Thursday 17 February 2022

බැද්දේගම කියවීම සහ සිලිඳු දැකීම - එරික් ඉලයප්ආරච්චි


ලෙනාඩ් වුල්ෆ් ලියූ The Village in the Jungle ( VitJ) නම් වු ඉංග්‍ර්‍රිසි නවකතාව කියවීමේ මූලික හේතුව, එරික් ඉලයප්ආරච්චි මෑතක පළ කල "බැද්දේගම කියවීම සහ සිලිඳු දැකීම", යන කෘතියෙන් උපරිමයක් ග්‍රහණය කිරීමයි. VitJ පොතෙන් අඩක පමණ කියවා එරික් ගේ පොත උඩින් පල්ලෙන් පෙරළු විට පෙනී ගියේ ඔහු ඒ.පී. ගුණරත්න 'අනුවාදනය' ( ඒ. පි. ගේ අර්ථදැක්වීම) ට වැඩි බරක් ලියා තම කෘතිය ලියා ඇති බවකි. කරන්න දෙයක් නැත. කවරයෙන් කවරය නොකියවුව ද, මුල් බසින් කියවිය හැකි කිසිවක් පරිවර්තනයක් ලෙස කියවන්න අකමැති මා ගුණරත්නගේ පොතක පිටපතක් හදිසියේ ගත්තෙමි.

ගුණරත්න අනුවදනයට පෙරවදනක් ලියන සරච්චන්ද්‍ර (1949) වැදගත් කාරණා කිහිපයක් මතු කරයි.

සරච්චන්ද්‍ර ( උපුටනය 1)
  (සරච්චන්ද්‍රගේ පළමු උපුටනය පිළිබඳ) මෙම කොටසින්, සරච්චන්ද්‍රයන් සැමදා විශ්වාස කලා යැයි සිතිය හැකි, යථාර්තවාදි නවකතාව ගැන පමණක් නොව, 'සත්‍ය ජය ගනී' ආදී තහවුරු නොකල හැකි කියමන් වල ඇති අවිශ්වාසනීයත්වය ගැන ද හේ ඉඟි කරයි.







සරච්චන්ද්‍ර ( උපුටනය 2)




(සරච්චන්ද්‍රගේ දෙවෙනි උපුටනය පිළිබඳ) මට මේ කියන කාරණාව ගැන නම් එතරම් පැහැදීමක් නැත. මා තැනින් තැන ගුණරත්න අනුවාදනය කියෙව්ව ද මට එය එතරම් සිත් ගත්තේ නැත. ඊට ආසන්නම කාරණාව, ස්වභාවික දෙබස් භාවිතාවෙ දී එදාට වඩා අද වන විට සිංහල නවකතාව වර්ධනය වී ඇති නිසා යැයි සිතිය හැක. අනෙක, මට මැවී පෙනෙන්නේ චිත්‍රපටියේ සිළිඳු ගේ, බබුන් ගේ, වෙදරාළ ගේ රංගන විලාශයන් සහ දෙබස් ය. මෙහි තිර පිටපත ඒ. ජේ. ගුනවර්ධන ගේ ය. මෙම තිර පිටපතේ දෙබස් වඩා තාත්වික බවයි මගේ අදහස. එක් නිදසුනක් පමණක් ගනිමි. චිත්‍රපටියේ දී, තමන් වරදකරු වූ බවට තීරණය වූ විට, බබුන් පවසන්නේ
"මං හොරකං කෙරුවේ නෑ හාමුදුරුවනේ.. මුං ඔක්කොම කියන්නේ බොරු..."
                                               කියාය. එම කොටස ම ගුණරත්න අනුවාදනයේ එන්නේ මෙලෙසිනි.
"හාමුදුරුවනේ මා මේක කළේ නෑ. මට හිර ගෙට යන්ට බෑ හාමුදුරුවනේ, මේ ඔක්කොම බොරු. මේ මුලා දෑනියා කියාපු තරමක් කීවේ ඔක්කොම බොරු, එයා මාත් එක්කලා තරහ යි."
බබුන් වැන්නෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි ආරේ වචන භාවිතයකි, මා මෙම ගුණරත්න අනුවාදනයේ දකින්නේ.

