මෙම නවකතාවේ එන ජයකාන්තන් නම් චරිතය මේ කාරණාව කිහිප විටක් ම පවසයි. මේ කියමන එක්තරා විදිහක නවකතාව ප්‍රධාන යටි පෙළ නියෝජනය කරන්නේ යැයි සිතිය හැක. මෙහි එන ප්‍රධාන චරිතයනට තම ජීවිතයේ දි තමන් ආදරය කරනා සහෝදරයින්, මිත්‍රයින්, ආදරවන්තයින්, ආදරවන්තියන් අහිමි වේ. අප ජීවත් වූ පසුගිය වසර පණහකට ආසන්නා කාලයේ ( ඉන් වසර තිහක පමණ පරාසයක් මෙහි නියෝජනය වන්නේ යැයි සිතිය හැක ). කතුවරිය මෙහි ඉදිරිපත් කොට ඇති සිදුවීම් පෙළ එසේ නොවේ යැයි කීමට අප ට නොහැක්කේ, අප රට තුල පමණක් නොව ඇය මෙම නිර්මාණයට පාදක කොට ඇති විදෙස් රටවල සිදුවීම් ද මේ කියනා පරිද්දෙන් සිදු වූ අවස්ථා තිබෙන හෙයිනි."අපි අවාසනාවන්ත කාලෙක ඉපදුණු අවාසනාවන්ත මිනිස්සු"
නවකතාව ට සෝචනීය අවස්ථා භාවිතාවෙන්, කතුවරිය බලාපොරොත්තු වූයේ එක් අතකින් සමාජ දේශපාලන විචාරයක් මතු කරලීමටය. මෙහි එන දුලන්‍යා ගේ චරිතය සැලකුව හොත් ඇය කුඩා කල සිටම කවුරුවත් තේරුම් නොගත්, යම් ස්වාධීනත්වයකට ඇලුම් කරනා චරිතයකි. ඇය වෙත යම් සෙනෙහසක්, ඈ තේරුම් ගැනීමට යත්න දැරීමක් පෙන්නු සියළු දෙනා පාහේ ඈට ක්‍රමක්‍රමයෙන් අහිමි වේ. මේ නවකතාවේ දුලන්‍යාගේ චරිතය හසුරුවා ඇති අයුරු පැසසුම් සහගතය. මෙය නවකතාවේ ප්‍රධාන ධනාත්මක ලක්ෂණය ලෙස දකිමි. දුලන්‍යා, ජයකාන්තන් සමඟ යාපන අර්ධද්වීපයේ ගමන් කිරීමේ කොටස සහ ලිපි දෙකක් ආශ්‍රයෙන් නවකතාව අවසන් කරලීම මා සිත් ගත්තේ ය. රාජිණි සහ දුලන්‍යාගේ "සම්බන්දයේ ස්වරූපය ද" තරමක සාර්තක උපක්‍රමයකි - එය මට තාරකා වාසලමුදලි ගේ "කළු" මතකයට නැංවීය.
නවකතාවක් තුලට සමාජ දේශපාලන කාරණා ඇතුලත් කරගැනීමේ දී වැදගත් විය යුත්තේ එය ස්වභාවික ලෙසත්, නවකතාවේ විශ්වාසනීයත්වය ට පළුද්දක් නොවෙනාකාරයෙනුත් ඒ ඒ සිදුවීම් ඇතුලත් කරලීමය. මේ නවකතාවේ ඇති ප්‍රධාන දුර්වලතාව ඇත්තේ එතනය. නිර්මාණකාරිණියට කීමට ඇති සමාජ-දේශපාලන කාරණා බහුල ය. ඒ උත්සාහ දරා ඇත්තේ මේ සියළු සමාජ දේශපාලන ගැටීම් මෙහි එන ප්‍රධාන චරිතයනට මුහුණ දුන් වටපිටාවක් තුල තම ආඛ්‍යායනය ඉඳි කිරිමටය. මෙවන් තත්ත්වයක් සූක්ෂම ලෙස නිර්මාණය නොකලහොත් සිදුවන්නේ පාඨකයා ට මෙය නවකතාවක ආකෘතියක් ඔස්සේ සමාජ දේශපාලන කාරණා මතු කරලීමට යත්න දැරූවක් බවට පැහැදිලි වීමය. මෑතක ම මා කියවූ "මා ප්‍රති. මා" නවකතාවේ එම සමාජ දේශපාලන පසුබිම උඩ මිනිසෙකු තමන් නොනැසී සිටීමට යත්න දැරීම යන කාරණාව, ඔහුගේ හෝ ඇයගේ සමාජ තත්තවය, තමන් අයත් ජනවර්ග පසුබිම ආදියෙන් වියුක්ත බව පෙන්වා දෙන අතර ඒ සමාජ ස්තර මුහුණ දුන් අනන්‍ය වූ අභියෝගයන් ගෙන හැර පෑවේය. එහි දි මනුෂ්‍ය හැසිරීම යන්න ප්‍රධාන කාරණාව විය. ධරණි නවකතාවේ කතුවරිය ගේ ආඛ්‍යාන ආකාරය අනුව, මෙම නවකථාවේ අප ට දැනෙන්නේ මෙහි අනෙක් පැත්ත ය. සාම්ප්‍රධායික දෙමව්පිය හැසිරීම, කාන්තා විමුක්තිය, ජ.