දැනට මුද්‍රණයේ නැති මෙම පොතින් පිටපතක් විකිණීමට ඇති බවට දැක, හැකි ඉක්මනින් එය මිල දී ගත්තේ මේ පොත ගැන වරින් වර මුහුණු පොතේ සාහිත්‍ය හා කලාව සම්බන්ධව සඳහන් කෙරුණු දැක ඇති නිසා ය.
ලිපි දහසයකින් සපිරි මෙම පොත ට මුල් වී ඇත්තේ කේ. ඒ. ගාමීණි නම් අයෙක්, 1991 ජුනි මස 16 දින වන්, අදට අවසර 30ත් වඩා දිගු කලකට පෙර, දිවයින ඉරිදා සංග්‍රහයට ලියූ ලිපියක් ය. ගාමිණි ගේ ප්‍රධාන තර්කය ජනප්‍රිය සංගීත සංස්කෘතිය රසික බුද්ධියට නිගාදෙන ප්‍රතිගාමි එකක් බවයි. මෙය අද වන විට තලේබාන් වර්ගයේ අදහස් ලෙස මේවා පෙනුන ද, එකල එම අදහස් එලෙස නොපෙනුනු බවට සිතිය හැක. එදා සහ අද අතර වෙනස්කම් බොහෝය ( බලන්න 1). ගාමිණි මහතාගේ ලිපියට ප්‍රතිචාර ලිපියක් ලියන නිහාල් පීරිස් ගේ ප්‍රධාන තර්කය "
අද ප්‍රගතිශීලිත්වය යනු කලා ඒකාධිපතිවාදය නොව කලා ප්‍රජාතන්ත්‍රවාදය බවට පත්වෙමින් පවතී", යන්න යි. මෙය එකලට සෑහෙන ඉදිරිගාමි අදහසක් ලෙස පෙනී යයි.
මෙම පොතෙන් නිරාවරණය වන එක් වැදගත් දෙයක් නම් පසුගිය වසර 30 තුල අප ගේ දැනුම් පද්ධතිය, හර පද්ධතිය, හා දේශපාලන ස්ථාවරයන් කෙතෙරම් වෙනස්කම් වලට භාජනය වී ඇත්තේ ද යන්නයි. ඉහත කී නිහාල් පීරිස් ගේ ලිපියට 'බයක් නොව ඇත්තේ හිරිකිතයක් පමණි' මැයෙන් හඳගම පිලිතුරු සපයා ඇත. එහි ආස්ථානයන් දෙකක් අද වන විට විවාදාත්මකය.
සන්ෆ්ලවර් සලාදය රස විඳින පිරිසේ මානසික ස්වභාවය විග්‍රහ කටයුතුය. ඔවුන් සැබවින්ම, අපේක්ෂා භ්ංගත්වය කේන්ද්‍රකොට ගෙන නොයෙකුත් දුරාචාරයනට ගොදුරු වූ පිරිසගෙන්ද, ඉතාමත් අඩු අධ්‍යාපන මට්ටම්කින් හෙබි, අවිහිංසක දුගී පිරිසකගෙන්ද සමන්විතය. ( 12 පිටුව)
එහෙත් පරිගණක විද්‍යාඥයෙකුගේ රස වින්දන මට්ටම ඕජායේ ගීත රස විඳීමට තරම් පහත් මට්ටමක පැවතී යැයි මම විශ්වාස නොකරමි. ( 15 පිටුව)
මෙම ලිපිය ලියනා කල ඔහු දැරූ අදහසක් වන "ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධකම් අධිපතිත්වය දරණ සමාජයක පාලක පංතිය යනු නිෂ්පාදනය හිමි පංතියයි", ලෙස ලඝු කිරීම එකල පැවති UNP ආණ්ඩුව සම්බන්ධයෙන් බොහෝ දුරට සත්‍ය වීමට ඇති ඉඩ වැඩිය. ඊට වඩා බොහෝ ලෙස දැනුමෙන් ලොව එකිනෙකා හා සම්බන්ධ වූ අද වගේ යුගයක දී මෙම අදහස් එතරම් වලංගු නොවේ. ඒ අතින් බලනා, කල මෙම කෘතියේ සැලකිය යුතු කොටසක් සේවය කරන්නේ මෑත ඉතිහාසයේ (එනම් 1991 පමණ), පිළිඹිබුවක් ලෙසය. හඳහම මෙම ලිපිය අවසන් කරන්නේ පහත එන උදෘතයෙනි. ඒ ගැන නම් අදට ත් විවාද කිරීමට අපහසුය - එය කෙතරම්ම කාලකන්නි යුගයක් දැයි යන්න හොඳම නිදර්ශනයකි, එය.
