Tuesday, 14 March 2017

දිමියා - අනුරසිරි හෙට්ටිගේ




(හොඳම කෙටි කතා සංග්‍රහය - රාජ්‍ය සාහිත්‍ය සම්මානය 2016)

         අනුරසිරි හෙට්ටිගේ ලියූ දිමියා කෙටි කතා සංග්‍රහය කියවූවෙමි.  ඉතා හොඳ කෙටි කතා ලෙස මට හැඟුණු නිර්මාණ මෙන්ම, සාමාන්‍ය මට්ටමේ කෙටි කතා ද ඇතුලත් සංග්‍රහයකි. කතුවරයා තම නිර්මාණ උදෙසා භාවිතා පසුබිම් සමහරක් ඉතා හොඳින් ඉදිරිපත් කර ඇති අතර, සමහර පසුබිම් ඉදිරිපත් කර ඇති අයුරු පාඨකයකු ලෙස මා හට පූර්ණ විශ්වාසනීයත්වයක් ඇති නොකලේය. මේ මා කයිවූ ලේඛකයාගේ දෙවෙනි කෙටි කතා එකතුවයි ( පළමුවැන්න, සිංහබාහු එනකං ; ඔහුගේ නවකතා ද සතරක් කියවා ඇති මුත්, ඒ ගැන අන් දවසක කතා කරමි.)

 කඩියා කෙටි කතාව, රූපක භාවිතාශ්‍රයෙන් පැසසිය යුතු මට්ටමක ඇති මුත්,සමස්ත කෙටි කතාව තුල අඩුවක්, පරිසර නිර්මාණයේ සියුම් ව්‍යාජත්වයක් බඳු හැඟීමක් ඉතිරි කරයි.

 වැහි ලිහිණි කෙටි කතාව පශ්වාත් යුධ වටපිටාවක බිහි වන, තරමක් සාම්ප්‍රදායික කෙටිකතාවකි. එහෙත් ලේඛකයා "මිනිසා" ගේ හැසිරීම, ඔහුගේ හුදකලාව සාර්තකව නිරූපනය කොට ඇත. බලාපොරොත්තු විය හැකි අච්චුවක ට දැමිය හැකි කතාවක් වුවත්, ඒ මිනිසා පාඨක අපට ඉදිරිපත් කොට ඇති අයුරෙහි අපූරත්වයක් ඇති බව පිළිගත යුතුය.

 අනුරසිරි හෙට්ටිගේ තවමත් මා කියවීමට පෙළඹෙන්නේ "කළුවරයි පුරහඳ" නම් වූ අපූරු නවකතාව නිසා ය. එය ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ කෘතියකි. "පොඩි තිලකේ" කෙටිකතාව, ඊට සමාන පරිසරයක් පාදක කොට ගෙන, පිය පුතු සම්බන්ධය, ධනවත් පංතිය පිඩීත පංතිය සැම දා තම පරිභොජනයට යොදා ගැනීම වැනි මාන ඔස්සේ අපූරු වියමනක් ගොතා ඇත. මා වඩාත් සිත් ගත් කෙටිකතාවකි.

 එවන් පරිසරයක් ම භාවිත කොට, ඊට වඩා කර්කශ සිදුවීම් මාලාවක් පාදක කොටගෙන,  ජීවිතයෙන් පැරදිච්චි මිනිසුන්, ජීවිතය ඉවතබලා ගන්නා මිනිසුන්  අනුසාරයෙන් නිමැවූවකි, "බෝ ගස පාමුල මරණ මංචකය". අවසානය නොගැලපෙන බව සිතුනද, සිත් ගත් කෙතිකතාවකි.
"මං දිහාත් බලපල්ලා...ලා...ලා..." ( 51 පිටුව )
"මේන් බලාපල්ලා... මාත් උඹලා වගේම මිනිහෙක්.." ( 53 පිටුව )
එම මිනිසාට දැනෙන අසරණබාවය සිතට තට්ටු  කර වද දෙන තරමින් ඉදිරිපත් කොට ඇත.

