Wednesday, 22 July 2020

සන්තිපරං - චම්මින්ද වෙලගෙදර



මා කෙතෙරම් ප්‍රවේශමෙන් මා කියවන පොත් තෝරා ගත්ත ද වරින් වර, අනවශ්‍ය "පො
ත් ගෙඩි" ලට ද කර ගහන්න ට සිදු වේ.  මේ පොත ද නොකියවා සිටියා නම් එතරම් පාඩුවක් නොවෙනාකාරයේ එකකි -එසේ මා කියන්නේ මෙය කියවීමට මා ගත කල කාලය හා සිතා බලා ය. කතුවරයා ට පිටු 502ක් තිස්සේ ඇද යන කතාව මීට වඩා සංක්ශිප්තව,  පිටු 300කින් පමණ කීමට තිබූ බවකි මගේ අවංක අදහස. එම නිසා මේ පොත ගැන "සොත්තහං" (සොම්නසට පත්වන්ට ) වන්නට නොහැක. පිටු 250ක් පමණ වන විට මේ පොත කියවාගෙන යාම "හඥුන්පොත" ට ( හදවත ට) බරක් විය. "සීරිමංදම" (හිසට ) ට ද වේදනාවක් විය

 කෘතියේ ඇති ප්රධාන ධනාත්මක ලක්ෂණය ප්රාදේශීය වශයෙන් සහ කාලෝචිතව භාවිත කොට ඇති බස - එම බස මෙතරම් බහුල ලෙස දෙබස් තුල භාවිත කරලීමට නම්, මහඟු විමර්ශනයක් කල යුතුව තිබිණි. කතුවරයා එය සාර්ථකව ඉටු කොට ඇත. කතුවරයා පෙරවදනේ ඒ ගැන මෙසේ කියයි:
"නුවරකලාවියේ ඇත්තන්ගේ බස් වහරේ යොදන බොහෝ වදන් අමුතුය. සමහර වදන් මතු වී එන්නේ වැදි බස සමග තිබූ කුලුපග ඥාතීත්වයකි. ඔවුන්ගේ බසෙහි ඇති වෙනස අමුතු බස් වහරට වඩා එය වහරන ආකාරයේ ඇති වෙනසයි..."
ඒ අතින් කතුවරයා විශාල පරීශ්‍රමයක් දරමින්, මේ නවකතාව නිර්මාණය කොට ඇත. එහෙත් මෙහි කතාවේ ගලා යෑම ඉතා මද වේගයකිනි. කියවන්නිය වෙහෙසට පත් වේ. මා මෙය පිටු 120කින් පමණ එක් වතාවක් කියවීම නැවැත්වුවෙමි - නැවත කියවීම ඇරඹුවේ මගේ ම මුරණ්ඩු කමටය.

. මෙහි ප්රධාන චරිතය වීරයෙකු ලෙස ගොඩනගා ඇත. තැනෙක පැවසෙන්නේ බිරිතානි නිලධාරියා ට ඉන්දියානුවන් ට වඩා අප රට වැසියන් වඩා නිර්භීත සහ කෙලින් මිනිසුන් ලෙස දුටු බවකි. මේ 1848 සටනෙන් පසු කලකට ය. නුවරකලාවියේ මිනිසුන් ගැන පවසෙද්දීය. තව තැනෙක "මේක හිංගල රට. හිංගල රට කියන්නේ මරක්කයයි, දෙමළ මිනිහයි දෙන්නම හිටපු රට." ( 120 පිටුව ) - මෙම කතාව ඇත්තය. එහෙත් මේ කියන වකවානුවේ මෙවැන්නක් කීමට තරම් දේශපාලනිකව නිරවද්යතාවක් මේ වදන් තෙපළන ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තු විය හැකි ද යන්න පිළිබඳ මා සිත් තුල සැකයක් විය. උන්නාන්සෙගේ සිත්තුල එවන් අදහසක නොමේරු, දළ, වචන වලට තවම නොපෙරළුණු සිතුවිලි මාත්‍රාවක් තිබීම බලාපොරොත්තු විය හැකිය - කිමද විසිවන සියවස උඩුදිව ප්‍රශ්ණයක් ගැන මෙවන් අදහස් 19වෙනි සියවස මෙතරම පැහැදිලි සිත් තුල තිබිය හැකි ද?

