Sunday, 1 September 2019

වඩදිය - එරික් ඉලයප්ආරච්චි

1990 වසරේ පළමු වරට මුද්‍රණය වී ඇති එරික් ඉලයප්ආරච්චිගේ "වඩදිය" නම් කෙටි කතා සංග්‍රහය කියවුවෙමි. කලෙක සිට ඉලයප්ආරච්චිගෙ පැරණි කෙටි කතා සංග්‍රහයන් කියවීමේ උවමනාවක් තිබුන ද, සීමාසහිත කියවීමේ කාලය හේතුවෙන් එය ආරම්භය මගැරිනි. මෙලෙස ඒ කියවීමේ ක්‍රියාවලිය ආරම්භය වුව ද, එහි ඉදිරිගමන කෙසේ වෙදැයි කිව නොහැක. එහෙත් ඉතා මෑතක කතුවරයාගේ පළ වූ කෙටි කතා සංග්‍රහයන් තුනක් ද, ලංකා ගමන ද කියවීමෙන් පසු, ඔහු ගේ සියළු සංග්‍රහයන් කියවීම සිංහල කෙටිකතා පාඨකයකු නොවරදවා ම කල යුත්තක් යන්න නම් සිත හොල්මන් කරන්න වුයේය ( අමරකීර්තිගේ "නව කවි සලකුණ" කියවීමෙන් අනතුරුව ලේඛකයාගේ කාව්‍ය කෘති කෙරෙහි ද මෙවැනිම අදහසක් පහළ වී ඇත.)

මෙහි එන පළමු කෙටි කතාව "සිර මැදුර" නමි. එහි ප්‍රධාන චරිතය වන සෝමාවතී, විශාල පොල් වත්තක හේවරාල කෙනෙකුගේ දුවකි. අප ලේඛකයා කතාව ට පසුබිම් වන අවමය පමණක් කියා අපට ඉතිරිය අප සිත් තුල ගොඩ නගා ගැනීමට අමුද්‍රව්‍ය ඉතිරි කර ඇත. සෝමාවති ඩැයිවර් කෙනෙකු හා විවා පත් වුව ද, වසරක් ඇවෑමට පෙර "වැන්දඹුවක් ලෙස ආණමඩුවේ සිට" නැවත පමිණි බවත්, වත්තේ අයිතිකරු ඉදිකල අලුත් ම බංගලාවක පදිංචි වීමට ලැබුණු බවත් පවසයි. වටපිට පරිසර වර්ණනය ආදියෙන් මාසේකට වරක් පමණක් පැමිණෙන මුදලාලිගේ පැමිණීම ඇර, ඉතා සාංකාවෙන් ගහණ දිවියක් සෝමාවති ගත කරන බවත්, තවමත් රාග ගින්න මැඩ නොපැවැත්වුණු, එහෙත් ඈතක සිට පමණක් බලා වින්දයක ලබන වසර හැත්තෑවක මැන්දිස් මාමාගේ ආශ්‍රය වෙතින් ඇය යම් තෘප්තියක් ලබන බවත් ඉඟි කරයි. දිනෙක මුදලාලි ගේ අසනීපය කන වැකුණු විට සෝමාවතිය ට මහත් බලාපොරොත්තු රැසක් පහළ වේ. ඒත් ඒ ටික වෙලාවකට ය - කිම  ද සිර මැදිරිය රකින අනුප්‍රාප්තිකයා එවකටත් පැමිණ සිටි බැවිනි.  වෙසෙසින් මීට කලකට පෙර ධන බලය ඇත්තෝ, එසේ ධන බලයෙන් හීන ඇත්තන් ව යටත් කරගෙන ඔවුන්ගෙන් තම සියළු ආකාරයේ බලාපොරොත්තු මුදුන් පත්කරවා ගත්තෝය. බොහෝ විට එලෙස යටත් කර ගත් පුද්ගලයා කෙතෙරම් අසරණ ද යත්, ඔහු ට හෝ ඇය ට අන් කිසිදු විකල්පයක් නොමැතිකමෙන් තම සිත සාදාගෙන තමන්ගේ "දෛවය" පිළිගැනීමට ඔවුන් පමා නොවෙති. මෙහිදි සෝමාවතී ද තම ඉරණම හා සටන් නොවැද සිටිය ද, ඉන් නිදහසක සේයාවක් දුටු විගස ප්‍රබෝධමත් ව බලාපොරොත්තු ඇති කර ගන්නීය. ඉලයප්ආරච්චි මේ සියළු පසුබිම් අවම වචන භාවිතාවකින් ඉඟි කරයි - චිත්‍රණය කරයි. මෙය මා කියවා ඇති හොඳම කෙටි කතා වලින් එකක් විය යුතුය.

