Friday 11 November 2022

ජීවිතයේ ඔයිල් පැල්ලම් - තරිඳු ශ්‍රී ලොකුගමගේ

සිංහල සාහිත්‍යයේ වරින් වර සුවිශේෂි නවකතා මතු වේ. මට දැනුණු ඒ මෑතක පළ වූ සුවිශේෂි නවකතා කිහිපයක් නම්, එරික් ඉලයප්ආරච්චි ගේ බගන්දරා, ලියනගේ අමරකීර්ති ගේ අටවක පුත්තු, අනුරසිරි හෙට්ටිගේ ගේ කළුවරයි පුරහඳ, තාරකා වාසලමුදලිආරච්චි ගේ කළු, සේන තෝරදෙනියගේ බණ්ඩර මැරූ උන්, මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව, සේපාලි මායාදුන්නේ ගේ මහාසාමි, සහ කෞශල්‍ය කුමාරසිංහගේ නිම්නාගේ ඉතිහාසයයි ( මේ ලයිස්තුව සම්පූර්ණ නොවේ.) එම සුවිශේෂි බව රැඳෙන්නේ, තමන්  නැරඹූ චිතපටියක මතකයන් මෙන් එම පොත ගැන කතා කරනා විට එහි සිද්ධියක් දෙකක් මතුවීමේන් අතීත මිහිරක් සමඟ, ආයේ කවදා හෝ කියවන්නට ඉඩක් ඇත්තේයැයි යන හැඟීම සමගය. ඒ කුලකයට එක්කාසු වන අලුත් ම පොත තරිඳු ශ්‍රී ලොකුගමගේ ගේ "ජීවිතයේ ඔයිල් පැල්ලම්" ය. මෙම පොත අදාළ වර්ෂය තුල නිර්දේශයට පත් වූයේ ස්වර්ණ පුස්තක සම්මානයට පමණි- එය එම සම්මානය අගය කිරීමට හෙතුවකි. එහෙත් අවසන් වටයට පැමිණි එම පොත, ජයග්‍රහයණයට ගෙන ඒමට තරම් රැඩිකල් වීමට අප විනිසුරු මඬුළු පසුබට වන්නෝය ( එලෙසම නිම්නාගේ ඉතිහාසය අවසන් පූර්ව වටයේද, මගේ ආදරණිය යක්ෂනී අවසන් වටයේද සැලි ගියේය - ඒ වෙනුවට භේරුන්ඩ කැදැල්ල, හඳ පළුව තනි තරුව වගේ වඩා ආරකෂාකාරි නැතහොත් දේශපාලන මාතෘකාව මත ම යැපෙන පොතකට සම්මානයක් පිරිනැමෙයි). පුලිට්සර හෝ බුකර් සම්මානයේදී මෙවන් සම්මත භාෂා, රීති වලට අනුකූල නොවූ නවතම ආරේ නවකතා වලට මීට කලින් සම්මාන ලැබී ඇත (මෑත නිර්දේශයක් - A Brief History of Seven Killings ). 


ඉතින් ජීවිතයේ ඔයිල් පැල්ලම් වනාහි ඇත්තෙන්ම "වැඩකි". අප රට පැරණි කාර් හා බැඳි පුරාවෘත, බ්‍රෝකර් රස්සාව, අප රට සැමදේම තීරණය කෙරෙනා දේශපාලඥ්ඥයන් ට ලද හැකි පෞද්ගලික වාසි, කුල පීඩනය හා ඉන් බලපෑම් ලත් අය ජීවිතයේ යම් ස්ථාවරත්වයකට පැමිණි කල ඔවුන්ගේ ප්‍රතික්‍රියාවන්, වලවු පවුල් වල සමහර අයගේ විකෘති ආශා, පමණක් නොව අහිංසකකමේ සාපේක්ෂ බව හා කපටිබවේ විවිධ ස්ථර ද මේ නවකතාවේ සමස්ත රසයට බලපා ඇත.  බත්පත රස ගන්වන තවත් ව්‍යාංජයක් සේ, අපූරුවට නවකතාවට බරක් නොවෙනාකාරයෙන් සුමටව, නවකතාවේ රසය ට, ගැඹුර ට ධනාත්මකව බලපෑමක් ගෙනෙනාකාරයෙන් මේ සියළු අතුරු මාතෘකා සං‍යෝග කරගැනීමට කතුවරයා සමත් ව ඇත. අයෙක් මෙහි අසම්මත භාෂා භාවිතාව ගැන දෙස් දුන්නොත්, කිව හැකි සරලම කාරණාව, නූතන තරුණ බ්‍රෝකර් වරයෙකු යම් හෙයකින් ඔහුට ඇති සුවිශේෂි කතාවක් කීමට ඇතොත්, ඔහුට භාවිත කිරීමට හැකි බස යොදා, ස්වාභාවික ආකාරයෙන් මෙය ලියැවි ඇති කියාය. මෙය සම්මත භාෂාවෙන් ලියුවොත් මෙහි වටිනාකම නැත - වඩා වැදගත් වන්නේ අපට මෙතෙක් හෙළිදරවු නොවුනු පැතිකඩක් එළිදරවු වීම; ඇරත් මෙය නිර්මාණාත්මක සාහිත්‍යයකි.

