මූණමල්පේ ගේ නම අපට මතකයට නගන්නේ ඉතා සිත්ගන්නා සුළු පොත් කවර නිර්මාණය කරන්නෙකු ලෙසයි. සමහර විට අලුත් පොතක නිකුත් වීම අප දැන ගත්තේ මූණමල්පේ තම නවතම පිටකවර නිර්මාණය මුහුණුපොතේ බෙදා ගැනීමත් සමඟයි. එහෙත් මේ ඔහුගේ පළමු කෙටි කතා සංග්‍රහයයි. එය රජත පුස්තක සම්මාන නිර්දේශයන් අතරට නොපැමිණි මුත්, පාඨක අවධානය දිනූයෙන් යම් කතාබහක් ඒ ගැන ඇති විණ. මේ වන විට අප රට සම්මාන විනිශ්චය මඩුළු වලට වඩා, මුහුණු පොතේ සමහර පොත් කියවන්නියන් සහ කියවන්නන් පාඨක අපේ විශ්වාසය දිනා ඇති හෙයින්, මේ පොත කියවීමට සිතුවෙමි.
පිටු 56ක් පමණ පුරා දිවෙනා කෙටි කතා හයකින් සපිරි මේ කුඩා පොත් පිංචේ, දුර්වල යැයි කිවහැකි එක් කෙටි කතාවක් හෝ නොදැක්කෙමි. අයෙක් කෙටි කතාව වනාහි ජිවිතයෙන් හරස් පළුවක් නැතිනම් කෑල්ලක් යැයි අර්ථ දක්වනවා මා අසා ඇත. අද දින වටමඩල ට අදහස් දක්වමින් ඉලයප්ආරච්චි පවසා තිබෙන්නෙ "කෙටිකතාවේ ආදි කර්තෘ එඩ්ගා ඇලන් පෝ කෙටිකතාව ගොඩ නැගුවේම සම්භාව්‍ය සංගීතයේ දී මෙන් අන්තර්ගතය සහ ආකෘතිය එකක් බවට පත් කරලා. කෙටි කතාවට අකෘතියක් සම්පාදනය වන්නේ මෝස්තරයක් වුවමනා නිසා නොවෙයි. ආඛ්‍යාන භාෂාව සතු කාල බන්ධනය, එනම් සිද්ධි දාමයක් සමඟ බැඳුණු විස්තර කථනය හා සංවද කථනය 'කාලය' නැමැති මහපොදු සාධකය මත." මෙය වැදගත් වන්නේ අප රට මහත් කීර්තිමත් කෙටිකතාකරුවන් වන විජේමාන්න, කාරියවසම්, කම්මැල්ලවීර මෙන්ම අමරසේකර සහ ඉලයප්ආරච්චි ම පවා මේ ගුණයන් යම් ආකාරයෙන් අවබෝධ කරගෙන සිටී යැයි පාඨකයා ට වැටහෙන විටය. මූණමල්පේ ට ද බව පසක් වී ඇත - එය බොහෝ විට ශ්‍රේෂ්ඨ කෙටිකතා පරිශීලනය ඔස්සේ විය යුතුය. එය සාම්ප්‍රදායික හෝ අලුත් හෝ වේවා, වස්තු බීජයක් ඔස්සේ ඔවදන් පැකට්ටුවක් නොවන බව තේරෙන්නෙ එසෙ ලියූ කෙටිකතා කියවා පාඨකයා නොපහන් වූ විටය. මේ බව නොතෙරේන විනිශ්චය මඩුළු සිටිතැයි විශ්වාසයට පවා අසීරුය.