එරික් ගේ විචාර කෘතියේ දෙවෙනි පර්ච්ඡේදය කියවත්ම හැඟෙන්නේ, මා මෙතෙක් කියවූ VitJ කෘතියත්, තැනින් සසඳා බැලූ ගුණරත්න පරිවර්තනයත් මා දුටු ආකාරය හා එරික් දකිනාකාරයේ යම් වෙනස්කම් ඇති බවකි. එරික් මෙම කෘතිය ට ආශ්‍රේය ග්‍රන්ථයක් ලෙස Victoria Glendinning ලියූ වුල්ෆ් ගේ චරිතෝපදානය  ද, VitJ කියවීමට යම් ආභාෂයක් ලෙස භාවිත කොට ඇති සේය. වඩා සම්පූර්ණ ලෙනාඩ් වුල්ෆ් කෙනෙකු දකිමින්, මෙම විචාර කෘතිය ලිවීම ඇත්තෙන් ම කල යුත්තකි.  ග්ලෙන්ඩිනිංගේ පොතෙන් පර්වර්තන කරන කොටසක් උපුටමින් හේ පවසන්නේ, "මට සිතෙන්නේ මේ රටේ මිනිස්සු එක්කෝ දෙවිවරු නැතිනම් සත්තු" කියාය. එයත්, වඩා මෘදුබවක් ඉඟිකරනා 'සිළිඳු' යන නමත් ඔස්සේ, එරික් VitJ යම් පැස්ටෝරල් (Pastoral) ඉංග්‍රීසි කලා කෘතියක, ලාංකික ආදේශකයක් දැකීම, 'අධි-කියවීමක්' නොවෙන බවට පවසතත්, මා පෞද්ගලිකව එහි යම් අධි-කියවීමක් දකිමි. මා සිළිඳු යන නම තුල දකින්නේ, පොළොවට හා සතා සීපාවට නොදැනෙන්නට කැළෑව පීරිමට දත් බව හා, දවස පුරා උක්කුටියෙන් ගෙපිල මත වාඩිව ඈත බලං ඉන්නා අදහස් වලින් අවම අහිංසකයෙකු ය. ඔහු ට ඇත්තෙන්ම තමන් ව "දඩයම්" කරන බව වැටහෙන්නේ බබුන් හා ඔහු ට විරුද්ධව නඩුවකට පෙනී සිටීමට ගිය විටය. ඔහු තුවාල වූ කුළූ මීමෙකු වන්නේ එදා ය. ඇරත්, වුල්ෆ් බොහෝ තැනෙක පවසනේ වනාන්තරයේ කෲරත්වය ගැනයි. අවසර ලත් විට කැළෑව මිනිස් වාසාස්තානය ආක්‍රමණය කරන්නකි.

එරික් මෙහි පවසනා තවත් දෙයක් වුල්ෆ් නියෝජනය කල අධිරාජ්‍යවාදි පාලනයේ දුබලතා ගැනයි. එය ගැන දීර්ඝ විස්තරය  ඉහත කී චරිතෝපාදානයේ තිබෙන්නට පුළුවන. එහෙත් නඩුකාරයාගේ වදන් තුල, එම ක්‍රමයේ ඇති සීමාවන් ගැන යම් පිළිගැනීමක් විනා, සමස්ත ක්‍රියාදාමය පිළිබඳ විවේචනයක් ඍජු ලෙස නොදැක්කෙමි.

හුදෙක් නවකතාව වෙත අවධානය යමු කරන්නේ නම්, එහි සිළිඳු හා බබුන් ට විරුද්ධව නඩුව අසන අවස්ථාවේ යම් නොගැලපීමක් නැත්තේ නොවේ. එය නඩුකාරයා නොදුටු අවස්ථාවක් ද? බබුන් ට එවැන්නක්  පෙන්නුම් කරලීමට තරම් අවබෝධයක් නැති වග පැහැදිලිය. ගම්මුලාදෑනියා පවසන්නේ, බවුන් අදක්ෂ සහ අලස නිසා ඔහුට හේනක් නොදුන් බවටය. එහෙත් ඊට පසුව විත්තිකරු වෙනුවෙන් පෙනි සිටි නීතීඥ්ඥයා අසන්නේ ප්‍රනාන්දු මුදලාලි, බබුන් ගමේම ඉන්නා දක්ෂතම ගොවියා නිසා ඔහුට ප්‍රනාන්දු මුදලාලි වෙනුවෙන් හේන් පරීක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටියා නේද කියාය. ඉංග්‍රීසි පොතේ බබුන්ගේ උත්තරය, "Yes, I think so", කියාය - ගුණරත්න එය පෙරලා ඇත්තේ "එහෙම වෙන්ඩ ඇති" කියාය. නඩුකාරයාට මුලෑදෑනියාගේ කීමේ සහ ප්‍රනාන්දු කීමේ පරස්පරයක් නොපෙනීම මගින්, මෙම නීති ක්‍රියාදාමයේ තවත් අඩුපාඩුවක් පෙන්වා දෙන්නේද ?

