2017 වසරේ අප රට සියළු සම්මාන උදෙසා නිර්දේශ ව, ඉන් එකක් ජයග්‍රහණය ට ද සමත් ( ඒ ගොඩගේ හෝ රාජ්‍ය සාහිත්‍ය සම්මාන යන දෙකෙන් එකකි ), සුනිල් විජේසිරිවර්ධනයන්ගේ "ගිරි මුදුන මගේ නිවහන" නම් වූ කාව්‍ය සංග්‍රහය කියවීමි.
කෘතිය ඇරඹෙන්නේ කියවිය යුතුම ආරේ පෙරවදනකිනි. එනම් අප කවියා මුළු හැත්තෑව දශයකම රුසියාවේ අධ්හ්‍යයන කටයුතු කරමින් සිටින අතර තමන් අත් දුටු රුසියාවේ සංස්කෘතික පොහොසත් කම පිළිබන්ධවය. තැනෙක හී මෙසේ කියයි;
"සාමාන්‍ය පාසලක 7-8 වසරේ සාමාන්‍ය දරුවෙකුට සම්භාව්‍ය කවියන්ගේ කවි තිහ හතලිහක්වත් කට පාඩමින් කීමට හැකියාව තිබිණ." (පෙරවදන viii පිටුව )
එවන් වටපිටාවකින් අප කවියා 1981 මෙහි සම්ප්‍රාප්ත වන විට මෙහි "සංස්කෘතීක කාන්තාරයකට" ගොඩ බස් බවත්, ඒ හේතුවෙන් ම යම් "ජීවන අරගලයකට" නතු වූ බවත් හේ පවසයි (පෙරවදන xii පිටුව ).
අනතුරුව ධර්මසිරි රාජපක්ෂ, දයාසේන ගුණසේන ආදි කවීන්ගේ නිර්මාණ භාවිතාවෙන් තමන් විසූ අනුරාධපුරයේ තරුණ පර්ශදයන් හා සක්‍රීය වූ අයුරුත්, ජනතා සංස්කෘතික කේන්ද්‍රය හා අමනාප වූ ජවිපෙ ට බියෙන් අනුරපුර හැර කොළඹ විසුමට පැමිණි වගත් කියවේ. මේ පොතේ පෙරවදනේ ම ගත යුත්තක් ඇත.
මෙහි ඇත්තේ 2014-2016 යන තුන් වසර තුල කවියා ගේ නිර්මාණයන් ය. හේ ආකෘතිය හා තේමා ඔස්සේ තම කවි කොටස් අටක ට බෙදා ඇත. ඉන් සමහර කවි, මා මෙතෙක් කියවූ ඉහළ ම ස්ථරයේ නිර්මාණ ය - අනෙක් වා සාර්ථක ද යන්න අපැහැදිලිය.
මට මේ කවි පොත රසවත් ම කවි පංති දෙක "අදිසි මානය" නම් කොටසේ එන "අනෙක් කාලය I" සහ "අනෙක් කාලය II " යන කවි පංතීන් දෙකය.ඒවා මා මෙතෙක් රස විඳි නන්දන වීරසිංහ, ලාල් හෑගොඩ, ලක්ෂාන්ත අතුකෝරාල යන කවීන්ගේ ඉහළ ම නිර්මාණ සමඟ එක පෙළට තිබිය හැකිය ( ඒවා අතික්‍රමණය කිරීමට තරම් ද විය හැක -ඒ සඳහා ඒ සියළු කවි නැවත කියවා වැඩිමනක් කිව යුතුය ). එහි පළමු කොටසේ අයෙක් වැවක් අසබඩ තනියම කල් ගෙවන, ජීවිතය භුක්ති විඳින අයුරක් අඟවයි.
"ළවල්ලේ තවම නොසිඳුණු
දිය කඩිත්තක් අස කුඩා මිනිසෙක් හැර
ඇසි දිසි මානයේ සිටින්නෝ
දිය හෙබ සරන මල් කොරලිය
ක්‍රී ක්‍රී හඬන පලා ගිරවුන් ය
ඉරටු පා මත වැනෙන කොරවක් පැටවුන් ය
ඈත දියඹේ සුදු රුවල් සරි පාවෙන
පෙලිකන් කුරුල්ලන් ය..."
මෙහි එන පරිසර වැනුම සවසක තිසා වැව් කණ්ඩියේ සුළඟකින් මුසපත් ව "මේ කාලය නොගෙවී සැමදා මෙතන විසිය හැකිනම්" නම් යන සිතුවෙල්ලෙන් මා එහි කෙටි නිවාඩුවකට ගිය කල විඳීම මතකයට නගයි.
"හැල්මේ දුව එන මරුත් කොලු
වාපි සුවඳ පතුරා පෙනහළු පුරා
සසිනිඳු අතින් පිරිමදියි වත
පාවි යයි මතක සිත
කොහිදෝ අන් ලොවක මායිම් කරා..."
එකල කාලය ඒ වැව් පරිසයටම ආවේණික බව කවිය වරින් වර කියන්නේ,
"කාලය ගලන්නේ
ගණනයක් නිනව්වක් නැතිවයි
වෑ කන්දෙන් ඔබ ලොව පෑ කටු
මේ මානයේ නොදුවයි"
දීර්ඝ කාලයක් රුසියාවේ වාසය කොට හේ නැවත එන්නේ පරිසරය වෙනස් වූ තිසා වැව් ඉසව්වකට ය.
"වෑ කන්ද දෙදරවා
වාපි කාල රිද්මය පුපුරවන
මිලිටරි බූට් හඬ අතරින්
ඉන් ඔබ ගිනියම්ව දැවෙන ලොව
මරු විකලෙන් දුවන පෑ කටු රැගත්
සිහියක් පතක් නැති නගරුන්
වැව් කුස තුළැට උදයෙම කඩා වැද
රිය ගොස පතුරමින්, දුම් කවුළු වගුරමින්
ප්ලාස්ටික්, ඉටි වහන් වසුරු මෙන් හලමින්
නැගූ දල වියරු කම්පන ගිගිරුමෙන්
ක්ලාන්ත වූ වාපි ගැහැනිය
හුදකලා මේ යාමෙත් ගොම්මන්
තවම සිහි එළවා නොගත්තී..
බිහිසුණු නිහඬබව! ලැගුම් අතරැද කුරුල්ලන්
අවට තුරු නිවෙස්වල?"
ඉතින් මට නම් පිටු අටක් පුරා දිවෙන මේ කවි පංති පමණක් ම වුව මේ කාව්‍ය සංග්‍රහයේ වටිනාකම මිණීමට ප්‍රමාණවත් ය. එහෙත් මෙහි තව රසවත් කවි එමට ය. "වසත් සමර" නම් වූ කොටසේ සෝවියට් දේශය, එහි කවීන් සහ එහි බිඳවැටුම් අලලා නිර්මිත කවි පංති හතර වෙසෙසින් සඳහන් කල යුතුය. "නොහමුවූ ඇය" කවි පංතිය ද කාලයක් මතක තියෙනා ආරේ ලයාන්විත කවි පංතියකි.
එනමුදු මෙහි එන හයිකූ හෝ ඉන් ආභාෂයෙන් ලියවී ඇති ආරේ කවි වලින් බොහෝමයක් මා සිත් ගත්තේ නැත. පෙර කී ආරේ මා වඩාත් රස විඳි නැවත නැවත අනාගතයේ ද රස විඳින කවි පංති අහුරක් මේ සංග්‍රහයේ තිබුන ද සමස්ත වශයෙන් කෘතිය පුරාවට ම මා රස විඳි කවි හමු නොවූ බවකි සැබෑව - එහෙත් එය පෞද්ගලික රසාඥ්ඥතාව මත විය හැක්කකි.
මෙතරම් නිමාවකින් යුත් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශ කල විදර්ශන ප්‍රකාශකයන් ද ප්‍රශංසාවට බඳු විය යුතුය.
No comments:
Post a Comment