මේ මා කියවූ ලේඛකයාගේ තෙවෙනි නවකතාවයි. මීට පෙර ඔහු ගේ පවුරු බැඳි රාජ්‍යය සහ ශ්‍රී රාවණ්ණ පුවත කියවා ඇත. මින් පළමුවැන්න අදට ත් මා කියවා ඇති විශිෂ්ඨතම සිංහල නවකතාවක් ලෙස සලකන අතර දෙවැන්නේ ද දොසක් කීමට නැත. ඉතින් කතුවරයා පිළිබඳ වූ විශ්වාසය සහ, ස්වර්ණ පුස්තක සහ ගොඩගේ යන සම්මාන ද්විත්වයට ම නිර්දේශ වූ බැවින්, කියවීමට සිතුවෙමි.( මේ 2017 ප්‍රකාශ වූ නවකතා වලින් මා කියවීමට තෝරා ගත් තෙවැන්න යි )
ඉඳුරා එකක් කිව යුතුය. එනම් කතුවරයා තමගේ නිර්මාණය, තමන් විශ්වාස කරනායුරෙන් පරිපූර්ණත්වයට ගෙන ඒමට මහත් පරීශ්‍රමයක් දරන්නෙකු බවයි. මෙහි කියැවෙන්නේ 1505 (?) සිට 1550 දශකයේ මැදක් පමණ වන තුරු පෘතුගීසින් ලාංකේය, වෙසෙසින් කෝට්ටේ රාජධානිය හා කෙරෙන ගණුදෙනු, යුධයන්, ආගම ප්‍රචාරයන් හා ලාංකේය දේශපාලන හැළ හැප්පීම් මත්තෙන්, ඊට මැදි වන හේතු, මාලි, ඇනා ලුසියා, පැපිලියානේ රාහුල හිමි, ජුවාන් සහ එන්රිකේ කබරාල් යන අය තම දිවි නෞකා පදවන අයුරු ය. ප්‍රධාන ආඛ්‍යායනය මේ චරිතත් තවත් අවශේෂ චරිතත් මත ගොඩනැගෙන නුමුදු, එම චරිත හසුරුවන්නේ ප්‍රතිකාල් රජු ප්‍රමුඛ, හත්වෙනි විජයබහු, හත්වෙනි බුවනෙකබාහු, මායාදුන්නේ, වීදියේ බණ්ඩාර වැනි තීරක බලය හිමි ව තිබූ ඇත්තන් ය.
ඔවුන්ගේ දිවි මගේ , ප්‍රේමය, ජීවිකාව, ලබ්ධිය ආදි බොහෝ දේ තීරණය වන්නේ පෙර කී අය මත ය. ඒ අය එම තීරණ ගන්නා ප්‍රමුඛත ම කාරණාව තම ආශාව, බලය ආදි හේතුන් ප්‍රමුඛ කාලීන දේශපාලනයයි.
"මේ තොරතුරු කියවද්දි, ජුවාන්ට සිතුණේ ලෝකයේ කොතැනත් මිනිසුන් එක වගේ නේද කියායි. බල ලෝභය, වස්තු කාමය, දුරාචාරය - ඒ සියල්ල රජවෘන් සේම, දේව ගැතියන් අතරේද විරල නොවන බව ජුවාන්ට වැටහුණි." ( 425 පිටුව )
හේතු, මාලි ආදි අසරණයන් සියළු ආකාර හැලහැප්පීම් නිසා තමන යම් තාක් තරමක ට හෝ පැවරෙණ දිවිගමනේ ජීවන නෞකා අපහසුවෙන් හෝ පැද යන්නෝය. සමහර නෞකා මගක දි රකුසන් ගිල ගනී. බලකොටුවක ආරක්ෂාවෙන් ඔවුන ට රැකෙන්න අවස්ථා නොමැති තරම් ය.
මෙහි තාවකාලික හෝ බලයක් , නැතහොත් අවස්ථාවක ඡායාමාත්‍රාවක් හෝ සතු වන හැමෝ ම තමනට ඇවැසි දේ කිනම් හෝ ආකාරයෙන් ලබා ගැනීමට කුරුමාණම් අල්ලන්නෝය. ඒ වෙනුවෙන් හති හලමින් වෙහෙසොන්නොය. ඒ ආදරයේ නාමයෙන්, රාගයේ නාමයෙන්, දේශපාලන බලයේ නාමයෙන් හෝ ආගමික විශ්වාසයේ නාමයෙන් විය හැකිය. ඒ බලගතු එන්රිකේ කබරාල් හෝ දුප්පත් අහිංසක හේතු හෝ මාලි විය හැකිය. ඉතින් හය වැනි ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ (බෝර්ජියා ) හෝ හත්වෙනි බුවනෙකබාඅහු රජු ගැන කුමන කතා ද ?
