Monday 1 November 2021

තම්මැන්නා - සුමිත්‍රා රාහුබද්ධ

 


මේ කෘතිය උදෙසා කතුවරිය, සිය සිය පත් සිය කෘතියේ ආඛ්‍යාන විලාශය ඊළඟ තලයට ගෙන ගොස් ඇත. නවකතාවට අදාළ කාල පරාසය දීර්ඝ වීම හේතුවෙන් කතුවරිය එම ශෛලිය මෙම කෘතියේ දී ද භාවිත කලා යැයි සිතිය හැක. ඉතා වේගයෙන් සිද්ධීන් ගලා යන අතර තැනෙක දෙකක නතර වී ආසන්න දසුනක් ගෙනන ආකාර ආඛ්‍යායනයකි, එය.  මෙය පොත වේගයෙන් කියවාගෙන යාමට රුකුල් වුවද, එම වේගයට අනුගත වීම පාඨකයාගෙන් බලාපොරොත්තු වේ.  තම්මැන්නා ඇදී යන්නේ චිත්‍රපටියක් විලසිනි - වෙනස ඇත්තේ චිත්‍රපටියේ රූප රාමූ මාරු වීම අපට ගෝචර වීමය. එහෙත් මෙහි එසේ සිද්ධීන් වල වෙනස් වීම, පාඨකයා ම විඳ, එම ආඛ්‍යාන රටාව ට අනුගත විය යුතුය.


කෘතිය ඇරඹෙන්නේ 1930 දශකයේ රුවන්වැල්ලේ මැලේරියාව උත්සන්න යුගයක,  සූරියමල් ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇගයීමකිනි.  රතු මහත්තයා හෙවත් N.M. පෙරේරා සහ සමසමාජ දේශපාලන අදහස් එම ප්‍රදේශයේ ව්‍යාප්තියේ සාකච්ඡාවෙන් ඒ. එහි, සහ රට පුරා ම පාහේ කුලවන්තයින් විසින් කුලහීනයන් කෙතෙරම් යටත් කරගෙන සිටිය ද යත්, නව යොවුනියන් 'ඉඳුල් කිරීම' උදෙසා තම වලව් වලට ගෙන්නා ගැනීම සාමාන්‍ය දෙයක් විය.  කුලහීන කාන්තාවන් විසින් තම උඩු කය වසා ගැනීම ඔවුන්ගේ මට්ටමට නුසුදුස්සක් බවට  කෙතෙරම් විශ්වාස කලේද යත්, ඊට එරෙහි ව සමසමාජ පක්ෂය ප්‍රමුඛ ක්‍රියාකාරීන් ක්‍රියා කරලීමට යත්න දරද්දී, ඔවුන් විසින් ම අරටු බැස ගත් විශ්වාස හා බිය හේතුවෙන් එම අදහස් පිළිගැනීමට පැකිලෙයි. NM සමඟ බොරළුගොඩ සිංහයා ද ( පිලිප් ගුණවර්ධන) , කුලපීඩනයට විරුද්ධ එම පෙදෙසේ එකම වලව්ව වූ එක්නැලිගොඩ වලව්වේ ජෝන් එක්නැලිගොඩ ද  මෙහි නයකත්වය ගනී. ඊට මෙහි යම් තරමක ප්‍රධාන චරිත ලෙස සිතිය හැකි සුන්දරා හා කින්නරී ද එක්වෙයි.

මුල් කාලයේ තොටළගින් රුවන්වැල්ලට සම්ප්‍රාප්ත වූ NM, ප්‍රාදේශීය වලව් පැලැන්තිය සමඟ තරඟකර 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට  ඡන්දයේ එම අසුන හිමි කරගන්නේ ඩී.බී. ජයතිලක වැනි අය, ඇන්.ඇම්. පන්සල් පල්ලි විනාශ කරන මිථ්‍යාදෘටිකයෙක් කියා ප්‍රචාරය කරන අතරය. ඔහු ට රුවන්වැල්ලෙන් තරඟකිරීමට සිදුවන්නේ මීදෙනිය වලව්වේ මොලමුරේ කුමාරිහාමි සමඟය.

