Thursday 24 November 2022

ගස් කට්ටිය - කීර්ති වැලිසරගේ

 අද වන විට බොහෝ ඇගයීමට පාත්‍රව ඇති, සිංහල නිර්මාණාත්මක සාහිත්‍යයේ නොමැකෙන නාමයක් පිහිටුවා ඇති කීර්ති වැලිසරගේ ගේ පළමු කෙටි කතා සංග්‍රහය වූ ගස් කට්ටිය කියවීමි. එහි එන කෙටිකතා නවය ගැන මගේ රසවිඳීම පහත පරිදිය.


ඒ අසූව දශකයේ දෙවෙනි බාගය විය යුතුය. මැලතයින් ගන්දයක් කොළඹ පුරා පැතිර ගොස් තිබිණි. එකල කුඩාවෙකු ව සිටි මට එතරම් විස්තර මතක නැතත්, එම ගන්ධය සැම තැන පැතිර තිබූ අයුරුත්, අංගොඩ පැත්තේ වූ යම් කාන්දු වීමකින් එය සිදු වූ බවටත් ආරංචි විය ( එහි නිරවද්‍යතාව ගැන එතරම් අදහසක් නැත  - අප ඒ වන විට දෙහිවල-ගල්කිස්ස ආශ්‍රිතව විසුව ද, එම ගන්ධය දැනුනු බව මතකය). අප කතුවරයාට එම සිදුවීම් යම් මට්ටමකින් "දෙවියන්ගේ මනාපය" නම් කෙටි කතාව ලිවීමට එය ආභාෂයක් වූයේ දැයි සිතමි.  මෙහි එන ඉස්පිරිතාල විස්තරය වුව, IDH රෝහල යැයි සැක කල හැක. කතුවරයා එම විස්තරය භාවිත කොට කොහොමත් දරිද්‍රතාවෙන් පෙළුනු මිනිස්සුන්ට, ගහෙන් වැටිච්චි මිනිහා ට ගොනා ඇනීමක් ම බවත්,  එම කාන්දුව ගෙන ආ විනාශය, ප්‍රබන්ධයක් ආකාරයෙන් කෙටිකතාවට ගෙන ආ සෙයකි. කතුවරයා පෙරවදනේ කියා ඇත්තේ 1986-1994 අතර කාලයේ ලියැවුණු කෙටිකතා මෙසේ ග්‍රන්ථාකාරයෙන් එළි දක්වා ඇති බවය. (සුගත් වටගෙදර සංස්කරණය කල "කීර්ති වැල්සරගේ ගේ තෝරාගත් කෙටිකතා" ග්‍රන්ථය ද ඇරඹෙන්නේ මෙම කෙටිකතාවෙනි. එනම් බොහෝ පාඨකයින් කීර්ති වැලිසරගේ ගේ කෙටිකතා කියවීම ඇරඹුවේ මෙම කෙටි කතාවෙන් විය යුතුය. එහි ඇති යම් ඓතිහාසික වටිනාකමත්, "පින් පවු" වලට, දෙවියන්ගේ මනාපයට ඉඩ දෙමින් අප රට වෙසෙසින් දිළින්දන් බොහෝ දේ ඉවසනා ආකරය පිළිඹිබු කෙරුන ද, ඉන් ඔබ්බට කෙටිකතාවේ කලාත්මක අගය යම් ප්‍රාථමික මට්ටමක තිබිණි. නිදසුනක් ලෙස මෙහි චරිත සේවය කරන්නේ ඔහුගේ පණිවුඩය පසක් කරලීමටය. කෙටිකතාවේ ආරම්භය තරමක් නවකතාවක ආරක් ගනී.

"නාය යාම" වඩා සාර්ථක කෙටි කතාවකැයි සිතමි. කතාවේ ගලා යෑම, විවිධ වු හැරවුම් ලක්ෂණ, ජීවිතයේ අහම්බය, ඉතා ස්වාභාවික ලෙස ගෘහස්ත ජීවිතයේ හැලහැප්පීම් මගින් සාර ව ගලා යයි. එක් අතකින් ජීවිතයේ ධර්මතාවක් යන්නක් නොවෙතයි සිතෙනාකාරය. කිම ද සිරිසේන බිරිඳට බීමතින් පහර නොදුන්නේ නම්, බිරිඳ මහගෙදර නොයන්නීය. සිරිසේන සූදු පොළට නොගියේ නම්, ඔහු බිරිඳ වෙත රළු පරළු නොවී, තියෙන දෙයක් කා, අවසන් නින්දකට රැයේ වැටෙනු ඇත.

