Thursday, 30 August 2018

ධාතුසේන - ගුණදාස අමරසේකර



  අමරසේකරුන් ගේ බොහෝ නවකතා සහ කෙටි කතා සංග්‍රහයන් ද, කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් ද කියවා ඇත. පැහැදිලි රචනා ශෛලිය, සූක්ෂම ලෙස ලියැවුණු ආඛ්‍යායනය සහ බොහෝ කෘතීන් වලින් පෙන්නුම් කරනා අන්තර්ඥාණය පාඨකයා ඇඳ බැඳ තැබීමට සමත් ය. ඔහු ගේ නවකතා ආකෘති දෙකක යැයි පුළුල් ව සරල ව සැලකිය හැකිය. දීර්ඝ ආඛ්‍යාන ( යළි උපන්නෙමි, කරුමක්කාරයෝ, ගන්ධබ්බ අපදානය ) සහ කෙටි ආඛ්‍යාන ( එක් සත්‍ය කතාවක්, ප්‍රේමයේ සත්‍ය කතාව, , දෙපා නොලද්දො, රූපාන්තරය ) ඒවාය. මින් දෙවර්ගය ම රසවත් ය. මීට වසර 5-6 ට පමණ පෙර ඔහු ලියා පළ කල රූපාන්තරය හෙවත් සෝමදේවගේ සංක්‍රාන්තිය ද සාර්ථක කෙටි නවකතාවකි. ඔහු ගිය අවුරුද්දේ ධාතුසේන නමින් ඓතිහාසික සිද්ධාන්ත අලලා කෙටි ආඛ්‍යාන නවකතාව පළ කලේය. 2017 ප්‍රකාශ වූ, මා කියවූ සිව්වෙනි කෘතිය ලෙස ධාතුසේන කියවුවෙමි.

 මෙහි උක්ත කාල පරාසය, ධාතුසේන රජුන්ගේ රාජ්‍යත්වයේ අවසන් කාලයේ සිට මුගලන්  ගේ රාජ්‍යත්වයේ මුල් කාලයයි. ඉන් ගම්‍ය් වන්නේ කාශ්‍යප යුගය ද එහි අන්තර්ගත බවයි. කාශ්‍යප යුගය අවුරුදු විසිදෙකක් ලෙස සැලකේ.  පළමුවන මොග්ගල්ලානයන් රජ කලේ කශ්‍යප රජුගේ ඇවෑමෙන් බවයි සාමාන්‍යයෙන් සැලකීම. එය මේ ප්‍රබන්ධයේ අභියෝගට ලක්වාන්නාක් මෙනි.
"එමෙන් ම කාශ්‍යපට සිය මනෝරථ පුරණය සඳහා, මහා කලාභවනය නිමවනු සඳහා අවශ්‍ය මිල මුදල් සහ සහාය මුගලන් විසින් සපයන ලදි." (146 පිටුව )

අමරසේකර අප රට වර්තමානය ගැන වචනයකු දු නොකියා, වර්තමාන දේශපාලන පසුබිම  ගැන සාර්ථක කියවීමක්, සාමාන්‍ය පාඨකයකු ට කියවා තේරුම් ගත හැකි ආරෙන් ලියා ඇත.   ඔහු කෙටි නවකතාවක් හරහා මෙය ක්ෂාත්ක්ෂාත් කරලීමට උත්සාහ දරා තිබේ. මේ කියනා දේශපාලන පණිවුඩය සාර්ථකව ගම්‍ය කරලීමට, ඔප්පු සිද්ධ කරලීමට කතුවරයා සමත් වූ බවකි මට හැඟෙනුයේ.  එහෙත් මේ කර්තව්‍ය ඉටු කර ගැනීමට කතුවරයා යම් මිලක් ගෙවා ඇත. කුමක් ද ඒ මිල ? ඔහු මෙම නවකතාව සම්මාන උදෙසා නොලියූවක් බව මට නම් පැහැදිලිය.

ඔහු නවකතාව යන වාහකය භාවිතා කොට, ඉතිහාස සැසඳීමක් කර දේශපාලන පණිවුඩය සාර්ථක ව ගෙන හැර දක්වද්දි, ඉතිහාස කතාවකට නුසුදුසු බසක් භාවිතාවෙන්, ජවනිකාවෙන් ජවනිකාවට දිගු පිමි මගිනි පිටු එකසිය පනහකිනි එය සිදුකරලන්නේ. මේ කෘතිය කියවූ අයෙකු මා හට කීවේ, ප්‍රකාශක පීඩනයෙන් කතුවරයා මෙවන් කෙටි, මසින් ( සෞන්ධාර්යාත්මක උපක්‍රම ) අවම , කෘශ නිර්මාණයක් බිහි කොට ඇති බවකි - එහෙත් කෘතිය කියවා හමාරවත්ම මට සිතෙනුයේ, උපක්‍රමිකව, න්‍යායපත්‍රානුකූලව කතුවරයා දේශපාලන පණිවුඩය වඩා තීව්‍ර ව හැඟෙනා, සාමාන්‍ය පාඨකයකු ට වඩා පහසුවෙන් කියවිය හැකි ආරේ, ඓතිහාසික නවකතාවක් බිහි කොට ඇති බවෙකි. කතුකමේ වෙසරද ඔහු, කෘතිය ලියා පළ කොට ඇත්තේ ම ඒ අභිලාෂයෙන් බවකි මට හැඟෙනුයේ. තම දේශපාලන පණිවුඩ පසක් කරලනු වස් තම සාහිත්‍ය ලේඛණය විවෘතව භාවිත කරන අන් ජනප්‍රිය ලේඛකයකුගෙන් යම් ආභාෂයක් මෙතු මා ලද්දේ යැයි මට සිතේ ( යමක් ඉගෙනීමට වයසක් නැත

