Sunday, 30 June 2019

ඝරසරප - ජයන්ත චන්ද්‍රසිරි


"1970 දශකයේ මෙම දේවස්ථානයට පැමිණෙන කැමිලස් ජයමාන්න පියතුමාගේ කාලයේ මෙය රට පුරා පතල වුණා. ඒ යක්ෂආවේෂ වූවන් සුවපත් කරවන ස්ථානයක් ලෙසට යි. එකල මෙම පල්ලියට දහස් ගණනින් බැතිමතුන් ඇදී ආවා. අදටත් ප්‍රදේශවාසීන් මෙහි හාස්කම් ගැන විශ්වාසයෙන් පැමිණෙනවා. ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප චිත්‍රපයට සඳහා තේමාකරගෙන ඇත්තේ මෙම පල්ලියේ භුත දෝෂ දුරුකිරීමේ කතා පුවත යි."
- කුසුම්සිරි විජේවර්ධන (අන්තර්ජාලය )


ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කල "ඝරසරප" නැරඹුවෙමි. සංගීතය හා පොත් කියවීම හා සාපෙක්ෂව, මා චිත්‍රපට බලන්නේ ම නැති තරම් ය. ඒ නිසා ම දැඩි අධිෂ්ඨානයෙන් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රීන් හි අර්ධ වශයෙන් එම චිත්‍රපටය බලා හමාර කලෙමි.

සිනෙමාරූපණය අතින් පමණක් වුව මේ චිත්‍රපටය මා මහත් සේ සිත් ගත්තේය. නිදසුනක් ලෙස ජයමාන්න පියතුමාගේ යාඥ්ඥා මෙහෙය අතරතුර, ආතුරයන් ගේ ආතුරබව එළියට විත් ඔවුන් නටනා දර්ශනය සිනමාවට ග්‍රහණය කරගන්නා අයුරු ඇත්තෙන් ම අපූරුය.


සිංහල භූත විද්‍යාවට අනුව එන කළු කුමාර දිස්ටිය යන සංකල්ප, මේ චිත්‍රපටියේ ප්‍රධාන වන අතර, සඳරැස් නම් යෞවනයා ට කලෙක කළු කුමාරයා පරදින්නේ, ඔහු ගේ සිතේ  "ඇඟිල්ලක් ගහන්න ට" තරම් හෝ ඉඩක් නැති තරම් ආදරයන් පිරී පවතින බැවිනි. තැනෙක "කළු කුමාර" කට හඬ පවසන්නේ සිතුවිලි වල නැවතීමේ ලකුණක් නොහොත්, අවිශ්වාසයක්, ප්‍රේමය පිළිබඳ සැකයක් තිබුනහොත් ඔහුට "රිංගීමට" එය ප්‍රමාණවත් බවයි.

චන්ද්‍රසිරි තව දුරටත් නිරූපනයට උත්සාහ දරන්නේ මානසික ව්‍යාධි සහ "ආවේශ වීම්", සංස්කෘති  මූලයන් වල විවිධත්වය හේතුවෙන්, විවිධ සුවපත් කිරීමේ ක්‍රම පැවතිය හැකි බවයි. හේ මෙය තම කලා නිර්මාණය ට බරක් නොවෙනා ආකාරයෙන් පවසයි. තොවිල් පවිල් වල මේ විශ්වාසය බහුලව ඇතත්, මට හැඟුණේ, චන්ද්‍රසිරි, ඉතා සූක්ෂම ලෙස කුඩා ගම දේවස්ථානයේ සිද්ධිය මෙහි ආරම්භය ලෙස භාවිත කොට ඇත්තේ, මේ සංකල්පයන් එලිදක්වද්දි අපේ සමහර අයගේ ආවේශ වීම් අවම කිරීම උදෙසා විය හැකිය. කෙසේ වෙතත් චන්ද්‍රසිරි ගේ නිර්මාණ ඉතිහාසය දෙස හැරී බැලුව ද, හේ පැරණි අදහස්, වෛකල්පිත සුව කිරීම් ආදිය ගැන තරමක් උනන්දු අයෙක් බවයි.



