Thursday, 15 March 2018

කේ. කේ. - එරික් ඉලයප්ආරච්චි



  එරික් ඉලයප්ආරච්චි මා ඉතා කැමති ලේඛකයෙකි. හේ ලාංකීය ලේඛකයන් අතර, නූතනය - ඒ නූතන වන්නේ, අන් අයට තම මත එබ්බවීමේ අටියෙන් නොව. හේ  සාහිත්‍යමය අත් හදා බලන්නෙකි. බගන්දරා, විතණ්ඩ සමය හා ආදරයේ සිමෙන්ති හරහා අද වන විට මැකී ගොස් ඇති, මීගමුවේ හා ඔහුගේ මාහිමගොඩැල්ලේ විත්ති ද, රටේ එකල සිදුවීම් ද කැටි කොට ලියූ ඔහු, ඒ නවකතා ත්‍රිත්වයෙන් මෙපිට, නවකතා මාධ්‍යයෙන් විවිධ මාතෘකා ඔස්සේ නවකතා නිර්මාණය කර ඇත. ලලිත සමය, පාද යාත්‍රා සහ පරදේසි ඒවාය. ඔහුගේ කෙටිකතා ද එලෙස ම රසවත් ය.

එහෙත් මට ඔහුගේ කවි දුරස්තය. ඒවා හැඟීම් වලින් අවම, විස්තර බඳුය. "මගේ කොළඹට හඳ පායයි" හි යම් විශේෂි බවක් දුටුව මුත්, ඉන් පසුව පිත්තල හන්දිය සහ කපුටා හා සිටාණෝ කියවද්දි, මට ඔහුගේ කවි පිළිබඳ කිසිදු ආකර්ශනයක් ඇති නොවුණි. එහෙත් ආඛ්‍යාණ කාව්‍යයෝ තරමක් වෙනස් ය. මා එතරම් කැමැත්තක් නැති කවියෙක් වන පරාක්‍රම කොඩිතුවක්කු ගේ "දිවමන් ගජමන්" මහත් සේ රස වින්දෙමි. ඉතින්, එරික් "කේ. කේ." නමින් කාව්‍ය සංග්‍රහයක් ලියා පළ කල විට එය කියවීමේ අටියෙන් මිල දි ගෙන, පසු ගිය දිනෙක කියවූවෙමි.

මුල් පිටුවේ සිට ම කවියා පාඨකයා ගේ අවදානය දිනා ගැනීමට සමත් ය.


"ආලේඛ සිත්තරකු වුවොත් මම අඳින්නෙමි
වැන් ගෝට ඇඳිය හැකි මොඩන් ඩේවිඩ් මුහුණ
බඳ පටිය ලිහිල් වී සැර පහර නිකුත් වී
සුළුදියෙන් තෙමී යන කොළඹ කළු බිත්තියක"

  මෙහි කවියා වැණුමට තෝරා ගත් අයව, චිත්‍රයට නගන්නට සිතන්නේ ඒ අය සැරිසරණ පරිසරය මත සිටුවා ය. ඉන් පසුව හේ එම පරිසරය තව වණන අතර ම උක්ත පුද්ගලයා ගැන යම් අදහසක් අපට ලබා දේ.

"දවාලට බත් බුදින තෝස කඩැ වසා ඇත
ඉහඳ වැපිරූ නිසා සීල් කර තබා ඇත
නිදිවරා ගෙන ලියූ තවත් අත්පිටපතක්
ඇපයකට තබා ඇත ගේ කුලිය ගෙවා නැත"

එතැන් පටන් උක්ත අය ගේ ලමා කල, ලමා පෙම, යොවුන් විය විවාහය හා එය දෙදරා යාම, අයතා සබඳතා හා ඔහුට මුණ ගැහෙන අය ආදීන් විස්තර කරමින් ආඛ්‍යායනය දිගැරේ. මේ ආඛ්‍යායනේ බොහෝ තැන් වල සාහිත්‍ය කෘතීන් හා සැඳහුම් වේ.  වවුලුව, ගුරුළුවත, පිටස්තරයා (The Outsider), සර්පයකු හා සටන් වැද, යළි උපන්නෙමි, ලොලිටා, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, නිසරු බිම් ( The Wasteland), ගෝඩෝ එනකං ( Waiting for Godot ),  යුලිසිස් (Ulyssis)  සහ හිමබිම (Snow Country) ඉන් සමහරකි. මේ ආශ්‍රේයන්ට එක් නිදසුනක් නම්, තම පියාගේ මරණයේ දී ඔහුගේ "පිටස්තරයකු" මෙන් වූ හැසිරීමය. පියාගේ මරණය දින දුටු නව යොවුන් වියේ දැරිවිය, ඔහුට ලොලිටාවකි.

