අමරසේකරුන් 2019 දී පළ කල නවකතාවයි.
මේ ගැන කිසිදු කතා බහක් කොතැනක හෝ නුදුටුමි.
මීට වසර දෙක තුනකට පෙර ඔහු පළ කල නවකතාව ගැන එතරම් පැහැදීමක් නොවූවද, ඔහුගේ සමස්ත සාහිත්‍ය සේවය ගැන සලකා මේ කෘතිය ද කියවා බැලීමට සිතුවෙමි.
මෙම නොවෙලාවක් වන් පිටු 97ක ට සීමා වූ කෘතියේ ප්‍රධාන ධාරා දෙකකි. ඉන් එකක් සුජාතාගේ චරිතය, රාජන් නම් වූ ජාතීන් අතර සංහිඳියාව පතන ඇයගේ සැමියා ගේ චරිතය, ආශ්‍රිත එකයි. අනෙක රාජන්, ධර්මන් ඇතුළු ඔහුගේ මිතුරන් යාපනයේ දෙමළ ජනතාව වෙල්ලාලයන්ගෙන් ගලවා ගැනීමට ඇති අවශ්‍යතාවක් දැක ඒ ඔස්සේ ක්‍රියා කාරී වීමයි.
සුජාතාගේ චරිතයේ ඇති ථෙරණියක් බඳු ලක්ෂණ, අන් අය ගැන සිතීමේ ගුණය ආදිය සිත්ගන්නා අයුරින් ලියැවී ඇත. සුජාතාගේ අක්කා, රාජන් ට විරුද්ධවීමේ පදනම් විරහිත බව පමණක් නොව, සිංහල ජනයාගෙන් සමහරක් කෙතෙරම් අන් අයගේ ආභාෂය මත තම දිවි වලට අරුත් දෙන්නේ ද යන්න ද අපූරු කියවීමකි.
එහෙත්, ඉහත සඳහන් දෙවෙනි කාරණාව බොහෝ විට ලියැවී ඇත්තේ ඉතා නොමේරු පමණක් නොව, විටෙක අන් ජාතීන්ගේ සිත් තැවුල් ද ඇති විය හැකි ආරකනි. නිදසුනක් ලෙස ඔහු තැනෙක කියා ඇත්තේ සභ්‍යත්ව සහවාසය උදෙසා, උතුර ද බෞද්ධ සභ්‍යත්වය මත මුල් වූ සමස්ත සභ්‍යත්වයක් තුල ගොඩ නැගිය යුතු බවත්, හින්දු දර්ශනයේ කුලවාදය එවන් මානව හිතවාදී දර්ශනයකට ඉඩ සලසන්නේ නැති බවත් ය. මෙවන් මාතෘකා විවෘත මාතෘකාය. පිටු ගණන් වාද කරගත හැකිය. අමරසේකර මතුකරනා අනෙක් කාරණාවන් විජාතික තර්ජනය - ඔහු ඊට ඇමරිකන් ඉකොනොමික් කොරිඩෝව ද ඈඳා ගනී. මේ පොත පළ වූ කාලයත්, එය කියවනා කාලයත් අතර අප රට සිදු වූ කඩා වැටීම ම, මෙහි එන සභ්‍යත්ව කතා විහිළුවක් බවට පත් කොට ඇති සේය. වසර ගණනාවක් පුරා පරිභෝජන අයවැයකට මුක්කු ගසමින් දිවූ රටක් එයින් මිදවීමට කිසිදු පියවරක් නොගෙන පීඩා විඳිති. මෙම නවකතාවේ ද අවසන් පිටු අතර, දැන් ඉදි වී ඇති සුඛෝපභෝගි වාහන, මහල් නිවාස අප රට තිබෙන්නේ කෙසේ ද යන්න විමසුව ද, අද තිබෙන විවෘත ලෝක වටපිටාවක මේ ඉඟිකරනා අල්පේච්ඡ්තාවයකට දැන් මේ රට හැඩගැස්වීම අපහසු බව පැහැදිලිය ( ආර්ථික අහේණිය නිසා අල්පේච්ඡ්තාවකට තල්ලු වීම, සහ සභ්‍යත්වයක් මත පිහිටා එසේ කිරීම යන්න දෙකකි). මා දකිනා පරිද්දෙන්, අපේ අය බුද්ධාගම භාවිත කරනුයේ ද "ඩීල්" සඳහාය; නැතහොත් එන ආත්මය ගැන විශ්වාසයෙන් එය සුඛිත මුදිත කර ගැනීමටය. ඔය කියනා අල්පේච්ඡතාවයේ සිතා මතා පිහිටන්නේ එහෙමත් අයෙක් ය. එසේනම් උතුරේ දෙමළ ජනයා තම නිවෙස් වල බඩු රැස් කරගැනීමෙන් තොරව, අපට වඩා අල්පේච්ඡ්ව ජීවිතය කල් ගෙවන්නෝය.
ඒ අනුව මට නම් මෙම නවකතාව, අප ලේඛකයාගේ හිතලුවකට නවකතාවක වස්ත්‍රයක් ලබාදීමක් විනා අන් කිසිවක් නැත. රූපාන්තනය නොහොත් සෝමදේවගේ සංක්‍රාන්තිය මහත් රස වින්දෙමි. ධාතුසේන, නවකතාමය ලක්ෂණ අතින් එතරම් පොහොසත් නුවූවද, අමරසේකර ගේ දේශපාලන පණිවුඩයට වාහකයක් වෙමින්, ඔහුගේ පණිවුඩය සර්ථක ව ඉදිරිපත් කර තිබිනි. 2019 ප්‍රකාශ වූ පොතක දර්ශනය, 2022 වෙද්දී යම් තරමකින් හාස්‍ය ජනක වද්දී, එක් අතකින් අප වෙසෙන ලෝකයේ සිදුවන වෙනසේ වේගය තේරුම් ගත හැක. අමරසේකර මීට කලකට පෙර, ගැමි උගත් තරුණයින් මෙරට බලයට විත් අප රට හරි මගට ගන්නා බව වසර ගණනක් පුරා කීවේය. තවම එය සිදු වූයේ නැත - දැන් දැන් ගැමි උගත් තරුණයන් හා නාගරික උගත් තරුණයින් අතර වෙනසක් නැති තරම්ය. මා නම් දකින්නේ එය හොඳ දෙයක් ලෙසටය. මෙවර ඔහු මුළු රට එක්කාසු කරනා බෞද්ධ සභ්‍යත්වයක් ගැන විශ්වාසය තබා ඇත. එවන් සභ්‍යත්වයකට එවන් විභවයක් තිබ්බේ, නිදහස ලැබූ යුගයේ නැතහොත් ඊටත් පෙරය. අප එකල එවන් තත්වයන් ගවේෂණය කලෝ නොවූහ. අද කාලයේ එවන් දර්ශනයක් මත පිහිටා අප සමාජ දේශපාලන ප්‍රශ්ණ වලට පිලිතුරු සෙවීමට යාම, අපට නම් පෙනෙනුයේ දවල් හීන ලෙසටය. (විටෙක ජපානය, මියන්මාරය, තායිලන්තය වන් රට වල අඩු වැඩි වශයෙන් මෙම දර්ශනයේ පිහිටා යම් ගමනක් යන්නට ද ඇත. එය වෙනම ම හැදෑරීමක ට දොර විවෘත කරන්නකි.)
ඒ අනුව මට නම් මෙය ඉතා දුර්වල නවකතාවකි.
ශ්‍රේණිය: *1/2
2019 ප්‍රකාශ වූ නවකතා කියවීම: 15
No comments:
Post a Comment