Sunday 23 June 2019

මනුස්ස යන්තර - පියසීලි විජේමන්න


මෙවර හොඳම කෙටි කතාව උදෙසා වූ රජත  පුස්තක සම්මානය ට නිර්දේශ වූ, පියසීලි විජේමන්න ගේ මනුස්ස යන්තර කෘතිය කියවූවෙමි. මේ ලේඛිකාවගේ මා කියවූ පළමු කෘතියයි. "මිත්තණියෝ" කෘතිය මා සතු වුවත්, එය කියවීම තවම මග හැරී ඇත.

කෘතියේ කෙටි කතා එකොළසකි. බොහෝ කෙටි කතා තරමක් රසවත් ය; එහි කතාන්දරමය ස්වරූපයක් ඇත. බොහෝ එවා හි රේඛිය විකාශනතක් ඇත. එහෙත් ඒ සියල්ලෙහි ම පාහේ අලුත් මාතෘකාවක්, අලුත් සන්දර්භයක් නැති තරම් ය. ඉතා ව සියුම් ව ඔවදනක් දීමේ ස්වභාවයක් ද ඒ සෑම කෙටි කතාවකම පාහේ ඇත.

"මනුස්ස යන්තර" ගතහොත්, එහි කියවෙන්නේ තරඟකාරි අලුත් පරම්පරාව හා ඔවුන්ගේ  මවු පිය පරම්පරාව  අතර නොපෑහීම ය. කෙටි කතාව කියවෙන්නේ ඒ වැඩිහිටි පියෙකුගේ දෘෂ්ටි කෝණයෙනි. කතාව රසවත් වුව, අප රට සුලභ මාතෘකාවකි -කෙටි කතා, නවකතා, නාට්‍ය , චිත්‍රපටි ආදි අනේක කලාකෘති  ආකාරයෙන්.

"නයි-මුගටි පොරයට පසු" කෙටි කතාව, අප පවුල් වල කාන්තාවන්, වෙසෙසින් මවු වරුන් සේවය උදෙසා විදෙස් ගත වීම, සහ එවන් පවුල් වල  පියවරු මුල් වී පවුල තුල ආරවුල් ඇති වීම අලලාය. වෙසෙසින් පවුල් වල දියණියන් ඇති නම් තත්ත්වය බැරෑරුම් ය. වෙසෙසින් සිංහල පත්තර වල නිතර කියැවෙන සෝචනීය කතාවන් ඊට නිදසුන් ය.

මෙහි එන "එක්තර අවිවාහිකාවකගේ වස්තුව", අන් කෙටි කතා තරම් ම සුලභ මාතෘකාවක් නොවේ. අප රට තවමත් කාන්තාවක ට තනිකඩ ජීවිතයක් ගත කිරීමට සුදුසු මානසික නිදහස නොලැබෙන තරම්‍ය. පිරිමින් ට සහ ගැහැනුන් ට, තම සහෝදර සහෝදරියන්ගේ එන බලපෑම් වලින් බේරි සිටීම පහසු නැත. ඔවුන් අවිවාහක නම් සහෝදර-සහෝදරියන් ට, ඔවුන්ගේ දරු-දැරිවියන් ට "කල" යුතුම ය.

පුරුෂයින්, අන් කතුන් හා අනියම් ඇසුරු වස්තු බීජ කර ගත කථා අති බහුලය. එසේ සලකනා කල, "කම්පනාවේශ" මගින් ලේඛිකාව කුමන වෙසෙස් කරුණක් ඉස්මතු කරලීමට උත්සාහ කලේ ද යන්න මට සිතා ගත නොහැක. රසවත්- සුලභ කතාවකි.

"යතුරු "කැරැල්ලක්"' කෙටි කතාව  අයෙක් නොසිතන මාතෘකාවක් අලලා ලියූ කෙටි කතාවකි. අප රට සේවයට නවතා ගන්නා අය ට අප ඒ ගැන නොසිතීම නිසා ම ඔවුන් හට කෙතෙරම් දුක් ගැහැටක් අනුභවයට හේතු වන්නේ ද යන්න සිතනට පොළබවයි. මෙහි එන තරමක් සාර්ථක කෙටි කතාවකි. එහෙත් පසු දින ඔවුන් අවදි වන "කරදරයට" මෙහෙකාරිය සම්බන්ධ නම්, ඒ බව තරමක් මතු පිටින් අලලා ඇති බවක් හැඟෙයි.