සමස්ත වශයෙන් නවකතාවක් කියවීමේ - වෙසෙසින් අමරසේකර වන් කෘතහස්ත ලේඛකයකුගේ නවකතාවක් කියවීමේ රුචියෙන් පොත ගත් මා, කියවා හමාර කලේ ඔහුගේ ශූර උපායකැයි සිතුණි. මට නවකතාවක ට දිය යුතු ඇගයීමකින් මෙහා කිසිවක් දීමට නොහැක්කේ, මා මේ පිටු වල දේශපාලනය කතාකිරීම අකමැති බැවිනි. එම නිසා තරු දෙකහමාරක ට වඩා පොදක් හෝ මේ කෘතිය ට දිය නොහැක.

Monday, 27 August 2018

බලකොටු සහ නෞකා - භද්‍රජි මහින්ද ජයතිලක



  මේ මා කියවූ ලේඛකයාගේ තෙවෙනි නවකතාවයි. මීට පෙර ඔහු ගේ පවුරු බැඳි රාජ්‍යය සහ ශ්‍රී රාවණ්ණ පුවත කියවා ඇත. මින් පළමුවැන්න අදට ත් මා කියවා ඇති විශිෂ්ඨතම සිංහල නවකතාවක් ලෙස සලකන අතර දෙවැන්නේ ද දොසක් කීමට නැත. ඉතින් කතුවරයා පිළිබඳ වූ විශ්වාසය සහ, ස්වර්ණ පුස්තක  සහ ගොඩගේ යන සම්මාන ද්විත්වයට ම නිර්දේශ වූ බැවින්, කියවීමට සිතුවෙමි.( මේ 2017 ප්‍රකාශ වූ නවකතා වලින් මා කියවීමට තෝරා ගත් තෙවැන්න යි )

ඉඳුරා එකක් කිව යුතුය. එනම් කතුවරයා තමගේ නිර්මාණය, තමන් විශ්වාස කරනායුරෙන් පරිපූර්ණත්වයට ගෙන ඒමට මහත් පරීශ්‍රමයක් දරන්නෙකු බවයි.  මෙහි කියැවෙන්නේ 1505 (?) සිට 1550 දශකයේ මැදක් පමණ වන තුරු පෘතුගීසින් ලාංකේය, වෙසෙසින් කෝට්ටේ රාජධානිය හා කෙරෙන ගණුදෙනු,  යුධයන්, ආගම ප්‍රචාරයන් හා ලාංකේය දේශපාලන හැළ හැප්පීම් මත්තෙන්, ඊට මැදි වන හේතු, මාලි, ඇනා ලුසියා, පැපිලියානේ රාහුල හිමි, ජුවාන් සහ එන්රිකේ කබරාල් යන අය තම දිවි නෞකා පදවන අයුරු ය. ප්‍රධාන ආඛ්‍යායනය මේ චරිතත් තවත් අවශේෂ චරිතත් මත ගොඩනැගෙන නුමුදු, එම චරිත හසුරුවන්නේ ප්‍රතිකාල් රජු ප්‍රමුඛ,  හත්වෙනි විජයබහු, හත්වෙනි බුවනෙකබාහු, මායාදුන්නේ, වීදියේ බණ්ඩාර වැනි තීරක බලය හිමි ව තිබූ  ඇත්තන් ය.
 ඔවුන්ගේ දිවි මගේ , ප්‍රේමය, ජීවිකාව, ලබ්ධිය ආදි බොහෝ දේ තීරණය වන්නේ පෙර කී අය මත ය. ඒ අය එම තීරණ ගන්නා ප්‍රමුඛත ම කාරණාව තම ආශාව, බලය ආදි හේතුන් ප්‍රමුඛ කාලීන දේශපාලනයයි.