හඳගමගේ ලිපියට පිලිතුරු ලිපියක් ලියන නිහාල් ගේ ප්‍රධාන ස්ථාවරය වන්නේ, තාක්ෂණය නිසා වේගයෙන් වෙනස් වන ලොවක, සම-තල සමාජවාදය මනෝමුලික විකාරයක් බවට පත්වෙමින් පවතින තත්වයක, වඩා යහපත්, අනෙක තේරුම ගන්නා සමාජයක දී, බහු-තල රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදයක දිශාවකට යොමු වීම වඩා සුදුසු බවයි. හඳගම පිහිටා සිටි මාක්ස්වාදි ස්ථාවරයෙන් එපිට පශ්චාත්-මාක්ස්වාදී චින්තනයනට ද මනස විවර කල යොමු කල යුතුව ඇති බව නිහාල් අවධාරණය කරයි. මෙතෙක් මෙම පොතේ කිය වූ ලිපි හතරෙන් වඩා සංඝත හා අදටත් යම් පිළිගත හැකි මට්ටමක පිහිටි ලිපිය බැව් ද මට පෙනී ගියේය.
අපට ඊළඟ ලිපිය හමුවන්නේ 1990 ජනවාරි/පෙබරවාරි කලාපයට නිහාල් පීරිස් "විචාරයට තිතක් - මාක්ස්වාදී කලා විචාරය සහ සමාජවාදී කඳවුරේ බිඳ වැටීම" නමැති ලියූ ලිපියෙනි. එදත් අදත් අතර ගෙවුණු කාලය විසින් අද වන විට සාමාන්‍යකරණය කොට ඇති අදහස් වල සරණින්, අද මෙම ලිපිය කියවද්දි, සිතුනේ මෙතෙක් මෙම සංවාදයේ ලියැවුණු වඩාත් සංඝත වූත්, විචාරශීලී, හා ප්‍රගතිශීලි අදහස් රැගත් ලිපිය මෙය බවයි. මාක්ස්වාදි විචාරකයාගේ "ඉතිහාසයේ සරල රේඛාව" පිළිබඳ කල්පිතය ශූර ලෙස බිඳ දැමීමේ ව්‍යායාමයක මෙහි නිහාල් නිරත වන්නේ යැයි මට සිතිණි. ( ඇරත් මෙම සංවාද පෙළේ සමස්ත අදහස් දැක්වීම් වලින් නිහාල් වඩා සාර්ථක ස්ථානයකට පැමිණ අවසන් වූයේ යැයි සිතිය හැක්කේ, ඔහු විසින් ම මෙම ලිපි එකතුව කර්තෘ මුද්‍රණයක් ලෙස ප්‍රකාශ කල නිසාය. අද මෙම ලිපි සංග්‍රහය නැවත පලවෙතැයි සිතිය නොහැක - එසේ පළ වන්නේ නම්, ඒ වෙන්නේ අලුත් සංවදයකට සාරාංශයක් ලෙස මෙම ලිපි පෙළ ගනිමිනි. ඇරත්, හඳගම වැනි අය අද සිටිනා දේශපාලන ආස්ථානය මෙය පළ වන කලට වඩා බොහෝ වෙනස් යැයි සිතේ.)
යාත්‍රා, 1990, මැයි/ජුනි කලාපයට පිලිතුරු ලිපියක් ලියන්නේ නන්දන වීරරත්න ය. මනරම් මෙන්ම දාර්ශනික ආරකින් ලියූව ද, කතුවරයා මාක්ස්වාදයට විරුද්ධව ලිවීම ගැන යම් සිත් වේදනාවකින් ලිපිය ලියා ඇති බවත්, එය නොපන්වීමට යම් උත්සාහයක් දැරුවද, හිඩැස් වලින් එය පෙනෙන සේය. ධනවාදය, ලොව
අරාජිකවාදයකට ගෙනැති බවක් ඇඟවෙන එම ලිපිය මා දුටුවේ මාක්ස්වාදය ට මුක්කු ගසා තව පණක් දීමට දැරූ තැතක් ලෙසය. එම ලිපිය අවසන් කරන පරිච්ඡේදයෙන් එය ගම්‍ය වන බවය, අපගේ අදහස.
