Saturday 26 February 2022

කන්ද උඩ ගින්දර - ජැක්සන් ඇන්තනි

බොහෝ කලාවන් හී දක්ෂතා පෙන්වා ඇත්තෙකු ලෙස ජනප්‍රිය, ජැක්සන් ඇන්තනීගේ කර්තෘත්වයෙන් පළ වූ නිසා ම, පළ වූ 2019 වසරේ මහත් කතා බහටත්, බොහෝ අයගේ පැසසුමටත් ලක් වූ කෘතියකි. ( එම කාලයේම දස්කොන්-ප්‍රමිලා ප්‍රේමකතාව ටෙලිනාට්‍යයක් ලෙස පෙන්වා ඇතැයි කියවුන ද, එය අප ඇහැට දැක නැති හෙයින් එය හා මෙය සැසඳීමට අප නොදනී. ) අප මීට පෙර ජැක්සන්ගේ "පනාපුත්‍රගේ කතා වස්තුව" මහත් රස විඳ ඇති හෙයින්, නළුවකු ලෙස වඩා ප්‍රසිද්ධ වුවද, ජැක්සන් ලේඛන කෞශල්‍යයන් ගැන විශ්වාසයෙනි,  මෙම පොත ගැන බලාපොරොත්තු තබා ගත්තේ.   ඔහු පොත ට දෙන ප්‍රස්ථාවනාවේ, සෑහෙන ශ්‍රමයක් යොදා, ඉතිහාසය විකෘති නොකර, අප ට මගැරුණු අංශ වෙත ප්‍රබන්ධමය දිගැරුමක් ගෙන ඒමේ අදහසින් පොත ලියූ බව පවසයි. "චරිත එකිනෙක ගැටෙන විට ඇති වන අන්තර් සිතුවිලි සහ සංවේදන 'කන්ද උඩ ගින්දර' තුළ අන්වීක්ෂණය කරන්නට උත්සාහ කළෙමි", යැයි පවසයි.  ‍මෙම කාරණාවට මූලිකත්වය දෙමින්, කුන්ඩසාලේ කුමාරයාගේ කුමාර කෙළි ලොල් අවධියේ හැසිරීම්, ඔහුගේ කුමාර අවදියේ සිත් ගත් පෙම්බරිය හා ගත කල මිහිරි අවස්ථා ආදිය තිබුන ද, පෙර සිරිත අනුව සෙංකඩගල රජුට  රන්දෝළි බිරිඳක් තෝරා ගනීම ඇතුළු බොහෝ කාරණාවන් වලදී, තම අභිමතයනට අනුව පමණක් ක්‍රියා කිරීමේ නිදහසක් නැති අයුරු අප කතුවරයාගේ මූලික විෂය වී ඇති බව පැහැදිලිය.   ඒ අනුව ම පෙර රජදරුවන් ඒකාධිපතියන් වීමේ අවකාශයනට සැලකිය යුතු සීමාවක් තිබූ බව පෙන්වීමත්, කතුවරයාගේ ප්‍රමුඛ අභිලාශ අතර වූ බව පැහැදිලිය. හබාඩ් ( ඔහු නොක්ස් හා සමවැසි ඉංග්‍රීසි සිරකරුවෙකි) ලන්දේසි වාර්තාවකට පවසා ඇත්තේ දහතුන් වියේදී ද "Prince full of fire" කියාය. එවිට දහහත් වැනි වියේදී, මෙම පොතේ ආරම්භයේ කියවෙන ප්‍රේමාලිංගනයේ විස්තරය අතිශයෝක්තියක් ලෙස ගත නොහැකි යැයි සිතේ. වැලන්ටින් (Valentyn) ද පවසා ඇත්තේ රජු සතුව "නොදැමුණු චරිත ස්වභාවයක් සහිත භයානක කෲර පාලකයෙක් කියාය ( had a wild disposition and was a dangerous man and a tyrant" )1 .එනුමුදු වැලන්ටින් පවසනා පරිදි භයානක චරිත ලක්ෂණයක් නම් ඇන්තනිගේ නරේන්ද්‍රසිංහ චරිතයේ නැත. අපට හමුවන නරේන්ද්‍රසිංහ චරිතය තමන් ව ඝාතයනයට තැත්කල වූවන් ට ද මරණ දඬුවම පනවන්නේ, රාජ්‍ය නීතියෙන් ඔහුට එය බල කෙරෙන නිසාය. නරේන්ද්‍රසිංහ රජු ට අභිෂේකයෙන් අනතුරුව, මෙම කෘතියේ අවධානය සීමා වූ කාල පරාසයේ තම අභිමතයන් අනුව ක්‍රියා කරලීමේ අවස්ථාවන් ඉතා විරළ බවකි, කතුවරයා පෙන්වා දෙන්නේ. ඔහු තෝරාගත් මුඛ්‍ය කාරණාවන් පෙන්වාදීමේදී, නවකතාවේ කාලපරාසය, නරේන්ද්‍ර්‍රසිංහ රජුගේ රාජ්‍යත්ව කාලයෙන් 1/4ක ට පමණ සීමා කරයි.  එනමුදු අප සතු ඉතිහාස කෘති වල පවසන්නේ නරේන්ද්‍රසිංහ රජු තරමක් තම රාජකාරිය පැහැර හැරි රජතුමෙකු ලෙසය. සෙල්ලම් නිරිඳු ලෙස නම් කෙරුණු රජු, මේ නමට ඔබින ලෙස තම මුළු රාජ්‍ය කාලයෙම හැසිරුණාදැයි කීමට තරම් කරුණු කාරණා අප දන්නේ නැත. මෙම නවකතාවේදී,  කතුවරයා, ඉතිහාසය පදනම් වූ  චිත්‍රපටියකට, නැතිනම්, ටෙලිනාට්‍යයකට උචිත ආකාරයේ හැඟීම්වලට මුල් තැනදෙන අයුරෙන්, අලංකාරෝක්තියෙන් සපිරුණුව,  අනේක කවියෙන් සුපෝෂිතව, මෙම නවකතාව ගොතා ඇත. වර්ණනා අධික මාත්‍රාවලින් ඇත. මෙම ලක්ෂණ සමහර පාඨකයන්ගේ අභිරුචිය නොවන්නට ද පුළුවන. එහෙත් සමස්තයක් ලෙස දොසක් කීමට තරම් රචනාවක් ද නොවේ.