මෙහි එන "වන්දනා ගමනක්" නම් වූ කෙටි කතාවේ, කලෙක වැජඹුනු චරිතයන් වූ අප රට ගොවි මහත්වරු, තම බිරින්දෑවරු ශ්‍රමය විකිණීම උදෙසා පිටරට යැවීමට තරම් වූ අභාග්‍යයකට මුහුණ දී ඇති අයුරු පෙන්වා දෙයි.  තනියෙන් වෙසෙන පිරිමියෙකුගේ සිතැඟි වෙනස් වන අයුරුත්  පෙන්වා දෙමින්, බණ්ඩාර වන්දනා ගමනක පිළිබඳ ඔහුගේ ම සිත රවටමින්, ස්ත්‍රී ඇසුරක ඉඟියක් ඔස්සේ දුර ගමනක යයි.

පුරුෂාර්ථ සහ තමන්ට ඉතා ලෙන්ගතු දේ අතර උභතෝකෝටිකය ඉදිරියේ තෝරා ගත යුත්තේ කුමක් ද ? තම ගුරු වෘත්තිය නිසා තම හැඟීම් පරාජය කරන ගුරුවරයා, පසු කලෙක අහඹු ලෙස තම කණ්ණාඩි කුට්ටමේ වටිනා රාමුව ( ඔහු එය වටින බවවත් නොදනී ), කාච දෙක ගලවා එය ඉල්ලන අන් අයෙකුට දෙන්නේ, ඔහු ට වටිනා දෙය අඳුනා ගැනීමේ දුර්වලතාවක් නිසා ද? නැති නම් ගුරුවරයා නිවැරදි ද ? නිවැරදි නම් හේ සිතින් විඳවන්නේ ඇයි ? ("ගුරුවරයෙකුගේ ප්‍රේම කතාවක්")

මුල් වරට 1990 පළ වූ මෙම කෙටි කතා සංග්‍රහයේ එන වඩාත් ප්‍රගතිශීලි කෙටිකතාව මෙය යැයි සිතමි. යල් පැණ ගිය "චාරිත්‍රයක්" අල්ලාගෙන හව්හරණක් පතන වංශවතිනියක ගේ නියත පරාජය, ඒ සිද්ධියට ඍජු සම්බන්ධයක් නැති යෞවණියක් ඈත සිට බලා සිටී. වලව්වේ ළමාතැනී, පෙසෝහාමි හමුවීමට එන්නේ;
"මං ආව පෙසෝනම්මේ! මේ කොතනත් මහ පොළොව නෙමෑ",
                      කියා තම කුලගර්වය යටපත් කරන කපටි බසක මුවාවෙනි.
වෙනස් වන ලෝකයක, ඇය රංජි මහත්තයාගේ පක්ෂය ගෙන කතා කරයි.  අමරසේකරුන්ගේ "යළි උපන්නෙමි" තුලින් උත්තේජනයක් ලැබූ නැවුම් සිතකිනි, අප යෞවනිය පෙර අපර ගලපන්නේ.

වෙනස් නොවෙන ලෝකයක, වෙනස් වීම ප්‍රගතිශීලි මිනිසා ට පසු කලෙක ඔහුට රිසි ඇගයීම ලැබෙනවා විය හැකිය. එහෙත් ඔහුට අතීතයේ වූ අයුතුකම් හේතුවෙන් ඔහු සැලකිය යුතු මිලක් ගෙවා අවසන් ය. ඔහුට ඒ ගැන කෝපයක්, දුකක් ඇතිවීම වැලැක්විය නොහැක. ඒ නැති වුණු දේ ඉදිරියේ, පසු කාලීනව ලැබූ පිළිගැනීමේ ඇති ඵලය කිම ? වයස 48ක් පමණ ට වූ පසුව පෙර කල තමන් ව ප්‍රතික්ෂේප කල ගම, ඔහු ට මුනිවරයෙකු ලෙස සලකයි. ඒ තමන් ට ගැරහූ ගම හරහා අප ප්‍රධාන චරිතය, මීදුම මධ්‍යයේ සහ එතරම් නොපෙනෙන දෑසින් යුතුව තම පාසැලය යන ගමනේ විස්තර මෙහි විස්තර කොට ඇති අයුරු අපූරුය. සිත සදාගෙන අලුත් වසරක පාසැල් කටයුතු අරඹන්න තනද්දී නැවත "වඩදිය" ක් ලෙස ඔහු වෙත පැමිණෙන්නේ බලාපොරොත්තු වූ නැති සිද්ධියකි.