අනතුරුව අපට හමු වන්නේ "සැබෑ කලාව, බොරු කලාව, ශුන්‍යතාවය සහ බලය පිළිබඳ කෙටි කතාවක්" නම් වූ තරමක් දීර්ඝ ලිපියකි. එහි නන්දන වීරසිංහ ගේ පෙර කි ලිපියට පිලිතුරු සපයන අතර, නන්දන රුසියාවේ කොමියුනිස්ට් පක්ෂයේ වැරදි වලට නැගෙනහිර යුරෝපයේ ව්‍යාකූලත්වය ලඝු කිරීම තුලින්, අන්වයෙන් "රෙඩී මේඩ්" ඉතිහාසයක, නොහොත් රේඛීය ඉතිහාසයක සැඟවුණු බලාපොරොත්තුව නන්දන තුලින් පෙනෙන්නට ගැනීම මතුකිරිම, නිහාල් ගේ දක්ෂ කරුණු පෙන්වීමක් ලෙස හඟිමි. සියවස් ගණණාවක් තුල සම්භාව්‍ය චිත්‍රකලාවේ වෙනස්විම්, සිනමා සම්මාන උළෙලක කලාව හා වාණීජ ප්‍රවාහයන් ලබනා අන්‍යෝන්‍ය වටිනාකම් හුවමාරුවීම්, සම්භාව්‍ය කලාවේ ගමනත් ඒ තුල ම තිබූ අඩුපාඩු ත් නිහාල් පෙන්වා දෙයි. අනතුරුව ඩෙරිඩා ගේ වැදගත් අදහසක් ගෙන එමින් ඔහු "අතීත ස්වභාවිකත්වය" යන්නම "සංස්කෘතකරණය"යන්නෙහි නිර්මාණයක් බව ගෙන හැර පෙන්වයි. ඒ මගින් ඔහු පෙන්වන්නට තැත් අරන්නේ මෙම "සැබෑ කලාව" සහ "ව්‍යාජ කලාව" යන්නෙහි ඇති සම්මුති පිළිගැනීමක් බවටය. සම්මුති සත්‍යයන් සහ සාපේක්ෂකත්වයන් පිළිබඳ දිගැහුරමකට කතුවරයා ඉන් පසු යොමු වෙයි. එය තරමක් උත්ප්‍රාසය රැගත් තර්කයක් වුවත්, ලිපිය දිගු කරන එහි ඇත්තෙන්ම ඇත්තේ ලේඛකයාට පමණක් ගෙන ආ වින්දනයක් යැයි සැක කරමි. අන් වචනින් පවසතොත්, ඔහුට මෙම සම්මුතියන් වෙනස් නොවෙතැයි යන්න කීමට මෙතරම් වෙහෙස විය යුතු නම්, එය ඔහු මෙම ලිපිය ලිවීමෙන් ම ලද වින්දනය යැයි සිතමි.
මින් අනතුරුව හමුවන ලිපිය ( සහ ඉන් ඇරඹෙන සංවාදය) සිදු වන්නේ වසර දෙකක විරාමයකිනි. ඒ වන විට රාවයේ සේවය කල නිහාල් පීරිස් "
විකල්ප පුවත්පත් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් සංස්කෘතියේ ඒකාධිපතියෙක් වීම", නමිනි. එය මා රසවිඳි ලිපියකි. මීට පෙර වූ "සැබෑ කලාව, බොරු කලාව, ශුන්‍යතාවය සහ බලය පිළිබඳ කෙටි කතාවක්" ලිපිය හා සලකද්දී ඉතා සංක්ෂිප්තව පමණක් නොව, තර්කානුකූල ලෙස කරුණු ඉදිරිපත් කල, නූතන වාදී, ප්‍රගතශීලි, සහ අනාගතවාදී ලිපියක් ලෙස මා එය දිටිමි. මෙම කාලයේ ප්‍රදීපා ධර්මදාසගේ ගීත කිහිපයක් වාරණයට ලක් ව ඇත. විකල්ප පත්‍ර වල විකල්ප ප්‍රජාතන්ත්‍රවාදීන් ඊට විරුද්ධ වූ නුමුදු, ඊට ආසන්න කලක වූ ජිප්සීස් ගීයක වර්ජනයක් සම්බන්ධයෙන් නිහඬ පිලිවෙතක් අනුගමනය කල අයුරු පෙන්වා දෙයි. 