  අප ලේඛකයා වරෙක තම සිතින් නූතන මතවාද වලට කුරුමානම් කල ද, මගක් ඒ දෙස ගොස්, ආපසු හැරෙන බවකි මට සිතෙන්නේ ( මේ මගේ පෞද්ගලික මතයයි ). ඔහු බැඳමාරියේ නිර්මාණය කරන සමලිංගිකයා පශ්චාත් තාපයෙන් පෙළෙන තම තත්වය දුර්වලතාවක් ලෙස සලකන, ඉන් පළායන්නෙකි. ( අයෙකුට එවන් වටපිටාවක තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමලිංගිකයකු සිටිය නොහැකි බව කිව හැක. එය ද සත්‍යයකි.) To Whom It May Concernහි මව, පවුලේ අන් අය ඇය වෙනුවෙන් කාලය මිඩංගු නොකිරීම හේතුවෙන්, වරදට යොමු වීමට ගොස් අවසන් මොහොතේ, එය මග හරී. බටහිර ලේඛකයකුගෙන් හෝ කෞශල්‍ය කුමාරසිංහගෙන් අප එවැන්නක් බලාපොරොත්තු නොවෙමු. ඇත්තෙන්ම ටෙනිසන් පෙරේරා වුව එම මව වරද මග හරවා නිවැරදි මගක යොමු කරතැයි සිතිය නොහැක. මාතෘත්වයට ගරු කරන අපි, සැනසුම් සුසුමක් හෙළමින් අනුරසිරිගේ  කෙටිකතාව කියවා හමාර කලෙමු.

නිදහස් දියණියගේ කතාන්දරය මට සිංහබාහු එනතුරු සිහිකලේය.මෙතන දී මා යමක් කිව යුතුය. අද වන විට රට වසර ගණණාවක් පසු පසට ගොස්ය. නිදහසින් පසුව බිහි වූ අසාර්ථකම, නොහැකියාවෙන් පෙළන, නායක කැල රට බංකොලොත්භාවය අබියස ට ම ගෙනවිත් ය. එවන් වටපිටාවක මේ වන් කඳුළු කතා ඇත්තෙන්ම විහිළු කතා ය. මේ කෙටි කතාවේ පුළුල් දේශපාලන ආනතිය හා නොගැලපෙන මගේ සිතුවිලි ධාරාව ඉදිරිපත් කිරීමකි (මේ මගේ පෞද්ගලික අදහස ය. ඒ හා නොපෑහෙන මෙම කෙටිකතාව මට නීරසය ). ජාතියේ පියා ට ජාතියේ අවාසනාවට නායකත්වයට පත්වූවෙකුගේ වදන් භාවිතයෙන් යම් සියුම් පණිවුඩයක් මෙන්ම හාස්‍යයක් ආරෝපනය කරන්න තැනුව ද, එය ද අසාර්ථක බවකි දැනුනේ.
"නෑහුණා වගේ උන්නට හිටං මට උඹ ඇහුණා කෙල්ලේ... මමයි කියලා හිටං මොනවා කරන්නද" (79 පිටුව )

ප්‍රේමය සහ වෙසෙසින් කාමය දෙපැත්ත ම කැපෙන අවියක් බව හඟින, යම් සියුම් හාස්‍ය රසයක් මෙන්ම උපහාස රසයක් ද සපිරි "ප්‍රේමය නම්" කෙටි කතාව ද බොහෝ දුරට සාර්තක කෙටිකතාවකි.

 අප රට රෝගි කරවන, රටේ සාපය වී ඇති දේශපාලඥ්ඥයින් හා ඔවුන්ගේ ක්‍රියා පිළිවෙල උකහා නිර්මාණය කර ඇති "අවසානයක් නැති කතාවක්" වූ කලි මෙහි ඉහළ ගණයේ නිර්මාණ දෙක ( හෝ තුන ) අතරින් එකකි.

මට හැඟෙන්නේ ලේඛකයා තම කෙටිකතා වලින් "something for everyone" ආරේ නිර්මාණ ඉදිරිපත් කිරීමට යත්න දරණ බවකි ( මා වැරදි වීමට පුළුවන ). ඔහුගේ සම්මානනීය කෙටි කතා සංග්‍රහ දෙකක් කියවා අවසානයේ, එය එතරම් සාර්තක වී ඇති බවක් නොහැඟේ. දැනට නම් "something for everyone" නිර්මාණ උත්සාහයෙන් ලැබී ඇත්තේ "a mixed bag" ප්‍රතිඵල ය.

No comments:

Post a Comment