"මේ තොරතුරු කියවද්දි, ජුවාන්ට සිතුණේ ලෝකයේ කොතැනත් මිනිසුන්  එක වගේ නේද කියායි. බල ලෝභය, වස්තු කාමය, දුරාචාරය - ඒ සියල්ල රජවෘන් සේම, දේව ගැතියන් අතරේද විරල නොවන බව ජුවාන්ට වැටහුණි."  ( 425 පිටුව  )

  හේතු, මාලි ආදි අසරණයන් සියළු ආකාර හැලහැප්පීම් නිසා තමන යම් තාක් තරමක ට හෝ පැවරෙණ දිවිගමනේ ජීවන නෞකා අපහසුවෙන් හෝ පැද යන්නෝය. සමහර නෞකා මගක දි රකුසන් ගිල ගනී. බලකොටුවක ආරක්ෂාවෙන් ඔවුන ට රැකෙන්න අවස්ථා නොමැති තරම් ය.

මෙහි තාවකාලික හෝ බලයක්  , නැතහොත් අවස්ථාවක ඡායාමාත්‍රාවක් හෝ  සතු වන හැමෝ ම තමනට ඇවැසි දේ කිනම් හෝ ආකාරයෙන් ලබා ගැනීමට කුරුමාණම් අල්ලන්නෝය. ඒ වෙනුවෙන් හති  හලමින් වෙහෙසොන්නොය. ඒ ආදරයේ නාමයෙන්, රාගයේ නාමයෙන්, දේශපාලන බලයේ නාමයෙන් හෝ ආගමික විශ්වාසයේ නාමයෙන් විය හැකිය. ඒ බලගතු එන්රිකේ කබරාල් හෝ දුප්පත් අහිංසක හේතු හෝ මාලි විය හැකිය.  ඉතින් හය වැනි ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ (බෝර්ජියා ) හෝ හත්වෙනි බුවනෙකබාඅහු රජු ගැන කුමන කතා ද ?

මේ නවකතාව දිගැරෙන පසුපෙළ උක්ත යුගයේ ලාංකේය ඉතිහාස කතාවයි. විජයබා කොල්ලය, හත්වෙනි විජයබාහු කෝට්ටේ රජ වීම, ධර්මපාල කුමරුගේ පිලිරුවක් භෞතීස්ම කිරීම, පෘතුගීසින්ගෙන් ලාංකේය ජනයා විඳි අනේක දුක් ගැහැට, වීදිය බණ්ඩාර කුමරුගේ භූමිකාව විශ්වාසවන්ත ආකාරයෙන් උක්තා පරිසරය සපයයි - එහෙත් ප්‍රමුඛ ආඛ්‍යායනය පෙර කී චරිත ඔස්සේ දිගැරෙයි. ලේඛකයා පාඨකයා ගේ විශ්වාසය නොපළුඳු වන අයුරෙන් නවකතාව ගොඩ නගා ඇත.

මෙය ඉතිහාස ගවේෂණය කරන්නෙකු ට බොහෝ මං පාදන පොතකි. සිහළ බසට පෘතූගීසි බසින් එක්කාසු වූ වචන රාශියක ඔත්තු ආඛ්‍යායනය අතරතුර පාඨකයා ට හමු වේ. කරත්තය, සොල්දාදුවා, පිස්තෝලය, කුස්සිය, පගාව, ආදරය, කෑම, තුවාය, කමිසය, අවන්හල, කසාදය සුරුට්ටුව නිදසුන් කිහිපයකි. ප්‍රදේශ නාම කිහිපයක් ඇති උනේ කෙසේ ද යන්න තවත් කාරණාවකි - කොළඹ, ගාල්ල, පැපිලියාන, බත්තරමුල්ල, නාවල, මරදාන මිට නිදසුන් ය.

ඉතින් මේ සියළු කාරණා සැලකීමේ දී, පෙනී යන්නේ කතුවරයා බොහෝ කරුණු සොයා බලා මේ නිර්මාණය බිහි කොට ඇති බවකි. ඉහත කියූ ග්‍රාම නාම සහ වචන වල මූලයන් පිළිබඳ සොයා නොබැලුව ද, කියවීමේ ප්‍රයත්නය වඩා ප්‍රතිපළදායක වනු වස්, මීට සමගාමී ව ආචාර්‍ය කේ.ඩී.ජී. විමලරත්නගේ "ලාංකේය පරංගි ප්‍රයත්නය" කියවීමට පටන් ගතිමි. එහි දි පෘතූගීසින්ගේ මෙහි පැමිණීම පිළිබඳ බොහෝ ප්‍රභවන් හැදෑරූ ලේඛකයා පවසන්නේ, පෘතුගීසින් 1506 දී කොළඹ ත පැමිණීම බව ට කාරණාකාරණා හෙළිදරවු වන බවකි. එහෙත් මේ කියනා කෘතිය, මීට වසර කිහිපයකට පෙර, අළුත් තොරතුරු මත ලියැවූවකි. ඉතින් මෙවන් යම් නොගැලපීම් තිබිය හැකි වුව ද, සමස්තයක් ලෙස පාඨකයා එදවස සාමාන්‍ය වැසියන් හා දිවි පෙවෙත ගත කිරීමට තරම් විශ්වාසදායි ලෙස කතුවරයා කෘතිය ලියා ඇත.