එතැන් පටන්, එක් අතකින් යම් දුරකට ඇන්.ඇම්. ද, ප්‍රධාන චරිතයක් ලෙස ( ඔහුගේ අභාවය දක්වා) පවත්වා ගනිමින්, නිදහස, ඩී. ඇස්., ඩඩ්ලි, SWRD, දහනායක, මැතිණි, ජෝන් කොතලාවල යන අය මාරුවෙන් මාරුවට අප රට අගමැති කම් දැරූ යුගයන් ඔස්සේ මෙම කෘතිය අප ව ගෙන යයි. 111 පිටුවේ සිත 371 පිටුව දක්වා මේ යුගයන් ගැන ලියැවී ඇත්තේ, අතුරු කතා ආදියෙන් ද පෝෂිතවය. කෘතියේ දුර්වලතා හා දෝෂ නොතකා, මෙම දිගැරුම අප රටේ මෑත දේශපාලන ඉතිහාසය ගැන අපූරු රසවත් කියවීමකි. එලෙසම කතුවරිය බොහෝ දුරට තම කරුණු සොයා ගැනීම අපූරුවට කර ඇති සෙයකි. දෙවෙනි ලෝක යුද්ධයට සහය දැක්වීමට විරෝධී වීම  හේතුවෙන් හිර බත් කෑමට සිදුවීම, හිර අඩස්සියට පත් වීම වැලැක්වීමට ඉන්දියාවට පැන යාම, ආදි හේතූන් නිසා  නිදහස ලබන විට අවාසිදායක තත්ත්වයක් ඔවුනට උදා වී, විපක්ෂ නායක කමින් සැහීමට ඇන්.ඇම්. ට සිදුව ඇත. මෙම 1948-1977 යුගයන් අතර යම් අඩුපාඩු තිබුන ද, ඒවා ඔවුන් රට දියුණු කල යුත්තේ කෙසේ ද කියා තිබූ දැක්මේ අඩුපාඩු බව කතුවරිය පෙන්වා දෙයි.  SWRD පවා සිංහල පමණක් නීතියේ අඩුපාඩු වටහාගෙන එය නිවැරදි කරලිමට, හොරගොල්ල වලව්වේදී චෙල්වනායගම් සහ A.J. විල්සන් සමග සුදුසු ව්‍යවස්ථාවක් ගෙන ඒමට සාකච්ඡා කල අයුරුත්, "ගිවිසුමට ඔබවහන්සේලා විරුද්ධ නම් ස්ථිර වශයෙන්ම මම එය ඉරා දමනවා. එහෙත් එය රටේ අනාගතය අන්තරායට පමුණුවනු ඇති බැවින් ඔබ වහන්සේලා ඒ ගැන සිතිය යුතුයි" යැයි පවසා ඇත ( මින් කිසි ලෙසකින්, SWRD එම වරදින් නිදොස් කරලීමට අදහස් නොකෙරේ.) 1950 දශකය අග වන විට ද අවම වශයෙන් ගම්බද පෙදෙස් වල අගමැති වීමට නීතියෙන් ම කුලය හේතුවන බැව් විශ්වස කොලෝ සිටියෝය ( සී.පී. ද සිල්වා ට අගමැති කම නොලැබීමට එක් හේතුවක් එය වූ බව පෙනී යයි.) 1962 කුමන්ත්‍රණය ගැන ද යම් විස්තරයක් මෙහි රැගත් ය.1965 සහ 1970 ඡන්ද වලින් පසුව පශ්ඡාත් මැතිවරණ ප්‍රචන්ඩත්වයන් දැකිය හැකි විය. 60 දශකයේ අග වන විට පරණ වම ට අභියෝග කරමින් අලුත් වමේ උපත ගැන අපූරු විග්‍රහයක් මෙහි එයි.