(කර්තෘ කොතැනවත් මේ සිදුවීම් මේ මේ ප්‍රදේශයේ සිදු වන බව නොපවසතත්, ඔහු මාළාඹේ වසන්නෙකු වීමත්, පසුගිය දශක තුනහමාර පමණ එම ප්‍රදේශයේ සිදු වූ වෙනස්කම් නිසාත්, ඒ හා ගලපන්නෙමි. කොළඹට ආශ්‍රිත කැස්බෑව, කොට්ටාව ආශ්‍රිත ප්‍රදේශ වලට ද මෙම ගැලපීම අඩු වැඩි වශයෙන් උචිත බවට සැක නැත.) මේ කෙටිකතා සංග්‍රහය මා සිත් ගැනීමට මුල් වූ හේතුවක් නම්, එය ඔස්සේ අසූව දශකය අග තලංගම, කඩුවෙල පෙදෙස් වල සිදු වූ වෙනස දැක ගත හැකියැයි මා සිත ඇති වූ හැඟීමයි.  ඔය කියන කාලයේ මා දෙහිවල වෙසෙමින් පාසැල් ගිය අතර, අප පාසලට තලංගමින්, මාළාඹෙන්, පැමිණි සිසුන් බොහෝ ඈත පලාතක සිට පැමිණියන් ලෙස දිටුමු. අනූව දශකයේ අගට වන්න අප දෙමාපියන් ද, මාළාඹේ ටවුමෙන් ඇතුලට වන්න ට ඉඩමක් ගෙන ගෙයක් සාදා පදිංචි වූ කල, මෙහි කියවෙන රබර වතු පමණක් නොව, රබර් ගස් ඉවත් කර එහි තොරතුරු තාක්ෂණ සමාගම් වල අලුත් මාදීලියේ කාර්‍යාල, විශ්ව විද්‍යාල වලට පඹුරු පත් ඇති කිරීම ආදිය සිදු විය. දැනට SLIIT එක තිබෙන විශාල පෙදෙස අක්කර ගණණක විශාල ඉඩමකි. ඉතින් එවන් වටපිටාවක "සල්ලි සහ මිනිස්සු", "ගස් කට්ටිය" ආදි කෙටි කතාවලින් එම බිම හෙළුණු ගස්-කොළ ගන්ධය පවා හමන සුළුය.  මේ කියනා කාලය, තලංගම ආශ්‍රිත පෙදෙස් වල ගම්බද කාලයේ අවසන් වසර දශකය විය යුතුය. ගස් කැපූ මාගිරිස්, සියාතු ලා ගේ දරු පරපුර එක්කෝ ඔවුන්ගේ ඉඩකඩම් සංවර්ධනයේ නාමයෙන් විකුණා තවතවත් ඇතුලට - එනම් රණාල, හබරකඩ, නැත්තං හංවැල්ලෙන් ද එහාට ගොහින් ද ? නැතිනම් ඒ වෙනස්කම් ලබාදුන් අවස්ථාවන් භාවිත කොට අලුත් ව්‍යාපාර වලට අතගසා තිබිය හැක. සල්ලි හා මිනිස්සු කෙටිකතාවේ සන්දර්භය ගතහොත්, තමන් කරන ගස් කපනා කාර්‍යයත්, ඊට ලැබෙන මුදලත් පමණක් ගැන සිතමින් සිටි පිරිසට, ඉන් අයෙකුගේ මරණාසන්න සිදුවීමක් පොදු අවදිකිරීමක් බවට පත් විය. අප සාමාන්‍යයෙන් දකිනුයේ මාගිරිස් වැනි චරිත නොවේ - මුදල පමණක් ගැන සිතන, තමන්ගේ වරදක් පිළිගත නොහැකි චරිතය. මේ කියනා අවදියේ කතුවරයාට මෙවන් චරිතයකට අඩිතාලම දැමීමට ආභාෂයක් ලැබීමට එවන් චරිතයක් වීමම සතුටට කාරණාවකි.

