Sunday, 29 October 2017

ගරුඩ මුහුර්තිය - කීර්ති වැලිසරගේ


"අන්දකාර වනාන්තරයේ ඉහළ, අතු බෙදෙන නිල් විදුලි එළි පසුපසින් කන් බිහිරි කරවන අකුණු පිපිරෙද්දී ඇද හැළුණු මහ වරුසාවේ, ඒ දෙදවසම ගඟත් ඔයත් උතුරා සැඩ දිය කඳ ගුගුරා බැස්සේ වියරුවකින් මෙනි. දෑල ඉවුර බිඳගෙන ගිය මහ වතුරට නමා වැටුණු කෙටල පඳුරු යළි ඔසවා ගන්නට වැතිරුණු ගමන් ය." (9 පිටුව )

   නිරිති දිග තෙත් කලාපයේ දෙහිඕවිට, සිට බුලත්සිංහල පමණ දක්වා වූ පෙදෙස් පුරා දහනව සියවස අග කාර්තුව පමණ අලලා ලියැවුණු ඉතා රසවත් කෘතියකි. උදෘත ඡේදයෙන් පසක් වන අයුරින් මෙහි එන පරිසර වැණුම් කියවීමේදී, පාඨකයාට තම ඇඟිලි පුරුක් දෙස නොබැලුනොත් පුදුමයෙකි. එආ මේ කියවන තෙත බරිත පෙදෙස් හරහා නග්න පයින් ගමන් කොට ඇඟිලි පුරුක් අතර මඩ බේරෙවිදැයි සැකයෙන් මෙනි. ඉතින් මෙම පරිසර වැනුමට මුළු ලකුණු ලැබිය යුතුය.

නවකතාවේ මුඛ්‍ය කතා වස්තුව සංක්‍රාන්ති සමයක ඈත ගම් තුලාන් වල මිනිසුන් ඒ සිදුවන වෙනස්කම් වලට මුහුණ දෙන ආකාරය පිළිබඳවය. ඔවුන්ගේ සම්ප්‍රදායික බිය මුසු වූ විශ්වාසයන් ට ප්‍රමුඛතා හේතුවෙන්, සිදුවන වෙනස්කම් වටහා ගැනීම ඔවුනට අසීරුය. ඊට ඔවුන්ට දොස් තැබිය නොහැක.වසර සිය ගණණක් හෝ ඊටත් වැඩි කලක්
"නිවී හැනහිල්ලේ" සතා සිවුපාවා සමඟ ජීවත් වූවන් මේ වෙනස කෙසේ තේරුම් ගන්න ද ? 
"අපේ මුතුං මිත්තංගේ  කාලේ හිට අපි උන්නු අපේ ඉඩම කඩම කැලෑව කියල.. අපි ඉන්න ගේයි ඉඩැං කොටහයි ඇරී අනිත් ඔක්කොම ගෝරමේන්තුවෙ... ඔටුන්න සන්තක ඉඩං... ඕං ඇත්ත.. දැං උඹේ නළලට හීං දාඩියක් දැම්ම නේද?..." ( 76 පිටුව )



මේ කෘතිය ස්වර්ණ පුස්තක අවසන් වටයටත්, ගොඩගේ අවසන් වටයටත් පැමිණ, රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ ය. අයෙක් මෙහි දොසක් දැක්කේ " ආයෙ ආයෙ එකම පරණ කතාව ම කියනවා" යන ආරෙනි. ඇත්තය, මේ ආරේ කතා මීට කලින් ලියැවී ඇත. අද වා විට ඩයස්පෝරා සාහිත්‍ය, ජන කොටස් අතර ඇති දුරස්තබාවය තුනී කරවන ආරේ සාහිත්‍ය ආදි වර්තමානය අලල ලියවෙන කෘතීන්  පිළිබඳ අවදානය වැඩිය. මම එහි දොසක්, හෝ මේ ආරේ කෘති ලියැවීමේ හෝ දොසක් නොදකිමි. ඒ මා ඒ දෙයාකාර ම කෘති රස විඳින හෙයිනි. රචනාවේ සාර්ථක නම්, පාඨකයා තෘප්තිමත් කරයි නම්, "වර්තමානයට" අවශ්‍ය කෘති ලියන්නට සැදී පැහැදී ඉන්නා, තම දේශපාලන මතයට වක්‍රාකාරව හෝ සේවය කරන ලේඛකයින් සිටිනා බැවින්, මෙවන් කෘති ද ලියවුණාවේ - ඊට රිසි පැසසුම් ලැබුනාවේ. අමරිකාවේ අදට ත් වහල සේවය ආශ්‍රිත කෘති ලියවෙනවා පමණක් නොව ඊට සම්මාන ද ලැබේ. මේ වසරේ පුලිට්සර් සම්මානය ලැබුවේ එවන් කෘතියකි.


මේ මා කියවූයේ ලේඛකයාගේ තෙවෙනි නවකතාවයි ( අනෙක් දෙක දෛව සහ කාල සර්ප ). ඉන් එකක් හෝ දුර්වල යැයි කිව නොහැකිය. ඊට පෙර ලේඛකයා ලියූ නවකතා කියවීමේ දොළක් උපදින තරම් මේ වන විට ලේඛ්කයා මේ වන විට මගේ විශ්වාසය දිබා ඇත. වටගෙදරයන් සංස්කරණැය කල මෙතුමගේ කෙටිකතා එකතුවක් ද වෙයි.


අවසන් වශයෙන් කියනවා නම් සම්මානයට පාත්‍ර වීමට සුදුසු, ඉතා රසවත් කෘතියකි.

1 comment:

  1. කීර්ති වැලිසරගේගෙ මම මුලින්ම කියවපු පොත 'මායා තීර්ථ'. මම බොහෝම කැමති පොතක්.

    ReplyDelete