Saturday, 31 March 2018

මිහිසරණ - ඇරැව්වල නන්දිමිත්‍ර



( 1984 රාජ්‍ය සම්මානය හිමි වූ නවකතාව )
*****

"දර මිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ හිටගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ
අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන් දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා"

           ( දර මිටි නියඟය - පද, ලූෂන් බුලත්සිංහල; ගායනය, සුනිල් එදිරිසිංහ )

       මේ කෘතිය මිලට ගෙන බොහෝ කලක් ගතව තිබුන ද, මෙය කියවීමට ආසන්න ම හේතුව කතුවරයා මෑත වියෝව, සහ මීට කලකට පෙර මා මිත්‍ර පොත් කියවන්නෙකු මේ පොතේ ගුණ වැයුමයි. ඔහුගේ ගුණ වැයුම යුක්තියුක්තම යැ. කිම ද මේ කෘතියෙන්, උඩවළවේ ප්‍රදේශයේ නියඟයේ කර සුවඳ නිකුත් වන්නාක් සේ ය; ගිනි රස්මිය රැගත් සුළඟ දවාලේ අප ගත ද දවාලන්නා සේ ය. උළමෙකුගේ මූසල හඬ රැගත් මූසල රාත්‍රියන්ගේ සීතල ගත වෙලා ගන්නා සේ ය ( හැත්තෑව දශකයේ දෙවෙනි අර්ධයේ, වසර දෙකක දරුවෙකු වශයෙන් මා උඩ වළවේ වසරක් පමණක් ජීවත් ව ඇත්තේ ම පියාණන් එකල වළවේ ව්‍යාපෘතියට සබැඳි ව සේවය කල නිසාය. එකල නිතරා රාත්‍රිය ඇසෙන උළලේනන්ගේ හඬත්, අන් කැළෑ සතුන්ගේ නිතර හැසිරීමත් ගැන ම පියාණන් මට එකල නිතර පවසා ඇත )

"මේ මුළු ප්‍රදේශය ම පිපාසයෙන් පීඩිත ය. තන්හි තන්හි බුරුත, පලු, වීර ආදී ගස් අහස දෙසට නැඟී සිටියත් ඒවා අතරින් බහිල වශයෙන් දක්නට ඇත්තේ කටු සහිත විවිධ පඳුරු ගස් වර්ග ය. දිගු කලකින් වැසි සිසිලේ පහස නොලද නිසා ඒවායේ කොළ කහ පැහැයට හැරී මලානිකව ගොස් ඇත. ගමන් ගන්නා අතර තුර දූ ඔවුන්ට කුඩා ප්‍රමාණයේ වැව් දෙක තුනක් ම දකින්නට ලැබිනි. එහෙත් ඒවායේ තිබුණේ මඩැ පමණි. මී හරක් රංචු පිටින් දිය සිඳි ගිය ඒ වැව්වල ලැඟ සිටියහ." (27 පිටුව)

  මෙහි පැවසෙන්නේ තම පියානන්ගේ ඇවෑමෙන්, මහප්පා විසින් තමන් ගත කරන  කටුක ජීවිතයට සබැඳි කරගන්නා අනාත වූ දරුවන් දෙදෙනකු, එම ශුෂ්ක පෙදෙස ට කෙමෙන් කෙමෙන් ආශක්ත වන අයුරුත්, නව දිවි පෙවෙත අතරින් එහි දුෂ්කරතා මධ්‍යයේ හිස කෙලින් තියාගෙන ජීවත් වන්න ඉගෙන ගන්නා අයුරුත් ය.මෙහි එන මහප්පා, සාමෙල්  "අළු" චරිතයකි. හොඳ නරක දෙකින් කැලතුනු තාත්වික චරිතයකි. වරෙක හේ කන්සා වවන්නෙකි; වරෙකි ස්ත්‍රී දූර්තයෙකි; එහෙත් තම මලයාගේ අසරණ වූ දරුවන් ගේ දිවි ගොඩ නගා ගැනීමට තම උපරිමයෙන් ක්‍රියා කරන්නෙකි. කතුවරයා ගමට ගැහැට පමුණුවන මැලේරියා වසංගතය, බෙහෙතක් හේතක් ගැනීමට ඇඹිලිපිටියට ම යාමට සිදුවීම, කංසා හේන, හේන් ගොයිතැන් කිරීමේ අපාසුව, තවලම් යාම, මී හරක් සමඟින් කැළෑ වැදීම ආදි බොහෝ රසවත් ඉසවු වලින් තම නිර්මාණය පෝෂණය කර ඇත.