මේ කෙටි කතා සංග්‍රහයේ මා දුටු එක් විශේෂත්වයක් නම්, කතා වස්තුව තරමක් සම්ප්‍රදායෙන් බැහැර වේ නම්, ඉන් කුමක් දෝ අවිශ්වාසි බවක් ඇතුලත් වීමයි. මෙහි එන "සොයමින් දුවන්නෙක්" එවන් කෙටි කතාවකි. ඒ කෙටි කතාවේ වීරසිංහ තම පෙම්වතිය වෙතින් පළායෑමට තරම් ඔබින හේතුවක් මතු නොවේ. එවිට පාඨකයාට දැනෙන්නේ ලේඛිකාවගේ කතාව ගලා යාම උදෙසා කුමන හේතුවක් නිසා හෝ ඔහු පළා ගිය බවක් අඟවන්නා සේය. මෙය කෙටිකතාවේ විශ්වාසනීයත්වය සහ සංඝත  බව පළුදු කරයි.

සුන්දර යැයි  පිටත ට පෙන්වන විවා පත් යුවලක, ලෝකයට පෙන්වන ආකාරය සහ පෞද්ගලික ජීවිත අතර ඇති අහසට පොළව මෙන් වූ වෙනස වස්තු බීජයක් ලෙස ගෙන ලියැවී අති " යස ඉසුරක අපුළ" කෙටි කතාවත්, කියවා ගෙන යාමෙදි රසවත් ය. එහෙත් මේ කෙටිකතා වල යම් අඩුවක් ඇත. ඒ පෙර කීවා සේ, කතුවරියගේ පණිවුඩයට ම සේවනය කරනු වස් ලියැවුන්නක් බව කියවන්නා ට වැටහීම යි. එවිට කෙටි කතාව ස්වභාවික බව පළුදු වේ.

"ධනාත්මක චින්තනය" මෙහි එන කෙටි කතා අතරින් තරමක් වෙනස් ආඛ්‍යාන රටාවක් ගනී. ධනාත්මක චින්තනය යන වදන් සමඟ තරමක වචන පෙරලීමක් මගින් ඊට විකල්ප අරුතක් ආරෝපනය කරයි. එහෙත් මින් මෙහා කෙටිකතාවේ චරිත වල ස්වභාවය සැලකුවහොත් ඒවා සාම්ප්‍රදායික ය.

මෙහි එන හොඳම කෙටි කතාව සුසීගේ රොටි කඩේ විය යුතුය. ප්‍රධානම දේ අප ඉලයප්ආරච්චි, කම්මැල්ලවීර, විජේමාන්න ආදීන්ගේ බලාපොරොත්තු විය ආරේ තරමක් නුපුරුදු පරිසරයක් පදනමක් ලෙස තනා ගනිමින් කෙටි කතාව ගොඩනගා තිබීමයි. මෙම සංග්‍රහයේ එන  අන් කෙටි කතාවලට වඩා මෙම කෙටි කතාව සාහිත්‍ය රසයෙන් ද  වැඩි වන්නේ, අන් කෙටි කතාවලට සාපේක්ෂව සමහර දේ නොකියවා ඇඟවීමේ ගුණාංගය භාවිත කර තිබීමෙනි. නිදසුනක් ලෙස සුසීගේ බාප්පාගේ අවතීර්ණය පෙන්වා දිය හැකිය.

මා මෙතෙක් කියවා ඇති රසවත් ම කෙටි කතාන්දර කියවා ඇත්තේ ඇරැව්වල නන්දිමිත්රයන්ගේ ය. ඒවා රසවත් ය; ආකෘතිමය හරඹ අඩු වුව ද ඔහුට නැවුම් කතාන්දර බොහෝමයක් තිබුණි. ඒ නිසා මම ඒවා මහත් රස විඳිමි.ඒවා හා නූතන අනෙක් කෙටිකතා අතර ඇති වෙනස කතා කිරීම දීර්ඝ මාතෘකාවකි - මා එය මුල පිරුමට තරම් විෂය කරුණු දන්නේ ද නැත. මට කිව හැක්කේ,  විජේමාන, කාරියවසම්, ඉලයප්ආරච්චි, කම්මැල්ලවීර යන අයගේ කෙටි කතාවලට වඩා කතාන්දර ස්වරූපය නන්දිමිත්රගේ වැඩි බව පමණකි. මේ සංග්රහයේ ඇත්තේ ද බොහෝ සෙයින් කතාන්දර යැයි සිතේ. එහෙත් ඉන් බොහෝ ඒවාහි වෙසෙස් සුවිෂේෂිතාවක් නැත. කියවාගෙන යනවිට තරමක රසයක් දැනුන ද, මීට කලින් සිදු වූ නැතහොත් සිංහල පත්තර වල සැමදා කියවන ආරේ  පුවත් මුල් කොට ගෙන බිහි වූවක් මෙනි. ඉතින් මට නම් මේ කෘතිය රජත පුස්තකයට නිර්දේශ වීමේ පදනම වටහා ගත් නොහැකිය.

No comments:

Post a Comment