77න් පසුව බුද්ධිපතුන් හට දේශපාලන බලය දිනාගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬනැගීමට සිදුව ඇති නුමුදු, කලා/සංස්කෘතික ක්ෂේත්‍රයේ තම බලය රැක ගැනීමට ඇවැසි හෙයින්, ඔවුන් එතැනදී ප්‍රජාතන්ත්‍රවාදී නොවීමේ දෙබිඩි පිළිවෙලය පීරිස් මතු කරනුයේ. ඊට පිලිතුරු ලිපියක් රාවයට ලියන ජයසිරි ජයසේකර "ප්‍රජාතන්ත්‍රවාදය යනු වල්බූරු නිදහස ද?" යන්න ප්‍රශ්ණ කරයි. ජයසේකරගේ ලිපිය එකල කියවද්දී එහි තාර්කික පදනමක් දකින්නට තිබෙන්නට ඇත. අද එය කියැවෙන්නේ අගතිගාමී එකක් ලෙසය -එය ජයසේකරගේ වරදක් නොව. එදාට සාපේක්ෂ්ව අද වඩාත් අනෙකා ඉවසන සුළු ආරේ රටක් බවට, අප දොස් දකිනා ලංකාවද පරිවර්තනය වී තිබීම ඇත්තෙන්ම සතුටට කරුණකි. සුනිල් පෙරේරා, ඔහු මිය යාමට පෙර අවසන් වසර 4-5 පමණ ජවිපෙ වෙනුවෙන් පෙනී සිටියේය. 1992 දී, සුනිල් ව මෙම ජවිපෙ ම ජේ.ආර්. ගේ, ප්‍රේමදාසගේ සංස්කෘතීක දිගුවක් ලෙස දකින්නට ඇත (මින් මා ජවිපෙ වෙත හෝ සුනිල් වෙත හෝ දොසක් නොකියමි). මේ වෙනස්වීමේ ආශ්චර්‍ය වෙත සතුටු සිතින් බලා සිටිමි; දැනුවත් වෙමි. ජයසිරිට ලියවෙන පිලිතුරු ලිපියේ නිහාල් පීරිස්, ජයසිරිගේ කේන්තිය පෙන්වා දී, පීරිස් ම තම පෙර ලිපියේ පවතින තත්ත්වය තුල යම් දෙබිඩි ආකාරයකින් ක්‍රියා කරන බව පිලිගත් අයුරු පෙන්වා දෙයි. ජනප්‍රිය කලාව ධනවාදී රජයක නිර්මාණයක් නොව, එය ජනතාව තුලින් උපදින කලාවක් ආණ්ඩුව විසින් භාවිත කරන්නක් බවට්, ජනප්‍රිය කලාවේ ඉතිහාසය රජකලටම ඇදෙන බවත් (ජනකලාව), ආණ්ඩුව ජනප්‍රිය කලාව භාවිත කල පමණින් එහි ධනාත්මක ලක්ෂණ ප්‍රතික්ශේප කරලීම අනවශ්‍ය බවත් පෙන්වා දෙයි. මෙම යුගයේ ප්‍රගතශීලි අදහස් පෙළගැස්වුණු ආකාරය ගැන මට අදහසක් නැත. විටෙක පීරිස්, අන් කණ්ඩායමක කතා වුනු අදහස් ආභාෂයෙන්, අන් පිරිසක හා කතාබහින් දැනුවත් වීමෙන් හෝ, විෂයානුබද්ධ සාහිත්‍ය භාවිතාවෙන් හෝ තම තර්ක ගොඩ නගාගන්නට ඇත. මා දන්නා දෙය නම්, මේ කොයි ආකාරයෙන් ඒ දේ කලත් අද තරම් පහසුවෙන් එවන් දේ කරලීමට අනූව දශකයේ මුල අවස්ථාවක් නොතිබෙන්නට ඇති බවයි. ඒ නිසාය නිහාල් පිරීස් වේවා, ගාමිණි විජේතුංග වේවා, වඩා විවෘත මනසකින් කෙරෙනා මෙවන් අදහස් වලට වටිනාකමක් දිය යුත්තේ -විජේතුංගගේ ලිපිය ඊළඟ ලිපියයි;