මේ කියනා ඉසව්ව හම්බේගමුව ට එතරම් දුරක් නොවන්නේ ය. හම්බේගමුව ගැන මාස දෙක තුනක් අතර කියවූ තෙවෙනි වතාව මෙයයි. පළමුව "වෑ කඩවර" නවකතාවෙනි, මේ දෙවැනි අවස්තාවයි; තෙවැන්න උදුල බණ්ඩාර අවුසදහාමිගේ වැව නම් මහඟු කෘතියෙනි.

කතුවරයා සුනිල් විජේසිරි යන අයට තුති පුදන්නේ, මේ කතාවස්තුවට පාදක විස්තර සපයා දුන්නේ ඔහු නිසාය, නවකතාව රචනා වන අවදිය වන විට මේ කියනා සුනිලුන් දිවි හැර ගොසිනි. නන්දිමිත්‍රයන් මෙලෙස කෘතිය තම මිතුරාට පුදයි:

"ගෝමර ඇත්තු බසිනා වලවේ ගඟට
මනරම් සොබා සිරි රැඳි බැදිගං තොටට
බැති සිත වඩනා ගුණ පිරි මදුනා ගලට
මා ගෙන ගියා බෝ පින් අත් වෙයි ඔබට"

මේ පොත සොයාගෙන කියවීම කිසිසේත් ම පාඩු නැත. අරත් මෙය තවම පොත්සැල් වල විකිණීමට ඇති පොතකි. වර්තමාන නවකතා පෝෂණය කරනා ආකෘතික මෙවල්ම් භාවිතයක් ඇත්තේම නති වුවත්, අප රට මෑත අතීතයේ ශුෂ්ක ගම්මාන වල වෙසෙන්නන් ගේ වගතුග කියවීම වටින්නේ ඇත්තෙන්ම ඔවුන්ගේ දිවිගමන් වල එතරම්ම වෙනසක් වී ඇතිදැයි යන්න විවාදාත්මක නිසා ය.

Thursday, 15 March 2018

කේ. කේ. - එරික් ඉලයප්ආරච්චි



  එරික් ඉලයප්ආරච්චි මා ඉතා කැමති ලේඛකයෙකි. හේ ලාංකීය ලේඛකයන් අතර, නූතනය - ඒ නූතන වන්නේ, අන් අයට තම මත එබ්බවීමේ අටියෙන් නොව. හේ  සාහිත්‍යමය අත් හදා බලන්නෙකි. බගන්දරා, විතණ්ඩ සමය හා ආදරයේ සිමෙන්ති හරහා අද වන විට මැකී ගොස් ඇති, මීගමුවේ හා ඔහුගේ මාහිමගොඩැල්ලේ විත්ති ද, රටේ එකල සිදුවීම් ද කැටි කොට ලියූ ඔහු, ඒ නවකතා ත්‍රිත්වයෙන් මෙපිට, නවකතා මාධ්‍යයෙන් විවිධ මාතෘකා ඔස්සේ නවකතා නිර්මාණය කර ඇත. ලලිත සමය, පාද යාත්‍රා සහ පරදේසි ඒවාය. ඔහුගේ කෙටිකතා ද එලෙස ම රසවත් ය.

