Monday, 6 May 2024

ලියසැවි ලිහී ගිය ගනසාමඬුලු - ලක්ශාන්ත අතුකෝරල


 මෙය කවියාගේ නවවෙනි ස්වතන්ත්‍ර සංග්‍රහය විය යුතුය. මා ලක්ශාන්තගේ කවියේ රසිකයෙකු වූයේ ඔහුගේ මුල් කවි පොත් හතර නිසා ය. ඊට පසුව ප්‍රකාශ වූ 'සමහර කමටහන්' කාව්‍ය සංග්‍රහයට ද මා බොහෝ ලැදිය. මේ සටහන ලියන අවස්ථාව වන විට මා තවම නොබැලූ ස්වත්‍රන්ත්‍ර කාව්‍ය සංග්‍රහයන් දෙකක් ලක්ෂාන්ත ප්‍රකාශ කොට ඇත. ඒවා ද අනාගත දිනෙක කියවීමෙහි අදහසක් අප සතු වේ. කවි පොත් විෂයෙහි, ප්‍රධාන වශයෙන් තරමක් වේගයෙන් කියවා යා හැකි සංග්‍රහයන්, සහ දෙතුන් වතාවක් කියවා තේරුම් ගැනීමට උත්සාහ කල යුතු ආරේ කවි රැගත් සංග්‍රහයන් ලෙස, දෙවර්ගයක් මා අත් විඳ ඇත. ඊට සිංහල භාෂාව පිළිබඳ ඇති දැනුමේ සීමාසහිත බව  බලපාන බව පැහැදිලිය. මීට අමතරව, දුෂ්කර බන්ධන වැනි පදපේළි, කවියේ සමස්තයට නූචිත යැයි හැඟෙන වදන් ආදිය අප සමහර කවියන්ගේ නිර්මාණ අතර හමු වේ. එවිට ඇත්තටම කවි පොතක් කියවීමට කාලය ගත කිරීමේ ඇති ප්‍රයෝජනය ගැන මට ම ප්‍රශ්ණ නැගෙනා අවස්ථා නැත්තේ නොවේ. එවන් වටපිටාවක, සහ පොත් කියවීමේ කාලය වඩාත් සීමිත වටපිටාවකය, වසරකට කවි පොත් හතර පහක් හෝ කියවීමට යොමු වන්නේ.

ලක්ශාන්තගේ කවිය කියවීමට වෙසෙස් කැමැත්තක් මා තුල බිහි වී ඇත්තේ ඔහුගේ කවි බසේ රසත්, වස්තු විෂයන්හි සිත් ඇදගන්නා සුළු බවත් නිසාය. එහෙත් විය යුතු ලෙස ම ලක්ශාන්ත තම කවිය නොනිමි අධ්‍යයනයන් ගේ ආභාෂයෙන්, වඩ වඩාත් මුවහත් කරගැනීමට උත්සාහ කරන බව පැහැදිලිය ( මා මෙය 'අනබිසෙස් අන්බිනික්මන්' ගැන මාගෙ සරල සටහනේ ද සඳහන් කලේය). මාගේ කියවීම් පරාසයට හසු වූ ආකාරයට, 'අනබිසෙස් අන්බිනික්මන්' හි ට වඩා කවියා පුළුල් භාෂා හා විෂය පරාසයක තම නිර්මාණ කර්තව්‍යයේ නිරතව ඇත. මේ බව අපට පළමු කවියේදී ම දැනුනි. 'සරාගය' නම් කවියේ එන භාෂාව එක්තරා මට්ටමකට හෝ ලක්ශාන්ත, ටිම්‍රාන් කීර්ති ට හුරු කවි බසක් වෙත යෑමක් දෝ යි සිතෙන සුළුය.

'තාත්තගේ කෙහෙල්මල් කැමැත්තෙන් වැඩක් නෑ කියා
අම්ම වුණත් කුද ගගත්තදෙන් කියද්දිත් ඔයා
නොවැටහෙයි ඒ ගෑනු දහිරිය මදිව ගිය නියා
කළ යුතුව තිබූ දේ හිතන්නට මට බැරුව ගියා'

පෞද්ගලිකව මේ පද පේලි වලත් මේ කවි පංතියේ අන් තැන් වලදීත් භාෂාත්මක අසංඝතබවක් වැන්නක් මා සිතට වද දෙයි.

