Monday, 16 April 2018

ප්‍රංශ පෙම්වතා - ශමෙල් ජයකොඩි


2016 ප්‍රකාශිත නවකතා අතුරෙන්, ස්වර්ණ පුස්තක අවසන් වටයටත්, ෆෙයාර්වේ අවසන් වටයටත් තේරි පත්වීමට සමත් ශමෙල් ජයකොඩි ගේ "ප්‍රංශ පෙම්වතා" නවකතාව කියවුවෙමි. කතුවරිය මේ වන විට නවකතා දහයක් ලියා පළ කර ඇතත්, මේ මා ඇගේ නවකතාවක් කියවූ පළමු අවස්තාවයි - එනම් ඈ පළ කල නවවෙනි නවකතාව ඔස්සේ ය.

මෙම නවකතාව, 2016 පළ වූ නවකතා අතරින් අති සාර්තක කෘතියක් බැව් අවිවාදයෙන් ම පිළිගනිමි. නුහුරු පැරිස් හා ටූලෝන් වාසය ගැන විස්තරයකට  එහා යන ස්ත්‍රී-පුරුෂ සබඳතා පිළිබඳ අපූරු, බරසාර කියවීම මෙහි වෙසෙස් වටිනාකම ලෙස දිටිමි. කතුවරිය භාවිත කොට ඇති "ප්‍රංශ පෙම්වතා" යන වදන් දෙක පවා හරි හමන් විග්‍රහයක් කරන්නෙ නම් පිටු බාගයක් හෝ ඊටත් වැඩියෙන් භාවිත කොට කල යුතුය. එනම් එහි එතරම් ගැඹුරු අර්තයක් ගැබ් වී ඇති නිසා ය. එය ප්‍රංශයේ සංස්කෘතිය හා තදින් බැඳී ඇති, ලාංකේය සමාජයෙන් ඉමහත් දුරස්ත සංකල්පයක් නිසා ය.

ඇගේ ලේඛන ශෛලිය තුල එක් පිටුවක් පුරා ඇතුලත් අකුරු වලින් පිටු දෙකහමාරක පමණ පරාසයක් ප්‍රකාශිතයි.  මීට පෙර අඩු ඉඩක් තුල මෙපමණ විස්තරයක් කීම මා දැක ඇත්තේ කේ. ජයතිලක ශූරීන් වෙතිනි; එහෙත් ඔහු ගේ ආඛ්‍යාන රටාවේ ඇති පාඨකයා කියවීමේ වේගය අඩාල කරලිමේ පෙළඹුම, ශමෙල් තුලින් නොදිටිමි. ශමෙල් කියවීම ජයතිලක කියවීමට සාපෙක්ෂ ව පහසුය; එහෙත් එය රාහුබද්ධ හෝ, රාජකරුණානායක හෝ, කියවන තරම් පහසු නැත. ඈ කැටි කොට ලියන්නියක ලෙස දකිමි; එය තුලින් ඇගේ අනන්‍යතාවක් තිබීමට පිලිවන්; එය එසේමැයි කීමට ඉක්මන් නොවන්නේ මා ඇගේ කෘති වලින් කියවා ඇත්තේ මෙය පමණක් නිසා ය.


නිදසුනක් ලෙස මේ ඡේදය සලකන්න; මින් අන් කතුවරියක පිටු දෙකක් පුරා  පැවසිය හැකි දෑ ඈ කටි කොට පමණක් නොව, පාඨක අපට දැනෙන්න ට ද කියා ඇත.

"අප මුණ ගසුණු දින කිහිපය තුළ ලලිතා හඳුනා ගන්නට මා උත්සාහ කළ ද විදේශගත වීමේ සිහිනයක කිමිදුණු තරුණියක හැර වෙනත් යමක් මට ඇගෙන් නොපෙනිණි. ජීවිතය යනු පුදුමාකාර අහඹු සිදුවීම් වැලක් මෙන් මට දැනෙන්නට පටන් ගෙන තිබිණි. මා දැන සිටි අන්දමට මාලි අක්කා පැරීසියට ගියේ ඇගේ පවුල් ජීවිතය හා බැඳුණු ගැටුම්වලින් මිද්දෙන්නට සිතාගෙනය. තාරකා එහි ගියේ ද ඇගේ හැසිරීම පවුලේ අයට ප්‍රශ්නයක් වූ නිසා ය. එහෙත් ලලිතා හුදෙක් ඇගේ කැමැත්තෙන් උද්වේගකර අනාගතයක් ඉල්ලමින් එහි යන්නට සුදානම් වී සිටියාය." ( 159 පිටුව )