එනුමුදු, ඒ සමග ම වැටහෙන්නේ  කරුණු සිදු වූ පිළිවෙල අනුව අලුත් වමක් බිහිවීම ද වැලැක්විය නොහැකි තත්වයක් බවයි. අධ්‍යාපනයක් ලබා ගත්තද, සමාජ පරතරය ඔවුනගේ අනාගතයට බලපාද්දී   මෙවන් තත්ත්වයන් බිහිවීම ස්වභාවික බව පසක් වෙයි. මා මෙම කෘතියේ යම් අපූරත්වයක් දකිනුයේ මේ කාරණා නිසාය. මෙම සමාජ විග්‍රහයන් අන් තැන් වල, වෙසෙසින් ශාස්ත්‍රීය කෘති වල ඇති බවට සැක නැත. එහෙත්, සාමාන්‍ය පාඨකයන්ට එවන් කෘති දුරස්තය - එහෙත්  ප්‍රබන්ධ කෘති කියවීම බලාපොරොත්තු විය හැක.  ඒ අනුව ප්‍රබන්ධයක සැකිල්ලක් තුල මෙම සමාජ විග්‍රහයන්, අප රට සිටි දේශපාලකයින්ගේ අඩුපාඩු, හොඳ ගති ආදි සියල්ල බොහෝ දුරට අපක්ශපාතීව ඉදිරිපත්
කරලීම පැසසිය යුතු ව්‍යායාමයකි.
1971 කැරැල්ල පිළිබඳ අතුරු කතා වලින් ද සපිරි මෙම කෘතිය, එම කාලය පිළිබඳව ද සාධාරණ කියවීමක් කොට ඇත්තේ, නවකතාවකට උචිත ආකාරයෙනි. "ජේවීපී අප්පුහාමි මළා. ආදාහනය පස්වෙනිදා", රවි ජයවර්ධන ද මේ සම්බන්ධව අත් අඩංගුවට පත් වුවද පැය හතරක් ඇතුලේ නිදහස් වීම, පරණ වම තරුණයින්ගේ ප්‍රශ්ණ තේරුම් නොගැනීම, අත් අඩංගුවට පත් වූවන්ට සිදු වූ වද බන්ධන නැවැත්වීමට සුනේත්‍රා සහ කුමාර් රූපසිංහ කල බලපෑම් විශේෂ ය.  රටට ආදායම් මාර්ග 1948 සිට 1970 වෙද්දී ත් සොයා ගත නොහැකිව, සුද්දා ඉතුරු කර ගිය මුදල් ද වියදමට ගැනීම ආදිය ගැන අපූරු විග්‍රහයක් කෙරෙන්නේ, මෙතෙක් කල් ඇන්.ඇම්. ව ආදරයෙන් වැළැඳගත් රුවන්වැල්ලෙන් ම ඔහු ට දොස් නැගෙන ගමන් ය. - ඒ එතරම්ම සමසමාජය සක්‍රීය රුවන්වැල්ලේ පවා ජවිපේ ක්‍රියාකාරීන් මතුවීම නිසාය.

1948 හා 1977 අතර දේශපාලඥ්ඥයින් කෙතෙරම් අදක්ෂ වුව ද, නීතිය ට ගරු කිරීම් අතින් ජේ.ආර්. පාලන කාලයේ තරම් දුර්දාන්ත කාලයක් නොවිය. ඇත්තෙන් ම ජේ.ආර්.  යුගය අප රට මහජනතාවට අපහාසයකි; වසර ගණනාවකට පවු ගෙවිය යුතු අවිචාරශීලි යුගයකි; අප රට ට සාපයක් වූ යුගයකි. ඒ ජේ.ආර්. විවෘත ආර්ථිකය හඳුන්වා දුන් නිසා නම් නොවේ -

