සුමිත්‍රා රාහුබද්ධ රචනා කොට, 2017 ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වූ "සිය සිය පත් සිය" නවකතාව කියවීමි. පිටු හාරසීය ගණණකට ආසන්න තරමක විශාල පොතක් වුව, පොත ආරම්භයේ සිටම පිටුවෙන් පිටුව පෙරලීමට පොළඹවන ආරේ ශෛලියකින් ලියැවී ඇති අපූරු කෘතියකි. "රාහුබද්ධයන් අපූරු ලියන්නියකි" යන්න සියළු දෙනා දන්නා දෙය පුනරුච්චාරණයකි. කරුණ එය නොව - මෑත ඉතිහාසයේ රාහුබද්ධයන්ගේ නිර්මාණ සලකන සඳ, කන්දක් සේමා, අත අත නෑර, තුරු සමුදා සහ මේ කෘතියත් සමඟ කෘති හතරක් ඔස්සේ නැවුම් ඉසවු සතරකට පාඨක අපව ගෙන යාමට ඈ දැක්වූ දක්ෂතාවයි. එහෙත් මේ කෘති හතර අතරින්, එතරම් අපහසුවකින් තොරව මෙය ඉදිරියෙන් බව මට සිතේ. පෙර කෘති හතරේ මාතෘකා ආර අනුව, ආඛ්‍යායනයේ ගලා යාම තැනෙක දෙකක අපහසුය. මෙහි එවැනි කියවීමේ අපහසුවක් ඇත්තේම නැත.
මේ නවකතාවේ පරාසය පුළුල්ය. පනහ දශකයේ මැද සිට වර්තමානය දක්වා, සොයුරියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ දියණියන්ගේ විවාහ මංගල්‍යය උත්සව නවකතාව එකට බැඳ තබන හුය ය. ඒ ඒ යුගයේ අඹු-සැමි සබඳතාවේ ස්වරූපය, චාරිත්‍ර, රටේ දේශපානය, ඒ ඒ යොවුනන් සිතනායුරු, දෙමව්පියන් නව යොවුල ට කරනා බලපෑම් හා ඔවුනොවුන් අතර බැඳීම් වල ස්වරූපය ආදි වශයෙන් විවිධ මානයන් වලින් නවකතාව විචිත්‍රවත් ය. පසු ගිය වසර හැට පමණ තුල ආකල්පමය වෙනස්වීම් අනුක්‍රමිකව පෙළගැසීම් පෙළක් මෙන් කියවන්නිය ගේ දෑස් අභිමුව ඇදී යයි.
නිවස්නේ පවත්වන මංගල උත්සවයේ සිට හෝටල වෙත හුවමාරු වන්නේ මුලින් දෙමව්පියන්ගේ විරෝධතා මධ්‍යයයේ ය. මුල් කාලයේ එසේ කළවුන්, යම් අඩුවක් වසනු වස් එසේ කල බවට අන් අය විශ්වාස කළෝ ය. සුදු රෙද්දේ "චාරිත්‍රය" වෙනස් වෙතත්, අර කියන්නාක් සේ "පොට්ට කාසියක්" මෙන් පරම්පරාවෙන් පරම්පරාවට මතුවෙයි; මතුව යටයයි; එහෙත් යට යන්න හෝ වක්‍රව, හාස්‍යට ගැබ් ව හෝ මතු වෙයි. පරණ නම්බුකාර කම සමඟ "අලුත් සල්ලි" වල ගැටීම ප්‍රතිරූපවත් වේ. අප රට විවා පත් කාන්තාව ක්‍රමිකව දිනා ගත් නිදහස ( එය අදටත් පූර්ණ නොවේ - එහෙත් පූර්ණ නිදහස යන්න ද නොමඟ යවන සුළු අදහසකි ) ඉතා අපූරුවට සුමිත්‍රාවන් කෘතිය තුලින් විදහා ලයි. පියාගේ අනියම් ලිංගික ඇසුර පවත්වන කාන්තාව තම නිවස්නේ ම ඉවසද්දි, දියණිය තම සැමියාගේ විවාහයෙන් පිට ඇසුර නො ඉවසයි. ඒ වන විට ඒ දියණියට, තනියෙන් තම දරුවන් සමඟ වෘත්තීයවේදිනයක් ව, විසිය හැකි තත්ත්වයක් උදා ව ඇත. නවකතාව පණහ දශකය කතාකරද්දි පෙන්වන අව්‍යාජ බව ම නූතන සමාජය පෙන්නීමේ දී ද පමණ ට ඔබින ලෙස පෙන්වයි. රුහුණුසිංහ ලා ගේ අලුත් සල්ලි භාවිතාව පෙන්වනුයුරු ඉතා රසවත් ය. ගුණැරුවන් තරුණකල ඔහු විසින් දිස් වූ චරිත ලක්ෂණ වල යම් යම් සීමා, කාලයත් සමග හැඩ කපා සුමට කොට ඇති අයුරු අඟවන අයුරු ඉතා අපූරුය. සිංහල-දෙමළ ගැටුම්, ජවිපෙ කැරලි, ආණ්ඩු මාරු සමස්ත නවකතාවට පසු තල සංගීතයක් සපයයි.