මෙහි එන "පව්කාරයෝ" කෙටිකතාවේ සියල්ලෝ ම පව්කාරයෝය. වැඩිවිය අසල සිටින ආකර්ශණයක් ඇති කෙළි පොඩ්ඩ ඉදිරියේ ශ්‍රමණයා ද පව් කාර සිතක් ඇති කර ගත්තෙකු බව නොකියා ඇඟවීම මා මේ කෙටි කතාවේ දකින අපූර්ත්වය කි. උපදිසාපති වේවා, ප්‍රනාන්දුවා වේවා, පුංචි මැණිකා වේවා, මෙම පවුකාරයන් ගොඩට එකතු වන්නෝය. ලේඛකයාගේ සියුම් ඇඟවීම් කලාවේ අපූර්තවය ට ද දෙස් දෙන්නකි. එලෙසම මෙහි විස්තර විදිහට, මෙය පහසුවෙන් ම "හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ" කෘතියේ අතුරු කතාවක් තරමට, එම දුෂ්කර පළාතේ පරිසරයේ පැහැය රැගත් ය.

මෙහි එන සමහර කෙටි කතා 60 දශකයේ ය. සමහර ඒවා 80 දශකයේ ය. 1990 සිට ලියන කල, ඊට පෙර දශක තුන වඩාත් වෙනස්කම් දුටු කාලපරාසයක් ලෙස දැකිය හැක. එය අද සිට ආපසු බලන විට 1990 දශකයේ සිට අද දක්වා සිදු වූ වෙනස්කම් සමුදායට පරාජය වන බැව් සැබවි. එහෙත් 60 දශකයේ- 70 දශකයේ ආරම්භයක් නොවුණි නම්, මේ ප්‍රගමණය සිදු  නොවන්නට ඉඩ තිබිණ. නිදහස්, නිවහල් ව දාඩිය පෙරමින් යම් අවදානම් ඇතුව යමක් හරි හම්බ කරලීම, අධිමානැති වංශවතුන්ගේ රැවුම් ගෙරවුම් මධ්‍යයේ ලැබෙන සාපේක්ෂ වැඩි මුදලට වඩා වටිනා බව මේ කෙටි කතාවේ අඟවයි. කලෙක රජයේ කම්කරුවෙකු වූ කරත්තකරුට වඩා සිතට අමාරු වංශවතා ගේ මුදල හැර දමා යෑම නොව, ඒ අහිංසක ගවයා අතැර යාම පිළිබඳව බව අඟවමින්, කෙටිකතාව සමාප්ත කෙරෙයි. ("අන්තිම ගමන")

අධික හිරු රශ්මියෙන් දැවෙන ලුණු ලේවාය සහිත පුත්තලං පෙදෙස, අප සිත තුල චිත්‍රණය කරමින් දිගැරෙන "කුකුළන් කෙටවීම" , ජීවිතය අයාල යන කල කාලකණ්ණි කම පැරදවීමේ අපහසුතාව ගැන අඟවයි. මේ කෙටිකතාවේ එක් විශේෂ හෙළිදරව්වක් නම් 1990 වන විට ද අවම වශයෙන් පූත්තලම් ප්‍රදේශයේ මද්‍රසා පාසැල් තිබූ බවයි. පුත්තලමේ ලුණු ලේවාය ආශ්‍රිත වහර හා පරිසර වැණීම ඇතිව ලියැවී ඇති මෙම කතාව ඇත්තෙන්ම අපූරු නිර්මාණයකි.

සමස්ත වශයෙන් ඉවතලීමට යැයි කිව හැකි තරමේ එක් කෙටිකතාවක් හෝ නොමැති, සංඝත ලෙස සියුම් මෙන්ම විමසුම් සිතකට මහත් සේ රසවිඳිය හැකි ආරේ අනර්ඝ කෙටි කතා එකතුවකි මෙය. මේ කෙටි කතා සංග්‍රහයේ 2012 පළ වූ දෙවෙනි මුද්‍රණයේ පිටපතක මා සතු වන්නේ. කාලය හරස් නොවන්නේ මා සතු, තවම නොකියවා ඇති ලේඛකයාගේ ඉතිරි කෙටි කතා සංග්‍රහයන් පහම හැකි තාක් ඉක්මනින් කියවීමේ සිතක් පහළ වීම වැලැක්විය නොහැක.

ශ්‍රේණිය: ****1/2

( 2021 සැප්තැම්බර් දෙවෙනි දින, ඉහත ලිපිය සංශෝධනය කරන ලදී)


No comments:

Post a Comment