( හොඳම කෙටි කතා සංග්රහයට හිමි රජත පුස්තක සම්මානය 2018 )එරික් ඉලයප්ආරච්චි නම් වූ කෘතහස්ත ලේඛකයාගේ 2018 පළ වූ කෙටි කතා සංග්‍රහය කියවීමි. ඒ ඔහු මගේ ප්‍රියතම ලේඛකයා වීම නිසා සහ, කෘතිය කියවීම අරඹන විට එය රජත සම්මානයට නිර්දේශ වී තිබීම හේතුවෙනි.
පළමු කෙටි කතාව, "තනි කකුල" නමි. යුද්ධය හමාර වීමෙන් පසුව නැගෙනහිර පලාතේ මාර්ග සංවර්ධන කටයුතු බාර සිදුකරන අබේසිංහ සහ ඔහුගේ වැඩ පාටියේ සිදු වීමක් අලලා ලියැවුන්නකි. එතරම් දිගු කෙටි කතාවක් නොවුන ද, මාර්ග සංවර්ධන විස්තර, වැඩ පාටියේ විස්තර ප්‍රමුඛව, අබේසිංහ නම් තරමක් ගුප්ත චරිතයේ ඇතුල් සිතුම් පැතුම් ඉඟි කිරීම් තුලින් මගින් පමණක් බොහෝ දේ අපට පවසන ආකාරය අපූරුය. දිළිඳුකම ඉදිරියේ නව යොවුන් වියේ කෙල්ලක, තම සිරුර තමන්ගේ එකම ගැලවීමේ මග යන්න ඒත්තු ගන්වා ඇති අයුරු, එරික් ගේ කුසලතාවන් මැනවින් පෙන්වන තැනකයි සිතමි.
"කඩ දෙක" කෙටි කතාව, දැන් දැන් අභාවයට යමින් පවතින පැරණි පොත් කඩ හා සැබැඳි සංස්කෘතිය පිළිබඳ නිර්මාණයකි. මෙහි වෙසෙසින් වාර්ෂිකව පැවැත්වෙන පොත් සංදර්ශනය ඒ පැරණි පොත් කඩ වල ක්‍රමික අභාවයට හේතුවක් බව සලකන මුත්, කෙටි කතාවෙන් ඔබ්බට ගොස් මේ සිද්ධිය ගැන බලුවහොත් පෙනෙන්නේ, සුලභ පොත් අලුත් පොතක මිල හා ආසන්න මිලක් ගෙවා පැරණි පොත් කඩයකින් ගැනීමට ඇති නොකැමැත්ත, ඉලොක්ට්‍රොනික පොත් කියවන උපාංග ආදි නිසා එම ව්‍යාපාරය අප රට අභාවයට යන බවකි, පෙනී යන්නේ. එය අන් රටක තවම වෙළඳපොළක් ඇති ව්‍යාපාරයක් බව අත්දැකීමෙන් දනිමි.
දුලභ පොතක් පැරණි පොත් වෙලෙන්දෙකුගෙන් මිල දී ගැනීම යුක්තියුක්ත වුව, එය එම
ව්‍යාපාරය පවත්වාගෙන යාමට තරම් ආදායමක් ගෙන දෙන්නක් යැයි නොසිතමි.
"කිරි මුහුද", යම් තරමක් සාම්ප්‍රදායික තේමාවක් උඩ දිගැරුන ද, එරික් ට ආවේණික ලෙස සංකේතාත්මක අවසානයක් වෙත ගමන් කිරීමෙන් ඒ සාම්ප්‍රදායිකත්වයෙන් තරමක් ඈත් වේ. සේනාධීර තමන් ගත් තීරණය හේතුවෙන් තමන්ට ම සමාව නොදුන් බවකි ඇඟවෙන්නේ.