එහෙත් මේ ආක්‍යාන ක්‍රමය ඉක්මවා යන සුවිශේෂිතා මෙම නවකතාවේ ඇත. ඒ චරිත ඉදිරිපත් කල ඇති ආකාරයයි. ඈ මාලි ගේ චරිතය නිර්මාණය කර ඇත්තේ අප ජීවිතයේ ඇය මුණ ගැසුනොත් ඈ හා කතා කල යුත්තේ, හැසිරිය යුත්තේ කෙසේ ද යන්න වැටහෙන ආකාරයට ය. ඈ දිරිමත් කාන්තාවක් ලෙසත්, එහෙත් බොහෝ කාන්තාවන් ලෙස සංඝතව හැසිරීම ඈට පමණක් වැටහෙන හෝ ඇයටත් නොවැටහෙන හෝ අයුරකින් බවත්, දිස්වන අයුරින් අප හමුවේ අඹා  තබන සජීවී කාන්තාවකි. වරෙක ඈ මාලක ගේ අවදානය අධෛර්යමත් කරන්නි, වරෙක ඔහු ඈ වෙත පැමිණීම ට කල් ගැනීම ගැන විස්සෝප වන්නි ය. ඈ තුලින් ප්‍රංශ-ලාංකේය දෙමුහුන් බවක සුවඳ විහිදුවාලයි; එහෙත් ඊට වඩා නොවැරදිය හැකි ලෙස ස්ත්‍රීත්වය පෙන්න්නුම් කරයි. මෙතරම් අව්‍යාජ ලෙසත්, නුමුත් සංකීර්ණ ලෙසත් ස්ත්‍රීත්වය පිරිමියා හමුවේ ක්‍රියාකරනායුරු අන් සිහළ නවකතාවකින් මා මතකයට නොනැඟෙයි. රාහුබද්ධයන්ගේ පරම්පරා පහක ස්ත්‍රීන් විඳි දුක් ගැන දීර්ඝ කතාව කියවා ( සිය සිය පත් සිය ), මලි හරහාත් මාලන් හරහාත්  තම නිදහස් මතයනට ක්‍රියා කරනා කාන්තාවන් හා පුරුෂයන් මුණ ගැසීම ඇත්තෙන්ම  සිහින් සුළං රැල්ලක් සේය.

මා මේ අවදානය යොමු කලේ නවකතාවේ විශේෂ ලක්ෂණය ලෙස මට හැඟුණු කාරණාවටය. එහෙත් මේ නවකතාව තව විවිධ මානයන් ඔස්සේ ද ක්‍රියාත්මකය. , ලාංකීය පවුල් සංස්ථාව හා ප්‍රංශ සමාජ පසුබිම අතර නිතැතින්ම පාඨකයා තුලින් සිදුවන සැසඳීම නවකතාවේ රසවත් බව තීව්‍ර කරයි. කතුවරිය ලංකාවේ සංස්කෘතිය හෝ ප්‍රංශයේ සංකීර්ණ සංස්කෘතිය හෝ, එකක් අනෙකෙකට වඩා ඉදිරියෙන් යැයි කීමට යත්න දරා නැත. පාඨක අපට මනු එක්කාසුවට ලකුණු පුවරුව සාදාඅ දී, සමාජ දෙකම යම් තරමකට අණ්වීක්ෂ ගත කරලීමට යත්න දරා ඇත. එකතකින්, ප්‍රංශ සංස්කෘතියේ හා පසුබිමේ සංකීර්ණත්වය නිසා ම එහි "පාඩුවේ" විසීම පහසුව ය. ලංකාවේ "පාඩුවේ" විසීම යන්න අතිශය ප්‍රහේළිකාවකි.

අනෙක් අතකින් මෙය  ඩයස්පෝරා සාහිත්‍යය යන ශානරයට අයත් ය.

මේ නවකතාව, මේ ලේඛිකාව සැලකිය යුතු මට්ටමේ සිංහල ලේඛිකාවක් යැයි  මට ඒත්තු ගැන්වුවේ ය. මීට පෙර ස්වර්ණ පුස්තක දීර්ඝ ලයිස්තුවට කිහිපවිටක් ඇගේ නිර්මාණ පිවිස තිබුන ද,   කෘති කිහිපයක් කපා කොටා කියවීමට තෝරගන්නා උක්ත වසරේ නවකතා 14-15 අතරට ඇතුලත් කර නොගත්තෙමි. මින් මත්තට ලේඛිකාවගේ නිර්මාණ දෙස මීට වඩා විමසිල්ලක් යෙදීම සාධාරණ බව මේ නිර්මාණය කියා පායි.

කෙටියෙන්ම කියනවා නම් ශමෙල් 2016 ප්‍රකාශිත හොඳම නවකතා පහ අතරට ගැනෙන නවකතාවක් ලියා ඇත; මට කියවීමට ඉතිරිව ඇති කෘති හතර එය හොඳම කෘති තුන අතර ට තේරෙවි ද යන්න තීරණය කරනු ඇත.

No comments:

Post a Comment