එහෙත් මට ඔහුගේ කවි දුරස්තය. ඒවා හැඟීම් වලින් අවම, විස්තර බඳුය. "මගේ කොළඹට හඳ පායයි" හි යම් විශේෂි බවක් දුටුව මුත්, ඉන් පසුව පිත්තල හන්දිය සහ කපුටා හා සිටාණෝ කියවද්දි, මට ඔහුගේ කවි පිළිබඳ කිසිදු ආකර්ශනයක් ඇති නොවුණි. එහෙත් ආඛ්‍යාණ කාව්‍යයෝ තරමක් වෙනස් ය. මා එතරම් කැමැත්තක් නැති කවියෙක් වන පරාක්‍රම කොඩිතුවක්කු ගේ "දිවමන් ගජමන්" මහත් සේ රස වින්දෙමි. ඉතින්, එරික් "කේ. කේ." නමින් කාව්‍ය සංග්‍රහයක් ලියා පළ කල විට එය කියවීමේ අටියෙන් මිල දි ගෙන, පසු ගිය දිනෙක කියවූවෙමි.

මුල් පිටුවේ සිට ම කවියා පාඨකයා ගේ අවදානය දිනා ගැනීමට සමත් ය.


"ආලේඛ සිත්තරකු වුවොත් මම අඳින්නෙමි
වැන් ගෝට ඇඳිය හැකි මොඩන් ඩේවිඩ් මුහුණ
බඳ පටිය ලිහිල් වී සැර පහර නිකුත් වී
සුළුදියෙන් තෙමී යන කොළඹ කළු බිත්තියක"

  මෙහි කවියා වැණුමට තෝරා ගත් අයව, චිත්‍රයට නගන්නට සිතන්නේ ඒ අය සැරිසරණ පරිසරය මත සිටුවා ය. ඉන් පසුව හේ එම පරිසරය තව වණන අතර ම උක්ත පුද්ගලයා ගැන යම් අදහසක් අපට ලබා දේ.

"දවාලට බත් බුදින තෝස කඩැ වසා ඇත
ඉහඳ වැපිරූ නිසා සීල් කර තබා ඇත
නිදිවරා ගෙන ලියූ තවත් අත්පිටපතක්
ඇපයකට තබා ඇත ගේ කුලිය ගෙවා නැත"

එතැන් පටන් උක්ත අය ගේ ලමා කල, ලමා පෙම, යොවුන් විය විවාහය හා එය දෙදරා යාම, අයතා සබඳතා හා ඔහුට මුණ ගැහෙන අය ආදීන් විස්තර කරමින් ආඛ්‍යායනය දිගැරේ. මේ ආඛ්‍යායනේ බොහෝ තැන් වල සාහිත්‍ය කෘතීන් හා සැඳහුම් වේ.  වවුලුව, ගුරුළුවත, පිටස්තරයා (The Outsider), සර්පයකු හා සටන් වැද, යළි උපන්නෙමි, ලොලිටා, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, නිසරු බිම් ( The Wasteland), ගෝඩෝ එනකං ( Waiting for Godot ),  යුලිසිස් (Ulyssis)  සහ හිමබිම (Snow Country) ඉන් සමහරකි. මේ ආශ්‍රේයන්ට එක් නිදසුනක් නම්, තම පියාගේ මරණයේ දී ඔහුගේ "පිටස්තරයකු" මෙන් වූ හැසිරීමය. පියාගේ මරණය දින දුටු නව යොවුන් වියේ දැරිවිය, ඔහුට ලොලිටාවකි.

උක්ත පුද්ගලයා මවගේ පෙම හා රැකවරණය නිසි ලෙස නොලත්තෙ අප කවියා ඒ ගැන මෙලෙස පබඳයි:

"නොදැක කිරිබර මවක පියොවුරු
හඬන්නට විය සතෙක් මොලකැටි
උකුල නොව රෙදිකඩකි වැරහැලි
අතක් කකුලක් වැනෙන සිරුරට"

තුරුණු වියේ දි ඔහුට සයිමන් හමුවේ; හේ සයිමන් ගේ සසුනේ පැවදි බව ලබයි. පහත සඳහන් සැසඳීම මා මහත් සිත ගති.