70-77  යුගයේ අපහසුතා වලින් පසුව විවෘත ආර්ථිකය හඳූන්වා දීම තාර්කික ඉදිරි පියවරක් බව පැහැදිලිය. එහෙත් අවනීතිය රජකිරීම, අසූවේ වැඩ වර්ජනය, 83 ජූලි ජාතිවාදී කෝලහාල, වැරදි කරුවන් දිරිමත් වන විදිහට රටේ ආණ්ඩුවම ක්‍රියා කිරිම මගින් අප රටේ දේශපාලන සංස්කෘතිය අද වන විට පවතින තත්ත්වය දක්වා බිඳ වැටීමට මූලික අඩිතාලම දැමීම, මහජනතාව මොනා සිතුවත් බලයෙන් මත් වී අත්තනෝමතික ව ක්‍රියා කිරීමේ දේශපාලන සංකෘතියක් ඇති කල එම යුගයයි. මෙම අවිචාර යුගය ගැන දිර්ඝ විවේචනයක් මෙහි සොයාගත හැක.  එහි කරුණු බොහෝ දුරට සත්‍ය බව පැහදිලි වන අතර එම වගකීමෙන් ජේ.ආර්. ට කිසිදිනෙක මිදෙනු නොහැක.  රට අධම දේශපාලන සංස්කෘතියකට ඇද දැමූ ජේ.ආර්. පාලනය ගැන විස්තරයන් නූතන පරම්පරාවට විවෘත වීමට අවස්ථාවක් මේ කෘතියෙන් ලැබේ.  ජේ. ආර්. ගේ එම දැඩි මර්ධනකාරී, ප්‍රජාත්න්ත්‍ර විරෝධී සමයෙන් පසුව රණසිංහ ප්‍රේමදාසයන් තමනට හැකි පමණින් හොඳ අභිලාෂයන් ඇතිව තම කර්තව්‍යයන් ආරම්භ කලද, බොහෝ විට අප රට ඉතිහාසයේ පළමු වතාවට දුප්පත් මිනිසා, පෑගෙන මිනිස වෙනුවෙන් යම් සේවයක් අවංකව ඉටු කරලිමට උත්සාහ දැරුවද, දෙකොණ ගිනිගෙන තිබූ රටේ ත්‍රස්තාවාදී ප්‍රශ්ණය හමුවේ අවංකව, එහෙත් යම් දේශපාළන බොළඳ බවක් නොමේරු බවක් හේතුවෙන් මහත්
විනාශයන්ගෙන් අවසන් වූ අයුරු පෙන්වා දෙයි. මෙම යුගය ගැන කතා කරනා විට ලලිත් ඇතුලත්මුදලි, රිචඩ් ද සොයිසා, රෝහණ විජේවීර, රන්ජන් විජේරත්න යන චරිතයන් ගැනත්, ඔවුන්ගේ ඝාතනය වීම් ගැනත් මෙහි කියැවේ.


    


  ප්‍රේමදාස යුගයෙන් පසු චන්ද්‍රිකා යුගය ගනත්, ඇය ද සාමය ස්ථාපිත කරලිමේ මහත් බලාපොරොත්තු ඇතිව බලයට පැමිණි අයුරුත්, එනමුදු ඉක්මනින් ම, මේ වන විට මහත් සේ දුෂණයට ලක් ව ඇති දේශපාලනය වෙනස් කරලීම වෙනුවට ඊට ම එකතු වී එහි ගොදුරක් වන අයුරුත් ප්‍රබන්ධ කෘතිය තුලට ගොනු කොටගෙන ඇත. මෙහි මා නොදැන සිටි කාරණාවක් වූයේ එවකට ජනපති ව සිටි විජේතුංග මැතිණිය අගමැති කරලීමේ උවමනාවෙන් තාවකාලිකව පසු වූ අයුරුය. මෙවන් අතුරු කාරණා රැසකින් මෙම කෘතිය වර්ණවට් වී ඇත.

                      

කෘතිය අවසන් වන්නේ මහින්ද රාජ්පක්ෂ ජනපති ලෙස යුද්ධය ට දේශපාලන නායකත්වය දීමෙන් එහි සමාප්තිය කරා ගෙනයාමත්, ඒ වන විට අලුත් හෙටක් ගැන මෙරට අති බහුතරයක් වැසියන් වෙත තුබූ බලාපොරොත්තු ගැන දීර්ඝ විස්තරයක් ගෙන ඒමත් සමගය. කෘතිය එතැනින් අවසන් වුවද, කණගාටුවට කාරණාව එදා මෙදා තුර වසර 12ක් තුල, මිලියන සංඛ්‍යාවක් තුල වූ එම නැවුම් බලාපොරොත්තු උපන් තැනම මිය යාමත්, අද වන විට බොහෝ දෙනා රට හැර යාමේ නොනිත් උත්සාහයක යෙදී සිටීමත් මතක් වද්දීය - එය අන් කෘතියක හෝ මෙහි ම දෙවෙනි කොටසට මාතෘකාවක් වනු ඇත. ( අද වන විට නීතිය ගැන නොතැකීම, පක්ෂය කවූරු වුව ඔවුන් ජේ.ආර්. දේශපාලන දරුවෝ බැව් පැහැදිලි වේ. ) යුද්ධය සාර්ථක ලෙස නිම කල ඔහු ද දූෂිත දේශපාලන ප්‍රවාහය ට තම කොටස එකතු කල අයුරු පෙන්වා දෙයි. 

