****
දීප්ති කුමාර ගුණරත්නගේ ඇසිඩ් වැස්ස කාලයක් ගෙන කියවූවෙමි. මේ පොත වරෙක, ලැකාන්, ජිජැක් යන අයගේ අදහස් ආශ්‍රයෙන් එහි ආභාෂයෙන් ලියූවකි; තවත් වරෙක පොල්ලෙන් ගැසූ ආරෙන් අපේ සිත ඇතුලේ අපෙන් ප්‍රශ්න කරන කාරණා කර්කශ ආකාරයෙන් අපේ මූණටම ගසා දමයි. ඒ වන විට ඔහු කවරෙකු හෝ ආරක්ෂා කරලීමට යත්න නො දරයි - පොත ලියන කතුවරයා වන තමා ව ද ඇතුලුව. ඇත්තෙන්ම මෙවන් පොතක් විචාරය අපහසුය. එකක් ලේඛකයා මතුකරනා කාරණා විචාරයට මා යම් තරමක් හෝ එම න්‍යායන් ගැන දත යුතුය. ඉතින් ඒ අතින් මා නුසුදුසු බැවින් කල හැක්කේ මෙහි මා සිත් ගත් හෝ නොගත් හෝ අදහස් කිහිපයක් ගෙන හැර දක්වා ඒ පිළිබඳ මගේ අදහස් දැක්වීම පමණකි. ඒ ඔස්සේ මේ පොත කියවීම නොකියවීම ඔබ තිරණය කල යුතුය. සමස්ත කෘතිය පශ්චාත් නූතනවාදි/දාර්ශනික ශානරයට අයත් කල් හැකිය.
පාඨකයකු ලෙස කියවීමේ අත්දැකීම් ගැන පවසන්නේ නම්, මෙහි එන සමහර සිංහල වදන් තේරුම් ගත නොහැකිය. ජංගම දුරකතනය අත ළඟ තිබෙන බැවින්, ඒ දුරාවබෝධ වචන maduraonline විමසූ සෑම විටම ඊට අදාළ තනි ඉංග්‍රීසි වදනක් තිබීමෙන් අරුත් ගියේ, කතුවරයා භාවිත කලේ අපට නුහුරු වුවද නිශ්චිත සිංහල වදන බවයි. ඉතින් පොත කියවීම එතරම් පහසු නැත. ඇත්තෙන්ම මගේ මවු බසින් මෙය කියවීමට වඩා පර බසින් ජිජැක්ගේ "How to Read Lacan" කියවීම පහසු විය ( මා ඉංග්‍රීසියට වඩා සිංහලය භාවිතය පහසු අයෙක් මි )
මෙහි න්‍යාය විමර්ශනයට භාවිත වන්නේ බොහෝ විට චිත්‍රපට සහ නාටය හරහාය. ඒ එක් නිදසුනකි "Psycho" චිත්‍රපටිය.
* "නෝමන් බේට්ස්ගේ සියලු ක්‍රියාකාරිත්වයන් පාලනය වන්නේ මවගේ සුපිරි-අහමේ නියෝගයක් හරහා ය. මෙම නියෝග නම් වෙස් මුහුණට යට කිසිදු දෙයක් නැත. එතැන ඇත්තේ හිස් කබලක් පමණි. මේරියන් ක්‍රේන්ගේ ඝාතකයා වන නෝමන් බේට්ස් පසුපස 'හිස්බව' හැර අන් කිසිවක් නැත. යමක් දැනුමකින් තොරව විශ්වාස කිරීම මතීභ්‍රමවාදි-සයිකෝසියාව යි.... ඇමරිකාවේදි 'සයිකෝ' චිත්‍රපටියේ වීරයා විසින් දවසේ ජීවිතයේදී, සදාචාර ජීවිතයේදී වැරදි වැඩ සමුහයක් කරන ස්ත්‍රීයක් ඝාතනය කර යි. චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂක අප චිත්‍රපටයට අනන්‍ය වී සිටින්නේ ද එහි වීරයාගේ ආත්මීය දෘෂ්තිකෝණයෙන් ය." ( 27 පිටුව )
මට ගැටළුව වූයේ, චිත්‍රපටය නැරඹූ මට නෝමන් බේට්ස් වීරයෙකු ලෙස පෙනුනි ද යන්න යි? පිලිතුර, නැත යන්නයි. මේරියන් මුදලක් වංචා කිරීම ඈ සෙරක් බවට පත් කලද ඇගේ අන් කල්ක්‍රියාවන් චිත්‍රපටිය නැරඹීමට රුකුල්වූවා මිස ඇය "ඉවත් කල යුතු අයෙක්" තැනට පත් කලේ නැත. මට චිත්‍රපටියේ වඩාත් සිත්ගත් දෙබස් කොටස පහත උපුටා ඇත.