මේ කෘතිය නිර්මාණයේ දි, කතුවරයා තමන් විශ්වාස කරනා යම් ඇගයීම් පද්ධතියක්, සංස්කෘතීක අභිරුචියක් ආදියෙන් පොෂණය වී තිබෙන්න ට ඇත - ඒ නිරපේක්ෂ යැයි කිව හැකි පුද්ගලයින් නැති තරම් නිසා ය. එහෙත් කතුවරයා තම අභිරුචියන් පෙන්නුම් මතුපිට ට වෑස්සෙන්න ඉඩ හරින්නේ ඉතා පරෙස්සමෙන් හා සියුම් ව ය. ආදාන ග්‍රාහී නොවී ය. ඇනා ලුෂියා ගේ හැල හැප්පීම්  මැද වූ දිවි පෙවෙතේ, ඈ අවසන් සාපේක්ෂ සහනයක් ලබන පිළිවෙල මේ පිළිබඳ ඉඟි කරන්නේ යයි සිතමි.

මේ කෘතිය මා තවත් පොත් ගුල්ලියකගෙන් ඉල්ලාගෙන කියවීමි. කෘතිය කියවීමෙන් අනතුරුව හැඟෙනුයේ, මෙහි පිටපතක් මා සතු විය යුතු බවකි - එනම් පාඨකයකු තබා ගත යුතු යැයි හැඟෙනාකාර කෘතියකි මේ.එපමණක් නොව කතුවරයා ගේ පෙර කෘති කිහිපයක් කියවීම වුව පාඨකයකු ලෙස අගනා ප්‍රතිඵල ගෙන එන්නක් බැව් සිතේ.


Saturday, 18 August 2018

අප්පච්චි ඇවිත් - සමන් වික්‍රමාරච්චි



   අප්පච්චි ඇවිත් ය. ගැටළුව ඇත්තේ ම එහි ය. ඇයි අප්පච්චි ට ආපසු එන්න වූයේ ? ගිය අප්පච්චි ආයේ නාවා නම් ගැටළු අවම ය. එහෙත් ඔහු ආවේ ය.

"පියාගේ නාමකරණය යනුවෙන් අප කලින් සඳහන් කළ දෙයෙහි සාරය කුමක් ද? ඉන් හරියටම කෙරෙන්නේ පියාව සංකේතිකව මරා දැමීමට ඉඩ දීමයි. එමගින් ඔහු තම පියා අත් හැර දමා නිදහස් ලෝකය තුළ තමන්ගේ මාවත සොයා ගන්නවා. තම පියාගෙන් කැඩි වෙන් වීමට නොහැකි වීම මගින් පෙන්නුම් කරන්නේ ඔහු පියාගේ නාමකරණය බාරගැනීමට මැලිවීමයි." (197 පිටුව )

මෙහි කතානායකයා උගත්, බුද්ධිමත්, වගකීම් සහගත රැකියාවක නිරත, රූමත් බිරිඳක් සහ දියණියක් සහිත නිස්සංක ය. එහෙත් ඔහු ට අප්පච්චි ආපසු ඒම නවතාගත නොහැකි විය. සියල්ල ට මුල එයයි ( කුකුස වඩවනු පිණිස කතාවස්තුව මින් ඔබ්බට එළි දරවු නොකරමි ).