අප රටේ බ්‍රෝකර් වැඩේ පමණැක් නොව, පාතාලේ වැඩ පවා "mind game" එකක් බවට සනාථවෙනාකාරයේ උපක්‍රම භාවිතා කල මෙවන් නවකතාවක් මට මතකයට නොනැඟේ.

මෙය කියවිය යුතු ම නවකතාවක් බවත්, මට මේ පොත ගැන එතරම් විශ්වාසයක් නොතිබුණු හෙයින්, මෙයත් එතරම්ම විශ්වාසයක් නොතිබුණු භෙරුන්ඩ කැදැල්ලත් පුස්තකාලයකින් බැහැරට ගෙන කියවූ බවත්, එහෙත් පොත කියවා අවසන වන ඉව්ට, "ජීවිතයේ ඔයිල් පැල්ලම්" පිටපතක් නම් මා සතු විය යුතු බව ට තහවුරු හෙයින්, ළඟකදී ම ඉන් පිටපතක් මිල දී ගන්නා බවත් ( භේරුන්ඩ කැදැල්ලේ පිටපතක් අවශ්‍ය වන්නේ නැත ) පමණක් කියා, පොතේ රස තැන් කිහිපයක් පහත ලෙස අමුණමි.

1- අප රටේ සංස්කෘතියේ කොටසක් ව ඇති රැවටීමය. එය තමන් කොයි ස්ථරයේ සිටියද තිබෙන්නකි.  රැවටෙන්නට ඇති බිය නිසාම මෙය නොනිත් ගැටුමකි.

"...මේ වන විට ජීවිතයේ හතළිස් වෙනි සැතපුම් කණුව ආසන්නයට සම්ප්‍රප්ත වී ඉන්නා නිසා, මට පසුපසින් ආ පරම්පරාවක් මා අන්දන්නට තරමට ලොකු වී ඇතැඉ යන බය ලාවට විතර මගේ හිටේ ඇති විය" (68 පිටුව)

2- අප රට සාමාන්‍ය ගමක ජාතිවාදය ක්‍රියාත්මක වන ආකාරයත් අන් ජනවර්ගයක් දෙස මධ්‍යස්තව බැලීමට ඇති අපහසුකම් වලට හේතුත් මෙහි කියවෙන අතුරු මාතෘකාවකි.

"කොහොම වුනත් මේකෙන් ස්දු වූ ලොකුම අවුක වූයේ දෙමළ මිනිස්සු පවු නේද කියා සිතුවිල්ලක් මගේ සිතේ ඒමය. වාසනාවකට ඇන්ටන් අයියා මුස්ලිම් මිනිස්සුන් ගැන මොකුත් කීවේ නැත. එහෙම වූවා නම් වැඩේ ඩබල් දෙල් වේ, ඉස්සර බණක් කියන වාරයක් ගානේ සොළීන්ගෙන් පටන් අරගෙන මුරලිදරන් දක්වාම බැන්න පන්සලේ ලොකු හාමුදුරුවී පස්සේ ඒක අත් හැර අෂ්‍රොෆ්ගෙන් පටන්ගෙන නෝලිමිට් එක හරහා මැටියානේ හාඩ්වෙයාර් එක කරන මොහොමඩ් දක්වා සනුහුරයට පටන් ගත්තෝය. ( 87 පිටුව)

3- මෙහි එන උපහාසාත්මක කියුම්‍ ය. එහි ඇති සත්‍ය නිසා ම ඒවා රසවත් ය.

"අපේ පරම්පරාව යාන්තම් හතළිහට එන විට වස් පින්කම් බෙදාගන්නට පොරකද්දී ඇන්ටන් අයියා හැත්තෑවට කිට්ටු වී හිටියදී පවා ලංකාවේ නැති කාර් අයිති කරගන්නට හීන දකියි. මට පොර ගැන එක්තරා විදිහක ගෞරවයක් ඇතිවිය" ( 155 පිටුව)
මීට අමතර ව මෙම නවකතාව පුරා ඇති හාස්‍යජනක කියුම් පොතේ රස තීව්‍ර කරයි.

4- ලංකාවේ සාර්ථක මිනිස්සු ( මෙය ආර්ථික අර්ථයෙන් විය යුතුය) ගන කියවෙන කතාව "පොල්ලෙන් ගැහුවා වගේ" බොහෝ දුරට සත්‍යය.

"ලංකාවේ සාධාරණයෙන් දියුණු වෙච්චි එකම එක මිනිහෙක් වත් නෑ මහත්තයා. ලංකාවේ ඉන්නේ සාධාරණයෙන් ජීවත් වෙන බව පෙන්වලා අසාධාරණයෙන් හම්බ කරලා ගොඩගිහින්,  ඒ අසාධාරණ වැඩ ලෝකෙන් වහං කරපු මිනිස්සු." ( 235 පිටුව)

2020 ප්‍රකාශ වූ නවකතා කියවීම - 8
ශ්‍රෙණිය: *****
ප්‍රකාශනය - සයුර (2020)


No comments:

Post a Comment