* එනුමුදු ඔහු "මී හරකා" චිත්‍රපටය" ඔස්සේ සාධාරණ ගවේෂණයක යෙදෙන බව පෙනේ. මී හරකා ගැන හේ මෙසේ පවසයි.CHAMBERS: (To Simon) And the forty thousand dollars? Who got that? SIMON: The swamp. These were murders of passion, not profit.
"චිත්‍රපටය අවසන් වන්නේ ගුණපාල විසින් පාසැල් ගුරුවරිය අතවරයකට ලක් කොට එකී පාපයෙන් ගැළවෙන්නට මෙන් ඔහු කාම සඟරා ආදිය එල්ලා තැබූ පෞද්ගලික කුටිය තුළ ම ගිනි තබාගෙන තමන් ද සියදිවි හානි කරගන්නා අන්දම පෙන්වමිනි. මෙය මුළුමනින්ම අතිෂයෝක්තියකි, අධ්‍යක්ෂවරයා මෙය ගෙන හැර දක්වනුයේ ආත්ම ඝාතනයක් ලෙසින් වුවද එය හිතලුවකි. මක්නිසාද යත් එබඳු ආත්ම ඝාතනයක යෙදිය හැක්කේ ද සංකීර්ණ මනසකින් යුත් යමක් කමක් සිතන්නට හැකි පුද්ගලයකුට පමණි. මෝඩයකු මෝඩකමට දිවි නසා ගැනීමත් මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමත් අතර විශාල වෙනසක් ඇත. මෙහිදී ගුණපාල දිවි නසා ගැනීමක් කරන්නේ මෝඩකම නිසා නොව තමා පාපයක් කළා ය යන තියුණු හැඟීමකින් ඔහු පෙළෙනු නිසා ය යන අදහසක් ප්‍රේක්ෂකයා තුළ ජනිත කරවමිනි. එහෙත් එබඳු හැඟීමක් ඇතිවන්නට තරම් සංවේදි සදාචාර මතයක් ගුණපාල වෙත තිබිණි ද ?" ( 82 පිටුව )
තම පියාණන්ට තම රහස් පෙදෙස පෙන්නා ඔහුව අපහසුතාවට පත් කරන ගුණයක් නැති ගුණපාල තුලින් එවන් තියුණු හැඟීමක් ඇත්තෙන්ම බලාපොරොත්තු නොවිය හැකිය. ඒ අයුරින් ම මේ චිත්‍රපටිය ගම දූෂණය වීම ( පෞද්ගලික බසය ගෙනෙන කාමසඟරා ) ආදියත් මෙහි නිරූපිතය. තැනෙක කතුවරයා මෙලෙස පවසයි. මෙහිත් යම් සත්‍යයක් දකිමි.
"ශ්‍රී ලංකාව යනු ගම-නගරය අතර භේදය විසඳා නොගත් රටකි. මේ නිසා සමාජ යථාර්ථයේ සෑම අතුරු මුහුණතකට ම අදාළ ප්‍රතිවිරෝධය අපට හමුවෙ යි. අධ්‍යාපනය, කලාව, ලිංග-භේදය, චින්තනය, ශ්‍රමය, මනුෂ්‍යත්වය ආදී මෙකී නොකී සියලු ප්‍රපංචවලට අදාළව අහසින් කඩා වැටුණාක් මෙන් හමුවන ප්‍රතිවිරෝධයන්, ප්‍රතිවාදයන් යනු ගම-නගරය භේදයේ විවිධ බාහිර ප්‍රකාශයන්ය." ( 71 පිටුව )
ලේඛකයා තම න්‍යායන් විස්තර කරලීමට යම් යම් නාට්‍ය. චිත්‍රපට ( නිදසුන් - ධනංජය කරුණාරත්නගේ ඔබ සාපේක්ෂයි, නිධානය, දඩයම, Funny Games) භාවිත කරන ගමන්, අප රට "ගොසිප් නිවුස්" ආකාර සිද්ධීන් ද උදාහරණයට ගනී. ඉන් න්‍යාය ට අමතරව හාස්‍ය රසයක් ද ලැබේ. එනුමුදු අප ඒ හාස්‍ය රසය අමතක කොට එහි කතුවරයා මතු කරන්න තනන අදහස ගැන සිතුවොත්, අප ට තව මානයක් ගැන සිතෙනු ඇත. පහත නිදසුන බලන්න.