තව තැනෙක දිසා ට සහ සිය ඇබේණිය ට අඹු සැමියන් ලෙස එක්වීමේ අවස්තාව, තම දරුවන් ලොකු මහත් වීමත් සමග මගැරීම ගැන කතා කෙරේ. එතැන, අප සාම්ප්රදායික ලජ්ජාව සමඟ යම් ස්වභාවික බවක් පෙන්නුම් කරයි. ඔවුන් දිනක් යොදාගෙන "පිල් ගැහෙන්ඩ, කැලේ ගාටන්ඩ" සිතා ගනී - පසු දිනෙක  ඔවවුන් කැළයට වැද එම සුව සිත් සේ විඳී.

නවකතාව අවසන් වන්නේ ඉතා අවාසනාවන්ත සිදුවීම් පෙළක් ඔස්සේ ය. කතුවරයා එකල සමාජ රටාවේ හැටියට සැමියෙකු හා බිරිඳකු හා බැඳි කාරණාවක් වරිග සභාවක් තෙක් යෑමේ අඩපාඩුව පෙන්වා දෙන්නා ලෙස ය. මට නම් මෙතැන දී දිසා ගේ වරදක් ද නොදැක ඉඳිමට නොහැක - ඔහුගේ නම්බුව ඔහු පාහන්නේ අන් අයගේ ජිවිත මතිනි. දැරිවිගේ පියා ගේ අඩුපාඩු ඊට වඩා පැහැදිලි බව සත්තය.

මෙම නවකතාව 2019 සම්මාන නිර්දේශ  වලදි -  විද්‍යෝදය, අවසන් වටය; රාජ්‍ය සාහිත්‍ය, අවසන් වටය, ස්වර්ණ පූස්තක, අවසන් පූර්ව වටය, දක්වා ඒමට සමත් විය - ඒ, කතුවරයා භාෂාව වෙනුවෙන් කල ගවේෂණය වෙනුවෙන් යැයි සිතමි. එහෙත් මෙම සම්මාන "හොඳම නවකතාව" වෙනුවෙන් ලබා දෙන නිසා, නවකතාවක පරිපූර්ණත්වයට හේතු වන අන් කාරණා ද සැලකිය යුතු යැයි සිතමි. ඇත්තෙන්ම මෙවන් නිර්දේශ මේ කෘතියට නොලැබෙන්න මම මේ නවකතාව නොකියවමි. සමහර නවකතා තුලින් "කතාවකට" වඩා "එම යුගයට",  :එම පරිසරයට" අප රැගෙන යාම ය පාඨකයින් ලෙස අපඅගය කරනුයේ. මීට හොඳම නිදසුන බන්ද්‍යෝපාද්‍යාය ගේ "අරණට පෙම් බැඳ" කෘතියයි ( සිංහාරච්චි පරිවර්තනය ). භාෂා භාවිතාව ආදියෙන් කතුවරයා එවන් වෑයමකට යත්න දැරුව ද, මේ කෘතියෙන් එවැන්නක් සාර්තකව සිදු වූ බවට මට කිව නොහැක. ඔහු වරෙක "වීර චරිතයක්" ගොඩ නගන්න තනයි; වරෙක දේශපාලන නිරවද්‍යතාවෙන් යුතු කියුම් කියා පායි; එවන් දෑ නවකතාවේ විශ්වාසනීයත්වය ට බාධාවකි. ඒ අතින් බලනා කල, කියවා වසර 3-4ක් වුවද,  "මැකී ගිය පෙත් මං" ( අනුලා විජේරත්න මැණිකේ ) කෘතිය මැවූ මානසික චිත්‍රය මා තුල තවම යම් තරමකින් හෝ ඇත.

No comments:

Post a Comment