මීට සාපේක්ෂව 'හිතින් ගමනක්' වැනි නිර්මාණ වඩා පරිපූර්ණ ලෙස ට ය අප ට හමු වූයේ. එහි අප වඩාත් ප්‍රිය කරනා ලක්ශාන්ත හමු වූවා ද විය හැකිය.

කහ ලන්තෑරුම් එළි සහ නිල් කළුවර           දරන
මහ කමතට ඇවිදින් වී කාටු හුළං                කරන
රහ බලමින් කහට විතක් රෙදි ගොටුවෙන් පෙරන
අහ ගනිමු ද ගොවියන්ගේ කෑ කොස්සන්     පරණ
අන් තැනෙක 'ගුස්ටාව්' වැනි කවියක් සැලකුවහොත්, එහි වඩා පූර්ණ රසවින්දනයක් උදෙසා කවියට අනතුරුව සටහනක් ලෙස ගෙනහැර දක්වා ඇති ඔහුගේ චිත්‍ර නිර්මාණ සොයා දැක බලා කවිය කියවීම, වඩා අර්ථාන්විත බව හැගුනි.

බොහෝ තන්හි ලක්ශාන්තගේ අපූරු කවි බස අප හට යම් චම්ත්කාරයක් ගෙන ආවද, කවි විෂය ඒ හැම අවස්ථාවේම ඊට අනුපූරකත්වයක් ලබා නොදෙන බවකි අපට හැඟුනේ. කවි මනස සියුම් විෂය කෙරෙහි සංවේදී වීමත්, අප ගේ නොනිත් ලෙස කාලය හා ගැටෙනා ගොරහැඬි බවත් අතර පරතරය මිට හේතු වනවා විය හැකිය.   'තණකොළ සිනහව', 'ආම්පන්න සම්මේලනයේ දී', 'කරදමුංගු කරාබුනැටි' ( මේ කවේ අවසන් පද පේළි දෙක කවිය ගෙන යන අභව්‍ය ස්ථානය ගැන ද අපට එතරම් පැහැදීමක් නැත ), 'කුරුල්ලනනි', අපට එසේ සිතුනු තැන් ය. සමහර කවි විෂයන් තරමක් සුලභ යැයි සිතුනි.'අබිලිං අප්පුහාමි','දෙවියෙකුට', එසේ හැඟුණු අවස්ථා දෙකකි.

සත්‍ය වශයෙන් ම,  එනම් කවි බස, කවි විෂය, මා කැමති විදිහට ගැලපුණු අවස්ථා කිහිපයකි අප ට  මෙහි හමු වුනේ. මා වඩාත් සිත් ගත්තේ එම කවි යැයි සිතමි. 'සිවදීපන්', 'හිතින් ගමනක්', 'බෝගන්විලා', 'වැරැන්ඩාවේ දී', 'ඇත්ත සිතුවම', ඊට නිදසුන් ය.

අවසන් වශයෙන් කීමට ඇත්තේ, කවි කියවීමේ මගේ සීමාවන් ගැන නොපහන් හැඟීමෙන් මේ කාව්‍ය සංග්‍රහය දීර්ඝ කාලයක් තිස්සේ, කවි පංතියෙන් පංතිය වාගේ කියවා අවසන් කල බවකි. එය අසම්පූර්ණ කියවීමක් බව ද දනිමි. මීට පෙර කිය වූ ඉසුටු චාමර ගේ 'මමත්වතා' කියවීමේදි ඇති නොවූ අභියෝග පිළිබඳව ද සඳහන් කර මේ කෙටි සටහන අවසන් කරන්නේ, මෙය ආරම්භයේ කියූ කාව්‍ය සංග්‍රහ වර්ග දෙක ට නිදසුන් ලෙසටය.

ශ්‍රේණිය: ***1/2
හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි ගොඩගේ සම්මානය, 2021
ප්‍රකාශනය, විදර්ශන (2021)


No comments:

Post a Comment