එහි නව වෙළඳ පොළ විසින් හැඩ ගැසුනු ලොවක පැරණි අගයන් අභියෝගයට ලක්වන ආකාරය ගැන අපූරු ලිපියක් අපට හමුවේ. සංස්කෘතිය කර්මාන්තයක් විම, 'ස්පොන්සර්ස්ලා' බොහෝ සමාජ කර්තව්‍යයන්ට සම්බන්ධ වීම ආදිය ගැන අපූරු ලිපියකි, විජේතුංග ලිපිය. එහෙත් ඊට ලැබෙන පිලිතුරු ලිපියෙන්ද, තම උදහස සැඟවීමට අසමත් වීමත්, අන්ධ භක්තියකට ආසන්න අදහස් පෙළකින් වාද කිරීමත් විනා, ජයසිරි අලුත් යමක් නොපවසයි. ඇත්තෙන්ම අද වන් වටපිටාවක, පීරිස් සහ විජේතුංග, සරත් අමුණුගමගේ ඔඩොක්කුවේ ලැග ලියන්නේය යන්න තරමක් අවිචාරවත් චෝදනාවකි. එහෙත් එදා මෙදා තුර වසර 30ක් ගෙවී ඇති හෙයින්, ජයසිරිගේ අදහස් වල පදනමට එදා යම් පිළීගැනීමක් තිබෙන්න ඇත. අප රට පවා වසරින් වසර විදේශ වලට ණය වන වටපිටාවක, අදහස් උදහස් අතින් වඩා ශිෂ්ඨ තැනකට, සාධාරණ තැනකට එමින් පවතින බව පෙනෙන්නට තිබීම ම, මේ පොත කියවීමේ උත්සාහය ට යම් ප්‍රතිලාභයක් ගෙනදෙන බව මට පැහැදිලි විය. පීරිස් ජයසිරි ට ලියූ පිලිතුරු ලිපියේද, ජයසිරි ශාස්ත්‍රීය සංවාදයකට නොතරම් ලෙස වදන් පාවිච්චිය ගැන පෙන්වා දෙයි.
අනතුරුව අවසන් ලිපි තුනෙන්, අලුත් අනු මාතෘකාවක් ඇරඹේ. නිහාල් පීරිස් ගේ මේ ලිපි දෙක අතර කාල පරතරය මාස තුනකට වැඩිය. අලුත් ලිපිය ජනපතිව සිටි රණසිංහ ප්‍රේමදාස ගේ ඝාතනයෙන් පසු ව "ප්‍රේමදාස, ප්‍රේමදාස වූයේ ඇයි" නම් මැයෙන් ලියූවකි. එහි ප්‍රධාන තර්කයන් වන්නේ ඔහු පැමිණි සමාජ ස්ථරය නිසාම, සහ මුල් කාලයේ ඔහු වෙත ඇති වූ සමාජ පිඩනය නිසා ම, ඔහු අව-වරප්‍රසාදිත පන්තීන් පමණක් නොව පහළ සමාජ ස්ථර මෙන්ම පාදඩ පංතියේ ද උදවු ලබාගත් බවත්, බලය ලබා ගත් පසුව එය නැති කරගැනීමට රදළ පරම්පරාවෙන් පමිණියන්ට වඩා බියකින් සිටි බවත් ය. මෙම ලිපියට ඉතා සාර්ථක පිලිතුරු ලිපියක් ලියන වික්ටර් අයිවන්, නිහාල් ගේ ඉහළ තර්කයන්ගේ සාමාන්‍යකරණයන් පෙන්වා දී, ඔහු ඡන්ද බලයෙන් රටේ නායකයා වූවෙකු නිසා, ඔහු ඉහළ පාංතිකයින් කෙරෙහි ඇති කර ගත් බිය අස්තානගත එකක් බවත්, ඔවුන් ද දිනා ගෙන ගමනක් යාමට ප්‍රේමදාස ට ඉඩ තිබූ බවත්, බලය අහිමි වීමේ බිය ඔහුගේ පංතිය නිසා එන එකකට වඩා ඔහු කරන ලද බරපතල වැරදි ප්‍රධානතම හේතුව බව පෙන්ව දෙයි ( ඔහු ජේ.ආර්. ට ද මෙම බිය තිබූ බව පෙන්වා දෙයි.) මෙම සාකච්ඡාවේ දිගුවක් ලෙස කෙතෙරම් දක්ෂයෙකු වුවත් යම් විධිමත් අධ්‍යාපනයක් හෝ පුහුණුවක් හෝ ලත් අයෙක් නම්, එම පුහුණුව මගින් එසේ පුහුණුව නොලත් අයෙකුගේ සිමාවන් අතික්‍රමණය කිරීමේ ඉඩක් ඇති බවත්, ප්‍රේමදාස විෂයෙහි වුව, ඔහුගේ සමාජ ස්ථරය කුමක් වුව, යම් අධ්‍යාපනයක් තිබුනේ නම් ඔහුගේ හැසිරීම සැලකිය යුතු මට්ටමකින් වෙනස් වන්නට ඉඩ තිබූ බවත් පෙන්වා දෙයි.
