Saturday, 19 November 2022

මීදුමාරේ සළු උනා - සුදර්ශන සමරවීර


සුදර්ශන ගේ මීට පෙර මා කියවා තිබුනේ සුනෙත් කාන්තගේ ශෝකාන්තය නම් වූ කෙටි කතා සංග්‍රහය පමණි. ප්‍රබන්ධානන්දය ද මා සතු වුවද, උඩෙන් පල්ලෙන් පිටු පෙරලීමකින් එහෙට ගොහින් නැත. සුදර්ශන සමරවීර ගේ  සමඟ යම් තරමකින් සංවාදයේ යෙදී ඇති හෙයින්,  ( මට ටෙරී ඊගල්ටන් ගේ විචාරය හඳුන්වා දුන්නේ ඔහුයි), ඔහු සාහිත්‍ය ගැන කෙතෙරම් ගැබුරින් සිතන්නේද යන්න ගැන සුළු හෝ අදහසක් තිබෙන හෙයින්, ඔහු ගේ කවිපොත ද අන් පොතක් ගන්නට ගිය විටෙක දැක, මිල දී ගෙන, එදින ම කියවීම ඇරඹීමට  සිත් විය. 


කවි පොත කියවීම ඇරඹුනු පසු ව වරෙක ප්‍රේමය ම සංග්‍රහයේ ප්‍රධාන මාතෘකාව යැයි සිතෙනා තරමට ඊට වෙන් වුණු කවි වලින් පොහොසත් වූ දමිත් උදයංග ගේ "තෙමි තෙමි ම මම" නම් කාව්‍ය සංග්‍රහය මතකයට නැගිනි. එනුමුදු සුදර්ශන ගේ කවිය උදයංග ගේ තරම් ම ලිහිල් ව කියවාගත නොහැක. බොහෝ විට සරල බසකට නැඹුරු වීමට යත්න දැරුව ද, පද පේළි බෙදීම මගින් දෝ යම් ආයාසකාරී කියවීමක්  කවි තුලින් දැනිනි. බොහෝ විට කවියේ පද පේළි කිහිපයක් ඔස්සේ යම් අත්දැකීමක, භාවයක උපරිම තලයට ගමන් කිරීමේ නැඹුරුවක් දනුණි. එය සර්ථක වුණු ආවස්ථා මෙන්ම කියවීම තරමක් අසීරු කරවනාකාරයක් ගෙන ආ අවස්ථා ද බොහෝ විය.

"රාගල කඳු පංති පෙනෙන මානෙක
ඔබ මා අතර දුර තනන ඔබ වසන
මන්දාරම් නුවරනිම්නෙ නිවසන හවසක
ඔය නළලෙ ඉකි ගහන හිම සදිසි පිනි පොදය
කොණ්ඩ ගස් අස්සෙන් බේරි බේරි කියනකොට
'දැන් ඉතිං ඔබ යන්න...'
නුවන් අග බේරෙනා මොහොතෙදිම ඒ පින්න"
                      ( සමුගැනීමක අතරමග)
කවියා ට සංවේදී මොහොතක් නිර්මාණය/ආවර්ජනය කිරීමට ඇති බව පැහැදිලිය. ඊට වස්තු බීජයන් ද ඔහු සතු වේ. එහෙත්, ඔහුට ඊට භාවිත කරනා රූපක, අත්දැකීම්, දෙබස් ආදිය වැඩි දෝ යි සිතේ. පෙර කි ආයාසකාරි කියවීම  සුදර්ශන ගෙනෙන්නේ ඒ නිසා ද?

එහෙත් මෙහි තැනෙන් තැන සෙල්ලක්කාර, දඟකාර ප්‍රේමයක කවි ද ඇත්තේය ("වොලිබෝල සෙල්ලම නම් අපේ ප්‍රේමය"). ප්‍රේමය ම බොහෝ කවියට මාතෘකා වූව ද, ඉන් සමහර කවියක් කියවීම ආයාසකාරි වේ. තැනෙක දෙකක වඩා සාර්ථක කවියක් "තෙමි තෙමි ම මම" ම මතකයට නගයි ( "ඇහිපිය බර නින්ද නේන රෑ මැදියම" ). එහෙත් එහි ද පබැඳුම තරමක් සංකීර්ණය.

"ෆිල්ටරෙත් අහිමිව පිං මදව ඉපදුන
කැප්ස්ටන් බටයක
බාල දුම් ගොබ වලාකුළු මැද
අත් වැරැද්දක්
ඇස් පනාපිට බින්ද ප්‍රේමයෙ
තිතක් නැති මතක ගොබ
ආයෙ ආයෙම ලියලන
නින්ද නේන අහිපිය බර රෑ මැදියම
සුසිනිඳු නැත පෙම සිඳි සිත"

වඩා රසවිඳි කවි වල මෙම සංකීර්ණත්වය බොහෝ සෙයින් අඩුය. "අර හොරෙන් බලන ඇස් දෙක" ඊට නිදසුනකි. වියළි කලාපයේ සැඳෑකල් සුන්දරත්වය, එහි ගැහැට ආදිය ගැන ලියැවුණු කවි ද රස වින්දෙමි ( "දසුන් මනරම්ලු සැඳැකල") .

කවියෙකුට ඔවදන් දීමට තරම් ඒ පිළිබඳව දැනුමින් තොර වුව ද, මේ කවි මත තව ටිකක් ශ්‍රමය වගුරා ඔපමට්ටම් කිරීමට ඉඩ තිබේදෝයි සැකයක් මගේ සිතේ ඉතිරිවිණ. 

ශ්‍රේණිය: **1/2



No comments:

Post a Comment