උක්ත පුද්ගලයා මවගේ පෙම හා රැකවරණය නිසි ලෙස නොලත්තෙ අප කවියා ඒ ගැන මෙලෙස පබඳයි:

"නොදැක කිරිබර මවක පියොවුරු
හඬන්නට විය සතෙක් මොලකැටි
උකුල නොව රෙදිකඩකි වැරහැලි
අතක් කකුලක් වැනෙන සිරුරට"

තුරුණු වියේ දි ඔහුට සයිමන් හමුවේ; හේ සයිමන් ගේ සසුනේ පැවදි බව ලබයි. පහත සඳහන් සැසඳීම මා මහත් සිත ගති.

"මං ඇහුවා සයිමන්ගෙන්
අජිත් ලියූ දේවල් ගැන
අජිත්ගෙනුත්  මං ඇහුවා
සසර අරණ අසබඩ ගැන"

"සාත්‍රේට කැමු කිව්වෙ
Too philosophical
ඇල්බෙයාට එයා කිව්වේ
Too Sketchy"

විවාහය දෙදරා යාම මෙසේ විස්තර කරයි:

"නෙළුම් පත මත නොව
හබරල පතක වියැළුණු
බෙදා තම කැවුතු බත
වළඳන සමය එළැඹිණ

ඇති වී නොයෙක් වියවුල්
සිද බිඳ දමා දිගු විල්
තඹුරු ද ඉරා පෙර ලොල්
දිවි ගත කළේ අවකල්"

එසේ වුව ද කාව්‍ය ආඛ්‍යායනය සයිමන් ජීවත් වී සිටි යුගයේ එක් සිද්ධිදාමයක් වන තුරු සීමා වෙයි. සයිමන් ට ඔහුගේ "පුතු" වූ උක්ත පුද්ගලයා සොයා ගත නොහැකි වේ. අවසන දෙදෙනා නැවත මුණ ගැහෙන්නේ යුලිසිස් නවකතාව ආරෙන් ය - බ්ලූම් සහ ඩෙඩලස් මෙන්, සයිමන් සහ අප උක්ත ප්‍රධාන චරිතය එකම ගණිකාවක ගේ නිවස්නේ හමු වේ.

නීරස වී තිබූ එරික් ගේ කවිය නැවත කියවීම ට මෙම ආඛ්‍යාන කවිය හමාර වීමත් සමඟ සිතිණි. මගේ අවංක හැඟීම නම්, එරික් ට ද අන් සමහර ලේඛක ලේඛිකාවන් මෙන් ඔහුගේ නිර්මාණ වනන පරිවාර පිරිසක් සිටියේ නම්, ඔහුගේ නිර්මාණ වල ගැඹුර, ගුණය හා ප්‍රමාණය අනුව හේ මහත් අගැයුමට පාත්‍ර විය හැකි තිබූ බවකි. මින් හේ ඇගයුමට ලක් නොවෙන බවක් නොකියවේ. අද වන විට එරික් යනු බොහෝ සම්මාන වලට නිර්දේශ වන, කිහිපදෙනෙක් පමණක් රසවිඳින ලේඛකයෙකි. එහෙත් ඔහුගේ නිර්මාණ විෂය පථය පුළුල්ය. මා පවසනුයේ ඒ පිළිබඳ නිසි ඇගයීමක් නොවන වගකි. ඇරත් හේ නූතන ය. ඒ අතින් හේ අමරසේකර, කේ. ජයතිලක, තෝරදෙනිය අබිබවා ඇත. න්‍යාය පත්‍ර නැති හෙයින්, අන් නූතන ලේඛකයන්ගේ යුතෝපියානු අභිප්‍රායන්ගේ බඩු පොදි බරක් නැත. ඉන් හේ මා චමත්කාරයට පත් කරවයි.

( කවියා සටහනක මෙසේ පවසා ඇත: "කාව්‍යයේ මාතෘකාව සහ කාව්‍ය නායකයා පමණක් නොව සෙසු චරිත හා අවස්ථා ද සමකාලීන සාහිත්‍ය කලා ක්ෂේත්‍රය ඇසුරු කරගෙන අතත් ඒවා හුදෙක් මනංකල්පිතය. සැබෑ සිද්ධි ඇසුරු කර ගෙන නැත." )

No comments:

Post a Comment