නිර්මියක්, ප්‍රබන්ධයක් ලෙස, නවකතාව පිළිබඳ මගේ අප්‍රගල්භ කියවීම:
  • පළමු පිටේ සිට ම කුතුහලය පවත්වාගෙන යන, වේගයෙන් කියවාගෙන යා හැකි කෘතියකි. මේ වේගය අඩාල වන්නේ අවසන් පිටු 30 දී පමණය. ඒ නීරස නොව, සාරගර්භ වන නිසා ය.
  • විශ්‍රාම ගිය විනිසුරුවරයකු වන කතුවරයා, ඔහුගේ සැබෑ වෘත්තීය ජිවිතයේ යම් තරමක හෝ අත්දැකීමක් මීට එක්කාසු කොට ඇතැයි සිතේ - එසේ නොවීම ට ද පුළුවන. එහෙත් මනෝ විද්‍යාත්මක අංශය ගැන වඩාත් උනන්දු ලේඛකයා,  ඔහුගේ විචාර වලින් අප රට බොහෝ කතුවරුන් ගේ සිත් තුල හැංගුණු සිතුවිලි එළියට ඇද දැමීම ගැන පුදුම විය යුතු නැත.
  • නවකතාවේ කුතුහලය වර්ධනයටත්, නවකතාව පාඨකයාට තේරුම් ගැනීමට ත්, විත්තියේ නීතිඥ්ඥයා සහ විනිසුරු අතර ඇති වන දීර්ඝ දෙබස හේතු වුව ද, එය උසාවියේ වටපිටාවට කෙතෙරම් ස්වභාවික ද යන්න ප්‍රශ්ණකාරීය. තරු හතරාමාරක් දෙන්න සිතා, හතරෙන් නතර කලේ ඒ හෙයිනි. අයෙකුට මේ සංවාදය, නවකතාව තේරුම් ගැනීම පිණිස ම ලියවුණු ගැට පද විවරණයක් බන්ඳක් යැයි ද, එය නවකතාවේ ආඛ්‍යායනය තුල පිහිටා තිබීම කෙතරම් සුදුසු ද යන්න ප්‍රශ්ණ කල හැකිය. එහෙත් ඊට විරුද්ධ තර්ක ආකෘතිවාදීන් ට ද තිබිය හැකිය.
  • ඉතිහාස කතා, කුලභේද කතා වලින් ගහණ සිංහල සාහිත්‍යා ට මනෝ විද්‍යාමක තේමාවක් අලලා නිර්මාණයක් බිහිවීම සතුටට කරුණකි. උක්ත මාතෘකාව අලලා සාර්ථක නිර්මාණයක් ම බිහි වීම බලාපොරොත්තු සහගත තත්ත්වයකි. මෙතරම් ශාස්ත්‍රීය ලෙස නොවුන ද, වික්‍රමාරච්චි ට අමතර ව යම් පමණකින් හෝ මේ ලක්ෂණ පෙන්නුම් කරන අන් ලේඛිකාවන් දෙදෙනෙකි කැත්ලීන් ජයවර්ධන සහ චම්පා වෛද්‍යතිලක.
  • නවකතාවේ ප්‍රධාන ධාරාවෙන් ඔබ්බට, ප්‍රධාන මානසික රෝගි තත්ත්වයන් දෙකක් දේශපාලන මතවාද දෙකකට සමපාත වන්නේ කෙසේ ද යන්න කුතුහලය දනවන විමසීමකි.
  • කතුවරයා ප්‍රසිද්ධ නාම වෑහුමට කවදත් කැමැත්තෙකි. විචාරයක් ලියද්දි ලැකාන් ලා, ෆ්‍රොයිඩ් ලා ආදි සැවෝම සාදයට එති. මෙහෙත් ඒ දෙදෙනා ත්, ජිජැක් ද , මයිකල් ජැක්සන් ද ( ඔහු ගේ පියා ද - ජැක්සන් ට ද අප්පච්චිගෙන් මිදීමක් නොවිණි ) තව බොහෝ අය ගේ නම් වෑහෙයි.  මතු පරිශීලනය ට ග්‍රන්ථ නාම ද බොහෝ සේ වෑහෙ යි. මට පෞද්ගලිකව ඒ පිළිබඳ විස්සෝපයක් නැත. සමහර විටෙක ඒ කෘතියක් දෙකක් උඩින් පල්ලෙන් හෝ පෙරලා බැලීමට වුව ඉඩ ඇත. එහෙත් මේ නාම වෑහුම්, ගැරඬියාට භූමිතෙල් වෑහූම් ආකාර වන පාඨකයින් ද අප අතර වෙති. ඔවුන් ඉවස කෘතිය නිම වෙන තුරු කියවුවහොත්, සාහිත්‍ය රසාස්වාදය හා දැනෞම් ලබන්නෝ ය.
  • සත්ව ලෝකය සරල ය. එහි පැටවුන් ටික කලකින් දෙමව්පියන් අතැර යන්නෝ නැවත ඔවුන් ගැන ඒ තැකීමෙන් කිසිදා නොබලන්නෝය. බුද්ධිමත් මිනිසා ඊට සංවේදීය. එහෙත් එම බුද්ධිමත් කමට මිනිසා මිලක් ගෙවිය යුතුය.
  • රෝග ලක්ෂණ ඔස්සේ රෝග විනිශ්චයක් සොයන අප රට මනෝ වෛද්‍යවරුන් ගැන සියුම් විවේචනයක් මෙහි එති.  එම වෘත්තීකයන්ට යමක් කීමට තිබෙන්නට පුළුවන.
  • අවසන් වශයෙන් කීමට ඇත්තේ, උසස් රසාස්වාදයක් පතන පාඨකයා මේ කෘතිය කියවිය යුතු බවත්, මේ වසර බොහෝ සම්මාන උළෙල වල අවසන් වටය තෙක් හෝ මේ කෘතිය පැමිණීම සාධාරණ බවත් ය.
    ( මෙය මා කියවූ 2017 ප්‍රකාශ වූ දෙවෙනි නවකතාවයි )


Wednesday, 15 August 2018

අම්මා සහ සඳ එළිය - අශෝක හඳගම

අශෝක හඳගම ගේ, "අම්මා සහ සඳ එළිය" කෙටිකතා සංග්‍රහය කියවීමි. කෙටි කතා හතෙන් හයක් 1987-1997 දක්වා කාලයේ ද, "ෂැන්ග්‍රි-ලා වේ දුටු සිහිනය" 2012 දී ත් ලිය වී ඇත.අළුත් මුද්‍රණයක් ලෙස 2017 එළිදැක ඇතත් මෙහි මීට කලින් මුද්‍රණයක් තිබී ඇත.

