තබා තැබීම යි. ඇගේ මව, ගිහාන්, ආලෝකා, සෞම්‍යා ආදි වශයෙන් චරිත බහුතරයක ට මෙම සංග්‍රහය කොට ඇත. එක් නිදසුනක් සෑහේ:

"...ගිහාන් සමරනායක මැතිතුමා ට ඊට වඩා යමක් අවශ්‍ය විය.නොලැබීම ඔහුව වෙනත් අතකට රැගෙන ගියේය. ඔහු ප්‍රතික්ෂේප වී ඇත. ඔහු නිකුත් කළ ප්‍රකාශයන් බල රහිතව ශුන්‍ය බවට පත් වෙමින් සිටියේය. එයට ප්‍රතිචාර ලබුණේ නැත ....කාමරයට ගොස් වෙනත් ඇඳුමක් ඇඟලා ගත්තේය; පිටව ගියේ ය .... ආවේගශීලි ලෙස නිවෙසින් පිටව යන සැමියා නතර කරගැනීමට උත්සාහ කලේ ද නැත. එය සම්ප්‍රදාය බැහැර කිරීමකි. ආයාචනාත්මකව නතර වන ලෙස බැගෑපත් වී කරන ඉල්ලීමක් ඔහුට අවශ්‍ය වුණි. එහෙත් එය ද ඉෂ්ඨ වුනේ නැත. එහෙයින් ඔහුගේ කෝපය දෙගුණ-තෙගුණ විය" (48 පිටුව )  


මේ කෘතිය ලේඛිකාව ලියූ පළමු කෘතියයි; එහි සාධනීය ලක්ෂණ, ඍණාත්මක ලක්ෂණ සංඛ්‍යාත්මකව හා ගුණාත්මකව අභිබවා ගොස් ඇත. වරෙක දම්සරණි "ඇගේ රික්තකය තුල", නැතහොත් "ඇගේ නිහඬතාවේ" මනෝ ලොව තුල තනි වෙද්දි, පාඨකයා වෙහෙසට පත් විය හැක (මේ රික්තක හා නිහඬතා අඳුනාගැනීමට කෘතිය කියවා ඉඳින්න ). එහෙත් මේ නොසැලකිය හැකි දුර්වලතාව හැරුණු කොට, 2014 දී ප්‍රකාශ වූ කෘති අතරින්,මෙය  හොඳ, හා නැවුම්  නිර්මාණ අතරට නම් කරන්න මා පැකිලෙන්නේ නැත.