රළ කෙටි කතා සංග්‍රහය මුලින් නිකුත් වී ඇත්තේ, 1992 වසරේ දී ය. එහි එන හැත්තෑ ලක්ෂයෙන් එකෙක් කෙටි කතාව උසස් පෙළ නව නිර්දේෂයට ඇතුලත් වීමත් සමඟ එම සංග්‍රහය නැවත නිකුත්ව ඇත්තේ 2018 වසරේ ගොඩගේ ප්‍රකාශනයක් ලෙසය. කර්තෘ සංග්‍රහයට කෙටි පෙරවදනක් ලියමින් තම ගමන ගැන ආවර්ජනය කරන්නේ, එදා මෙදා තුර තමන් සහිත්‍ය ට ඇති කැමැත්ත, එය හැදෑරීම සහ තම නිර්මාණ ගමන ගැන ය. මේ කෘතිය ලියැවී ඇත්තේ කර්තෘ සරසවි සිසුවෙකුව සිටිද්දී ය. ඔහු ගේ ගම් පළාතත්, ඒ යුගය හා බැඳි දේශපාලනයත් මේ කෙටි කතා සංග්‍රහයෙන් මැනවින් නිරූපනය වෙයි. සමස්තයක් ලෙස ගතහොත් මෙය වඩාත් නෑ කම් කියන්නේ "අටවක පුත්තු" ලියූ අමරකීර්ති සමඟ යයි සිතමි - එහෙත් මේ කෘති දෙක අතර පරතරය ද අවුරුදු 15 කි. ඒ අතර කාලය ලේඛකයා තම උසස් අධ්‍යාපනය සඳහා අමරිකා එක්සත් ජනපදයේ ද කලක් ගත කොට ඇත. ඒ හැදෑරීම් ද මේ කෘති දෙක අතර පරතරය මීට වැඩි කල යුතු යැයි සිතෙන මුත්, දැන් දැන් ලේඛකයාගේ වෙසෙස් ලක්ෂණයක් බඳු තම දේශපාලන දර්ශනයේ සියුම් නිරීක්ෂණ තම නිර්මාණ තුලට එක්කාසු කිරීම මේ නිර්මාණයන් හි නොමැත. මෙහි දේශපාලනය ඇත - එම යුගයේ ලියැවුණු නිර්මාණ වල දේශපාලනයක් නොවිණි නම්, එයම ගැටළුවකි - එහෙත් එහි ජාතීන් අතර සබඳතාව ගැන පතුලට කිමිදී බලන සමාජ විද්‍යාත්මක දේශපාලනය, නැතහොත් ලිංගිකත්වය
වෙත වඩා ලිබරල් දෑසකින් බැලීමේ දෘෂ්ඨිය තවම නැත. වෙසෙසින් නව කවි සලකුණ කියවීමෙන් අනතුරුව මට ඒත්තු ගියේ අමරකීර්ති ගේ විෂයීක කෘතියක් හරහා ඔහු ට කීමට ඇති දේශපාලන, සමාජ විද්‍යාත්මක කාරණාව වඩා පරිපූර්ණව පමණක් නොව, විකෘති වීමකින් තොරව ද කියවෙන බවකි.