කෙටිකතා වලට යොමු වෙමි;
2001-2002 පමණ කාලයේ මාළාඹේ මංසන්දියේ, ඔරලෝසු කණුව ඉදිරිපිට, මහා විශාල කළුවර කසක් විය. මා එය දෙස විස්මයෙන් බලා සිටියේ මෙවන් තැනක එවන් ගසක් කෙසේ නම් පවතී ද යන්න ය. ඒ දවස වල තරමක ගස් පිස්සුවක් තිබූ හෙයින් මට වඩාත් හොඳින් එය නිරීක්ෂණය විය ( එකල මගේ අනාගත මාමණ්ඩියගෙන් කළුවර පැලයක් සොයාගෙන විත් අප ඉඩමේ ද සිටවුවෙමි. දැන එය අවුරුදු 16 ක ගසකි.) එහි නාගරික සංවර්ධන අධිකාරිය මගින් එය නඩත්තු කෙරෙන බවට තහඩු කෑල්ලක් ද විය. ඊට වසර කිහිපයකට පසු, නඩත්තුවේ හොඳ වැඩි කමට දෝ, ඒ සුවිසල් ගසේ - එය අනිවාර්යයෙන් වසර සියයකට වැඩි ගසක් විය යුතුය - සියළු පත්‍ර කහ පැහැවී ගස මිය ගියේ ය. ගහ මැරුණ ම එය කපන්න එපෑ නේ ? නේ ද ? මට මේ කළුවර ගහ මතක් උනේ මූණමල්පේ ගේ, කවරකු හෝ අවධානයට ලක් නොකල කොස් ගහේ කතාන්දරයත්, ඊට ඈඳුණු ගිමාරා හාමිනේ ගේ කතාවත් සබැඳි "ස්-මරණය සහ ගස්-මරණය" යන විශිෂ්ඨ කෙටි කතාව කියවීමේ දී ය.
"ගිමාරා හාමිනේ කියන්නෙ ඔය එහෙට මෙහෙට යන පංචස්කන්ධය විතරක්ම නෙමේ. සියදෝරිස් මුදලාලි, දරු මල්ලො විතරක් නෙමේ ඔය තට්ටෞ දෙගේ කඩ ගෙදර කියන්නෙත් හාමිනේමයි. හාමිනේගෙම කෑලි. මේ මම ඉන්න පොළොවෙ බඹැ තුනක් යටට ගියාම මගෙ මුල් ඔය පැත්තට හැරිලා තාර පාර යටින් කඩ ගෙදර පාදම යටට ගමන් කරනවා. ඒ ගිහින් කඩ ගෙදර පාදමේ කළු ගල් අතර සී සී කඩ දුවනවා කිරි මුල් හරියට නහර වගේ. මම කියන්නෙත් ගිමාරගො තව කෑල්ලක්. එහෙම නැතිව ආගන්තුකයෙක් එහෙම නෙවේ. හාමිනේට දැනෙන හැමදේම මගේ මුල් දිගේ ඇවිත් මේ මටත් දැනෙනන්වා."මෙහි පාරිසරික සබඳතාවට අමතරව, තනි වූ ගිමාරා හාමිනේ ගේ තනිකම මකා ගැනීමේ මග ගැන ද යමක් පවසයි.
විද්‍යාත්මාක සාක්ෂිය සියල්ල නම්, තම භෞතික උවමනාවන්ට පමණක් සිත් පිත් නැතුව භාවිත කල කෙල්ලක් පසු කලෙක මුණ ගැසුණහොත් ඒ පෙර කිව් කෙනා බව, "කොහොම ද ඔප්පු කරන්නේ ?"
"ඔයා ඇත්ත ලෝකෙදි මට අගු පිළක් දුන්නම, මාම් කරබාගෙන හිටියා. උඹ හිතුවා මගේ මෝඩකම, ගොන්කම කියලා, නල්ල මලේ බඩුවක් කියලා. එදා ඉදන් මම අර ඇන්දේ මේකට තමයි යකෝ, උඹට තේරෙනව ද? දැන් ?"තවත් විශිෂ්ඨ කෙටි කතාවක්. ජීවිතය සුවිසල් කේක් එකක් නම්, මෙහි ඇති සිහින් පළුව, ඒ ජීවිතයේ සියළු ස්ථර පෙන්නුම් කරයි. ආත්මාර්ථය, නපුරුකම, අසංවේදිකම, පසුතැවිල්ල !!!
