Tuesday, 17 December 2019

මා ප්‍රති. මා - පී. බී. ජයසේකර

පී. බී. ජයසේකරගේ මා කිවූ සිව්වෙනි නවකතාව මෙයයි. මීට කලින් කියවූ කෘති තුන ම මා තුල බොහෝ සෙයින් සාර්ථක නවකතාවක් කියවීමේ සන්තුශ්ඨිය ඇති කලේය. ඒ කෘති මා කැමති පිළිවෙල අනුව අනුගත කලහොත්, 1- ඉක්බිති ඔහු මරාපීහ, 2- මරියා සිලොනිකා වස්තුව 3- අවලමා සහ ඇහැටුව යි. එහෙත් මේ කෘතිය ඒ කෘති ත්‍රිත්වය අභිබවා යෑමේ හැකියාව ඇති කෘතියක් වන්නේය. ඒ එහි තව සංස්කරණය වීමේ අවකාශ තිබීම හේතුවෙන් යම් දෝෂ තිබෙනා අතරම ය. මේ දුර්වලතාව බෙහෙවින් අවලමා සහ ඇහැටුව කෘතියේත්, සුළු

වශයෙන් ඉක්බිති ඔහු මරාපීහ කෘතියේත් තිබිණි.  ඒ දෝෂ අතර වුව, අප ලේඛකයා විශ්වාසයෙන් යුතුව කියවිය හැකි ආරේ  සාර්ථක ප්‍රබන්ධ රචකයෙකු ලෙස සිංහල පාඨක සිත් දිනා ගෙන අවසන්ය.

මේ නවකතාව දිවෙන්නේ 1970-1980 අතර වසර විස්සකට ආසන්න යුගයේ අප රට තුබූ බිහිසුනු දේශපාලන වටපිටාව අලලාය.  ඊට 1971 සහ 1989 ජ.වි.පෙ. කැරළි මෙන්ම, උතුරේ වූ ත්‍රස්තවාදය ද හේතුවෙන් සමාජය, වෙසෙසින් ඊට මුහුණ දුන් අයගේ බිහිසුණු කඳුළු කතාව ඇතුලත්‍ ය.  රිචඩ් වන් කල දුටු කල වල ඉහ ගන්නා අය මෙන්ම, සේදිරිස් මෙන්ම ඒ කලබැගෑනී මධ්‍යයේම තම දිවි අපහසුවෙන් හෝ ගොඩ නගා ගත් අය ද ඊට අයත්‍ ය. කීර්ති  වාගේ සත්‍ය වශයෙන් මතවාදීව එම ඒ දේශපාලනයේ නිරුත වූවෝ ද වූහ. නවකතාව සාර්ථක වන්නේ මෙම තත්වය කැන්වසයක් ලෙස භාවිත කොට ඔහු අප ඉදිරියේ පානා ජාති,කුල, ආර්ථික තත්වයෙන් වියුක්තව මිනිසුන්ගේ හැසිරීම් රටාවේ පොදු ගුණාකාර චිත්‍රණය  හේතුවෙනි. ඒ අනුව හේ ඉතා ස්වාභාවික ලෙස පහත කාරණා මතු කර දක්වයි;

1- සියල්ලෝ ම පාහේ තම දිවි තර්ජනයක් හමුවේ හෝ තමනට අත්‍යවශ්‍ය යමක්  උදෙසා යම් ක්‍රියාදාමයක් කරලීමේ අවකාශ තිබේ නම්, එය සිදු කරන්නෝය.
2- එම ක්‍රියාව ඔවුන් තමනට සාධාරණීකරණය කරනා ගමන්, දිවි ඇති තුරා ඊට සිතින් වන්දි ගෙවන්නෝය; අවස්තාව ලදහොත් තමන් කරා පැමිණෙන දුක් ගැහැට ඊට වන්දි ලෙස ඉත සිතින් පිළිගන්නෝය.

නවකතාව කියවූ අය රිචඩ්, සේදර, සඳපියුමි, රෙජිනා පමණක් නොව ශ්‍රී මහ බෝධිය ට කොටි ප්‍රහාර දීමෙන් අනතුරුව, දිවි බේරාගත් දමිළ මිනිසා සහ ඝාතනයට ලක් වූ දමිළ මිනිසාගේ සද්භාවය ඔස්සේ ද මෙය දැකිය හැක. එලෙසම සේදරගේ පියාට කුලවාදය ගැටළුවක් නොවූ අයුරුත්, එහෙත් වෙනස් ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙද්දි ඒ ඒ සමාජ ස්තර මුහුණ දුන්  ගැටළු පිළිබඳ මෙරට ආණ්ඩු සංවේදී නොවූ අයුරු අප ලේඛකයා ගේ අවධානයට ලක් ව ඇත. එලෙස ම අප රට සමහර සමාජ ස්තර වල නූගත්කමේ ප්‍රබලත්වය ද, වෙසෙසින් රජරට පෙදෙස ගැන කතා කරද්දී, එහි ඇතුළු ගම් එතරම් පසුගාමී වූයේ කාගේ වරදින්දෝ දැයි අපෙන්ම ප්‍රශ්ණ කරලීමට පෙළඹෙයි.

මේ සත්‍යතාව මතු කරලනා ගමන්ම රූපක - දිවි බේරා ගත් බල්ලා සේදර කෙරෙහි සදා වයිරයෙන් කල් ගෙවීම, සහ රිචඩ් කෙරෙහි සේදරගේ වයිරය; නාගයාගේ විෂ සහ වයිරය, සහ සේදරලාගේ ජීව විද්‍යාත්මක මවගේ වයිරය - භාවිතාව නවකතාවේ වින්දනය තීව්‍ර කරයි.සමස්ත ලෙස බොහෝ සාර්ථක නවකතාවකි. දොස් නැත්තේ නොවේ -සඳපියුමි හා සබැඳි කතාවේ මුල් ගලායෑම අයෙකුගේ ඉවසීම අභියෝග කරයි. සඳපියුමි ගේ මෝහන ක්‍රියාවලියට සාක්ෂියක් ලෙස රෙජිනා උපයෝගි කරලීමේ දී, සේදරගේ යම් අසංඝතභාවී තීරණ ගැනීමක් ද මං තරමක දුර්වලතාවක් ලෙස දකිමි.
එහෙත් නවකතාව කියවා අවසානයේ සමස්ත විඳීමේ අත්දැකීම හා සසඳද්දී මේ දොස් සුළු ඒවා ලෙස තැකිය හැක.

( 2018 ප්‍රකාශ වූ, 2019 අනේක සම්මාන උදෙසා නිර්දේශයට යෝග්‍ය නවකතා කියවීම මේ වතාවේ මා අතින් තරමක් ප්‍රමාද වී ඇත. එසේ කියවීමට අවම වශයෙන් කෘති හය-හතක් පමණ තව ඉතුරු වී ඇත. දැනට කියවා ඇති නවකතා තුන අතරින් මේ කෘතිය අන් කෘති දෙක අභිභවා  ඇති බවකි මට හැඟෙනුයේ )


No comments:

Post a Comment