මේ වන විට කින්නරීගේ මිණිබිරිය වන කොයින් මෙහි ප්‍රධාන චරිතයක් තරමට වැඩි වියට පත් ව ඇත. ඇය දේශපාලන දනුම් තේරුම් ඇති කාන්තාවක් බවට පත් ව ඇත. මෙහි එන සියළුම චරිත පාහේ, මෙම දේශපාලන කතාවේ ගලායාමට අතුරු කතාවක්, නැතහොත් හිඩැස් පිරවිමේ කටයුත්තකට වඩා යමක් නොකරයි. එය පාඨකයා ට ඉතා මැනවින් වැටහෙන හෙයින්, හුදෙක් නවකතාවක් ලෙස මෙහි එම දුර්වලතාව ඉතා පැහැදිලව පවතී. කලා කෘතියක් ලෙස එම දුර්වලතාව තිබුන ද, අප සැම යම් තරමින් දන්නා, සහ ඉතා මෑත ඉතිහාසයේ මෙම කාරණා අප අවධානය දිනා ගන්නා බවට සැක නැත.


එහෙත් මේ පොතේ දෝෂ ගණනාවක් ඇත. මා ඒවා මෙසේ ලයිස්තු ගත කරන්නේ, පාඨකයා ට, පාරිභෝගිකයා ට සාධාරණයක් ඉටු නොවෙන රටක, මෙයත් එවන් තවත් අවස්තාවක් බව පෙන්වා දීමටය.

1. මෙම කෘතිය තරමක් මිල අධික එකකි ( මා සතු මුල් මුද්‍රණයේ මිල රු. 1450/- කි). එහෙත් පිටු 682කින් සපිරි මෙම පොත ට, ප්‍රකාශකයන් භාවිත කරනා යම් සූත්‍රයක් අනුව එම මිල අසාධාරණ නැතැයි සිතමි. එහෙත් අසාධාරණය ඇත්තේ, මෙහි එන මුද්‍රණ දෝෂ නිසා ය. මා දන්නා තරමින් Platform for Alternate Culture ප්‍රකාශ කරන්නේ සුමිත්‍රා රාහුබද්ධ ගේ පොත් පමණක් ම වාගේය. ඒ අනුව, එම ප්‍රකාශන ආයතනය සහ ඇය සමග යම් සම්බන්ධයක් ඇතැයි අනුමාන කරමි. ඒ අනුව මෙම මුද්‍රණ ආයතනයත්, ලේඛිකාවත් පාඨක අපට අසාධාරණයක් ඉටු කොට ඇතැයි සිතමි. කිම ද මෙම මුද්‍රණ දෝෂ සකසා දෙවෙනි මුද්‍රණයක් පැමිණියද, මට ඉන් වැඩක් නැති නිසාය. මා මිල දී ගත් කෘතියකින් මා ලබනා ආස්වාදයට යම් බලපෑමක් දැනට ම සිදුව ඇත.

2.  සිද්ධීන්/ජවනිකා අතර වෙන් කිරීම: මෙම චෝදනාව මං කරන්නේ අර්ධ විශ්වාසයකිනි. මෙහි එක් ජවනිකාවකින්/ නැත්තම් සිද්ධියකින් අනෙක වෙන් වන්නේ නැත. එනම් සමහර අවස්ථාව වල උඩ පේළියේ සිටිනා චරිත හා ඊළඟ පේළියේ සිටිනා චරිත සම්පූර්ණයෙන් වෙනස් ය. මෙය කතුවරිය සිතා මතා වේගයෙන් තම ආඛ්‍යායනයේ ගලා යාමේ රිද්මය පවත්වා ගැනීමට භාවිතා කලා ද විය හැකිය - එය එසේ නම් එය දුර්වල මෙවලමකැයි සිතමි. වැඩි ඉඩක් ඇත්තේ එය පිටු සැකසීමේ වරදක් වීමටය - කිමද තැන් කිහිපයක කොටස් වෙන් කිරීමක් සිදු කොට ඇති හෙයිනි. තරුවකින් හෝ අවම වශයෙන් පේළි 4-5 ඉඩකින් එම කොටස් වෙන් කිරීම සංඝතව කලේ නම්, කියවීම පහසු වනු ඇත. මෙම දුර්වලතාවට නිදසුන් පහතදක්වා ඇත.