රොමෙතෝ ඉංග්‍රීසි ජාතික ජේසන් බ්‍රවුන්රිග් හා විවා පත් වීමත් සමඟ මේ හුය, මේ නවකතාවේදී අවසන් වේ. රොමෙතෝ ගේ මව වූ රන්මලී ගැනත් යමක් කිව යුතුය. කෙතෙරම් නූතන්වය සහ කාන්තා විමුක්තිය ගැන සිතුවද තම දරුවන් ඉදිරියේ සහ සැමියාගේ වරද ඉදිරියේ ඇය ප්‍රතිගාමි ලක්ෂණ පෙන්නුම් කලාය. කතුවරිය ඉන් යමක් ඒත්තු ගන්නට යත්න දැරූ බව සිතේ.
අශාන්ති හා තේශාන්ති ට මුහුණ දෙන්න ට වූ ඉරණම මේ නවකතාවේ එන සෝචනීය ම සිද්ධිය පමණක් නොවේ, තරමක් දුරට හෝ සුවිශේෂීම සිද්ධිය ද වේ. වෛරය හා ආකර්ශනය හෝ ආදරය හෝ පවා අතර ඇති දුර කොපමණ කෙටි ද ද යන්න ත්, අයෙකු ට හැඟෙන මදිපුංචිකම් වල වාඩුව ගැනීමට අයෙක් බොහෝ දෙයක් කිරීමට පසු නොබාන බවත් ඉන් කියවේ.
රොමෙතෝ ඉංග්‍රීසි ජාතික ජේසන් බ්‍රවුන්රිග් හා විවා පත් වීමත් සමඟ මේ හුය, මේ නවකතාවේදී අවසන් වේ. රොමෙතෝ ගේ මව වූ රන්මලී ගැනත් යමක් කිව යුතුය. කෙතෙරම් නූතන්වය සහ කාන්තා විමුක්තිය ගැන සිතුවද තම දරුවන් ඉදිරියේ සහ සැමියාගේ වරද ඉදිරියේ ඇය ප්‍රතිගාමි ලක්ෂණ පෙන්නුම් කලාය. කතුවරිය ඉන් යමක් ඒත්තු ගන්නට යත්න දැරූ බව සිතේ.
අශාන්ති හා තේශාන්ති ට මුහුණ දෙන්න ට වූ ඉරණම මේ නවකතාවේ එන සෝචනීය ම සිද්ධිය පමණක් නොවේ, තරමක් දුරට හෝ සුවිශේෂීම සිද්ධිය ද වේ. වෛරය හා ආකර්ශනය හෝ ආදරය හෝ පවා අතර ඇති දුර කොපමණ කෙටි ද ද යන්න ත්, අයෙකු ට හැඟෙන මදිපුංචිකම් වල වාඩුව ගැනීමට අයෙක් බොහෝ දෙයක් කිරීමට පසු නොබාන බවත් ඉන් කියවේ.
එහෙත් නවකතාවේ පරිමාව හා පරාසය ඔස්සේ සියළු චරිත පූර්ණ පෝෂණයක ට ලක්ව නැත; ලක් කිරීමට ද අපහසුය. අපි දකිනුයේ තරමක් දුරට කහ-නිල් මිශ්‍රිත ගැහණු මිනිසුන් ය. ඔවුගේ කුමන ආරේ චරිතදැයි ඇඳිනීමට එය ප්‍රමාණවත් ය. එහෙත් සමීප රූපයක් මැවීමට ඒ වර්ණ මිශ්‍රණය ප්‍රමාණවත් නොවේ. ඉන් නවකතාවට හානියක් නොවේ. ඒ වර්ණ මිශ්‍රණය දක්ෂ ලෙස "ශිල්පිණිය" සකසා ඇති නිසා ය.
කතුවරිය නිර්මාණය දිවීම උදෙසා භාවිත කොට ඇති හුය, මටසිළුටු ආඛ්‍යායනය, සමාජ-දේශපාලන කාරණා සියුම්ව කෘතිය රසවත් කරලීමට භාවිත කොට ඇති අපූරුව, කාන්තාව අප රට තුල කාන්තාවක් ලෙස හා බිරිඳක් ලෙස පසුගිය අවුරුදු 50-60 තුලින් පැමිනැති ගමන ආදි සියළු ඉසව් සියුම් ව එහෙත් සුදුසු මාත්‍රා වලින් භාවිත කොට ඇත. මෙහි යම් කාන්තාවාදි යටිතානයක් නවකතාව පුරා දිව යනවා සත්‍යය; එහෙත් කෘතියේ පරිපූර්ණ කම ඒ දෙස විවෘතව බැලීමට දෑස් පොළඹවයි. හැරත් අපූරු ලේඛිකාවක ට හෝ ලේඛකයෙකු ට, කියවන්නි අකමැති මාතෘකාවක් පවා, රසවිඳිය හැකි අයුරින් ලිවිය හැකිය. අප රටේ ම වුව වෙඩිවර්ධන, අමරකීර්ති, රාජකරුණානායක සහ රාහුබද්ධ ඊට නිදසුන් ය.
( මේ මා කියවූ, 2016 ප්‍රකාශ වූ, 2017 සමමාන නිර්දේශයට යෝග්‍ය, නවවැනි නවකතාවයි. දැනට කිය වූ කෘති අතරින් සිය සිය පත් සිය සහ ගරුඩ මුහුර්තය අභිබවා මෙය දැනට ඉදිර්යෙන් ම තිබෙන නවකතාව යැයි හැඟේ; එහෙත් තවම ප්‍රංශ පෙම්වතා, අකාල යාත්‍රා, යකඩ සිල්පර, මහිලාවංශය සහ ඉක්බිති ඔහු මරාපීහ කියවීමට ඉතිරිව ඇත. )
No comments:
Post a Comment