දෙවෙනි පරිච්ඡේදයේ අග කොටසේ, එරික් වැඩි වශයෙන් යොමු වෙන්නේ පැවති රාජාණ්ඩු මගින් හෝ, යටත්විජිත ආණ්ඩුව මගින් හෝ, සිළිඳුලාට කිසිදු පිළිසරණක් තබා, සාධාරණත්වයක් ඉටු නොවූ අයුරු පෙන්වා දීමටය. ඊට නිදසුන් ලෙස මාක්ස් දකුණු ආසියාවේ සමාජ ආර්ථිකයත්, යටත් විජිත සමයේ එම සමාජ ආර්ථික ක්‍රමයේ සිදු වූ වෙනස්කම් ගැන කියූ දේ ඔස්සේ, මෙම නිර්මාණය කියවීමට යත්න දරා තිබීම පෙන්වා දිය හැක.

තෙවෙනි පරිච්ඡේදය මූලික වශයෙන් වෙන් වන්නේ එම ප්‍රදේශය පිළිබඳ හැදෑරීමකටය. එරික්, වරින් වර එංගලන්තයේ පැස්ටෝරල් හෙවත් එඬේර මූලික පෙදෙසක් ගැන පවසා, එයත් බැද්දේගමත් අතර ඇති අහසට පොළොව මෙන් වූ භූ සහ දේශගුණික වෙනස්කම් ගැන කියාපානා මුත් ඊට හේතුව මට වටහාගත නොහැක. කෙසේ හෝ, පහල ඌවේ, ගිරුවාපත්තුවේ ජනකවි ආශ්‍රයෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතය ගැන කතා කිරීමට මෙම පරිච්ඡේදය පාවිච්චි කොට  ඇත. එනුමුදු මෙම පරිච්ඡේදය අවසනට ලං වත්ම වැදගත් නිරීක්ෂණ දෙකක් ඉදිරිපත් කරයි. එකක් නම් වුල්ෆ් ගේ දිනසටහන් මාර්ගයෙන් එම සමාජයේ පසුගාමීත්වය ගැන සටහන් කිරීමයි. එහි දී වුල්ෆ්  අසරණ සහ බලාපොරොත්තු විරහීත බව තත්ත්වයන්  ගැන අවංකව කණගාටු වෙන බව හැඟේ.  දෙවෙනි කාරණය වන්නේ බටහිර නවකථාකරුවෙකු ආසියාතික මනස විනිවිද යෑම යන කාරණයයි.  එරික් පෙන්වා දෙන්නේ ඇලෙක් වෝ නම් ලේඛකයකු ( ඔහු එව්ලින් වෝ ගේ සහෝදරයෙකු ය), නවකතාව පළ ව වසර 52 ට පසුව එය පැසසුමට ලක්වන්නේ, වෝ ගේ මැලේ ජාතික සිසුවෙකු, ආසියාතිකයා ගේ මනස කියවූ එකම නවකතාව ලෙස මෙම නවකතාව ලෙස හඳුනාගැනීමත් , 1965 දී ලිපියක් මගින් වුල්ෆ් ට ඒ බව දැනුම් දී තිබීමත් මගිනි. ( මේ බව යැස්මින් ගුනරත්න ලියූ A Novelist at Work: the Manuscript of Leonard Woolf’s The Village in the Jungle යන ලිපියේ සඳහන් වේ. එය කියවීමට වටිනා අපූරු ලිපියකි)

සිව්වෙනි පරිච්ඡේදය බද්දේගම බිඳ වැටුණු වාරිකර්මාන්තයත්, එ නිසාම වී ගොවි තැන වෙනුවට හේන් ගොවිතැනේ පිහිට ම පතන්නට වීමත්, ගමේ පාලන තන්ත්‍රයේ තිබූ අසාධාරණයත්, කෘතියේ නිදර්ශන මගින් ම පෙන්නුම් කෙරේ. පස්වෙනි පරිච්ඡේදය ගමේ සමස්ත දරිද්‍රතාව කෙසේද යත්, ආරච්චිල පවුල සහ අන් අය අතර ආර්ථික වශයෙන් සැලකිය යුතු තරමේ වෙනසක් නොවීම පෙන්වා දෙයි.