"මං ඇහුවා සයිමන්ගෙන්
අජිත් ලියූ දේවල් ගැන
අජිත්ගෙනුත්  මං ඇහුවා
සසර අරණ අසබඩ ගැන"

"සාත්‍රේට කැමු කිව්වෙ
Too philosophical
ඇල්බෙයාට එයා කිව්වේ
Too Sketchy"

විවාහය දෙදරා යාම මෙසේ විස්තර කරයි:

"නෙළුම් පත මත නොව
හබරල පතක වියැළුණු
බෙදා තම කැවුතු බත
වළඳන සමය එළැඹිණ

ඇති වී නොයෙක් වියවුල්
සිද බිඳ දමා දිගු විල්
තඹුරු ද ඉරා පෙර ලොල්
දිවි ගත කළේ අවකල්"

එසේ වුව ද කාව්‍ය ආඛ්‍යායනය සයිමන් ජීවත් වී සිටි යුගයේ එක් සිද්ධිදාමයක් වන තුරු සීමා වෙයි. සයිමන් ට ඔහුගේ "පුතු" වූ උක්ත පුද්ගලයා සොයා ගත නොහැකි වේ. අවසන දෙදෙනා නැවත මුණ ගැහෙන්නේ යුලිසිස් නවකතාව ආරෙන් ය - බ්ලූම් සහ ඩෙඩලස් මෙන්, සයිමන් සහ අප උක්ත ප්‍රධාන චරිතය එකම ගණිකාවක ගේ නිවස්නේ හමු වේ.

නීරස වී තිබූ එරික් ගේ කවිය නැවත කියවීම ට මෙම ආඛ්‍යාන කවිය හමාර වීමත් සමඟ සිතිණි. මගේ අවංක හැඟීම නම්, එරික් ට ද අන් සමහර ලේඛක ලේඛිකාවන් මෙන් ඔහුගේ නිර්මාණ වනන පරිවාර පිරිසක් සිටියේ නම්, ඔහුගේ නිර්මාණ වල ගැඹුර, ගුණය හා ප්‍රමාණය අනුව හේ මහත් අගැයුමට පාත්‍ර විය හැකි තිබූ බවකි. මින් හේ ඇගයුමට ලක් නොවෙන බවක් නොකියවේ. අද වන විට එරික් යනු බොහෝ සම්මාන වලට නිර්දේශ වන, කිහිපදෙනෙක් පමණක් රසවිඳින ලේඛකයෙකි. එහෙත් ඔහුගේ නිර්මාණ විෂය පථය පුළුල්ය. මා පවසනුයේ ඒ පිළිබඳ නිසි ඇගයීමක් නොවන වගකි. ඇරත් හේ නූතන ය. ඒ අතින් හේ අමරසේකර, කේ. ජයතිලක, තෝරදෙනිය අබිබවා ඇත. න්‍යාය පත්‍ර නැති හෙයින්, අන් නූතන ලේඛකයන්ගේ යුතෝපියානු අභිප්‍රායන්ගේ බඩු පොදි බරක් නැත. ඉන් හේ මා චමත්කාරයට පත් කරවයි.

( කවියා සටහනක මෙසේ පවසා ඇත: "කාව්‍යයේ මාතෘකාව සහ කාව්‍ය නායකයා පමණක් නොව සෙසු චරිත හා අවස්ථා ද සමකාලීන සාහිත්‍ය කලා ක්ෂේත්‍රය ඇසුරු කරගෙන අතත් ඒවා හුදෙක් මනංකල්පිතය. සැබෑ සිද්ධි ඇසුරු කර ගෙන නැත." )

The Other One - Amanda Jay


Amanda Jay won the Fairway award for best work of fiction, in the recently concluded Fairway Awards ceremony. Then a fellow reader, recommended it as a good steam-punk novel - not being into science fiction, I had to look up what that  genre was. Upon looking it up, it reminded me of the earlier series of Mad Max, and also a movie called "Hardware" I watched decades back. The fact that a Sri Lankan author has written a book on a genre that we are largely unused to, and that she has won an award for same, plus the recommendation of the said reader, gave me enough reason to invest in a Kindle version of the book.