"ධනංජයගේ 'ඔබ සාපේක්ෂයි' (1995) නම් කෙටි නාට්‍යයේ තේමාව වන්නේ ස්ත්‍රීවාදය නොදන්නා මෝඩ පිරිමියෙකු සහ ස්ත්‍රී ලිංගයේ බලය ගැන මධ්‍යම-පාන්තික සාක්ෂරතාව සහිත ස්ත්‍රියක් (චමිලා පීරිස් ) අතර මනෝ දේශපාලන සම්බන්ධය යි.... නාට්‍ය ආරම්භ වන්නේ රමණයට පසු ඇතිවන සංසුන්තාවය මැදිකොට ගෙනය. අප දකින්නේ පිරිමියාගේ ශරීරය මත වැතිර සිටින සුදු පාට ගවුමක් හැඳගත් ස්ත්‍රීයකි. ඔවුන් අතර සංවාදවලින් අපට වැටහෙන්නේ ඔවුන්ගේ විගැලපීම් ය....
මෙම පිරිමියා පාක්‍යසෝති සරවනමුත්තු වී මෙම ස්ත්‍රිය සුනේත්‍රා බණ්ඩාරනායක වූයේ නම් 'රමණයට' පසු කතා කරන්නේ කුමක් ද?" ( 115-116 පිටු )
අන් තැනෙක ලංකාවේ නවකතාකරුවන් වර්ග කිරීමකට ( අමරකීර්ති, අමරසේකර, ශාන්ති දිසානායක, රාජකරුණානායක, වැලිසරගේ ) පෙළඹුනු කතුවරයා, කෆ්කා ගැන මෙවන් විචාරයක යෙදෙයි.
"ප්‍රාන්ස් කෆ්කාගේ දුරවබෝධ නීරස නවකතා මගින් ප්‍රකට වන්නේ ආශයන්ගේ ඔපයහරණය යි. කෆ්කා සුපිරි අහම න්‍යායගත කල පලමු නවකතාකරුවා ය. ඔහුගේ නවකතාවල තේමාව වන්නේ නීතිය සහ අශ්ලීල විනෝදය අතර අපෝහක සම්බන්ධයයි. අප දන්නා තරමට නීතියට එහි හරය තුළ විනෝදය යනුවෙන් ප්‍රතිපක්ෂයක් නැත. නමුත් කෆ්කා විසින් නීතියේ පරිසමාප්ත බව විනෝදය නම් අශ්ලීල පැල්ලමෙන් කහට කරවයි. ලංකාවේ නම් සරත් සිල්වා එනතුරු නීතිය තුළ අප ශෘංගාරය දුටුවේ නැත." (176 පිටුව )
කෆ්කාගේ නවකතා වලින් මතු කරනුයේ නීතිය හේතුවෙන් ඇති වන වාතාශ්‍රයක් නැති, ඉඩ නැති, කරදාසි වලින් පිරුණු, ඇත්තෙන්ම මිනිසා ට සේවය කිරීමට වඩා නීතීයේ ප්‍රභූත්වය එය ක්‍රියාත්මක කරන්නන් ඔස්සේ මතු කිරීමට තනන ආරය; එය ඔහුට ආවේණිකය දීප්ති කෆ්කාගේ නවකතා විස්තර කිරීමට "නීරස" යන පදය භාවිත කොට ඇත. කෆ්කා ගේ නවකතා කියවීමේදි පාඨකයකු හට "වාතාශ්‍රයක් මද කමක්" වන් හැඟීමක් ඇති නොවන්නේ නොවේ. එහෙත් එය මට වැටහෙන්නේ කතුවරයාගේ සමත්කමක් ලෙසට ය.
