උක්ත කෙටිකතා එකතුව කතුවරයාගේ දොලොස්වැන්නයි. මගේ සීමිත කියවීම අනුව ජයතිලක කම්මැල්ලවීර සමඟ, හා එතරම් ප්‍රමාණයක් ම පාහේ කෙටිකතා ලියුවන් අතර අපූරුම කෙටිකතා රචකයා ය. මෙය ඔහු ලියූ දොළොස්වැන්නයි - මා ඔහුගේ කියවූ ද දොළොස්වැන්නයි.
ඉතින් එම දොළොස්වැන්න කෙසේද ?
මෙතෙක් මා කියවූ එරික් ගේ කෙටිකතා එකතු අතරින් අඩුවෙන් ම සිත්ගත්තේ 'චයිනා ටවුම' කෙටිකතා සංග්‍රහයයි. 'ජාත්‍යන්තර පාපොච්චාරණය', ඊට තරම්ක් උඩින්, සහ අනෙක් මා කියවූ සංග්‍රහයන් ට පහළින් ඇතැයි සිතමි.
මෙහි එන කෙටිකතා දහයෙන්, එළුවා, ජාත්‍යන්තර පාපොච්චාරයණය, සහ හෙදියකගේ එදා මෙදා පුවත්, මා වඩාත් රස විඳි නිර්මාණය. මෙයිනුත්, වෙසෙසින් එළුවා කෙටිකතාව කියවාගෙන යන කල, එම දැදුරු ගං ඉවුරේ එන ගුප්ත කතා ගෙනෙන හැඟීම පාඨකයා තුලට ගෙන ඒමට සමත් ය. පසු ගිය සමයේ තිබූ සංස්කෘතික ඝට්ඨන ඉතා සාර්ථකව ගෙනෙන්නේ, මුන්නේශ්වරම් ප්‍රදේශයේ බහු ආගමික ශ්‍රද්ධාව ගෙනහැර දක්වමිනි. කතෝලික ප්‍රජාව බහුල වූ හලාවත ප්‍රදේශයේ එම ජනකායෙන් බොහෝ අය මුන්නේශ්වරම් දේවාලයේ උත්සවයට සහභාගි වන්නේ වතාවකට සහභාගි වන අයුරෙනි. නගරයට සංක්‍රණය වූවන් පවා දින දෙක තුනකට එදවස එම උත්ස්වය උදෙසා එහි ගියේ කොළඹ වෙසෙන දකුණේ සහ රජරට ජනයා සිංහල අවුරුද්දට ගිය ආකාරයටය.
ජාත්‍යන්තර පාපොච්චාරණය දෙවැදුරුම් ය. මෙහි එන කාන්තාව තම ස්ත්‍ර්‍රිත්වය, ලිංගිකත්වය අලෙවි කිරීමට මැළි නොවන්නේ එය විඳීමට ඇති දෙයක් පමණක් නොව, ප්‍රායෝගික තලයේ දී තමන් මුහුණ දෙන ප්‍රශ්ණ වලට එම ගණුදෙනුවන් පිලියමක් ලබා ගත හැකි නිසාය. තම රට මෑත ඉතිහාසයේ මුහුණ දී තිබූ ගැටළු වල අළු මත්තෙන් නැගී සිටීමට ප්‍රයත්න දරන්නියකි, ඇය. මෙම සැසිවාරයට සහභාගි වන නිලධාරියා ට මුහුණ දීමට සිදුව ඇත්තේ මුළු ලොව පිළිගැනීමට කැමති ලිංගිකත්වය පිළිබඳ නූතන අදහස් තම රට පිළිගැනීමට ඇති අකමැත්ත මත එක්තරා අන්දමක තමන් හා සමඟ ජාත්‍යන්ත්ර පාපොච්චාරණයක් යෙදෙන්නටය. ඒ අර්ථයෙන් එය ඉතා සාර්ථක නිර්මාණයකි.
