වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් '48/'15 - නදී වාසලමුදලිආරච්චි
2016 වසරේ, ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරුණු නදී වාසලමුදලිආරච්චිගේ වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් ('48/'15) කෘතීය මහත් කාලයක් සහ පරීශ්‍රමයක් යොදා කියවුවෙමි. පිටු 557ක් පුරා දිවෙන මේ කෘතිය, ඇත්තෙන්ම වැඩිමනක් අය නොකියවීම බලාපොරොත්තු විය යුත්තක්ම ය. ඇත්තෙන්ම මම මේ පොත අවසන වෙනකම් කියවූවේ මන්දැයි මමත් තවම මගෙන් ප්‍රශ්ණ කරමි. ඒ ඒ වසරේ පළ වූ තෝරා ගත් නවකතා යම් කිසි සංඛ්‍යාවක් කියවන පුරුද්ද නිසා මිස, හා ඒ සියල්ල කියවා හමාර කිරීමේ ආත්මීය සතුට මිස, මේ පොත කියවීම මගදි නවතිනු ඇත. ඒ අන් කිසිවක් නිසා නොව, ප්‍රබන්ධ කෘතියක් ලෙස පාඨකයකු වශයෙන් මට ලැබුනු දෑ ඉතා අල්ප නිසා ය. ඒ කර්කශ වදන් කීවා වාගෙම මේ ටිකත් කිව යුතුය. ලේඛිකාව මේ කෘතිය ලිවීමට යෙදූ පරීශ්‍රමය කිසිසේත් සුළු පටු නොවෙන්නට ඇත. ලාංකීය කියවන්නා හඳුනන්නියක් ලෙස සැලකිය හැකි ලේඛිකාව, පුද්ගලයින් අතලොස්සක් පමණක් කියවන, ඔවුන්ගෙන් ද පැසසුම් ලැබීම අවිශ්වාසි බවත් බලාපොරොත්තු විය හැකි වටපිටාවක, මෙවන් යෝධ සාහිත්‍යමය ව්‍යායාමයක යෙදීම ම, ඈ කෙරෙහි යම් ගෞරවයක් ඇති කරවන සුළුය.
ඉතින් නදී ලියන්න උත්සාහ කොට ඇත්තේ කුමක් ද? ඇය යත්න දරා ඇත්තේ 1948-2015 කාල පරාසය අලලා සිංහලින් "The House of Spirits" ආරේ පොතක් ලිවීමට ය. ඇත්තෙන්ම සමහර චරිත හරහා පවා මේ සමාන්තර බව දැකිය හැකිය. නිදසුන් KC, සොෆියා ගානට්, ඇල්ෆ්‍රඩ් රිවඩ්, ඉසබෙලා ඉලංගකෝන් ආදින්. ඊට මාකේස්ගේ ආභාෂය ද නොඅඩුව ලැබී ඇත (දීප්ති කුමර ගුණරත්න සහ කේ.කේ. සමන් කුමර ගේ ආභාෂයන් ද පරෙස්සමෙන් කියවන්නෙකුට දැකිය හැකිය. ). ඇය ලිවීමට තෝරා ගෙන ඇත්තේ බොහෝ විට ද්විත්ව නිෂේධනය හරහා එකඟ වීමේ ශෛලියකි. එහි අලංකාරයක් නැතුවා නොවේ. ඊට එකතු වන්නේ ඇගේ තෝරා ගත් වදන් පෙළය ( ආත්මීය, මරණීය ආදි ).එය ට ද එකතු වන්නේ විටෙක පේළි දහයක්-පහළොවක් පමණ වන තනි වැකිය.
මම මෙහි එන සාමාන්‍ය දිගැති එක් වාක්‍යයක් පමණක් දක්වන්නෙමි.