"සුපිරි අහම යනු විනෝද වීමට මිනිසාට අණ කරන විඥ්ඥානයේ විමර්ශක අඩවියයි". (206 පිටුව )
කෘතියේ අවසන් රචනාව "ඇසිඩ් වැස්ස" නම් වූ නාට්‍යය මුල් කොට ගෙනය. ඇසිඩ් වැස්ස ත් ලිංගික අතෘප්තිය මුල් කොට ගත් නාට්‍යයකි. එහෙත් ඔහු රචනාව එතනට ලඝු නොකරයි. අන් රචනා වලදී මෙන්ම, තම අවදානය බොහෝ සීමාවන් ඔස්සේ දුවවයි. ඒ අනුව ඔහු පවසන්නේ "මහින්ද රාජපක්ෂට පසු ලංකාවේ මිනිසුන්ට මහා අනෙකා (දෙවියන්, දේශපාලන පක්ෂ, පරමාදර්ශ ) පිළිබඳ විශ්වාසය අතහරින්නට සිදුවිය. තම බාහිර පරිසරයට තම අනෙක් මිනිසාට කෙසේ ප්‍රතික්‍රියා දැක්විය යුතු දැයි නොදන්නා මිනිසුන් බිහි වීම ආරම්භ වූයේ මහා අනෙකා පිළිබඳ විශ්වාසය පළුදු වූ පසුවය." (192 පිටුව ) මෙම කතාව මට අනුව නම් "පිස්සු මරගාතයක්", අමු කෙප්පයක් වුව ද, මාතර බාස් උන්නැහේ කෙනෙකුන් කී දෙයක් මට මතක් කරවයි. ඔහු කීවේ, "සර්, '89න් පසුව, කට්ටඩියන් ට තිබ්බ බලය අඩු උනා. මොකද, අපේ ගම් වල මළ මිනි කොච්චර හැම තැනම තිබ්බද කිව්වොත්, අච්චර අමාරුවෙන්, හොරෙන් ලබා ගත්ත මිනි අළු වල වටිනාකම අඩු උනා. ඒක හැම තැනම තියෙන දෙයක් උනා" කියාය. මට නම් හැඟෙන්නේ මගේ ගෙදර ඉදිකිරීමට ආපු බාස් කියපු දේ යම් සත්‍යයක් ඇති බවකි. මට ඒ දේ ම මේ කාරණාවේ දී දීප්ති කුමාර ගුණරත්න ගැන කීමට නොහැකි වීම, එක්කො මගේ අඩුවකි, එහෙම් නැතිනම් දීප්ති ගේ ගැලපීමේ දෝෂයක් බවකි. කෙසේ වෙතත් දාර්ශනික කාරණා, චින්තකයන් පවසද්දි ඊට නැති වාස්තවික යථාර්ථවාදි හඬක් ආරෝපනය කරගනිමින් කියයි. නලින් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියද්දි, ඔහුගේ විරුද්ධවාදීන් ඔහුව පිස්සෙකුට ඇන්දවීමට යත්න දරයි. එහෙත් යම් යම් සීමා ඔස්සේ ඔහු කියන කාරණා වල සත්‍යයක් ඇත. දීප්ති ද තැනෙක පවසන්නේ "...සුසංගතභාවය නැති කරන්නේ දෙමළා යැයි අපට පැවසිය හැක. එවිට 'දෙමළා නොමැති සමාජය සුසංගත වේ' යැයි පවසන ෆැන්ටසිය අපට ආරෝපනය වෙයි." (12-13 පිටු ) කියා ය. මෙය ද එවන් වාස්තවික ඇඳුම් ඇන්දවීමට තනන කථාවකි. කිම ද ලැකාන් ලා, ජිජැක් ලා ( සහ ඒ අනුව දීප්ති ලා ) ට අනුව අනෙකා ඉවසීම යනු ම නො ඉවසීමකි. ඔහු අන් තැනෙක Hackersලා ගැන කියන දේ බලන්න. "ඔහු හෝ ඇය ( hacker ) තමන් සේවය කරන ස්ථානයේ ජීවත් වන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට අත්තනෝමතිකව ය. එහිදි ඔවුන් සමාජය විසින් ඉල්ලා සිටින සියලුම ප්‍රමිතීන් හෙළා දැක ඉවතට විසි කරයි. ඔවුන් සියලුදෙනා ව ඉවසන බව ප්‍රකට කළත් ඔවුන් නොඉවසන්නේ ම අනෙකාගේ සමීප පැවැත්මයි." මීට ළඟින් යන අදහසක් ජිජැක් ගේ "How to Read Lacan" කෘතියේ ද දිටිමි. "Tolerance coincides with its opposite: my duty to be tolerant towards the other effectively means that I should not get too close to him, not intrude into his/her space - in short, that I should respect his / her intolerance towards my over-proximity. This is what is more and more emerging as the central 'human right' in late-capitalist society". ඒ අනුව පෙර කී කාරණාව පිළිබඳ දීප්ති වෙත කෙතරම් විවේචන තිබුන ද, ඔහු ලියන දේ කියවීමට වටින බව පිළිගනිමි. ඉතින් ආරම්භයේදී කීවාක් මෙන්, මේ පොත දාර්ශනික සන්දර්භයක් තුල ලියවූවකි. එහි වර්තමානයේ අප දන්නා චරිත ඇත. එහි යම් වින්දනයක් ඇත. මොකද නූතන මිනිසා ගේ පරම වගකීම විනෝදය සෙවීමය. මෙහි එන කාරණාකාරණා වලින් අර්ධයක් සමඟ පමණ එකඟ නොවීමට පුළුවන. ඒත් මේ පොත කියවීම වටින බව සිතමි. ඔහු භාවිත කල වදන් මාලව තව පහසු කලා නම් හෝ ගැට පද විවරණයක් තිබුනේ තවත් වටනේය.
No comments:
Post a Comment