ස වැනි පරිච්ඡෙදය තරමක් විශේෂ වනුයේ ගුණරත්න අනුවාදයේ පෙරවදනේ සරච්චන්ද්‍රයන්, බැද්දේගම අර්ධශිෂ්ඨ ජනයා පිළිබඳ කථාවක් යැයි කීම දෝෂ සහගත බවට කරුණු කිහිපයක් පෙන්වා දීම හේතුවෙනි ( පාලන අධිකාරයක් තිබීම, නඩුකාරයා සිලිඳු ම්ලේච්ඡයෙකැයි යන්න ප්‍රතික්ෂේප කිරීම, කැලේ මිය ගිය තැනැත්තේ සන්ථකව තිබූ බඩු මුට්ටු එම අර්ධ ශිෂ්ඨ කාරණාවට එරෙහිව නිදසුන් ලෙස දක්වයි). මෙම පරිච්ඡේදයේ ඉතා වැදගත් නිරීක්ෂණයක් නම්, එංගලන්ත අධිරාජ්‍ය කෙදිනත් දුප්පත්කම අලසකමේ සහ ආර්ථික උච්චාවචනයන්ගේ හේතුවෙන් හටගත්තක් බවත්, ශිෂ්ඨත්වය මගින් එය දුරුකරගත හැකියැයි විශ්වාස කිරීමය. එංගලන්තයේම බණ්ඩාරගම් පද්ධතිය බිඳවැටෙද්දී, කාර්මික තන්ත්‍රයට එක්කාසු වීමට තම සාම්ප්‍රදායික ගම් දනව් අතැර ලන්ඩනයට හෝ අන් නගරයට පැමිණි, අවම පහසුකම් යටතේ අධික පැය ගණනක් වැඩ කරපු දුප්පතුන්ගේ අතීතයකට එංගලන්තයම ද හිමිකම් කියයි.

හත්වෙනි සහ අටවෙනි පරිච්ඡේද මගින්, අධිරාජ්‍යවාදයේ නීතිය ක්‍රියාත්මක කරලීමේදී ලේඛනය ට ඇති ප්‍රමුඛතාවය පෙන්වා දීමට කටයුතු කරයි. එපමණක් නොව, කෙතෙරම් දුෂ්කර ගමක් වුව ද අධිරාජ්‍යවාදී යාන්ත්‍රණයේ නීතියේ බලය කිසිදු සැකයකින් තොරව දුප්පත්කමේ සහ සමාජ පිළිගැනීමේ අඩියේ සිටින සිළිඳු දක්වා සිය දෑත යොමු කරනයුරු පෙන්වා දෙයි.  ඉහත කී ලේඛනය නිසා, නීතිය හා සාධාරණය ඉටු වූවා යැයි පෙන්නුම් කිරීමට සාධක ඉතුරු කර ඇතත්, ඇත්තෙන්ම සාධාරණයක් ඉටු නොවෙන බවත්, එම අධිරාජ්‍යවාදී නීතිය ක්‍රියාත්මකකරන්නන් පවා එය වටහා ගෙන සිටියත්, එම විධික්‍රමය හා, බබුන් ලා සහ සිලිඳු අතර දුර එකල පියවීමට නොහැකි දුරක් බව වුල්ෆ් අපුරුවට පෙන්වා දී ඇත. නවකතාව තුල දී, නඩුකාරයා බබුන් හා සිලිඳු වෙත අවස්ථාවක් දීමට කැමැත්තක් තිබුන ද, පවතින රෙගුලාසි, සහ සිලිඳුලා එම රාමුවෙන් කෙතෙරම් දුරින් ද යන වග, එම සාධාරණත්වයට ඉඩක් ඉතිරි කරන්නේ නැත. එරික් ද මුල් පරිච්ඡේද වල බ්‍රිතාන්‍ය පරිපාලනයේ අඩුපාඩු වුල්ෆ් දැක ඒ ගැන කණගාටු වූ බවට පවසා තිබුනේය. මට කියවන්නට ලැබුනු යැස්මින් ගුනරත්නගේ "A Novelist at Work: the Manuscript of Leonard Woolf's The Village in the Jungle" නම් වූ අපූරු ලිපියේ ද, ඔහු කෙතෙරම් අප රට දුෂ්කර වනන්තර වලට ඇලුම් කලද, තම නිවාඩුවෙන් පසුව නැවත ලංකාවට ගියහොත් අගනුවර ආශ්‍රිත පරිපාලනයට යොමු වීමට සිදු වන බව දැන සිටි බවත්, වර්ජිනියා සමඟ පෙමින් බැඳී සිටීමත් යන කාරණා දෙක ම සිවිල් සේවයෙන් ඉවත් වීමට තුඩු බවට පෙන්වා දෙයි. ( බලන්න 1)