වි.පෙ. කැරැල්ල, උතුරේ ත්‍රස්තවාදය හෝ විමුක්ති සටන ( එය කියා පානා අයගේ දෘෂ්ඨි කෝණය අනුව ), වර්තමාන සමාජයේ කාන්තාවන් ට තනිව ජීවත් වීමේ නිදහස ට අභියෝගයක් වීම ආදී සියළු තත්ත්වයන් පිටු දෙසීයකටත් අඩු ගණනක් තුල ට ගෙනවිත් ඇත. ප්‍රතිඵලය කතුවරිය යම් කම්පනයක් පාඨකයා වෙත ගෙන ඒමට උත්සාහ දැරුවේ නම්, එය අසාර්තක වී, විශ්වාසනීයත්වය ගැන ගැටළු ඇති වීමයි. ඈ නිර්මාණය කල චරිතය, මේ සියළු තත්ත්වයනට මුහුණ දුන්නේ නම්, එය වඩා ස්වාභාවික ලෙස ගලා යෑම උදෙසා මේ නවකතාව තව පිටු සියයක්වත් ගෙන වඩා පරිපූර්ණව ගොඩනැගිය යුතුව තිබිණි. ඒ වෙනුවට අපි දකින්නේ පිටු දේසීයක් තුල ට සියළු දුක් කැටි කිරීමට දැරූ ප්‍රයත්නයක් තුල පිටුවක් හැර පිටුවක් පාසා කඳුළු වගුරුවන තත්වයකි. කඳුළු වැගිරීම් කෙතෙරම් සුලභ ද කිවහොත් පසු පසු වන්නට ඉන් කතුවරියට ඇවැසි භාවයන් පාඨකයා වෙත ළඟා නොවෙයි. මේ උදෘත සළකන්න;
"මා ඉකිබිඳ හඬමින් සිටි අතර ඇය මගේ කට මිරිකමින් මට හෙමිහිට බැණ වැදුණාය." ( 147 පිටුව )
"ඔහු මිය ගිය දවසේ වියැළුණු මගේ කඳුළු උල්පත්, නවතත් උනා එමින් තිබිණි." (148 පිටුව )
"සෙල්වමලර් එසේ කියන ගමන් කඳුළක් පිස්සාය" ( 150 පිටුව )
"මගේ ඇස් වලට කඳුළු උනා ආවේය" ( 153 පිටුව )
"ඔහු හැඟීම්බරව බලා සිටියේය. මගේ දෙනෙත් බොඳ විය." ( 155 පිටුව )
"ජයකාන්තන් දෑස් පිසදමා සාක්කුවෙන් ගත් උපැස් යුවල පැළඳ ගත්තේය ( 158 පිටුව )
"මගේ දෑසින් ගලා ආ කඳුලක් ඔහුගේ උරහිස මත වැටුනේය" ( 159 පිටුව )
කඳුළු ගැලීම කෘතිය මුලින් ම පාහේ ඇරඹෙන අතර, අවසන ට ආසන්න වන තෙක් ම පවති. කතුවරියට කීමට ඇත්තේ අවාසනාවන්ත යුගයක අවාසනාවන්ත සිදුවීම් පෙළක බව පැහැදිලිය. එහෙත් පිටුවක් හැර පිටුවක් පාහේ මෙවන් දිගැරීමක් සිදුවද්දී, ඉන් කතුවරියට අවශ්‍ය භාවයන් පාඨක සිතේ ඇතිවනවා ට වඩා සිදුවන්නේ පාඨකයා ට යම් ඒකාකාරී කෘතීම ලිවීම් රටාවක් ලෙස එය පෙනී යාමයි.
වරෙක මට මෙය කියවාගෙන යාමේදි, වණ්ණදාසි වලට වඩා ඉදිරියට යා හැකි නවකතාවකැයි සිතුන ද ( කිම ද ඈට ඊට ඇවැසි වස්තු බීජ මෙහි ඇත ), මැද කොටස පමණ වන විට සමස්තයක් ලෙස මගේ සිත් දිනා ගැනීමට නොහැකි වූ කෘතියක් ලෙස අවසන් වූ බව කණගාටුවෙන් හෝ කිව යුතුය.
No comments:
Post a Comment