At the outset it has to be said , that it was a page turner, and more than half of it was read while commuting to and from work. The plot is fantastic, and the world building is intriguing. The science behind the fiction, has not been really spent much time on - yet, that has minimal effect on the build up of the worlds which instill a sense of desperation and hopelessness - which appear to be the author's goal. For more than half of the way the author succeeds in keep the reader guessing, speeding through the pages as she tries to find out how such things came to pass after a blissful love affair between Ezra and Kaelyn.

Yet, from such a sense of desperation, things work out for everyone - except the single character who perished earlier - to a most hopeful ending. For me personally, I found it too hopeful, and I felt the end could've been better plotted. I couldn't rid a sense of the "Bollywood" as all the main players moved in at the final scene to clear out the doubts. The characters too were rather flat, and even the ones promising to be complex ones end up being "well meaning folk trying too desperately." Amidst all that criticism, the scale tilts in favour of Amanda, for her brave work in an unusual genre, coming out with a top class fiction, for most of the way. Accolades that you received
were well deserved, and my you go from strength to Strength, Amanda !


Sunday, 4 March 2018

ඇරැව්වල නන්දිමිත්‍රගේ තෝරාගත් කෙටිකතා

ඇරැව්වල නන්දිමිත්‍රයන් අභාවප්‍රාප්ත වී ඇත. එතුමන්ගේ කෙටි කතා විස්සක් එකතු කොට සුගත් වටගෙදර සංස්කරණය කල  "ඇරැව්වල නන්දිමිත්‍රගේ තෝරාගත් කෙටිකතා" නම් වූ පොත මා කියවූයේ 2010 වසරේ දී ය. එම පොත කියවා 2010 අගෝස්තු දහනම වන දින මගේ පෞද්ගලික සටහනක් පොතක  ලියා තැබූ විස්තරය මෙසේ පළ කරනුයේ එතුමන් ට ගෞරව දැක්වීමක් වශයෙනි. (සංස්කරණය අවම මෙය, පිටත ලොව හා බෙදා ගැනීමේ අරමුණෙන් මුලින් නොලියූවක් බව සළකන්න )


=======================================

කෙටි කතා විස්සක් එක්කාසු කර ගනිමින් සංස්කරණය කොට ඇති මේ කෘතිය කියවීමෙන් මම මහත් වින්දනයක් ලබා ගත්තෙමි. ඊට මූලික හේතුව, මේ කෙටි කතා විස්ස අතර දුර්වල යැයි ඉවත ලා හැකි ආරේ එකුදු කෙටි කතාවක් හෝ නැති නිසා ය. මෙම රසවත් කෙටි කතා විස්ස අතරින් "කළු ගඟ මුමුණයි", "ස්ත්‍රී", "සුද්දෝ සහ කොයින් මැණිකේ", "ආදරයේ එක්තරා අවස්තාවක්", "සුදු කොඩි" සහ "සුදු මැලි සඬහ් එළිය" මා බෙහෙවින් සිත් ගත් කෙටි කතාය. මෙහි එන ස්ත්‍රී චිත්‍රපටියක් වශයෙන් ද, සෙක්කු ගෙදර ටෙලි නාට්‍යයක් වශයෙන් ද නිර්මාණය වී ඇත.