එරික්ගේ ලිවිම අනුව ඔහු බොහෝ පොත පත, සිනමා, සහ අනෙක් කලා කෘති කියවා ඉන් පෝෂණය වූවෙකු බව පැහැදිලිය. අන් රටවල් ගැන බොහෝ විස්තර හේ සංචාර වලට අමතරව පොතපතින්, සහ සංචාරක හා වාර්තා චිත්‍රපටි මගින් උකහාගෙන ඇති බැව් සිතිය හැකිය. පරදේසි වැනි නවකතා මගින් මෙම ආභාෂයේ උපරිම අවස්ථා දැකිය හැක්කෙ, එවන් නිර්මාණ වල සාර්ථකත්වය මතය. එහෙත් විටෙක මෙසේ එක්කාසු කොට ඇති දැනුම හේ කැටිකොට, තම නිර්මාණ වලට ඔරොත්තු නොදෙන මාත්‍රාවෙන් භාවිත කරන්නේ යැයි සිතේ. මෙම කෙටිකතා එකතුවේ බොහෝ නිර්මාණ මෙම අධිමාත්‍රා භාවිතයෙන් විශ්වාසනීයත්වය යන කාරණාව ලඝු කරගෙන ඇති බවකි, අපගේ සීමිත කියවීම් අනුව අපගේ අදහස. ඉන් මෙහි එන කෙටිකතා රසවත් නොවෙන බවක් නොකියවේ. එක් කෙටිකතාවක් තුල දිගැරෙන රසවත් අතුරු කතා හේතුවෙන් ඒවා බොහෝ විට රස ගුලාවන් ය. ඊට හොඳම නිදසුන මෙහි එන මෝමුස් ගිවිසුම නම් වූ කෙටිකතාවයි. ඔහු ඉතා ශූර ලෙස කෆ්කාගේ බලකොටුව නවකතාවේ එන කේ. ගේ චරිතය හා මෙහි එන එඩ්මන්ඩ් සසඳයි. ඒ අතර කේ. ජයතිලක හල්ට්ස්ඩෝෆ් සිට පොත් ලියමින් තම පොත් සාප්පුව හා මුද්‍රණාලය ගෙනගිය අයුරු පවසයි. කෙටිකතාව ආරම්භයේ සාහිත්‍ය නිර්මාණයේ යෙදෙන නීතී ක්ෂේත්‍රය හැ බැඳි සිංහල ලේඛකයුගේ සාහිත්‍ය භාවිතාවේ සාර්ථකත්වය ප්‍රශ්ණ කරනා ස්වභාවයක්ද අයෙකුට හඳුනා ගත හැකිය.
"ඒ වගේ හීනෙන්වත් හිතන්න බැරි දේවල් මේ ළමයි ලියනවා. ඔවුන් ඒවා දකින්නේ සාමාන්‍ය දේවල් හැටියට යි. ඔවුන් හිතන්නේ නීතිය මඟින් ඔවුන්ට ජීවිතය බලන්න අමුතු කණ්ණාඩියක් දීලා තියෙනවා කියලා. මේක අලුත් නීති සාහිත්‍යයක් වගේ දෙයක්. එහෙම නැති නම් නීතියට පේන්න පටන් අරගෙන තියෙන ව්‍යාජ ජීවිතයක් වෙන්න පුළුවන්... එහෙම ජීවිත කොහේ ද තියෙන්නේ? එහෙම සාහිත්‍ය කොහේ ද තියෙන්නේ?" (78 පිටුව)
වෛශ්‍යාවගේ සමරු පොත, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, මැලේ දොස්තර, අයිස් යුගය, ආදි කෙටිකතා වලින් ද මෙම ලක්ෂණ අඩු වැඩි වශයෙන් දැකිය හැක. හෛඩැගර්, content writing වැනි නවීන රැකියා අවස්තා, හෝමියෝපති වෙදකම, ආදි විවිධ විෂයන් පිළිබඳ අප කතුවරයා ආසක්ත වී තම රචනයේ යෙදෙන්නේ, එම කෙටිකතා වල විශ්වාසනීයත්වයට අඩු ලංසුවක් දෙන ආකාරයෙනි. නිර්මාණ සාහිත්‍යකරණයේ දී, විශ්වාසනීයත්වයට වඩා තමන් ඒත්තු ගන්වන සමාජ පණිවුඩය වඩා වැදගත් බව යැයි තෝරා ගැනීම කතුවරයාට හිමි අයිතියක් ලෙස අයෙක් තර්ක කිරීමට පුළුවන. එයට විරුද්ධ වීමට තරමක සාහිත්‍ය දැනුමක් අප සතුව නැත. ඉහත විවේචනය අප ඉදිරිපත් කලේ, ඍජු ලෙස මායා යාථාර්තවාදි යැයි සැලකෙන නිර්මාණ සාහිත්‍ය භාවිතයකට නොගොස්, බොහෝ දුරට යථාර්තවාදී සීමාව තුල ලියවෙන නිර්මාණ ලෙස සලකද්දී, එක් එක් කෙටිකතාව තුලට ලේඛකයා ඔබ්බවා ඇති කරුණු කාරණා ඒ ඒ කෙටිකතාව පරිපූර්ණ නිර්මාණයක් ලෙස සැලකීමට අභියෝග කරන බවක් හැඟුණු නිසාය.
ශ්‍රේණිය: ***1/2
හොඳම කෙටිකතා සංග්‍රහය - රාජ්‍ය සාහිත්‍ය, සහ විද්‍යෝදය සම්මාන, 2021
2021 ප්‍රකාශ වූ කෙටිකතා කියවීම - 7
No comments:
Post a Comment