පුළුල් වශයෙන් මිනිසුන් දෙවිදියක් ඇතැයි සිතමි. එක් කොටසක්, කිසිදා තමන්ගේ පාසැල් ගිය කාලයේ විත්ති අමතක නොකරමින්, ඒ මතකයන් වැඩිහිටි දිවිය පුරාවට ද රඳවාගනිමින්, එ කල සිදුවීම් ඔස්සේ වර්තමානයේ ද තම මිතුරන් තරමක් හෝ තක්සේරු කරනා කොටසකි. අනෙක් කොටස, පාසැල් කාලයේ සිදුවීම් තම දිවි ගමනට පසුබිමක් කරගෙන වැඩිහිටි දිවිය ට බට විට, අර පෙර මතකයන් අමතක කරලමින් ඉදිරියට යන්නෝ ය. මෙහි එන නාසිසස්ගේ ළමා කාලය ආවර්ජනයේ යෙදෙන්නේ අර පළමු ආරේ පුංචි මිනිසෙකි. ඔහු ට අනෙකා වෙත ඇත්තේ පසමිතුරු හැඟීමක් ය. ඔහු ආවර්ජනයේ කරන්නේ දෙවෙනි ආරේ, යම් සාර්ථකත්වයක් ( හොඳින් හෝ නරකින් හෝ ) ලබා ගත්තෙකු පිළිබඳව ය. ඔහු අර දෙවෙනි පුද්ගලයා මගැරීමට යත්න දැරුව ද, අතීත මතකයන් ම පසමිතුරු අදහස් මකාලයි. මෙහි එන මා තරමක් රසවිඳි කථාවකි.
මූසිකයෙකු මූලික චරිතයේ ලා, චීනුන් ගේ මීයා ගේ අවුරුද්ද යන සංස්කෘතික මූලය භාවිතා කොට ලියූ කෙටි කතාවකි, "චයිනා ටවුම". ලේඛකයා නොකියා අඟවන්නේ, නුදුරු අනාගතයේ චීන සංස්කෘතිකාංග ලංකාවේ පවත්වන නිත්‍ය, මෑත මෙහි පැමිණි චීන ප්‍රජාවක් ප්‍රතිශ්ඨාපනය කරන බවකි. ඒ අතරම, නවගත්තේගමයන්ගේ "සාගර ජය මදි හැඬුවා ඔබ සන්දා" කෙටි කතාවේ යම් ආභාෂයක් ද මෙහි තුල ඇති බව හැඟේ. ඒ කෙසේ වුවද, මේ කෙටි කතාව තරමක් රස හීන කෙටිකතාවකි. කැෆ්කාගේ Metamorphosis කෙටි කතාව කියවා නැතත් , කෆ්කානු ආභාෂයක් තිබිය හැක.
පසුගිය දිනෙක මා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් වූ තේරීම් කාරක සභාවට අමාත්‍ය ලේකම්වරයකු කැඳවා, අප රට මෑතක ගත් තිරණයක් සම්බන්ධයෙන් ඔහු මුල්ලකට තල්ලු කර වැරදිකරු කිරීමට තැත් කලේය. ඒ, තම සගයින් වන අගමැති සහ විෂය භාර අමාත්‍යවරු කිසිත් නොදත්, කිසිත් වරදක නොකල, කිසිත් වගකීමක් භාර නොගන්නා බබ්බු ලෙස පෙන්වමිනි. ඒ සිද්ධිය මට මෙහි එන "අත්සන හා පෙත්සම හෙවත් එක්තරා ලේඛකයකුගේ ණයට ගත් කතාවක්" මතකයට නැගුණේ , දැලි පිහියෙන් කිරි කෑම ද මතක් කරලමිනි. "damned if you do, damned if you don't" ය. කෆ්කාගේ කෙටි කතා වල එන තෙරපුනු, රාජකාරි බරින් පීඩිත වූ, උස්මක් කටක් ගන්න ඉඩ නැති කාර්යාල පරිසරය මතකයට නගන ආරේ කෙටි කතාවකි.