පළමු ප්‍රේමය හෝ ලිංගිකත්වය හෝ ආශ්‍රිත අත්දැකීම හෝ අයෙකුට සැමදා සුවිශේෂි වේ. එහි දි එක් පාර්ශවයක් අනෙක ව රැවැට්ටුවේ ද යන්න සිත් රිදුමක් විය හැකි වුව, ඒ හැඟීම් මුල් වරට විඳි කෙනා ට අනෙකා සැමදා සුවිශේෂි වේ. ඒ හා ආශ්‍රිත මතකයන්, ස්ථාන, ගස් කොළන් හැමදා සුවිශේෂිය. "රෝස මුසැන්ඩාස් පිස්සුව" තිබූ කලෙක පැල කල ගසක් වුව එසේ වෙසෙස් මතකයන් රැඳි ස්ථානයක් විය හැක්කේ, ජීවිතේ චමත්කාරය පෙන්වමිනි. මුසැන්ඩාස් ගසේ "ඇත්ත මල" යනු ඒ රෝස පාට බාහිර පෙති මැද ඇති කහ පාට කුඩා මල ය. එය නැට්ටෙන් කඩා ඉරුවහොත් එහි පැනි රසක් ඇති බව අත්දැකීමෙන් දනිමි. එවන් පැනි රසක් හැම දා මල්කාන්ති ට ද තිබෙන්න ට ඇත.
මිනිසුන් හා ගැහැණුන් වෙනස් වෙති. වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ අව්‍යාජ බව සහ අහිංසක බවත්, ඔවුනට නොදැනී ම, තමන් වඩා කාලයක් ගත කරන පරිසරයට අනුකූල ව වෙනස් වීමය. මෙය බොහෝ අයට පොදු ය. ආපසු සිතා බලද්දි රැකියාවක ට මුලින් ම ගිය කාලයේ මා හට ද මෙය සිදු වූ බව පිළිගත යුතුය. අව්‍යාජ පළපුරුදු නැති කෙල්ලකට බස් කොන්දොස්තරගේ අතේ වූ වළලු රාශිය අරුමයකි. තම නව කාර්‍යාලයේ අරුමය ඉදිරියේ ඒ "විජිතගේ වළලු විජිතය" ට පෑහෙන්න නොහැකිය. එහෙත් ඒ නොපෑහීම විජිත ට තම විජිතය කෙරෙහි කුමන බලපෑමක් අති කලේ ද? මෙවන් නොසිතන ආරක මාතෘකා, කතා බීජ ඔස්සේ, මූණමල්පේ සාදන කෙටි කතා විජිතය නම් අගනේය. මෙය 2018 ගොඩගේ අත්පිටපත් තරඟයේ ජයග්‍රහණයට සෑම අතින් සුදුසුය.
"ප්‍රේමය නම් මුවහත් සැතකින් ලෝකයේ සබඳතා පැහැදිලිව බෙදා වෙන් කිරීමෙන් එවන් රමණීය වූ කුඩා පටු මාවත් වැසි ගොස් ඇති බව ඈ දුටුවා. ඇත්තෙන්ම ඒ ලේසියෙන් ම රැවටිය හැකි ඒ වචනයෙන් මිදුණු නිර්ව්‍යාජ ක්‍රියාදාමය තුළ තහනම් වචනයක් කර ඝැනීභවනය කරපු විදිහ ඇය පිළිගත්තේ ඔහු සතු දුර්ලභ මිනිස් දහමක් ලෙස"ජීවිතයේ වැදගත් ම කාරණය විඳීමය. එය තමන් තමනට කල හැකි උපරිම සාධාරණයයි. ඉන් අන් අයට වන හානිය අවම කර ගැනීමට කවුරුත් පාහේ කැමතිය. විඳීමේ බලාපොරොත්තුව වයස් සීමාවෙන් තොරව තිබෙන්නක් විය යුතුය ("හිස් මල් වට්ටියක් කිහිල්ලේ ගහගෙන"). ඒ සංවේදී බලාපොරොත්තු කෙටිකතාවට නගා ඇති අයුරු අරුමැසි ය.