(නමවෙනි/දසවෙනි පරිච්ඡේදය) වනයත්, සිළිඳුත්, වනය හා සබැඳි සම්පූර්ණ මිනිසා සිළිඳු බවත් පෙන්වන්නට එරික් ප්‍රයත්නයක් දරයි. මෙය තරමක් එකඟවිය හැකි ආකාරයේ සැසඳීමකි. එරික් පවසනුයේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය, ප්‍රනාන්දුලාගේ පාදඩ ධනවාදය, සහ සිළිඳුගේ භීෂණය යන ත්‍රිවිදාංගයන් නවකතාවේ සාර්ථකත්වයත් විශ්වාසනීයත්වයට ත් හේතු වන බවයි.  "කැලයේ සමස්ත මිනිසා" වන සිළිඳු ට ඇවැසි වූයේ තම දියණියට සිදුවන ගැහැට ඉවත්කරලීමේ ක්‍රමයක් ලෙස ප්‍රනාන්දු සහ ආරච්චිලා ඝාතනය කොට, කැලෑ නීතියට අනුව තර්ජනයක් ඉවත් කරලීමකි. උසාවියේදී, බබුන් ට හෝ සිළිඳුට තමන් කෙරෙහි සාධාරණයක් සිදු වනු ඇතැයි විශ්වාසයක් නැතුවා පමණක් නොව, මුළු නඩුවේම යම් සැක සහිත  ගතියක් ඉව කරනා නඩුකරු ට ඔවුනට උදවු කරලිමේ උවමනාව තිබුන ද, එම මගපෙන්වීම භාවිතකරලීමේ හැකියාවක් හෝ විශ්වාසයක් හෝ, ඔවුන ට නැත. එකොලොස් වෙනි පරිච්ඡේදය වෙන් වන්නේ මේ කෘතියේ එන ප්‍රමුඛතම ස්ත්‍රී චරිතයන් ගැන කතා කරලීමටය.

එම චරිත ගැන සාධාරණ කියවීමක් කරතත්, එම පරිච්ඡේදයේම කෙරරෙනා ප්‍රනාන්දු සහ ගම්පෙරළියේ පියල් අතර සැසඳීමත්, වික්‍රමසිංහයන් ට ගම්පෙරළියේ පියල් නිර්මාණයට tVitJ යම් ආභාෂයක් ගෙන එන්නට ඇතැයි යන උපකල්පනය මට නම් ටිකක් දුරස්ත එක්කාසුවකි. ගම්පෙරළිය ලියන වකවානුව වන විට වික්‍රමසිංහයන් කොළඹට විත් ද කලක් වනට ඇත. ඒ වන විට දකුණේ සිට කොළඹට විත් සාර්ථක වූ මිනිසුන්
රැසක් හමු වූ තිබුනාට සැක නැත. එපමණක් නොව ඒ වන විට කොළඹ ම පරම්පරාවක් දෙකක් විසූ දකුණින්  පැමිණ සාර්ථක වු අය මෙරට නම දිනාගෙන සිටියෝය. දොන් වේවාවිතාරණ හෙවත් අනගාරික ධර්මපාල ගේ පරම්පරාව ඊට එක් උදාහරණයක් පමණි. එවන් වටපිටාවක,  පියල් ගේ චරිතය නිර්මාණයට ප්‍රනාන්දු නම් ධනාවාදයේ සල්ලාල චරිතයක් ආභාෂය වූවා යැයි සිතීම ඇත්තෙන්ම  අතිශයෝක්තියකි.

දොළොස්වෙනි පරිච්ඡේදය වෙන්වන්නේ නොදැනුමෙන් වැසී ඇති බැද්දේගම ට පුංචිරාල ගේ බලපෑම සහ බලය බලපාන අයුරු සාක්ච්ඡා කිරීමටය. එම කුඩා සමාජය යටපත් කර තමනට සාපේක්ෂ වාසියක් වෙනුවෙන් ක්‍රියාකරලීමට තරම් ඔහු තම මන්තර දැනුම හෝ, ඒ ගැන ශූර ලෙස ඇඟවීමෙන් හෝ ක්‍රියා කොට ඇති අයුරු, එරික් මෙහි පෙන්වා දී ඇත. සමස්ත ලෙස මෙම පටුන සාර්ථක ලිවීමකි.