"සැබැවින්ම සොෆියා ගාන්ට් ද සේරම්ගේ සම්පූර්ණ අවධානය තම පැවැත්ම කෙරෙහි නොව ඊට එරෙහිව තම සිහිනවල ඝෝෂාව කෙරෙහි යොමු වී තිබූ බැවින් ඕ තම භෞතිකය, අභෞතිකය ලෝකයේ සිද්ධීන් සමඟ පටලවා ගනිමින් 'ඔහු' තමා නරඹමින් සිටිතැයි යන සිතිවිල්ල නිසා පමණක් තමා නියැළෙමින් සිටින කාර්‍යයෙහි අත්වැරදීම්වලින් තොරව වඩාත් නිවැරදිව බුහුටිව යෙදෙන්නටත්, ඒවා වඩාත් සූක්ෂම හසුරුවන්නටත් වූ විට ඇගේ පිළිවෙත වරදවා වටහාගත් ඉලංගකෝන් ආර්යාව ඈ තම වැඩිහිටි වියට සරිලන හැදියාවන් ප්‍රගුණ කරමින් සිටිනු ඇතැයි සිතා ප්‍රශංසාත්මකව ඇය අගය කළාය." ( 159 පිටුව)
මේ සියල්ලේ සම්ප්‍රයුක්තය පාඨකයා මහත් සේ වෙහෙසට පත් කරවයි. ඉතින් මේ දෑ පාඨකයා ඉවසීමට නම් නිර්මාණය හරහා මහත් ප්‍රතිලාභයක් ලැබිය යුතුය. නිදසුනක් වශයෙන් වෙඩිවර්ධනගේ "මගේ ආදර්ණීය යක්ෂණි" ගනිමි. මේ පොතේ ලේඛන ශෛලිය ගැන බොහෝ අය වෙඩ්ඩාට දොස් නැගුවද, එය ඇත්තෙන් ම "වැඩකි". එහි නොසැලකිය නොහැකි ආරකින් මිලාන් කුන්දේරාගේ ආභාෂයක් තිබුන ද, වෙඩ්ඩා ලියා ඇත්තේ (සිංහල විරෝධි වුව ) සිංහල පොතකි. ඉතින් එවන් ඉහළ අභිලාෂයන් තිබීමත්, ඊට කුරුමාණම් ඇල්ලීමත් පැසසිය යුතුය. එහෙත්, නදී තම ඉහළ අභිලාෂයෙන් වෙත 50% ක පමණ දුරක් හෝ ආවාදැයි මට නම් සැකය. 1948-2015 දක්වා කතාව ගලා යයි. පාඨකයා එකඟ වූවා හෝ නොවූවා හෝ, ඊට අර්තකතන ද සැපයෙයි. විකෘති ද නැතුව නොවේ ( අමිර්තලිංගම් මැතිණිය උතුරේ අවසන් සිහළ සමින් සපත්තු මසන බව කී බවට අප අසා ඇත්තේ; මෙහි, එය සිහළුන්ගේ ගොඩට දමා ඇත.) '71 කැරැල්ල පිළිබඳ වෙසෙසින් සිත් ඇදගන්නා සුළු අයුරින් විස්තර ලියැවී ඇත. පශ්චාත් සුනාමි පරිසරය මායාකාරි ලෙස හැඩගන්වා ඇත. ඇත්තෙන්ම '48-'15 අතර කාලය තුල වූ බොහෝ සිද්ධීන් අලලා ලියැවී ඇතත්, සමහර කොටස් ලියැවී ඇත්තේ දේශපාලන වාර්තා ස්වරූපයෙනි.
පොතේ පළමු පරිච්ඡේද දහයට සාපෙක්ෂව, එකොලොස්වැන්න වඩා රසවත් ය, පාඨකයා රඳවා තබා ගැනීමට සමත්ය. ඇත්තෙන්ම තරු දෙකහාමාරේ පොතක්, තරු තුනක් ලබා ගත්තේ ඒ අවසන් පරිච්ඡේදයෙනි. අවසන් වශයෙන් කිව හැක්කේ, උත්සහයට බොහෝ ලකුණු ද, සමස්ත නිර්මාණයට සාමාන්‍ය සමාර්ථයකුත් ලබා දිය හැකි පොතක් බවයි. ඇය මේ පිළිගැනීම අපේක්ෂා කල බවට විශ්වාස කරන අතර, ඒ තත්ත්වය මැද මේ පොත මෙසේ ලිවීම ගැන පෙර කීවාක් මෙන් ගෞරවයක් ද ඇත. මීළඟ ව්‍යායාම වඩා සාර්ථක වේවායි පතමි.