මේ වන විට ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරි පත් වී තිබෙන උක්ත කෘතිය කියවුවෙමි. කියවම් දෝ, නොකියවම් දෝ යැයි යයි දෙගිඩියවාක සිටිය ද, අප යම් විශ්වාසයක් තබන කියවන්නෙක් හෝ දෙදෙනකුගේ හෝ අදහස් හා, ඉහත කී සම්මාන නිර්දේශය, කෘතිය කියවීමට බලපෑමක් ඇති කල සෙයකි.
මෙම කෘතිය කිහිප අයුරකින් අගය කල හැකිය.
1- වාමනයන් හා ආශ්‍රිත ගෙත්තම: අප සංස්කෘතියේ එන පාරභෞතික අදහසකට ඖචිත ලෙස පණ දෙමින් කතුවරයා, තමන් යටත් කරගෙන සිටින පාලනයන්, අදහස්, විශ්වාස ගැන කතාවක් ගොතා ඇත්තේ අද ට ද බලපානා ආකාරයටය. සංස්කෘතියක බර, ඉන් බැඳීම, ඉන් මිදීමට ඇති අපහසුතාව සහ අකැමැත්ත ගැන සාර්ථක විචාරයක්, ප්‍රබන්ධයක් තුලට තුලට ගැබ් කොට ඇති සෙයකි. නවකතාව පුරාවට ම පාහේ නොනිමි සංවාදයක් ලෙස දිගැරෙන හේමරත්න හා වාමන ආත්ම අතර සංවාදයෙන්, එම වාමනයන් ට නිදහසක් දිනා දීමට ඇති අපහසුව මගින්, සීමිතව යම් සිතීමේ පිළිවෙලකට, යම් විශ්වාස පද්ධතියකට, සිර වී ජීවත් වන මිනිසුන් රූපකයක් ආකාරයෙන් කියවා ගත හැකිය. නිදසුනක් ලෙස, ද්‍රවිඩ සම්භවයක් සහිත වාමනයන් මෙම අදිසි හස්තයන්ගෙන් මිදී නිදහස කරා ගොස් ඇති විට, තම විශ්වාසයනට කොටු වූ බෞද්ධ සංස්කෘතියක ට උරුම කම් කීවෝ වසර අටසියයකට පස්සේ ද රාජ අණින් මිදීමට නොහැකිව ලත වෙති.
මේ කාරණාව මෙම නවකතාවේ මුඛ්‍ය සංවාදය බව පැහදිලිය. 1950-1960 දශක වල ප්‍රාදේශීය සමසමාජ දේශපාලනය යම් යම් ජයග්‍රහණයන් බෙල් පාටියේ සේවකයන් ට දිනා දුන්න ද, පාලක පංතියේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය ගෙනෙන වෙනස්කම් හමුවේ හමාගෙන යාමකට ගොදුරු වනු මිස, මිනිසුන් ලෙස පුළුල් නිදහසක් ගැන උවමනාවක් හෝ විශ්වාසයක් ගැන තැකීමක් නැතිවීම රටේ ම අභාග්‍යයක් වන්නට ඇත.2- දේශපාලන භික්ෂුවගේ ආගමනය: බුදුදහම හරි හැටි
නූගත් භික්ෂුවක් සාමාන්‍ය මිනිසුන්ගේ හැඟීම් වලට ආමන්ත්‍රණය කිරීම හරහා ඔහුගේ පැවැත්මත්, සමාජයේ පිරිහීමත්, විවිධ ලබ්ධීන් ඇත්තන් වෙන්කිරීමත් සියුම් ව කරනා අයුරු මෙහි පෙන්වා ඇති අයුරු අපූරුය. මෑතක රජයේ වගකීම් සහගත පදවියක් ලත් ආන්දෝලනාත්මක භික්ෂුවකගේ පෙර පරපුරුක නිදර්ශනයක් මතකයට නැගුනේ නිරායාසයෙනි.
3- ඉතිහාසය - ආනුලුන්දාව හෙවත් ආනෛඋලුන්දන්: පොලොන්නරු යුගයේ සිට පැවතෙන නයිපෙන විහාරය අසල පැවතුන ඓතිහාසික ගම. 1958 දෙමළ කෝළහල වලදි වැසියන්ගේ නිවාස වලට සිදු වූ විනාශයත්, එවකට තිබූ දේශපාලන වාතාවරණයත් හමුවේ, එ ගම වැසියන් වවුනියාවෙන් ඔබ්බට යෑම හේතු කොට ගෙන මෙම ගම්මානයේ විනාශය සිදු විය. මෙම ඓතිහාසික කාරණය හේතු කොට ගෙන පමණක් වුව, මෙම පොතෙහි සැලකිය යුතු වටිනාකමක් දකිමි. වස් වැදෙතැයි බියට බෞද්ධයන්ගේ පුරාවිද්‍යා හා සබැඳි කැනීම් වලට සම්බන්ධවීමට පසු බට වෙද්දි ආනෛඋලුන්දන් හි දෙමළ වැසියන් හා, මඩකලපුව හා එරාවුර් වලින් තාවකාලිකව පැමිණි මුසල්මානු කම්කරුවන්ගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු වූ අයුරුත්, පිටපලාත් වලින් පැමිණි සිහළුන් ඊට එකතුව, එකාවන් ව පෙර කී කලබල කාලය වන තුරු සේවය කල අයුරුත් මෙහි කියැවේ. කොලනි වල පදිංචියට තවත් අයවළුන්ගෙ පැමිණීම සමඟ පෙර කී අනාරක්ෂිත තත්ත්වය ක්‍රමයෙන් ඇති වූ අයුරුත්, දේශපාලන භික්ෂූන් තුවාල පෑරීමට ක්‍රියා කල අයුරුත් මෙහි ඇතුලත් ය.