මීළඟ පරිච්ඡේදයේ, එරික් අපූරු සැසඳීමක් කරයි. ඒ, "සියළු ප්‍රශ්ණ වලට මුල මුලාදෑනියෙක්" යැයි නඩුකාර වචනින්, තීන්දුව දී අත්සෝදා ගත් පොන්ෂස් පයිලෙට් (පිලාත්) කෙනෙකු නිර්මාණය කිරීම මගිනි. කතුවරයකු, සහ අධිරාජ්‍යයේ නිලධාරියෙකු ලෙස, වුල්ෆ් ද යම් පාපොච්චාරණයකට එය භාවිත කරන සේය.

දහ හතරවෙනි ( සිලිඳු තම නිවුන් දරුවන් වෙත දක්වන ආදරයේ ස්වභාවය), පසළොස්වෙනි ( බැද්දේගම හා බැඳි ආර්ථික ගැටළුව), දහසයවෙනි ( ප්‍රනාන්දුගේ අයථා යෝජනාව ), දහහත්වෙනි ( පුංචිමැණිකා ගේ සාපේක්ෂ වශයෙන් දිගු ජීවිතය) පරිච්ඡේදයන්හි එතරම් විශේෂයක් නුදුටුමි. මෙය මේ කෘතියේ මා දකිනා එක් ලක්ෂණයකි ; අඩුපාඩුවක් ද කිව හැකිය. කිමද, එරික් ගේ මේ කෘතියේ අලුත් කරුණු දැක්වීම් හමුවන්නේ කිහිපයක් පමණක් නිසාය. අනෙක් ඒවා ඔහු කරනා සැසඳීම් - ඉන් සමහරක් වා දුරස්තය; ඈත ඇති යමකට කඩ ඉරි වලින් සම්බන්ධ කරන්නාක් සේය. එම සම්බන්ධකම්, විස්තරය මෙම කෘතියට වටිනාකමක් ගෙනෙදෙන්නේදැයි සැක සහිතය. එහෙත් දහ අට වෙනි පරිච්ඡේදයේ එරික් ට කීමට තරම් දෙයක් ඇති සේය. ඒ තම සියළු බලාපොරොර්ත්තු අතැර වනයටම ගොදුරු වීමට ප්‍රථමව පුංචිමැණිකා බබුන් සොයා යන ගමනය. එරික් පෙන්වා දෙන්නේ එම ගමන, එහිදි ඇයට හමුවන ඇටකටු පෑදුණු හරකුන්, අසල සිටි බලාපොරොත්තු සුන්කරගත් වයස්ගත මිනිසා, ඇයට තම ගැහැට පිරි දිවියෙන් මෙපිට බලාපොරොත්තුවකට ඉඩක් ඉතිරි නොකරන ආකාරයය. එරික් නොපැවසුවද, මෙහි එන 'හිරපල්ලා', තොරතුරු සැපයීම සඳහා ද පුංචි මැණිකාගෙන් මුදලක් කඩා ගැනීමට වෙර දරයි. අධිරාජ්‍යවාදය දුප්පත් ගැමියා පෙළීමට, තමනට සේවය කරන්නන් හට එතරම් අසාධාරණ වීමට ඉඩ සලසා තිබුණි.



දහනමවෙනි පරිච්ඡේදය The Village in the Jungle නම් නූතනවාදී කෘතිය ඒ කාලයේ ම බිහි වූ අනෙක් සාහිත්‍ය කෘතීන් සමඟ පෙළ ගස්වා ඇත. වඩා වැදගත් පරිච්ඡේදය විසිවැන්න යැයි හඟිමි. එහි ඇත්තටම බැද්දේගම සමාජ ආර්ථිකය ආදරයකට ඉඩ නොතබන්නේ ඇයි දැයි යන්න ගැන අපූරු නිරීක්ෂණ කිහිපයක් එරික් පෙළ ගස්වා ඇත. එහි පුංචිමැණිකා බබුන්ට ඇල්මක් දැක්වුවද, එය ආලය පෑමක් දක්වා සංවර්ධනයට ඇයට ද, ඔහුට ද, එම සමාජයට ද නොහැකි බව පෙන්වා දෙයි.  