මේ කෙටි කතා හතම, ඒ ඒ කාලයේ දේශපාලන සිදුවීම් මත අප කලාකරුවාගේ සිතෙහි හටගත් සිතුවිලි, ගැටළු, දේශපාලන අභියෝග ප්‍රකාශ කල මාධ්‍ය කෙටිකතාව බවට මෙහි පෙරළි ඇත. පළමු මුද්‍රණයට පෙරවදනක් ලියන හඳගමයන් මෙසේ පවසයි: "...මේ රටේ ඒ ඒ කාලවල සිදු වූ ඇඟට දැනෙන කිසියම් දේශපාලනික සිද්ධියකට මා තුළ වූ ප්‍රතිචාරයන්, ක්ෂණික දේශපාලනික ප්‍රකාශන ලෙස එළිදැක්වූ ඒවා වීම."

මේවා හි වරෙක දේශපාලනික ලක්ෂණ කෙටිකතාමය ස්වරූපය අභිබවා යයි; වරෙක තම සිත ට වද දෙන පෞද්ගලික හැඟීමක් සමඟ පොර බැඳීමක් කෙටිකතාමය ස්වරූපයකින් අප ඉදිරියේ තිබේ.


ඒ අනුව පාර්වතී ට දොර නාරින්නැයි කියන්නේ අසල්වැසි ඉන්දියාවෙන් පැමිණිය ද, තමන් ගේ බස කතා කල ද එම සොල්දාදුවා ලාංකේය සොල්දාදුවා තරම් වත් අනුකම්පාවක් නැති හෙයිනි (1987)

නැතිනම් භීෂණය හෝ සිවිල් යුද්ධයෙන් තම දරුවා බේරා ගත්ත ද අම්මා ඊට බිලිවීම පුතු ට වැලැක්වීමට නොහැකි වී ඇත.

ආබාධිත සොල්දාදුවා යුද්ධය අවසන් වනවාට බිය ඔහු තාවකාලිකව ගත කරන වීරයෙකු ගේ භූමිකාව ඉන් අහවර වන නිසා ද ?

සෝවියට් දේශයේ බිඳ වැටීම සහ ලෙනින්ගේ සිරුර ගොඩගෙන තම මව අබියස භූමිදානය, අප කලාකරුවාට මහත් සංවේගයක් ගෙනදෙන්නේ, කතුවරයා ම කියනා පරිද්දෙන් වැල් ඉපනැල්ලට වඩා ස්ටේප්ස් කඳුවැටිය ට ඔහු වඩා ලෙන්ගතු නිසා ය.

තාත්තෙකුව තම දුව ගේ ලෝකය ඔහු ට අවශ්‍ය ලෙස ආත්මාර්ථකාමීව සීමාවන් ගොඩ නැගීමක් ගැන කතුවරයා දොඩමළු වන්නේ ආදරය යන්න අයිතිකරගැනීමක් ලෙස හේ අවුරුදු විසිනවයක පියෙක් ලෙස දුටු නිසා ද?

ප්‍රේමය සහ වෛරය අතර ඇත්තේ කෙතෙරම් කෙටි දුරක් ද ? සැම දා බැට

දෙන බීමත් ස්වාමියා ට තම ආදරණීය බිරියගෙන් මන්නා පහරක් වැදිය නොහැකි ද ? ඉන් ඔවුනොවුන්ගේ ආදරය ව්‍යාජයක් වේ ද?


සාමය වෙනුවෙන් පෙනී සිටීම කලාකරුවෙකුගේ වගකීමක් ද ? එහෙත් ඔහු ට යුද්ධය හෝ සාමය හෝ ගැන මෙලො කියවීමක් නැතිනම් ?

පෝට්සිටි, ෂැන්-ග්‍රි ලා ආදි හෝටල් මත අප රට වැසියන් සිහින ඉදි කරන්නේ අප ට අන් පිළිසරණක් නැති තරම් රටක් ලෙස අප ජනතාව අසරණ නිසා නොවේ ද?

ඉතින් මේ කතුවරයා ට සිතේ ඇදුනා යැයි මට සිතුණු ප්‍රශ්ණ ය; ඔහු මේ හැම එකක් ගැනම කෙටි කතා ආරේ කතාවක් ගොතා ඇත. ඉන් සමහරක් සාර්ථකය. සමහරක් පුද්ගලික පාපොච්ඡාරණයන් ලෙස පාඨකයා ට පෙනී යා හැකිය.

