Saturday, 28 January 2017

සුසුමකින් සුළි සුළඟ - ලක්ෂාන්ත අතුකෝරල



"මොට්ටුවක් මලක් වන්නා සේම සුසුමක් බඳු යම්තමින් පිඹින ලද අදහසක් කිසියම් විඳින්නෙකුගේ සිත තුළ හැඟුම් සුළි සුළඟකට මුල් විය නොහැකි ද?"
( ප්‍රස්ථාවනාවෙන් උපුඨනය කර ගතිමි )

    පිලිතුර - විය හැකිය; ඒ කෙසේද යත් ?

නිදසුන් 1 -
"දැවෙන මුත්
සිනාසෙනවා මිසක
හඬන්නේ කෙලෙසින්ද
ගිනි පුපුරු"
    විප්ලවය පතන්නන්, ඒ වෙනුවෙන් කැප වූවන්ගේ සහජ ලක්ෂණයක් ද සියළු බාධක වලට එඩියෙන් මුහුණ දීම, නැසුමට පවා? කවියා මා සිත් තුල සියුම් සුළියක නංවයි.

නිදසුන් 2 -
"සුරාවෙන් දුක
මකන පියෙකුගේ
සාක්කුවේ
රස කැවිල්ලක්"
    පාඨකයා කම්පනයට පත් කල හැකි ආරේ සුසුමකි; කතා සුළි වැලකට මුල් විය හැක.

නිදසුන් 3 -
"ප්‍රේමෙන් අඳ වී
කොළ එළි නොපෙනී
නුරා නුවර ඉම
නැවතී සිටියෙමි"
   පශ්චාත් තාපයක සේයාවක් වෙත් ද ? එනම් අද දවස සිට අතීතාවර්ජනයේ යෙදෙන්නේ පැරදුම් කණුවේ  සිට සිත සුළියකට හසු වී අනතුරුව ද?

නිදසුන් 4 -
"එසඳ නගරයම පීරා
සොයා ගත් ඔබ
අතුරුදන් වී
මා තුළම අද"
      අප වන් රටක තරුණියන් කී දෙනෙකු තම ස්වාමියාගේ මනදොළ, අභිලාශ පුරවනු වස් තම අනන්‍යතාවන් හැකියාවන් දිය කර හරින්නියන් ද ? අන් කෝණයකින් බලන්නේ නම්, මල නෙලා ගත් පසුව, ඇගේ මනදොළ ගැන සිතන පිරිමින් සුළභ ද ?

නිදසුන් 5  -
"ගිළිහුණු
මල් අතර අනේ
පර වුණ
පොඩි පොහොට්ටුවක්"
  පොත් දොරට වැඩුම දින මේ කව ගැන තම දේශනයේ සඳහන් කල තිඹිරායගම බණ්ඩාරයන් මෙය කවියා හදිසියෙන් ලියූ කවක් යැයි සැක කලේය. එහෙත් නිවෙසට විත් සෙමින් පොත බලන අතරේ මා දුටුවේ, කවට අදාළ සිතුවම මේ කව ට අරුත් එක්කාසු කරන බවකි. මට නම් හැඟුණේ යුධයක්, උද්ඝෝෂණයක් තුල දිවි පිදූ තවම නොපිපුණු දරුවකුගේ සේයාවකි.

නිදසුන් 6  -
"අලුත් නුවර
සුදිලේ විදුලි පහන්
සිත දවයි
පැරණි ගිනි හුල්"
  තිඹිරියාගම බණ්ඩාරයන්  තම දේශපාලන මතය අනුව විමර්ශනය කරමින්, වත්මන අලුත් නුවරක් බවටත් මීට පෙර තිබූ "ජාතිවාදි-ආගම්වාදි" ගිනි හුලු සිත දවන බවත් ඒ ගිනි දලු තවම නැගිටින්නට තනන බවකුත් කීවේ ය. කවියේ අරුත් දැකීම සාපේක්ෂ ය. මට නම් හැඟුණේ, දැන් නම් අලුත් නුවරවල් ඉදිවන්නේ නැති හෙයින් සහ දැල්වෙන විදුලි පහන් ද කවදා නිවී යයි දැයි සැක සහිත නිසා, මේ කවේ පසුබිම ඊට වඩාත් පෞද්ගලික ලෙසය. එනම් අද දින නිදහස් චතුරස්‍රය වන් තැනක ට ගිය මැදිවයස් අයෙක් වී නම්, පෙර මෙතරම් නොදිදුලන කලෙක මතක ගිනි හුල් ඔහුගේ සිත කෙසේ තවාවී ද යන කාරණායයි. බණ්ඩාරගේ කවි අරුත් දැකීම ට දොසක් නොකියමි; කවියේ රස විඳීම, හා අරුත් දැකීම සාපේක්ෂ බව පසක් කර ගතිමි.

නිදසුන් 7  -
"පෙරහැරේ
නටන මට
පෙරහැරකි
පෙර්හැර බලන ඇය"
     සිත පොපියන, පාඨකයා නැට්ටුවක චරිතයක් ලෙස ආරෝපණය කරවන සුළු දඟකාර කවියකි. මෙවන් කවි කිහිපයක් ම "හිතග්ගිස්සේ නැතක් මොට්ටු" හි ද විය.

නිදසුන් 8  -
"ළපල්ලක
සිහින් මල් කැකුළක්!
දන්නේ නෑ තව
කවුරුවත්"
      අන් "විෂකර" බිඟු විත් රොන් උරා බීමට පෙර, මේ බඹරා ඉක්මන් විය යුතුය! සිතේ උද්‍යෝගිමත් සුළියකි!

නිදසුන් 9  -

"රතු කොඩිය ගෙන
රේල් ගේට්ටුව දෙසට
දුවයි මුරකරු"
   අහෝ! මුරකරු ප්‍රමාද වැඩි වී ද ? ( චිත්‍රය සමඟ කව අරුත් කියවමිනි )

   ඉතින් මේ කෙටි කවි 150න් නවයෙකි. මේ නිදසුන් උවමනාවටත් වැඩිය. සංග්‍රහයේ වටිනාකම වැඩිවනු වස්, කවියාගේ පළමු කෙටි කවි සංග්‍රහයේ කවි 150 ක් ද පරිශිෂ්ටයක් ලෙස එක්කාසු කිරීමට තරම් ලක්ෂාන්ත නොමසුරුය. නැවුම් නිමාවