"ගිහින් එන්න කානිවල්" කෙටි කතා සංග්‍රහය කියවීමෙන් අනතුරුව, එක්තරා සාහිත්‍ය ලෝලියෙකු සමඟ වූ දුරකථන සංවාදයක් අවසන් වූයේ, මා වහාම, ඔවු, ඒ මොහොතේ සියළු වැඩ නවතා සයිමන් ගේ ප්‍රේත වස්තුව කෙටිකතාව කියවිය යුතු යැයි යන අදහස ඇතිව ය. එම කෙටි කතාව රැගත් සංග්‍රහය මා සතු වීම හේතුවෙන්, ඒ කෙටි කතාව ඒ වෙලාවේම ත්, දින කිහිපයක් පුරා එම සංග්‍රහයත් කියවීමි. "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා" කියවීම ඇවෑමෙන් ලේඛකයාගේ කියවූ දෙවෙනි කෙටි කතා සංග්‍රහය මෙයයි.
කෙටිකතා හතකින් සපිරිය. මා වඩාත් ප්‍රිය කලේ මෙහි එන "ස්නේහය" නම් වූ කෙටි කතාවටයි. සිල්ප සොඳින් දැන ගන්න ගමින් පිට කල තම එකම පුතු ගැන සිත සිතා, මහා අව්වේ අවුරුදු හැත්තෑවක් වෙනකම්ම වන්නි වනන්තරේ වැව් හා ගොයිතැන සමඟ හැප්පුණු, එහෙත් දැන් රෝගීව තම අවසන් කාලය ගෙවාලන පියෙකු ගේ කතාවයි මේ. මෑතක පොළඟකු දෂ්ඨ කිරීම හේතුවෙන් සිහි කල්පනාව මද තත්ත්වයක් දක්වා තම සෞඛ්‍ය පිරිහී ඇති එම පියාණන්, තම පුතු රෙදෙව්වේ එක්තරා සාකච්ඡාවකට සහභාගි වූ බැව් අසා ඒ පිළිබඳ සංවේදී වී මාස ගණණකින් නොතිබුණු ජවයකින් කඩමණ්ඩියට ගොස්, පලාතේ තිබූ එකම රෙදෙව්වේ රැගත් කඩයේ මුදලාලි ට,
"අනේ මුදලාලි උන්නැහේ - අරක ටිකක් දාන්ඩ - මගේ හීං කොල්ලගෙ කටහඬ ටිකක් අහන්ඩ", යන වදන් කියවද්දි දෑස් තෙත්වීම වලක්වා ගත නොහැකි විය.මෙහි එක්තරා මට්ටමක ට හෝ චරිතාපදාන ලක්ෂණ රැගත් යැයි සිතුණ ද, එය තහවුරු කරලීමට ක්‍රමයෙක් නැත.
මෙහි එන "කිඹුල්වත" කෙටිකතාවේ ද, නවගත්තේගම හා ආශ්‍රිත පෙදෙස් වල වියළි සුළඟ පාඨකයින් ඇඟට දැනෙනාකාර කෙටි කතාවකි. එහි හේනක, අන්ත අසරණ පාසැල ක විස්තර ඉතා තාත්වික ලෙස ලියැවී ඇත්තේ, පාඨකයා එම ගමේ කෙනෙකු බවට පත්කරනාකාරයෙනි.
මෙම සංග්‍රහය අතට ගැනීමට හේතු වූ ප්‍රේත වස්තුව කෙටිකතාව ද, සයිමන් ගේ "දඩයක්කාරයාගේ කතාව" ආශ්‍රිත පරිසරයක, "සංසාරණ්‍යයේ දඩයක්කාරයා" හි එන දෘෂ්ඨියෙන් ද සුපෝෂිත කෙටිකතාවකි. එහෙත් කුමක් හෝ හෙතුවක් නිසා සංසාරණ්‍යයේ දඩයක්කාරයා ගෙනා ආ රසාස්වාදය මින් මා නොලදිමි. එපමණක් නොව, අර සාහිත්කාමියා කිව් පරිදි අග්නි ප්‍රේතයාගේ කතාව වඩා හොඳින් තේරුම් ගැනීමට ත් මෙය කෙටිකතාව එහෙව් පිළිසරණක් ලබා දුන්නේ ද නැත.