3. මේ කාරණා දෙකම පෙන්නුම් කරන්නේ මේ පොත එළිදැක්වීමට තිබූ හදිසිය යැයි සිතමි. ඉහත පෙන්වා ඇති පරිදි, මේ පොත නවකතාවක් ලෙස යම් දුර්වලතා වලින් තිබුන ද, අප රට මෑත ඓතිහාසික දිගැරුමක් ලෙස, ප්‍රබන්ධයක් තුල එය මොනවාට ගොණුකර ඇත.
ඉන් ප්‍රබන්ධ කියවීමේ රසය සමඟ, අප තාත්තාලාට අම්මලාට මතක ඉතිහාසයක්, අප සමඟ කියූ ඉතිහාසයක අතුරු කතා, පේළි අතර කතා පවසයි. ඒ අනුව මට අනුව නම් මෙය ලියවෙන්න ඕනෑම කෘතියකි.  එයට කතුවරියට තුති පුදකරමි. එහෙත්, ඇය මේ පොතේ නිමාව, සහ ඉහත කී කාරණා දෙක ගැන අවධානය යොමු නොකිරීම, ඇය වන් අත්දැකීම් බහුල කීර්තිමත් ලේඛිකාවකගෙන් නොවිය යුත්තකි ලෙස සලකමි.


මා මෙම දීර්ඝ දේශපාලන කතාව මහත් රස වින්දෙමි. ඒ ඉහත කී, නවකථාමය නිර්මාණයක් ලෙස එහි ඇති දුර්වලතා ද, නිමැවුමේ සමාව දීමට අපහසු දුර්වලතා ද තිබෙනා අතරය. මා විශ්වාස කරන්නේ අප රට බොහෝ දෙනෙක්, වෙසෙසින් තරුණ තරුණියෝ මෙම කෘතිය මහත් රස විඳිනු ඇතැයි කියාය. මේ සටහන කතුවරිය කියවන්නේ නම්, අනාගතයේ හෝ හදිසි නොවී තම නිර්මාණ වලට සාධාරණයක් සිදුවන අයුරින් සුදුසු ලෙස සෝදුපත් බැලීමේ වැදගත්කම තේරුම් ගත යුතුය; සංස්කරණය කල යුතුය. පොතක් හදිසියේ සැප්තැම්බරයේම ප්‍රකාශ වීම අත්‍යවශ්‍ය නොවේ; ඊට වඩා වැදගත් පාඨකයාට සාධාරණයක් ඉෂ්ඨ වන සෝදුපත් බැලූ, දෝෂ අවම කෘතියකි.

මෙහි ඇති දෝෂ නිසා මීට තරු තුනක් පමණක් දෙමි. මෙම දෝෂ අමතක කලහොත් තරු තුනහමාරක ට නො අඩු විභවයක් මෙහි ඇත. නවකතාමය ආකෘතියේ ඇති බොල් බව හේතුවෙන් තරු හතරකට යාම ට තරම් ශක්තියක් මා මෙහි නොදුටුවෙමි. මෙම කෘතියේ 2020 වසරේ කිසිදු සම්මානයකට නිර්දේශ නොවීය; රාහුබද්ධ වන් ප්‍රවීණ ලේඛිකාවකගේ කෘතියක් සම්මාන හතරකින් එකකට හෝ නිර්දේශ නොවීම තරමක් පුදුමය. එහෙත් මෙහි නිමාවේ දෝෂ ඊට බලපාන්නට ඇත්දෝ යි මට සිතේ ( එසේ නිර්දේශ නොවීමේ දොසක් මා නොදකිමි).

ශ්‍රේණිය: ***
2019 ප්‍රකාශ වූ නවකතා කියවීම - 12







No comments:

Post a Comment