"මුදුව" වූ කලි මෙහි එන ඉතා ම සාර්ථක කෙටි කතාවකි. මුදුවක් පැළඳු විවාහ ගැහැනියක් එය ගැල වූ පසු එම ගැහැනිය ගේ නිදහස අන් පිරිමියකු දකින ආර ඉතා ම සියුම් වින්දනීය ලෙස පිළිඹිබු කරනා, මා මහත් රස විඳි කෙටි කතාවකි. මෙහි එන කෙටි කතා පෙළට කියවාගෙන යන කල, එතෙක් කියවූ ඉතා රසවත් වූත්, නිර්මාණනීය වූත් කෙටි කතාව මෙයයි.
"ලියුම් දෙකක්" වූ කලි තරමක් වෙනස් ආකෘති භාවිත කරන කෙටි කතාවකි. වචනයේ පරිසමාප්තියෙන් ම එහි ඇත්තේ වසරේ තිස් අටක පරතරයකින් ලියැවුණු ලිපි දෙකකි. ඒ ලිපි මගින් එක් ලේඛකයකුගේ එක්තරා දර්ශනයක් කරා ඇති ඇල්ම හෙළි වන අතර, ඩා වින්සිගේ අන්තිම කැමති පත්‍රය සහ රෝලන්ඩ් බාත්ගේ අවාසනාවන්ත වියෝව එහි එන මාතෘකා හා ආභාෂයන් ය. මෙහි එන සාර්ථක කෙටි කථා කිහිපයකින් එකකි.
"පොත් බඳින්නා" කෙටි කතාව, එකල කලාවක් හා සම වූ පොත් බැඳීමේ ක්‍රමවේදය, වර්තමාන පොත් කර්මාන්තයේ ප්‍රවේගය හමුවේ මුහුණ දී ඇති වෙනස්කම් සමඟ සසඳමින්, එරික් ට ආවේණික ක්‍රමවේදයක් වූ අප රට වෙසෙන විවිධ ජනවර්ගයන්ගේ අඳුරු කොන් පාදා නිර්මාණය කොට ඇත. රසවිඳිය හැකි නිර්මාණයකි.
"කිඹුලා" කෙටි කතාව මගින් "තේ කෝප්පයේ කිඹුලන් දැකීම" යන කාරණාව ඒත්තු යන ආකාරයේ නිර්මාණයක් ලිවීමට යත්න දරා තිබුණ ද, එහි විසිරුණු බව අවිශ්වාසනීය බවක් ගෙන දෙයි. ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය අතර ඇති විශ්වාසනීයත්වයේ වෙනස ගැන සියුම් විචාරයක් ද මෙහි වේ. එහෙත් පසුව කෙටි කතාවා අරමුණක් නැති බවක් අඟවයි.
"මිනිරන් පතල සහ වී කුරුල්ලා" කතාව මට ඇත්තට ම තේරුණා ද යන්න ගැන සැකය. ඒ මා ඉලයප්ආරච්චි නම් ලේඛකයා කෙරෙහි මා ගේ කියවීමේ හැකියාව ට වඩා විශ්වාසයක් මට ම හොරා තියෙන නිසා විය යුතුය. කිම ද එවැනි තත්ත්වයකින් මෙහා මේ කෙටි කතාවේ කිසිදු අපුරත්වයක් දැකිය නොහැකි නිසාය.
"නගරයට නගරයක්" කෙටි කතාව ද තරමක සුළු කාරණාවක් අලලා ලියවුණ කෙටි කතාවකි. අප ජාත්‍යන්තර භාෂා ගැන සිහින මව්ව ද අපේ ගරා වැටෙන ගම් වල ට ඇති බැඳීම් අලලා ලියවූවකි. තරමක් විශ්වාස කල නොහැකි ආරේ සිතුවිලි වලින් පෝෂණය වූ, එහෙත් යථාර්තවාදි සීමාවන් තුල නිර්මාණය වූ මේ කෙටි කතාවේ යම් ආකර්ෂණයක් තිබුන ද, මෙය සාර්ථක නිර්මාණයක් යැයි පිළිගැනිමට මැළි වෙමි.