මෙහි කෙටි කතා හත ඉහළ ම ගණයේ ඒවා නොවෙතත්, අප රටේ ප්‍රධාන පෙළේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නෙකු, කලා කරුවෙකු ඔහු ගේ හදවත හා කල සංවාද හතක් දැකිය හැක. එතරම් ශ්‍රමයක් නොයොදා පැය කිහිපයකින් කියවා නිම කල හැකි පොතකි.

හඳගම ගේ සිතුවිලි දුවනුයේ කෙසේ ද යන්න තරමක් හෝ අවබෝධයට රුකුල් දෙන කෘතියකි. හුදෙක් කෙටි කතා රස විඳීම ඔබ අභිමතාර්ථය නම්, අන් පොතක් කියවන්න.

බාවනාව - සයිමන් නවගත්තේගම




   "ගිහින් එන්න කානිවල්" කෙටි කතා සංග්‍රහය කියවීමෙන් අනතුරුව, එක්තරා සාහිත්‍ය ලෝලියෙකු සමඟ වූ දුරකථන සංවාදයක් අවසන් වූයේ, මා වහාම, ඔවු, ඒ මොහොතේ සියළු වැඩ නවතා සයිමන් ගේ ප්‍රේත වස්තුව කෙටිකතාව කියවිය යුතු යැයි යන අදහස ඇතිව ය. එම කෙටි කතාව රැගත් සංග්‍රහය මා සතු වීම හේතුවෙන්, ඒ කෙටි කතාව ඒ වෙලාවේම ත්, දින කිහිපයක් පුරා එම සංග්‍රහයත් කියවීමි. "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා" කියවීම ඇවෑමෙන් ලේඛකයාගේ කියවූ දෙවෙනි කෙටි කතා සංග්‍රහය මෙයයි.

කෙටිකතා හතකින් සපිරිය. මා වඩාත් ප්‍රිය කලේ මෙහි එන "ස්නේහය" නම් වූ කෙටි කතාවටයි. සිල්ප සොඳින් දැන ගන්න ගමින් පිට කල තම එකම පුතු ගැන සිත සිතා, මහා අව්වේ අවුරුදු හැත්තෑවක් වෙනකම්ම වන්නි වනන්තරේ වැව් හා ගොයිතැන සමඟ හැප්පුණු, එහෙත් දැන් රෝගීව තම අවසන් කාලය ගෙවාලන පියෙකු ගේ කතාවයි මේ. මෑතක පොළඟකු දෂ්ඨ කිරීම හේතුවෙන් සිහි කල්පනාව මද තත්ත්වයක් දක්වා තම සෞඛ්‍ය පිරිහී ඇති එම පියාණන්, තම පුතු රෙදෙව්වේ එක්තරා සාකච්ඡාවකට සහභාගි වූ බැව් අසා ඒ පිළිබඳ සංවේදී වී මාස ගණණකින් නොතිබුණු ජවයකින් කඩමණ්ඩියට ගොස්, පලාතේ තිබූ එකම රෙදෙව්වේ රැගත් කඩයේ මුදලාලි ට,
"අනේ මුදලාලි උන්නැහේ - අරක ටිකක් දාන්ඩ - මගේ හීං කොල්ලගෙ කටහඬ ටිකක් අහන්ඩ", යන වදන් කියවද්දි දෑස් තෙත්වීම වලක්වා ගත නොහැකි විය.මෙහි එක්තරා මට්ටමක ට හෝ චරිතාපදාන ලක්ෂණ රැගත් යැයි සිතුණ ද, එය තහවුරු කරලීමට ක්‍රමයෙක් නැත.

මෙහි එන "කිඹුල්වත" කෙටිකතාවේ ද, නවගත්තේගම හා ආශ්‍රිත පෙදෙස් වල වියළි සුළඟ පාඨකයින්  ඇඟට දැනෙනාකාර කෙටි කතාවකි. එහි හේනක, අන්ත අසරණ පාසැල ක විස්තර ඉතා තාත්වික ලෙස ලියැවී ඇත්තේ, පාඨකයා එම ගමේ කෙනෙකු බවට පත්කරනාකාරයෙනි.

මෙම සංග්‍රහය අතට ගැනීමට හේතු වූ ප්‍රේත වස්තුව කෙටිකතාව ද, සයිමන් ගේ "දඩයක්කාරයාගේ කතාව" ආශ්‍රිත පරිසරයක, "සංසාරණ්‍යයේ දඩයක්කාරයා" හි එන දෘෂ්ඨියෙන් ද සුපෝෂිත කෙටිකතාවකි. එහෙත් කුමක් හෝ හෙතුවක් නිසා සංසාරණ්‍යයේ දඩයක්කාරයා ගෙනා ආ රසාස්වාදය මින් මා නොලදිමි. එපමණක් නොව, අර සාහිත්කාමියා කිව් පරිදි අග්නි ප්‍රේතයාගේ කතාව වඩා හොඳින් තේරුම් ගැනීමට ත් මෙය කෙටිකතාව එහෙව් පිළිසරණක් ලබා දුන්නේ ද නැත.