මෙහි එන සුවිශේෂී සිද්ධියක් ලෙස මා දුටුවේ, රාජ්‍යත්වයට නරේන්ද්‍රසිංහ රජුගේ නම යෝජනා කෙරෙන අවස්ථාවයි. ඒ මහ නිලමක්කාර වරුන්ගේ රැස්වීමේ  විස්තර විචිත්‍රවත් ලෙස ජැක්සන් මවා ඇත්තේ, එම කාලයට ගැලපෙන වාංමාලාවලකින් සුපෝෂිතව, පාඨක විශ්වාසය රැකගන්නා ගමන් ය. පට්ටියෙ බණ්ඩාර ගෙන් මෙවන් අභියෝගයක් ආ බවක් මා අසා තිබූනේ නැත. එවිට අප හැරෙන්නේ ඉතිහාස පොත් වෙතටය. මේ උක්ත කාලය ගැන ලියැවුණු මා සතු පොත් දෙකක් වනුයේ, නැසී ගිය ලෝනා දේවරාජා මැතිණියගේ "The Kandyan Kingdom of Sri Lanka - 1707-1782"  සහ මන්දාරම්නුවර චන්දානන්ද හිමියන් විසින් සංස්කරණය කල "මන්දාරම්පුර පුවත" ය. මෙම අවස්ථාව එම පොත් දෙකේ සඳහන් නොවේ - එය ඓතිහාසික ලේඛනයකින් සොයාගත්තක්දැයි නොදනිමි.

දස්කොන් හෙවත් ගැස්කන්ට්, මෙම නවකතාවේ සැලකිය යුතු තරමේ චරිතයකි. මහ රජුගේ හොඳම මිතුරා වන ඔහු ට දෙවෙනි අධිකාරම් තැන ලැබෙන්නේ, මහරජුගේ දිවිආරක්ෂාවට කෙතෙරම් සේවයක් කල ද  ඔහුගේ සිතැඟි පිළිබද යම් අදහසක් රජුට තිබීම නිසා ම, ලෙව්කේ නොදීම නිසාය. මෙයත්, රදළයන් අතර වූ බෙදීම හා තරඟයත්, රජුගේ, ඔහුගේ නෑයන්ගේ, රැජිණන් ගේ සිත් වල ගිනි එක්කාසුව, කන්ද උඩ ගින්දරක් ලෙස ය අප කතුවරයා පෙන්වා දෙන්නේ. දස්කොන්-ප්‍රෙමිලා සබඳතාවක විභවයක් ඉතා පැහැදිලිව මෙහි දැක ගත හැකි වුවත්, එය මෙම නවකතාව අවදානය යොමු කරනා කාල පරාසයෙන් ඔබ්බේය. එනුමුදු, ඉතා පැහැදිලි ලෙස ඊට කරුණු කාරණා යෙදෙන විදිහ පෙන්වා දෙයි.

2019 ප්‍රකාශ වූ නවකතා  දහසයක් (!!?) කියවීමට තෝරගතිමි. දැන් දැන් මගේ ඉලක්කය සපිරීමට ලඟාවන්නේ, මේ දහහතර වැන්න නිසාය. (මින් මෙපිටට මෙතරම් නවකතා ගණණක් කියවීමෙන් වැලකි සිටීමේ වැදගත්කම දිනෙන් දින තහවුරු වේ). මෙම නවකතාව ඒ කතා දහහතරේ මධ්‍ය ස්ථානයක ට පමණ පෙළ ගැස්වීමට තරම් සාර්ථක රචනයක් ලෙස දකිමි.

2019 ප්‍රකාශ වූ නවකතා කියවීම -14
ශ්‍රේණිය: ****



page 74; ( ch. 4 Narendrasimha and his nobles 1707-1739)  The Kandyan Kingdom of Sri Lanka 1707-1782: Lorna Dewaraja

 


No comments:

Post a Comment