"මනරම් වෙරළ" කෙටි කතාව මා මීට දිනකට පමණ පෙර කියවූ නීල් ගේමන් ගේ "Looking for the Girl" කෙටි කතාව මතක් කලේ ය. එහි එන කතා නායකයා දහ නම වනි වියේ දී සඟරාවක දකින කෙල්ලකු ගැන සිහින මවයි. ඔහු අවුරුදු පනහ ඉක්මවන විට ද ඒ කෙල්ල දහ නම වැනි වියැතිව තැනින් තැන මතු වන්නේ, අප කතා නායකයාගේ සිතේ ඇය ජීවත් වන නිසා ය. එහෙත් ඔහු ට කිසි දිනෙක ඇය ව තමන් නතු කර ගත නොහැකි වේ. අප එරික් ගේ කෙටි කතාව දෙස බැලුවහොත්, බාහිර සාධක වල බලපෑම් තිබුන ද, ඒ කථා නායකයා ද, සැම දා තමන් තුල වාසය ට, එහෙත් සැබවින් කවදාවත් තමන් නතු නොවන ආදරයක් උරුම කර ගැනීමට අඩිතාලම සදා ගනී.
"ජීවිත කාලය පුරා ඇයට ආලය කිරීම නතර කළැ නොහැකි වන බව ඒකාන්ත වන බැවින් කඳුළු හෙළමින් ඇගෙන් සමු ගන්නා මොහොත බලාපොරොත්තුවෙන් මම ඈ අසල රැඳුණෙමි."
මෙහි එන මා රස විඳි කෙටිකතාවකි.
"යාචකයින්ගේ දවස", අවංකත්වය ඉතා වේගයෙන් තමනට ද හොරා පළා යා හැකි බව පෙන්නුම් කරන කෙටි කතාවකි. පරිපූර්ණ කෙටිකතාවකට තරම් මූලයක් මෙහි වේද යන්න සැක සහිතය.
මිය යාමෙන් පසුව වුව, වෛරය සන් නොසිඳෙන බව මුල් කොට ගෙන ලියැවුණු කෙටි කතාවකි, "කැරකෝප්පුවේ ඥාතියෝ". යම් රසවත් බවක් නොතිබෙනවා නොවේ - එහෙත් එහි අපූරුත්වයක් නොදුටුවෙමි.
සේදවත්ත, මාළිගාවත්ත, ඔරුගොඩවත්ත පැති වල වැසියන් ගෙන් සමහරෙක් ට අලුත් තට්ටු නිවෙස් ලබුණි. එහි තට්ටු නිවෙස් ජීවිතය ඔවුන් මෙතෙක් ගෙවූ ජිවීත වලින් ඇති වෙනස නිසා යම් පිරිසකට පුරුදු වීමට නොහැකි වනු ඇත. ඒ ඔවුන් එතරම් සාමුහික ජිවීතයක් තරමට ළඟින් ආශ්‍රය කල නිසා විය යුතුය. මේ කාරණාකාරණා මුල් කොට ගෙන ලියූ කෙටි කතාවකි, "ජීවන යාත්‍රා". තරමක් සාර්ථක කෙටි කතාවකි.
නුවර එළියේ සැණකෙලි සමය, පුංඡායාංගධාරි ප්‍රජාවගේ හැසිරීම් සමඟ බැඳ නිර්මාණය කල කෙටිකතාවකි, "තන්කොට සාමි". සැමවිටම ආලය අපේක්ෂාවෙන් ( සහ වෙනත් විදිහකින් පවසතොත් සමාජය තමන් ව කොන් නොකට පිළිගන්නා මිනිස් ප්‍රජාවක් වීමට සිහින දකිනා) වෙසෙන පිරිසක් ලෙසිනි මෙහි ඔවුන් ව නිරූපනය වන්නේ. කෙටිකතාව තරමක් රසවත් ය. අසාර්ථක ම නැත.