නිහාල් පීරිස් ගේ ජනප්‍රිය කලාව, සහ වඩා ශාස්ත්‍රීය කලාව අතර වෙනසක් නැතැයි ඉඟිවන ආරේ තර්කයක් වූවේ නම්, එය බිඳින සුළු සාර්ථකම ලිපිය මෙය බව පැහැදිලිය.
මෙම ලිපිපෙළ අවසන් කෙරෙන අවසන් ලිපිය පීරිස් විසින් ලියූ "කලාවේ විවිධත්වය සහ ප්‍රබුද්ධවාදී රේඛීය චින්තනය" නමි. පීරිස් අයිවන් ප්‍රේමදාස ගැන ලියූ දේ ගැන පිලිතුරු දීම ප්‍රතික්ශේප කරන්නේ ඔහුට ප්‍රේමදාස ගේ බරපතල වැරදි වලට සුදුහුණු ගාන්නට ඇවැසි නැති නිසා යැයි කියයි. එය ඔහුට අනවශ්‍ය බියගන්වන සුළු නම්බුනාමයක් බව පවසයි ( මේ ස්ථාවරය ප්‍රශ්ංසනීයැයි මට ද සිතිනි - අර මොකද්ද දුගඳ හමන 'අපද්‍රව්‍යයක' කැටයම් කපන්න නොහැකි බවට නූතන කතාවක් ඇත.) එහෙත් කලාව විෂයෙහි ඔහු තව දුරටත් කතා කිරීමට මැලි නොවේ. එහි පළමු කොටස, 'අපි පැතලි මිනිස්සු?' ලෙස නම් කොට ඇත. එහි ඔහු තර්ක කරන්නේ ප්‍රබුද්ධ කලාව පමණක් අගය කරන්නන් සිතා මතා එම රස වින්දයේ බහු විද තත්ත්වය මොට කරගත් අය බවයි. එනම් ප්‍රබුද්ධවාදී රසය පැතලි දෙයක් බවයි. මෙතන දෙයක් ඇත - එයට මෙතැන නිහාල් පීරිස් ගන්නා නිදසුන් ප්‍රමානවත් නොවන වගයි මගේ තක්සේරුව. සී.ටී., මිල්ටන්. එරෙහිව අමරදේව, නන්දා යනු ඉතා කුඩා කුලකයකි. එවන් වටපිටාවක අයෙක් අමරදේව, නන්දාට සීමිත වන්නේ නම්, එහි යම් පැතලිතාවක් ඉබේ සිදුවන බව පැහැදිලිය. එහෙත්, අප දිවයිනෙන් එතෙර සංගීතය රස විඳින්නෙක් නම්, එක්තරා අවදියකදී, සමහර සංගීතය ඇසීම නතර වන්නේ "ඉබේමය". මම මහා සංගීත රසිකයෙක් නොවෙන බව මම ම දන්නේ, මට තවම ශාස්ත්‍රීය හිදුස්තානි, හෝ බටහිර සංගීතය පමණක් නොව, ජෑස් සංගීතය පවා එහි තාක්ෂණික අංශයන් සත්‍ය වශයෙන් රස විඳිමින් ඒවා අගය කරනට නොහැකි නිසාය. අදට ත් මා ජෑස්, හෝ සමහර ශාස්ත්‍රීය සංගීතයන් රස විඳිනුයේ ඒවා මා තුල උපද්දන භාවයන් පමණක් නිසාමය. එහෙත් සංගීත රසිකයෙකු වීමේ ගමනේදී, සමහර සංගීතයන් ශ්‍රවණය නවතා දැමීම ස්වභාවිකවම සිදු වන බව මා අත්දැකීමෙන් දනිමි. ( බලන්න 1 ) ඉතින් මා ද විශ්වාස කරන්නේ සංගීතය රස විඳිම තම දිවියේ ඉතා වැදගත්, හා තමනට බද්ධ වූ හා, තමන්ගගේ ජීවිත ගමන හා බැඳි දෙයක් නම්, රස