"සමුද්‍ර ඛාදනය" සහ "පාපොච්චාරණය" වූ කලි මෙම සංග්‍රහය ලියවුණු 80 දශකයේ අගබාගයේ අප රටේ තිබූ අස්ථාවර දේශපාලන තත්ත්වය පාදක කොට ලියැවුණු කෙටි කතා දෙකකි. මෙහි සමුද්‍ර ඛාදනය නමින් හෙමිහෙමිහිට සිදුවන ඛාදනය, එකල දේශපාලන වටපිටාවේ මිනිසුන් අනෙක් මිනිසුන් කෙරෙහි ඇති ආකල්ප හා විශ්වාස පිරිහීම හා ගලපා ඇත. පාපොච්චාරණය වූ කලි මෙහි එන ඉතා රසවත් කෙටිකතාවකි. ලෝක සමාජවාදය, සහ දාර්ශනිකව සමාජවාදය වෙනුවෙන් කැපවන්නෙකු සහ සමාජවාදය නමින් සිදුවන දේශපාලන ව්‍යාපාරයක් අතර සැසඳීමක් කෙරෙන රසවත් ආඛ්‍යායනකි.
"ශ්‍රීමතී මිලාන්ගේ අවසන් ගමන" කෙටිකතාව තමන් කවුද, තමන් ගේ පියාණන් කවුද, නොදන්නා පියාණන් තමන් ආශ්‍රය කරන පිරිමි ඔස්සේ සෙවූ අවසනාවන්ත කාන්තාවකගේ කතාවයි. ඇය කෙදිනක හෝ කොතැන හෝ මුල් නො ඇද ගත් ජීවිතයක් ගත නොකර අවසන් සීත වේල්සයේ තම දිවියේ අවසන් කාලය ගෙවන්නීය.
යම් ආකාර හිච්කොක් ආභාෂයක් පෙන්නුම් කරන් කෙටිකතාවකි, "සාරධාගේ මංග්‍යය". කතාව පුරාවට ම යම් ගුප්ත බවකුත්, අවිශ්වාසනීය බවකුත් ( එහෙත් සිතේ සයිමන් ගේ රුව ඇඳ ගත් කල, එය එතරම් ම අවිශ්වාසී ද නොවේ ) රැගත් කෙටි කතාව, නොසිතූ හැරවුම් ලක්ෂණයකි අවසන් වේ.
මෙහි එන සියළු කෙටි කතා ඉතා ඉහළ ගණයේ ඒවා නොවුන ද, ඒ ඒ කෙටි කතාවේ යම් යම් කොටස් මහත් රසවින්දනයක් සහ ගැඹුරක් ගෙන එයි - ඊළඟ මොහොතේ, සයිමන් තම ආඛ්‍යායනයට අවිශ්වාසි බවක් ගෙන එයි. එනම් මෙය කළවම් මඩිස්සලයකි - නුමුත් එහි මහත් අලංකාරිත්වයක්, ව්‍යාකූලත්වයක්, නිර්මාණීත්වයක් සහිත උත්කෘෂ්ඨ අවස්ථා ද ඇත. මෙහි ඇත්තේ අනර්ඝ නිමේෂයන් ය ; කෙටි කතා රසවත් වුවත් අනර්ඝ නොවේ - එහෙත් ඒ තුල අනර්ඝ නිමේෂයන් නම් බොහෝමයකි.
ඔබ සොයන්නේ පරෙස්සම්කාරි, කෙළින් මගක යන කෙටි කතා හතක් කියවීමට නම්, මෙය නොකියවන්න. එහෙත් ඔබ විශ්වාසනීයත්වය මෙන්ම අවිශ්වාසනීයත්වත ඔස්සේ ද රසාස්වාදය දකින්නේ නම්, දාර්ශනික යටි පෙළක් කියවීමෙන් රසයක් ලබන්නේ නම්, ඉහළ ම නිර්මාණ වල තැනෙක දුර්වල තැනක් ඉවසමින් කියවන්නියක් නම් මෙය කියවන්න. මෙහි ඇත්තේ ආවේණික සයිමන් නවගත්තේගම ය. ඔබ ඔහු ට කැමති නම් මේ සංග්‍රහය මහත් රස විඳිනු ඇත - ඔබ ඔහුගේ රටාව ව්‍යාකූල වැඩි නම්, මේ පොත ඔබව ඔහුගේ සාහිත නිර්මාණ ලෝලියෙකු නොකරනවා ඇත.
මා නිවැරදි නම් මෙය 1992 දී හොඳම කෙටිකතා සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් හ.
No comments:
Post a Comment