ඉතා කෙටි, කෙටි කතාවක් වන "වීදුරු හස්තියෝ" හි අප රට ප්‍රාසාංගික කලාවේ දුප්පත් කම ගැන සසඳෙන්නේ, දැන් අපට නෙළුම් පොකුණ වන් රැඟුම්හල් තිබුන ද, ඊට සාධාරණයක් ඉටු කල හැකි කලාවක් මෙහි ඇත්තේ ද යන්න ප්‍රශ්ණ කරමිනි. මෙය නම් ඇත්තෙන්ම ඇසිය යුතු ප්‍රශ්ණයකි.
"එහි (නෙළුම් පොකුණේ) ප්‍රධාන වේදිකාවේ ඇගේ කණ්ඩායම ඉදිරිපත් කළැ රංගනය මට පෙනුනේ පෙකනි, කකුල් සහ පිම්බුණු පස්සවල් මතු කරන ලෙස නෙළා ඇති රූකඩ සමූහයක් ලෙසිනි. බොරු බෙර රිද්මයක් මවාපාන ඒ රූකඩ නොයෙක් විට ප්‍රතිමා මෙන් නිසලව සිටියි. ඔවුන්ගේ පාද සහ අඩවන් කළ දෙනෙත් සහිත මුහුණු දැකීමෙන් මට ලැබිය හැකි නෘත්‍ය රසයක් නැත" ( 167 පිටුව )
මෙහි දී ද අපේ රටේ කලාව හා සබැඳි යම් ප්‍රශ්ණයක් මතු කල ද එය සාර්ථක කෙටි කතාවක් බවට පත් වී ඇද්ද යන්න විමසිය යුත්තකි.
ලංකා ගමන, බැග්ඩෑඩ්, ලේ විල සහ ඩාන්ටේ කියවා, මා එරික් ගේ සෑම කෙටි කතාවක් ම කියවිය යුතුය යන ස්ථානයේ පසු වන්නෙමි. "මුඩු බිම" සහ අමරකීර්තිගේ "නව කවි සලකුණ" කියවා, එරික් ගේ කවිය ද නව මානයකින් බැලීමට යත්න දරන්නේ, මා මුලින් ඔහුගේ කවිය ට අකමැති වුවද, ඒවා ඉතා නූතන මෙන්ම සාර්ථක කවි නිර්මාණයන් බව වටහා ගැනීම ඔස්සේ ය. ඔහුගේ නවකථා වලින් තවම කියවා නත්තේ "රතු පලස" පමණි. මා විශ්වාස කරන්නේ ඔහු අපිට වර්තමානයේ සිටිනා පරිපූර්ණ ම සාහිත්‍ය නිර්මාණකරුවා ලෙසට ය. ඔහුගේ කෘති ඇගයීම ට තරම් දැනුමක් මට නැති බව සත්‍යයකි. එහෙත් පාඨකයකු ලෙස මා කියවූ දේ රසවිඳි ආකාරය ගැන කීම, මගෙ යුතුකමකි. ඉන් මගේ දැනීමේ සීමිත බව පසක් වන්නේ නම් ඊට කම් නැත. කිමද සත්‍යය නම් මේ කෙටි කතා සංග්‍රහය ගැන නම් මගේ කිසිදු පැහැදීමක් නැත. පළමු කාරණාව කෙටි කතා 18ක් පමණ එක් කොට එය අනවශ්‍ය ලෙස දිගු කොට තිබීම ය. මට වැටහෙන පරිදි "තනි කකුල", "නාසිසස්ගේ ළමා කාලය",