මේ නවකතාව දිගැරෙන පසුපෙළ උක්ත යුගයේ ලාංකේය ඉතිහාස කතාවයි. විජයබා කොල්ලය, හත්වෙනි විජයබාහු කෝට්ටේ රජ වීම, ධර්මපාල කුමරුගේ පිලිරුවක් භෞතීස්ම කිරීම, පෘතුගීසින්ගෙන් ලාංකේය ජනයා විඳි අනේක දුක් ගැහැට, වීදිය බණ්ඩාර කුමරුගේ භූමිකාව විශ්වාසවන්ත ආකාරයෙන් උක්තා පරිසරය සපයයි - එහෙත් ප්‍රමුඛ ආඛ්‍යායනය පෙර කී චරිත ඔස්සේ දිගැරෙයි. ලේඛකයා පාඨකයා ගේ විශ්වාසය නොපළුඳු වන අයුරෙන් නවකතාව ගොඩ නගා ඇත.
මෙය ඉතිහාස ගවේෂණය කරන්නෙකු ට බොහෝ මං පාදන පොතකි. සිහළ බසට පෘතූගීසි බසින් එක්කාසු වූ වචන රාශියක ඔත්තු ආඛ්‍යායනය අතරතුර පාඨකයා ට හමු වේ. කරත්තය, සොල්දාදුවා, පිස්තෝලය, කුස්සිය, පගාව, ආදරය, කෑම, තුවාය, කමිසය, අවන්හල, කසාදය සුරුට්ටුව නිදසුන් කිහිපයකි. ප්‍රදේශ නාම කිහිපයක් ඇති උනේ කෙසේ ද යන්න තවත් කාරණාවකි - කොළඹ, ගාල්ල, පැපිලියාන, බත්තරමුල්ල, නාවල, මරදාන මිට නිදසුන් ය.
ඉතින් මේ සියළු කාරණා සැලකීමේ දී, පෙනී යන්නේ කතුවරයා බොහෝ කරුණු සොයා බලා මේ නිර්මාණය බිහි කොට ඇති බවකි. ඉහත කියූ ග්‍රාම නාම සහ වචන වල මූලයන් පිළිබඳ සොයා නොබැලුව ද, කියවීමේ ප්‍රයත්නය වඩා ප්‍රතිපළදායක වනු වස්, මීට සමගාමී ව ආචාර්‍ය කේ.ඩී.ජී. විමලරත්නගේ "ලාංකේය පරංගි ප්‍රයත්නය" කියවීමට පටන් ගතිමි. එහි දි පෘතූගීසින්ගේ මෙහි පැමිණීම පිළිබඳ බොහෝ ප්‍රභවන් හැදෑරූ ලේඛකයා පවසන්නේ, පෘතුගීසින් 1506 දී කොළඹ ත පැමිණීම බව ට කාරණාකාරණා හෙළිදරවු වන බවකි. එහෙත් මේ කියනා කෘතිය, මීට වසර කිහිපයකට පෙර, අළුත් තොරතුරු මත ලියැවූවකි. ඉතින් මෙවන් යම් නොගැලපීම් තිබිය හැකි වුව ද, සමස්තයක් ලෙස පාඨකයා එදවස සාමාන්‍ය වැසියන් හා දිවි පෙවෙත ගත කිරීමට තරම් විශ්වාසදායි ලෙස කතුවරයා කෘතිය ලියා ඇත.
මේ කෘතිය නිර්මාණයේ දි, කතුවරයා තමන් විශ්වාස කරනා යම් ඇගයීම් පද්ධතියක්, සංස්කෘතීක අභිරුචියක් ආදියෙන් පොෂණය වී තිබෙන්න ට ඇත - ඒ නිරපේක්ෂ යැයි කිව හැකි පුද්ගලයින් නැති තරම් නිසා ය. එහෙත් කතුවරයා තම අභිරුචියන් පෙන්නුම් මතුපිට ට වෑස්සෙන්න ඉඩ හරින්නේ ඉතා පරෙස්සමෙන් හා සියුම් ව ය. ආදාන ග්‍රාහී නොවී ය. ඇනා ලුෂියා ගේ හැල හැප්පීම් මැද වූ දිවි පෙවෙතේ, ඈ අවසන් සාපේක්ෂ සහනයක් ලබන පිළිවෙල මේ පිළිබඳ ඉඟි කරන්නේ යයි සිතමි.
මේ කෘතිය මා තවත් පොත් ගුල්ලියකගෙන් ඉල්ලාගෙන කියවීමි. කෘතිය කියවීමෙන් අනතුරුව හැඟෙනුයේ, මෙහි පිටපතක් මා සතු විය යුතු බවකි - එනම් පාඨකයකු තබා ගත යුතු යැයි හැඟෙනාකාර කෘතියකි මේ.එපමණක් නොව කතුවරයා ගේ පෙර කෘති කිහිපයක් කියවීම වුව පාඨකයකු ලෙස අගනා ප්‍රතිඵල ගෙන එන්නක් බැව් සිතේ.
No comments:
Post a Comment