දුරට ඇපල් ළඟට පැපොල් යැයි කොල්ලන් පවසන්නේ සමහර කෙල්ලන් සබැඳිව ය ( එහි සදාචාරත්මක පාර්ශ්වය දැනට තිබුනාවේ ). පරිසරය සම්බන්ඳයෙන් ද එය සැබවිය. කඳුකර දර්ශනයක්, වැවක් දර්ශ්නයක් ගැන ද මෙහි සත්‍යයක් ඇත. සමස්තයක් ලෙස ඈත සිත නරඹන්නේ නම් ඒවා මනස්කාන්තය. එහෙත් ළඟට ගිය කල ඒ අත්දැකීම වෙනස් වේ. මෙහි එන "වැව් සාගර" ට ද එවන් ආසාවක් ඇත්තේ ඔහු දුර සිට වැව් දැක ඇති කෙනෙක් නිසා ය. "සොහොන් අරලියා" ට කොළඹ අලුත් ලෝකයක් මවන්න සිදු වන්නේ ඈගේ මුල් හා දැන් සිටින "ලෝකය" අතර නොපෑහීම මකන්නට ය. මෙවන් මනරම් නිර්මාණයක් කිරීමට ලේඛක පරිකල්පනය කෙසේ විය යුතු ද ?
මා හරාරි ගේ සේපියන්ස් කෘතිය කියවීමෙන් සාක්ෂි සහිතව පසක් කල ගත් එක් කාරණාවක් නම්, අප වෙසෙන්නේ ඉතිහාසයේ හොඳම කාලයේ බවය. ජනප්‍රිය ගායක පෝල් සයිමන් ( Paul Simon ) කියූ ලෙස අපි Born at the Right Time ය. නොසිතූ ඛේදවාචයකයක් නොවුනහොත් අප දරුවන්, මුණුබුරන් ට අපිට වඩා මේ ගැන උදම් ඇණිය හැකි වනු ඇත. එහෙත් මේ තත්වය ගෙනෙන සංකීර්ණත්වය අප පෞද්ගලික ලෝක වඩා සවිමත් කරයි. ඒ බාහිර ලොව හා පෞද්ගකිත්වය අතර පරතරය නොතිබුනහොත්, මෙහි රැඳීම අපහසු වනු නියතය. ගිමාරා හාමිනේ ගේ සාංකාව, මල්කාන්තිගේ පළමු පෙම, නෙළුම් ගේ අරලියා ලෝකය ( හා සාගර ගේ වැව් ලෝකය ), නිර්මලා ගේ හිස් මල් වට්ටිය ට ඇති බිය, මල්කාන්ති බව ඔප්පු කිරීමට ඇති නොහැකියාව, විජිත ගේ වළළු විජිතය බිඳ වැටීම පෙන්නුම් කරන්නේ මේ පෞද්ගලික ලෝක වල සවිමත් බව වගේ ම, මරු පහරක් එල්ල වූ විට එහි ඇති බිඳෙන සුළු බවයි .. මූණමල්පේ නූතන පාඨකයාට මේ බව පසක් කර ඇති කලාත්මක බව අතිවිශිෂ්ඨය. මා ඉතා කෙටි සටහනක් ලියන්න සිතා ඇරඹු මෙය මූණමල්පේගේ කෙටිකතාවක් තරම් විය යුතුය. ඊට කමන්න.
No comments:
Post a Comment