අනතුරුව එරික්, වුල්ෆ් ගේ බස්වහර ගැනත් (එය වාර්තාරූපි බවකි ඔහු පවසන්නේ ), ඊට සාපේක්ෂව අනුවාදයේ සමස්ත අනුභූතිය කෙරෙහි සුහදත්වයක් ඇති බව පවසයි. මේ ස්ථාවරය එරික් ට පමණක් සීමිත නොවූවක් යැයි සිතමි. එහෙත් එරික් ගේ මෙම කෘතිය කියවීම උදෙසාම, ඉංග්‍රිසි මුල් පොත කියවා, ගුණරත්න අනුවාදය මිල දී ගත්ත ද මට එය විශේෂ යමක් නොදුන් බවකි මගේ හැඟිම - මා එය අවශ්‍ය විටෙක තැනින් තැන බැලූ මුත් කවරයෙන් කවරයට නොකියවුවෙමි. එරික් බැද්දේගමත්, ගම්පෙරලියත් අතර සැසඳීමක් දිගින් දිගටම කර ඇත. වික්‍රමසිංහ, අනුවාදයත්, මුල් කෘතියත් කියවා තිබුනාට සැක නැත. ඔහු ඒ ගැන යමක් ලියා තිබේදැයි නොදනිමි.

විසිදෙවෙනි පරිච්ඡේදයේ දී, එරික් බැද්දේගම පිකාරෙස්කු (Picaresque චෞරාශක්ත්‍යාඛ්‍යාන ) වර්ගයේ නවකතාවක් බවට පෙන්වා දෙයි. අනතුරුව ලූකාෂ් ගේ කියනා පරිදි නවකතාවක චරිතයකට සං‍යුක්ත අරමුණක් නැති වුවද, සිලිඳුට එවන්නක් ඇතිවන්නේ "අධිරාජ්‍යවාදී පාලනය තුළ 'සිලෝනය' නම් යටත්විජිතයේ වැසියා අත්විඳින ලොමුඩැහැ ගන්වන දුෂ්කරතා හා නීච අසාධාරණකම් සපුරා පිටුදැකීම" උදෙසා බවත්, එය නවකතාවේ දුර්වලතාවක් වුව, වුල්ෆ්ගේ අවංක හදවත සහ වාමවාදී මනසින් ධීරවීර කලාවක් යළි නගා සිටුවීමේ අරමුණෙන් ඉටු කල දෙයක් බවට පවසයි. මෙම ධීරවීර කලාව පිළිබඳ කරුණ කෙසේ වුව, වුල්ෆ් නැවත ලංකාවට නොඒමට තීරණය කිරීමෙන් වුව, ඔහුගේ සිත තම ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන සිතට වද දුන් බවත්, එම වේදනාවට සිලිඳු නිර්මාණය කල බවත් සිතිය හැකිය.

විසිතුන්වෙනි පරිච්ඡේදයේ දී, වුල්ෆ් ගේ චරිතෝපදාන කිහිපයක් භාවිතයෙන් හැකිතාක් නිරවද්‍ය කාරණාම එම අප්‍රබන්ධයන්ට භාවිත කිරීමේ උවමනාවත්, එලෙසම නවකතාව නම් කෝව තුලත් වඩාත් සංඝත නිර්මාණයක් කරලීමේ උවමනාවක් ඔහු සතු වූ ආකාරයත්, එරික් පෙන්වා දෙයි. ඊළඟ පරිච්ඡේදයේදී ඔහු නැවත සිලිඳුගේ චරිතයේ ඔහුට ආවේණික සිතල මනසක් තිබීමත්, එහෙයින් ම සරච්චන්ද්‍ර පැවසූ සිලිඳු අශිෂ්ඨයකු යැයි තර්කය බිඳ වැටෙන බවට් පෙන්වා දෙයි. සිලිඳු අශිෂ්ඨයකු යන්න මටත් එකඟ විය හැකි කාරණාවක් නොවේ. සමස්ත ලෙස මනරම් ප්‍රස්ථාවනවක් ලියන නුමුදු, සරච්චන්ද්‍ර මෙසේද කියා ඇත:

"පිට රටක ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ට ජනයා ගේ දුර්බෝධ චිත්ත චෛතසික තත්ත්වය ඉංග්‍රීසිකාරයකු මෙපමණ ඥාණයකින් විනිවිද දුටු සැටි චමත්කාර ජනකය"
සරච්චන්ද්‍ර, සාමාන්‍ය ඉංග්‍රීසි වැසියෙකු, මෙවන් පිටිසර ගමක වෙසෙන්නෙකු අර්ධ ශිෂ්ට යැයි හඟිමින්, එවන් මානසිකත්වයෙන් සිටින අයෙක් මෙම පොත ට අවතීර්ණ වන්නේයැයි යන ආස්ථනයේ සිට ලියුවේ දැයි නොදනිමි. එරික් ද මෙය අන් ආකාරකයකින් පෙන්වා දෙමින් පවසන්නේ සිලිඳු අශිෂ්ටයෙකු කරනවානම් කරන්නේ සංස්කෘතියේ අධිකාරිත්වයක් මගින් බවයි. ඉන් අනතුරුව, තර්ක බුද්ධිය මෙම නවකතාවේ සිලිඳුගේ නපුර ට සිටි ආකාරයත්, නීති විභාගයේ තර්කය ඔහුට නොතේරුණත්,  ඔහුට තේරෙන ආකාරයෙන් සාධාරණයක් පතන සිලිඳු තුලින්, වුල්ෆ් වොල්ටෙයාර් කෙනෙකුන් මතු කර බවටත් එරික් තර්ක කරයි. එරික් මෙම කෘතිය අවසන් කරන්නේ ද මෙම වෝල්ටෙයාර්ගෙ ප්‍රබුද්ධන අවතාරය ගැන තව දුරටත් කතා කරමිනි.  ඔහු සිලිඳු කවරෙක් ද යැයි සිතා, මෙම වටපිටාව තුල බැද්දේ වෙඩි කාපු කුලු මීමෙකුගේ රෞද්‍ර සාධාරණත්වයක් පතන වෝල්ටෙයාර් කෙනෙකුන් දකියි.  එරික් අවසන් කරන්නේ ග්‍රාමීය නිලධාරි පංතියේ ක්‍රියාකාරීත්වය ඔස්සේ, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයේ අර්බුදය පමණක් නොව යටත්විජිත නිදහසින් පසුව ද පවතිනු ඇති දීර්ඝ කාලීන පිලිලයක්, වුල්ෆ් දුටු බවට අප ඒත්තු ගන්වමිනි.


සමස්තයක් ලෙස, මෙම කෘතිය මගින්, බැද්දේගමත්, සිලිඳුත්, ඒ මගින් වුල්ෆ්වත් සමීප කියවීමකට ලක් කිරීමට එරික් උත්සාහ කොට ඇත. ඔහුගේ ව්‍යායාමය සාර්ථකද ? ඔවු සහ නැත. සමහර වැදගත් කාරණා මතුකරමින්, මේ බව පසක් කරලීමට එරික් උත්සාහ දරා ඇත. ඒ ඒ පරිච්ඡේදය පිළිබඳ අදහස් දක්වමින්, මෙලෙස සාර්ථක වූ අවස්ථා මෙන්ම, වරෙක එරික් ගේ "වැටයීම්" (approximations යන අදහසින් ) ද නැත්තේ නොවේ. මෙය පිටු 136ක කෙටි පොතක් වුවත්, තවත් තරමක් කෙටි කොට, වඩා සංඝත තර්ක හා නිරීක්ෂණ වලට සීමා කරමින් පිටු 70-75ක පමණ කෘතියකට ගොණු කරේ නම්,  මීට වඩා සාර්ථක කෘතියක් වීමට ඉඩ තිබූ බවට මට සිතේ.


ශ්‍රේණිගත කිරීම: ***1/2







1- A few days after I returned from Denmark I began to write The Village in the Jungle. The jungle and the people who lived in the Sinhalese jungle villages fascinated, almost obsessed me in Ceylon. They continued to obsess me in London, in Putney or  Bloomsbury, and in Cambridge. The Village in the Jungle was a novel in which I tried somehow or other vicariously to live their lives. It was also, in some curious way, the symbol of the anti-imperialism which had been growing upon me more and more in my last years in Ceylon. The Sinhalese way of life, in those entrancing Kandyan hills or the rice fields and coconut plantations of the low country, and above all those strange jungle villages, was what engrossed me in Ceylon; the prospect of the sophisticated, Europeanized life of Colombo, the control of the wheels of the intricate machinery of central administration, with the dreary pomp and circumstance of imperial government, filled me with misgiving and disgust. And I knew that if I went back to Ceylon it was almost certain that I would be returning, not to the village in the jungle, but to the seats of power in Colombo. The more I wrote The Village in the Jungle, the more distasteful became the prospect of success (L. S. Woolf, Beginning Again (London: The Hogarth Press, 1968), p. 47. ( cited in the above mentioned essay by Yasmine Goonaratne
in

No comments:

Post a Comment