විඳිම් පරාසයේ යම් දියුණුවක් වීම ස්වාභාවික බවයි. විනෝද ගමනකදී, හෝ සාජ්ජයකදී, අදට ත් මා මගේ හිතමිතුරන් සමඟ ක්ලැරන්ස් ගේ ගීතයක් ගයනු ඇත. එහෙත් මගේ "සංගීත ගමනේ" ක්ලැරන්ස් තැනක නතර වී ඇත. එහෙත් අමරදේව සමඟ සැමදා ගමනක් ඇත. (මා මෙතන Acquired Taste හෙවත් ආගන්තුකව ලබා ගත් රසයන් යන මාතෘකාවට අත තබා හෝ නැත. එම ගමන මීට වඩා පුළුල් ය). අනතුරුව ඔහු ගෙනෙන තර්ක් දෙකෙන් ශාස්ත්‍ර්‍රිය සංගීතය වැදගත් නැතයි නොකීමට් ඔහු ප්‍රවේශම් වෙයි -ඔහු තම පදය ව්‍යවහාරික සත්‍යයන් වෙනුවෙන් යැයි වෙනස් කරගත්තේ දැයි සැක සිතේ. මට නම් හැඟෙන්නේ ශුද්ධ ගණිතයේ මුලධර්මයන් කිසිදා කල් ඉකුත් නොවන්නාක් සේ, ජනප්‍රිය සංගීතයේ හෝ සරල සංගීතයේ ට අමුද්‍රව්‍ය සැපයීමට ශාස්ත්‍රීය සංගීතය පැවතීම අත්‍යවශ්‍ය බවයි. කාරණාව, ඇත්තෙන්ම අප රට එවන් ශාස්ත්‍ර්‍රිය සංගීත භාවිතාවක් නැති බවයි. ඉන්දියාව වේවා, යුරෝපය, ජපානය ආදි රටවල් වේවා, මෙම දෙඅංශයමේ ගුණාත්මක වර්ධනයක් සිදු වෙ.
අවසන් වශයෙන් කිව හැක්කේ, මේ පොතේ බොහෝ තර්ක කාලය විසින් ම විසඳා ඇති බවයි. සමහරක් වා අද හා සසඳද්දි කල් පිරුණු ඒවාය. බොහෝ තැන්හි මෙම පොතේ සංස්කාරක, නිහාල් පීරිස් වඩා නූතන සහ ප්‍රගතිශීලි තැනෙක පිහිටා අදහස් දක්වා ඇත. එක් ලිපියක තම අදහස් වල යම් අඩුවක් තිබුන ද එය ඊළඟ ලිපිය වෙද්දී ශූක්ෂම ලෙස නිරවද්‍ය කරගැනීමට පෙළඹේ. තමන් තමන් ව ම නිවැරදි කරගනිමින් යන ගමන පැසසිය යුත්තකි. එහෙත් අද මේ ලිපි එකතුවේ ඇත්තෙන්ම ඇත්තේ ඓතිහාසික වටිනාකමක් යැයි සිතමි. කිම ද මොන අඩුපාඩු මධ්‍යයේ වුව, අප රට වැසියන් ගේ ද අදහස් හොඳ අතට වෙනස් වී ඇති බව මෙම ලිපි පෙළ පසක් කරයි. අඩු පාඩු තවමත් ඇත - ශිෂ්ඨ සමාජය යනු ම සැමදා යන්නට ඇති ගමනකි.
1- එක් නිදසුනක් මම මා ප්‍රිය කරනා රොක් සංගීතයෙන් ම දුන්නහොත්, අන්නුව දශකය
දක්වා මා රසවිඳි ඊගල්ස් කණ්ඩායමේ සමහර ගීතයන් ( නිදසුන් - lyin' eyes), අද
මට තරමක් අප්‍රසන්නය. මට අද එය දන්වන්නේ දැඩි ආයාසයකින් ගෙතු කතාමාලාවක්
වන් ගීතයකි. එහෙත් ඔවුන්ගේ ම one of these nights ගීතය දිනෙන් දින
විටිනාකමින් වැඩි වේ.