'අත්සන සහ පෙත්සම...", "මුදුව", "මනරම් වෙරළ", "ජීවන යාත්‍රා", "කිරි මුහුද","වීදුරු හස්තියෝ", "ලියුම් දෙකක්" යන කෙටි කතා නමය පමණක් තෝරාගෙන පිටු 70-80 ක පොතක් නිර්මාණය කලේ නම් එහි යම් සාර්ථකත්වයක් තිබෙන්න ට ඉඩ තිබුණි ( ඒත් එය සම්මානයට සුදුසු යැයි නොසිතමි ). ඒත් මේ සංග්‍රහයේ, ලේඛකයා ලියූ සියළු ආකාරයේ කෙටි කතා එකතු කොට බිහි වූවක් ලෙසිනි මා නම දකිනුයේ. සුප්‍රසිද්ධ බටහිර ගායකයින් සහ සංගීත කණ්ඩායම්, දශකයක් දෙකක් ක්‍රියාත්මක වූවායින් පසුව, ඔවුන්ගේ ගීත සමුච්චි වලට ඇතුලත් නොකල, සහ තනි ගීත (singles) ලෙස නිකුත් වූ තැටි වල B-sides හෙවත් අමතර ගී එක්කාසු කොට , "The B-Sides" ලෙස වෙළඳ පොළට නිකුත් කරයි. පණ මෙන් ඒ කණ්ඩායම් කියන කරන දේ අගයන් අතලොස්සක් පමණක් ( die-hard fans / cult following ) එම තැටි මිලදී ගනි. මට එරික් ඉලයප්ආරච්චි ගේ මේ කෙටි කතා 18කින් සපිරි මේ සංග්‍රහය එවන් B-Sides වලින් ම අඩක් පමණ පිරුණු කෙටි කතා පොතක් ලෙස දිස් වේ. සමහර විටෙක එය එරික් ගේ සවිඥ්ඥාණක තීරණයක් විය හැකිය; මා වැරදි වීමට ද පුළුවන. හෙමිංවේ ගේ, චෙකොෆ්ගේ එක්කාසු කල කෙටි කතා සංග්‍රහ වල ඔවුන් කිසිදා නිල කෙටි කතා සංග්‍රහ වල ඇතුලත් නොකල කෙටි කතා කොතෙකුත් ඇත. හාස්‍යයට කාරණාව නම්, බැග්ඩෑඩ් සහ ලේ විල සහ ඩාන්ටේ මෙන්, සම්මානයට සුදුසු කෘතීන් මග හැර නැතිනම් නොදැක්කා සේ සිට, මෙවන් කෘතියකට රජත සම්මානය දීමෙන් ඒ කමිටුව උත්සාහ කලේ පෙර වැරදි නිවැරදි කර ගැනීමටද ? කියා ය. වැරදි දෙකක් පෙළ ගැසූ විට යමක් ඉබේ නිවැරදි නොවන බව පමණක් කියා සිටිමි.
[ පිංතූරයේ කතාව - බෲස් ස්ප්‍රිංස්ටින් ( Bruce Springsteen) ගේ ඇල්බම වලට නොතේරු ගී 66කින් යුක්ත වූ Tracks නම් වූ සංයුක්ත තැටි හතරේ එක්කාසුව සහ, පර්ල් ජෑම් ( Pearl Jam) කණ්ඩායමේ ඇල්බම වලට නොතෙරුණු සහ තනි ගීත ලෙස එළි දැක් වූ නිර්මාණ වලින් සුසැදි සංයුක්ත තැටි දෙකකින්, ගී 29කින් සපිරි Lost Dogs එක්කාසුව, සමඟ කෙටි කතා 18කින් සපිරි වුව ද, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් කෙටි කතා සැකිලි පමණකින් යුක්ත, චයිනා ටවුම කෙටි කතා සංග්‍රහය. ]