"සමුද්‍ර ඛාදනය" සහ "පාපොච්චාරණය" වූ කලි මෙම සංග්‍රහය ලියවුණු 80 දශකයේ අගබාගයේ අප රටේ තිබූ අස්ථාවර දේශපාලන තත්ත්වය පාදක කොට ලියැවුණු කෙටි කතා දෙකකි. මෙහි සමුද්‍ර ඛාදනය නමින් හෙමිහෙමිහිට සිදුවන ඛාදනය, එකල දේශපාලන වටපිටාවේ මිනිසුන් අනෙක් මිනිසුන් කෙරෙහි ඇති ආකල්ප හා විශ්වාස පිරිහීම හා ගලපා ඇත. පාපොච්චාරණය වූ කලි මෙහි එන ඉතා රසවත් කෙටිකතාවකි. ලෝක සමාජවාදය, සහ දාර්ශනිකව සමාජවාදය වෙනුවෙන් කැපවන්නෙකු සහ සමාජවාදය නමින් සිදුවන දේශපාලන ව්‍යාපාරයක් අතර සැසඳීමක් කෙරෙන රසවත් ආඛ්‍යායනකි.

"ශ්‍රීමතී මිලාන්ගේ අවසන් ගමන" කෙටිකතාව තමන් කවුද, තමන් ගේ පියාණන් කවුද, නොදන්නා පියාණන් තමන් ආශ්‍රය කරන පිරිමි ඔස්සේ සෙවූ  අවසනාවන්ත කාන්තාවකගේ කතාවයි. ඇය කෙදිනක හෝ කොතැන හෝ මුල් නො ඇද ගත් ජීවිතයක් ගත නොකර අවසන් සීත වේල්සයේ තම දිවියේ අවසන් කාලය ගෙවන්නීය.

යම් ආකාර හිච්කොක් ආභාෂයක් පෙන්නුම් කරන් කෙටිකතාවකි, "සාරධාගේ මංග්‍යය". කතාව පුරාවට ම යම් ගුප්ත බවකුත්, අවිශ්වාසනීය බවකුත් ( එහෙත් සිතේ සයිමන් ගේ රුව ඇඳ ගත් කල, එය එතරම් ම අවිශ්වාසී ද නොවේ ) රැගත් කෙටි කතාව, නොසිතූ හැරවුම් ලක්ෂණයකි අවසන් වේ.

මෙහි එන සියළු කෙටි කතා ඉතා ඉහළ ගණයේ ඒවා නොවුන ද, ඒ ඒ කෙටි කතාවේ යම් යම් කොටස් මහත් රසවින්දනයක් සහ ගැඹුරක් ගෙන එයි - ඊළඟ මොහොතේ, සයිමන් තම ආඛ්‍යායනයට අවිශ්වාසි බවක් ගෙන එයි. එනම් මෙය කළවම් මඩිස්සලයකි - නුමුත් එහි මහත් අලංකාරිත්වයක්,  ව්‍යාකූලත්වයක්, නිර්මාණීත්වයක් සහිත උත්කෘෂ්ඨ අවස්ථා ද ඇත.  මෙහි ඇත්තේ අනර්ඝ නිමේෂයන් ය ; කෙටි කතා රසවත් වුවත් අනර්ඝ නොවේ - එහෙත් ඒ තුල අනර්ඝ නිමේෂයන් නම්  බොහෝමයකි.

ඔබ සොයන්නේ පරෙස්සම්කාරි, කෙළින් මගක යන කෙටි කතා හතක් කියවීමට නම්, මෙය නොකියවන්න. එහෙත් ඔබ විශ්වාසනීයත්වය මෙන්ම අවිශ්වාසනීයත්වත ඔස්සේ ද රසාස්වාදය දකින්නේ නම්, දාර්ශනික යටි පෙළක් කියවීමෙන් රසයක් ලබන්නේ නම්, ඉහළ ම නිර්මාණ වල තැනෙක දුර්වල තැනක් ඉවසමින් කියවන්නියක් නම් මෙය කියවන්න. මෙහි ඇත්තේ ආවේණික සයිමන් නවගත්තේගම ය. ඔබ ඔහු ට කැමති නම් මේ සංග්‍රහය මහත් රස විඳිනු ඇත - ඔබ ඔහුගේ රටාව ව්‍යාකූල වැඩි නම්, මේ පොත ඔබව ඔහුගේ සාහිත නිර්මාණ ලෝලියෙකු නොකරනවා ඇත.

මා නිවැරදි නම් මෙය 1992 දී හොඳම කෙටිකතා සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් හ.