විමර්ශනයක යෙදෙන මහාචාර්‍ය විමල් දිසානායකයන් පවසන්නේ ( ලේඛකයාගේ කුසලතා රැසක් ගැන කීමෙන් අනතුරුව ), ප්‍රධාන දුර්වලතා දෙකක් ඇති බවයි. ඉන් එකක් ලෙස අර්ථය හා වැදගත්කම කුමක්දැයි යන්න පිළිබඳ ප්‍රශ්ණයක් ඇති වන බව පවසයි.  දිසානායකයන් කියනා දෙයි නැත්තක් නැත්තේම නොවෙතත්, "වෛර නා රැජින", "මා සොයා එනු මැනවි" ආදිය අර්ථය වශයෙන් කුමන හේතුවක් සඳහා රචනා වී ඇතිදැයි සිතීම අපහසු නැත. බෞද්ධ ජාතක කථා වල කර්මඵල හා සමහර ජනවිශ්වාස වලට පදනම් වී ඒවා නිමවි ඇති බව වටහා ගැනීම අපහසු නැත.


නන්දිමිත්‍රගේ බොහෝ කෙටිකතා වල් අතීතය සිහිගැන්වීම් හෙවත් වර්තමානයේ සිට අතීතයට යෑම් ඇත. "වැස්සට තෙමෙන ලිපිකරුවා", "සුදුකොඩි", "සුද්දෝ සහ කොයින් මැණිකේ", "ගෙල සිඳීම", " කළු ගඟ මුමුණයි", "සිරි සහෝදරයා", "මා සොයා එනු මැනවි" ආදි බොහො කෙටි කතාවන් වල අඩු-වැඩි වශැයෙන් මෙම ලක්ෂණය ඇත. ඉන් කෙටිකතා වලට හානි සිදු වී ඇතැයි මින් ගම්‍ය නොවේ.

තවද වඩා මෑත කාලීන කෙටිකතා වල වඩාත් අත් හදා බැලීම් වලට ලේඛක තෙමේ යොමු වී ඇති බව පෙනේ. "දේවසේන", "අතුරුදන්වීම්", වෛර නා රජ" ආදිය ඊට නිදසුන් ය.

නන්දිමිත්‍රයන්ගේ කෙටිකතා හුදෙක් දාර්ශනික පරිකල්පනාවන් නොවේ. මිනිසුන් අතින් වැරදි සිදුවිය හැකි බව, රාගය, ඊර්ශ්‍යාව, වෛරය ආදි මනුෂ්‍ය ස්වභාවයන් තම නිර්මාණ වලට මූලික කොට ඇති බැව් පෙනේ. ගැහැණුන්ගේ සහ පිර්මින්ගේ චපලකම් හා ආදරය, වෛරය, ඊර්ෂ්‍යාව ආදි හැඟීම් රැසක් ඔස්සේ ඔහුගේ බොහෝ නිර්මාණ විහිදේ.

ඔහුගේ ම පෙරවදනේ ඔහු කියන් පරිද්දෙන් "මා වැනි සුළු පුද්ගලයෙකු වෙනුවෙන් සිය වටිනා කාලය වැය කරමින් මෙවන් විමර්ෂණයක් සපයාදීම අගය කරමි", යන්නෙන් ඔහු ඉතා සරල පුද්ගලයෙකු  බැව් ඇඟවේ. ඔහු තව තැනෙක මෙසේ කියයි: "මා ඉපදී හැදී වැඩුණු පරිසරයත්, පවුලේ තත්ත්වයත්, ලබා ඇති සුළු අධ්‍යාපනයත් අනුව මා තුල ලේඛන කලාවට ඇල්මක් ඇති වූයේ කෙසේද යන්න සිතන විට වරෙක මවිතයක් ඇති වෙයි." මෙම කිසිදු මහන්තත්තයක් නැති සොඳුරු මිනිසා තම වටපිටාවෙන් බෙහෙවින් පෝෂ්‍ය වී ඇති පැහැදිලිය. ඒ හේතුවෙන් ම සමහර විට අපට වඩාත් ලංවිය හැකි ආරේ කෙටිකතා රචනා කර තිබෙනවා විය හැකිය.