මෙහි එන්නේ අප ගම් වල, වැව් ගම්මාන වල, කොලනි වල වෙසෙසින් නිර්ධන පාංතිකයින් මුහුණ දෙන අභියෝග අලලා නිමැවූ නිර්මාණ ය. බාල වයසින් ම විවාපත් වූ පමණක් නොව, තම එදා වේල සරි කරගැනීමේ අභියෝගයට මුහුණ දෙන අළුත කූදු වූ යුවලක ගේ "බත ඉදෙන පමාව ට" පවතින ආරවුලක් එක් කෙටිකතාවක ට නිමිත්තකි ( කොලනි කැදැල්ල ). ගොවියන්ගේ රී රී මාංසේ පමණක් නොව ඔවුන්ගේ කැදලි තුල සල්ලාල කම් කරනා ගම් වල මුදලාලි ලා සහ ඊට ඉලක්ක වන අහිංසකයින් තවත් නිමිත්තකි (ඉපනැල්ල ). තම පුතුන් විනාශ කල පොලිස් ලොක්කෙකුගෙන් පලි ගැනීමට තැත් කරන මිනීමරු පියෙකුගේ උභතෝකෝටිකය තවත් කෙටිකතාවකට මුල පුරයි ( සඳ ඉකිබිඳින යාමයේ ). පෙර කී උසස් පෙළට නිර්දේශ වූ කෙටි කතාව වූ, අප වෙනස් වන ගම් වල පොල් ගස් අඩු වීමත්, පොල් ගස් නැගීමේ උවමනාව අඩු වීම මගින් අයෙකුගේ බඩත පහර වැදීමත් නිරූපනය කරන කෙටි කතාවයි, හැත්තෑ ලක්ෂයෙන් එකෙක්. පවතින ක්‍රමය අසාධාරනය ට එරෙහි ව සංවේදි මිනිසෙකු ට නෑසු කනින් සිටිය නොහැකි බව හඬගා කියන පිය පුතු ඉරණම මතු කරන කෙටි කතාවය, පොත ට නම් දුන්, රළ. කුමන අඩුපාඩු මධ්‍යයේ වුව අප ගම් වල සමහර කතුන් පති භක්තිය අන් සියල්ල ට වඩා උසස් ලෙස සලකන බව පෙන්වන කෙටිකතාවයි, බුල්ඩෝසර්.
මේ හැම කෙටි කතාවේ ම පාහේ නිර්දන පංතිය බැට කන බව හඬ ගා කීමකි සමස්තයක් ලෙස අපි දකිනුයේ. ඊට තරමක් වෙනස් කෙටි කතාවකි, බුල්ඩෝසර්. එහි එන ප්‍රේමාවති ට අන් පුරුෂ ඇසුරක අවශ්‍යතාවක් පැන නොනගින බවක් අඟවා, අනතුරුව තම පති භක්තිය ගැන කියා පාන අයුරු අපූරුය. මට මෙහි එන වඩාත් සිත්ගත් කෙටි කතාව එය විය යුතුය.
"ම්හ් - මොන මඟුලක්ද මංදා මේ ළමයත් ඇහැරෙනව. මේ දෙගොඩ හරියෙ මොන නාඩගම් නටනවද මංද අර පිට මනුස්සයට ඇහුනොත් වස ලැජ්ජාව."
"නෑ අක්කේ - පිට මනුස්සයා තමයි" ඔහු කෙඳුරුවේය.
...
"හප්පෝ අනේ රත්තරං මල්ලියෙ. මෙන්න වැන්දා එලියට යමං මල්ලිය. මං නරක ගෑනියෙක් නෙමේ. අනේ දෙය්හාමුදුරුවනෙ අනෙ යමං මල්ලියෙ."
( 94 පිටුව )
මා සිතනුයේ, මේ කෙටි කතා සංග්‍රහය කියවිය යුත්තේ, එය ලියැවූ යුගය, එය ලියවන යුගයේ දි කතුවරයා ගේ අත්දැකීම් ආදිය ගැන විමසමින් බවයි. අද මෙවන් සංග්‍රහයක් නිකුත් වුවහොත්, එය තරවත් සාම්ප්‍රදායික ගං කතා රැගත් කෙටි කත පොතක් වනු ඇත. එහෙත් ජවිපෙ කැරැල්ලෙන් පසුව අප ගම් නැවත අළු පිස දමා නැගිටන යුගය ක, සරසවි සිසුවෙකු ලෙස මෙහි ඇතුලත් කොට ඇති නිර්මාණ වල අව්‍යාජත්වය වඩා මතු වන්නේ, ඒවාහි ඇති සුළු අඩුපාඩු වසාලමිනි.
No comments:
Post a Comment