4- වමේ දේශපාලනය: අප රට පළමු පාර්ලිමේන්තුවට විපක්ෂ නායකයෙකු පත් කල සමසමාජ පක්ෂය 1960-1970 දශක තුල නිදහස් පක්ෂය තුල දිය වී යාමත්, ඇන්. ඇම්. පෙරේරා ගේ වියෝවත් සමඟ ජේ. ආර්. ගේ අවිචාර සමයටත් හේතු වන්නටත් ඇත්දෝ යැයි සිතේ. අප රට අසූව දශකයේ විවෘත ආර්ථිකයකට යන අවදියේ ප්‍රබල වමක් නොතිබීම අද රටක් ලෙස අප සිටිනා අවදානම් සහගත තත්ත්වය ට හේතු වන්නට ඇතැයි සිතේ. මෙම නවකතාවේ එන සුවාරිස් වැනි අය ගේ චරිතය ඔස්සේ සමසමාජයක අදහස් වසර සිය ගණණක් තුල පීඩනයට ලක් වූ ජනතාවගේ නැගි සිටීමට විභවයක් ඇති කිරීමේ හැකියාවක් ගැන ඉඟි කරයි. යුවාල් හරාරි ඔහුගේ පොතක පවසන්නේ, මාක්ස්වාදීන් ට ධනවාදීන් ට ද පොත් කියවීමට හැකි බව අමතක වූ හෙයින්, ධනවාදයේ රළුව මාක්ස්වාදීන්ගේ දර්ශනයෙන් සුමටකරගෙන ඔවුන්ගේ දර්ශනය දියුණු කරගත් බවකි. පැහැදිලිව අපට 1977න් මෙහා මෙම සුමට කර ගැනීමේ, හෙවත් සියළු දෙනාට ගරුකරන ශිෂ්ඨ සමාජයක් කරා යන අවස්ථාව මගැරිණි. (ඒ හෙයිනි මාක්ස්වාදී මුල් පොත් නොව, තමන් ට කියවීමට හැකි මවුබසෙන් ලියැවී ඇති ලේඛනයක් ඉතා අවලක්ෂණ ලෙස, අවිචාර ලෙස, ගොත ගසමින් කියවන්නන් ට පිටුපස දොරකින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන අමාත්‍යධූර වලට පැමිණීමට හැකි වී තිබෙන්නේ.)
සමස්තයක් ලෙස මා රස විඳි මෙම නවකතාවේ, අපේ බොහෝ නවකතා වල එන එක් දෝෂයකින් නොපෙළෙන්නේ නොවේ. ඒ එහි දේශපාලන පණිවුඩය පාඨකයාට මගැරෙතැයි බියෙන් දෝ, එය තද අකුරෙන් - යටින් ඉරි ඇඳ උලුප්පා දැක්වෙනා ආකාරයෙන් මතු කිරීමය. පාඨකයාට වඩා ස්වභාවික ආඛ්‍යායනයක් තුලින් දේශපාලනය පීරා ගැනීමට ඉඩ නොතියා, එය මෙසේ වෙසෙසින් මතුකිරීම අප ප්‍රබන්ධ රචනයේ යෙදෙන සමහර ප්‍රසිද්ධ කතුවරුන් හා වියතුන් ද කරනා දෙයකි (ස්වභාවික ආඛ්‍යායනයක් තුලින් දේශපාලන කාරණා මතුකරලීම ඉතා ශූර ලෙස කරනු මා දැක ඇත්තේ එරික් ඉලයප්ආරච්චි, ජයතිලක කම්මැල්ලවීර, සහ පී.බී. ජයසේකර අතිනි). මගේ තක්සේරුව නම් මෙය නවකතාවේ සමස්ත වර්ණයට නොගැලපෙන ලෙස එක් කොටසක් කැපී පෙනෙනා ලෙස තද වර්ණයක් ගන්වන්නාක් සේ ය. එසේ කීවද, මෙහි මුසල්මානුවන් හා සුන්නත් කිරීම පිළිබඳ විහිළුවකින් මෙම මිශ්‍ර සමාජයේ ස්වාභාවික හැසිරීමක් පෙන්වන අවස්ථා ද වේ. තාක්ෂණික කාරණාවක් ලෙස දොළොස් වෙනි - දහතුන් වැනි සියවේ විසුවන් හා 1960 දශකයේ විසුවන් අතර භාෂණයේ ගැටළු මතු නොවේදැයි කෙනෙකුට සිතිය හැකි මුත්, එය කතුවරයාගේ අභිමතය ට ඉඩ දිය යුතු අවස්ථාවක් ලෙස ද අර්ථ ගැනිවිය හැක.
මේ කතුවරයාගේ මා කියවූ පළමු පොත මෙයයි. මෙය සමස්ත ලෙස සාර්ථක කෘතියක් ලෙස දකින අතර, ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරිම යුක්ති සහගත බව හැඟේ.
ශ්‍රේණිය: ****
ප්‍රකාශනය: විදර්ශන
2020 වසරේ ප්‍රකාශ වූ නවකතා කියවීම - 3
No comments:
Post a Comment