ගස් කට්ටිය කෙටිකතාව ගතහොත්, වෙනස් වීම ම වෙනස් නොවෙනා එකම කාරණාව බව සනාථ කෙරෙනා කෙටිකතාවකි. කලෙක කුඹුරු ගොඩකර රබර වැවූ බිමේ, රබර් ගස්ම කැපි බිම වැටී හඬා වැටෙනමුත් ඊළඟ පරපුර ඔවුන්ගේ ජීවිකාවේ බලාපොරොත්තු නව යොවුනන් තුල ඇතිකරමිනි.

සුමතිපාල සිහින දකින්නෙකු මිස, තම රාජකාරියෙන් පිට කිසිවක නිරතවන්නෙකු නොවේ. තම භාර්‍යාවගේ උත්සාහවන්තකමට කිසිදු උපකාරයක් නොකරන හෙතෙම, ඇගේ එක් බලාපොරොත්තුවක් ගිලිහීයාමට ඉඩ තිබෙද්දී, ඈට ඇති වූ කෝපය හේතුවෙන් ම යම් පිබිදිම ක ට ලක් වේ. මෙහි එන අන් කෙටි කතා තරම්ම නැවුම් නොවූව ද, පහළ මැද පාංතික නිවෙසක මීට වසර තිහකට එපිට ජීවන රටාව පිළිඹිබු වන බවට සිතිය හැක.

යමෙකුට උපකාරයක් කිරීමට ද සැමට සිතෙන්නේ නැත. උපකාරය කෙටිකතාවේ අගහිඟකම් වලින් පෙළෙන දරුවාගේ මාමාට, ඔහු ට උදවු කරනා, අපහසුවෙන් මාසය 'ගැටගහගන්නා' ගුරුවරයාට වඩා ආර්ථික ශක්තියක් ඇති බව පැහැදිලි මුත්, එම මාමා මාර්ගයෙන් ඔහුගේ ඉගෙනීමේ අඩුපාඩු මකාලීමේ අදහසක් හෝ එවන් ඉල්ලීමක් කරලීමේ කැමැත්තක් සිසුවාට හෝ ඔහුගේ දෙමාපියන්ට තිබී නැත.

දරුවෙකුගේ නිර්මාණාත්මක අවස්ථාවන් මතු වන නිසඟ අවස්ථාවන් හා, තරඟයකට දරුවෙකු එවන් නිර්මාණාත්මක ආශාවන් පිබිදිය නොහැකි වීමේ ඉඩ ගැන ගැන පන්වන තරඟයට චිත්‍රයක් කෙටි කතාවද රසවත් ය.

මෙහි එන පිටු දෙකහාමටකත් වඩා කෙටි තනි වූ දැරිය ඇත්තෙන්ම වචන මගින් මැවෙනා චිත්‍රයකි. එහි කතාව පාඨක අප මගින් මතු කර ගත යුතුය.

කෙටිකතා සංග්‍රහය අවසන් වන්නේ සිරිපාලට තෑග්ගක් කෙටිකතාවෙනි. ගමක අවුරුදු උත්සවයක් ආශ්‍රයෙන් ලියැවී ඇටි මෙම කෙටි කතාව ගමක සිටිනා විවිධ චරිත පිළිබඳ හෙළිදරව්වකි. එක් අතකින් පොදු උත්සව අවස්ථා තුලින් යම් කිසි වාසියක් පතනා අය සැම දා අප සමාජයේ වූහ.

ලේඛකයාගේ පළමු කෙටිකතා සංග්‍රහය වශයෙන් සලකන විට මෙහි රස විඳිය හැකි ආරේ සාර්ථක කෙටිකතා කිහිපයක් ම ඇත. සංග්‍රහයේ අග භාගය, මුල් කොටස තරම් ම රසවත් නොවූවද, කතුවරයාගේ නිර්මාණ සාහිත්‍ය හදාරණ අයෙකු කියවිය යුතු සංග්‍රහයක් ලෙස සිතමි. සුගත් වටගෙදර සංස්කරණය කල කීර්ති වැලිසරගේ තෝරාගත් කෙටිකතා කෘතියේ මෙහි එන මුල් කෙටි කතා හතර හමුවීමෙන්, මෙහි එන සාර්ථකම නිර්මාණ එහි ගොණු කර ඇතැයි යන ඇගයීම හා එකඟ විය හැක.

ශ්‍රේණිය: ***1/2
ප්‍රථම මුද්‍රණය: 1994 ( ගොඩගේ ' රු. 50.00)

No comments:

Post a Comment