දැන් අපි මේ විවාදාත්මක මාතෘකාවෙන් මෙපිට චිත්‍රපටිය යන කලාකෘතිය වෙත යොමු වෙමු. එහි දි ඔහු සියල්ල සුදුසු මාත්‍රා වලින් පමණක් භාවිතය ඔහුගේ ප්‍රාගුණ්‍යය ට දෙස් තියයි. නිදසුන් ලෙස, කළු කුමාර චරිතය ට දායක වන ජැක්සන් ඇන්තනී සහ මනෝ වෛද්‍ය දොරේ-අප්පා ගේ චරිතය ට පණ පොවන සංගීතා වීරරත්න ගේ රංගන දායකත්වය සැලකිය හැකිය. ඔවුන් චිත්‍රපටිය තුල රංගනයෙන් අවම කාලයක් වුව, උචිත ම කාලයක් පමණක ට දායක වීම, චන්ද්‍රසිරිගේ අධ්‍යක්ෂණයේ ගුණ වයයි.


පැරණි වයින් මෙන්, චන්ද්‍රසිරි දිනෙන් දින තම ප්‍රාගුණ්‍යය ගැන ඇති කර ගන්නා විශ්වාසය ට දෙස් තියමින් ඉතා සූක්ෂම ලෙස දේශපාලනය ආඳවා ගන්නේ දැනෙන නොදැනෙන තරමින් ය. තැනෙක සඳරැස් (දෙව්නක පෝරගේ)  ට විද්‍යා (කවින්ද්‍යා අදිකාරි)පවසන්නේ ඇගේ පියා ට "කොල්ලන්ගෙන්" ( Boys ) කරදර පැමිණෙන්නේ කප්පම් ඉල්ලන නිසා බැවිනි. සඳරැස් ට උන් කොටි ය.

අනෙක් පසින් ආවේශයක් නිසා ආතුර වූ ඇන්තනි (ජයනාත් බෝදාහන්දී) නම් මෙහි එන චරිතය, පසුව ප්‍රාදේශීය දේශපාලඥ්ඥයකු වන බව කියමින්, අප සැම ට බොහෝ දේ අඟවයි .


වසර තිස ගණනකට පසුව  විද්‍යා (සංගීතා වීරරත්න)  සහ සඳරැස් (කමල් අද්දරරාච්චි) උනුන් අඳුනාගැනීමෙන් පසුව ගන්නා තීරණය චිත්‍රපටියේ සමස්ත තනුව ට අනුකූල වේ. චිතපටිය පුරාවට ඉතා ම සුදුසු ලෙස ම දර්ශනයන් නිර්මාණය චිත්‍රපටියේ සමස්ත  විශ්වාසනීයත්වයටත්, පරිපූර්ණත්වයට ත් හේතු වේ. නිදසුන් - ෆෝක්ස්වැගන් මිනි බස් වෑන් රථය හා බෙඩ් ෆෝඩ් ලොරි බස් රථය අතර තරඟය, සහ තම පොරොන්දුව ඉටු කල බවට උදම් අනන කළු කුමාර යා හෙදියක් හරහා කරනා රංගනය.



සමස්ත වශයෙන් මා බොහෝ සේ රස විඳි, කතා රසය, ගුප්ත රසය, කලාත්මක බවේ පරිපූර්ණත්වය ආදි සියළු පාර්ශවයන්ගෙන් සිත් ගත් කෘතිය කි. වෙසෙසින් හංකිති දහතුන නාට්‍ය තුලින් චන්ද්‍රසිරි වෙත මා තැබූ විශ්වාසය යම් පළුද්දක ට ලක් වුනා දෝ, ඔහු නැවතත් මේ නිර්මාණ මගින් තම නිර්මාණ ශක්තිය  ගැන විශ්වාසය ගොඩ නංවයි.

මට දැනුණු සුවිශේෂි රංගන දායකත්වය - කවින්ද්‍යා අදිකාරි ; සංගීතා වීරරත්න ; ජැක්සන් ඇන්තනී ; ජයනාත් බෝදාහන්දී

No comments:

Post a Comment