ශ්‍රේණිය: ****
පෞද්ගලික පසු සටහනකි: 1-
(මතකයෙන් මිදී යාම වලකනු රිසියෙන්) ඔය කියන අවදියේ මා
සාමාන්‍ය පෙළ විභාගයවත් ලියා නැති කොළු ගැටයෙකි. සාමාන්‍යයෙන් නිතර ඇහෙන
ඉංග්‍රීසි ගීත අසමෛන් සිටි මට, ප්‍රින්ස් ( Prince) නම් ඒ සුවිශේෂි
කලාකරුවාගේ Purple Rain නම් ඇල්බමය ලැබී, එය අසා විමතියටත්, රසයෙන් පිරී
ඉතිරී යාමකටත්, සියුම් බියකින් වෙලී යාමත් එක විට සිදු විය. එම වේගවත්
රිද්මයන් හි, සාම්ප්‍රදායිකව අපට තහනම් කෙරුණු ආශාවන් උද්දීපනය කෙරෙන ආරක්
එකල ම මට හැඟිණි. වෙසෙසින් එහි එන Darling Nikki නම් වූ ගීයේ එන ළඳකගේ
ස්වයං වින්දනයේ විස්තරත්, එය අප ගායකයාගේ එක් රැයක ට සීමා වූ කාම
සම්බන්ධතාවකුත් ගැන කියවේ. ගීතය අවසන, කියවෙන යම් වචන පෙළකින් එය සාතන්
ඇමතීමක් බවට Sunday Observer ලිපියකින් කියවිණි. අප එම ඇල්බමය ඇසුවේ
බියකිනි - කිමද කාමය ප්‍රින්ස් ගේ සංගීතයේ නොමද ලක්ෂණයකි - එය වචන වලින්
නොව, සංගීතයෙන් පමණක් වුව දැනේ. අප දෙමාපියන් ගෙන් සැංගී ගීත ශ්‍රවණයට තරම්
වාතාවරණයක් අප නිවෙස් වල ඒ අවධියේ නොතිබිණ. ප්‍රින්ස් ගේ එම ඇල්බමය, මා
Top 10 ජනප්‍රිය පොප් සංගීතයෙන් ඈත් කරලිමට සමත් විය. ( ප්‍රින්ස් ද Top 10
ගීත රැසකට මහිමි කම් කීවද, ඔහුගේ ඇල්බමයක් ගත් කල, එය ඊට එහා යන ගමනක
යෙදෙයි.) තවද, මෙම කාලයේය, හෙවි මෙට්ල් සංගීතය දීර්ඝ ලෙස ශ්‍රවණය කල
වැල්ලවත්තේ තරුණයෙකු තම දෙමාපියන් මරා දැමුවා යැයි පුවතකින් අගනුවර පුපුරා
ගියේ. SLBCන් හෝ, මෙතෝදිස්ත පල්ලියට සම්බන්ධ අය හෝ ( මට පැහැදිලිව මතක නැත)
අප පාසලට ඇවිත් මේ මේ අයගේ ගීත අසන්නට එපා යැයි කීවෝය. ඒ අනුව, AC/DC,
Judas Priest, Kiss ආදි ගී කණ්ඩායම් පමණක් නොව, පමණක් නොව Jon Bon Jovi ගේ
Blaze of Glory පවා සාතන් හා සබැඳි ගී ලෙස අපට හඳුන්වා දුන්නෝය ( එම
කණ්ඩායම් තම නම් ලිවීමට අක්ෂර භාවිත කල ආකාරය සාතන් හා සම්බන්ධ කලෝය.) අද
වන විට අප ට වැටහී ඇත්තේ මේ කියු කණ්ඩායම් බොහෝ සෙයින් කාමය හා මත්වීම ගැන
ගැයූ අතර, ඇත්තෙන්ම සාතන් ගැන, මරණය ගැන, කුරිරු වද හිංසාවන් ගැන ගී ගැයූ
කණ්ඩායම් සඳහනක් නොවූ බවකි. ඉහත කණ්ඩායම් තරමක් හෝ ඔවුන් නිවැරදි වූයේ Iron
Maiden ගැන සඳහනේ දී පමණය. ඇත්තෙන්ම සාතන් ගැන වේව , මරණය ගැන වේවා ( death metal ) විෂය් අකෙරෙන සංගීත කණ්ඩායම් වෙතත්, එවන් කණ්ඩායම් ගැන ඇත්තෙන්ම කතා නොවුණු බවකි, දැන් මගේ මතක ආවර්ජනය පවසන්නේ - මා ද එම සංගීත කණ්ඩායම් ගැන දැන ගත්තේ අන්තර්ජාලය ප්‍රචලිත වූ පසුවය. ඔවුන්ගෙන් එකක් දෙකක් මා අද ද ශ්‍රවණය කරයි ( Opeth) .
මා මේ සටහන මෙතන කලේ, මගේ මතකයෙන් ගිලිහි
යාම වැලකීමටත්, එදා මෙදා තුර තුල සිදු වූ වෙනස්කම් ගැන සඳහන් කරන්නටත්
පමණය.