Saturday, 31 March 2018

මිහිසරණ - ඇරැව්වල නන්දිමිත්‍ර



( 1984 රාජ්‍ය සම්මානය හිමි වූ නවකතාව )
*****

"දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ
අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන් දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා"

           ( දර මිටි නියඟය - පද, ලූෂන් බුලත්සිංහල; ගායනය, සුනිල් එදිරිසිංහ )

       මේ කෘතිය මිලට ගෙන බොහෝ කලක් ගතව තිබුන ද, මෙය කියවීමට ආසන්න ම හේතුව කතුවරයා මෑත වියෝව, සහ මීට කලකට පෙර මා මිත්‍ර පොත් කියවන්නෙකු මේ පොතේ ගුණ වැයුමයි. ඔහුගේ ගුණ වැයුම යුක්තියුක්තම යැ. කිම ද මේ කෘතියෙන්, උඩවළවේ ප්‍රදේශයේ නියඟයේ කර සුවඳ නිකුත් වන්නාක් සේ ය; ගිනි රස්මිය රැගත් සුළඟ දවාලේ අප ගත ද දවාලන්නා සේ ය. උළමෙකුගේ මූසල හඬ රැගත් මූසල රාත්‍රියන්ගේ සීතල ගත වෙලා ගන්නා සේ ය ( හැත්තෑව දශකයේ දෙවෙනි අර්ධයේ, වසර දෙකක දරුවෙකු වශයෙන් මා උඩ වළවේ වසරක් පමණක් ජීවත් ව ඇත්තේ ම පියාණන් එකල වළවේ ව්‍යාපෘතියට සබැඳි ව සේවය කල නිසාය. එකල නිතරා රාත්‍රිය ඇසෙන උළලේනන්ගේ හඬත්, අන් කැළෑ සතුන්ගේ නිතර හැසිරීමත් ගැන ම පියාණන් මට එකල නිතර පවසා ඇත )

"මේ මුළු ප්‍රදේශය ම පිපාසයෙන් පීඩිත ය. තන්හි තන්හි බුරුත, පලු, වීර ආදී ගස් අහස දෙසට නැඟී සිටියත් ඒවා අතරින් බහිල වශයෙන් දක්නට ඇත්තේ කටු සහිත විවිධ පඳුරු ගස් වර්ග ය. දිගු කලකින් වැසි සිසිලේ පහස නොලද නිසා ඒවායේ කොළ කහ පැහැයට හැරී මලානිකව ගොස් ඇත. ගමන් ගන්නා අතර තුර දූ ඔවුන්ට කුඩා ප්‍රමාණයේ වැව් දෙක තුනක් ම දකින්නට ලැබිනි. එහෙත් ඒවායේ තිබුණේ මඩැ පමණි. මී හරක් රංචු පිටින් දිය සිඳි ගිය ඒ වැව්වල ලැඟ සිටියහ." (27 පිටුව)

  මෙහි පැවසෙන්නේ තම පියානන්ගේ ඇවෑමෙන්, මහප්පා විසින් තමන් ගත කරන  කටුක ජීවිතයට සබැඳි කරගන්නා අනාත වූ දරුවන් දෙදෙනකු, එම ශුෂ්ක පෙදෙස ට කෙමෙන් කෙමෙන් ආශක්ත වන අයුරුත්, නව දිවි පෙවෙත අතරින් එහි දුෂ්කරතා මධ්‍යයේ හිස කෙලින් තියාගෙන ජීවත් වන්න ඉගෙන ගන්නා අයුරුත් ය.මෙහි එන මහප්පා, සාමෙල්  "අළු" චරිතයකි. හොඳ නරක දෙකින් කැලතුනු තාත්වික චරිතයකි. වරෙක හේ කන්සා වවන්නෙකි; වරෙකි ස්ත්‍රී දූර්තයෙකි; එහෙත් තම මලයාගේ අසරණ වූ දරුවන් ගේ දිවි ගොඩ නගා ගැනීමට තම උපරිමයෙන් ක්‍රියා කරන්නෙකි. කතුවරයා ගමට ගැහැට පමුණුවන මැලේරියා වසංගතය, බෙහෙතක් හේතක් ගැනීමට ඇඹිලිපිටියට ම යාමට සිදුවීම, කංසා හේන, හේන් ගොයිතැන් කිරීමේ අපාසුව, තවලම් යාම, මී හරක් සමඟින් කැළෑ වැදීම ආදි බොහෝ රසවත් ඉසවු වලින් තම නිර්මාණය පෝෂණය කර ඇත.

මේ කියනා ඉසව්ව හම්බේගමුව ට එතරම් දුරක් නොවන්නේ ය. හම්බේගමුව ගැන මාස දෙක තුනක් අතර කියවූ තෙවෙනි වතාව මෙයයි. පළමුව "වෑ කඩවර" නවකතාවෙනි, මේ දෙවැනි අවස්තාවයි; තෙවැන්න උදුල බණ්ඩාර අවුසදහාමිගේ වැව නම් මහඟු කෘතියෙනි.

කතුවරයා සුනිල් විජේසිරි යන අයට තුති පුදන්නේ, මේ කතාවස්තුවට පාදක විස්තර සපයා දුන්නේ ඔහු නිසාය, නවකතාව රචනා වන අවදිය වන විට මේ කියනා සුනිලුන් දිවි හැර ගොසිනි. නන්දිමිත්‍රයන් මෙලෙස කෘතිය තම මිතුරාට පුදයි:

"ගෝමර ඇත්තු බසිනා වලවේ ගඟට
මනරම් සොබා සිරි රැඳි බැදිගං තොටට
බැති සිත වඩනා ගුණ පිරි මදුනා ගලට
මා ගෙන ගියා බෝ පින් අත් වෙයි ඔබට"

මේ පොත සොයාගෙන කියවීම කිසිසේත් ම පාඩු නැත. අරත් මෙය තවම පොත්සැල් වල විකිණීමට ඇති පොතකි. වර්තමාන නවකතා පෝෂණය කරනා ආකෘතික මෙවල්ම් භාවිතයක් ඇත්තේම නති වුවත්, අප රට මෑත අතීතයේ ශුෂ්ක ගම්මාන වල වෙසෙන්නන් ගේ වගතුග කියවීම වටින්නේ ඇත්තෙන්ම ඔවුන්ගේ දිවිගමන් වල එතරම්ම වෙනසක් වී ඇතිදැයි යන්න විවාදාත්මක නිසා ය.

No comments:

Post a Comment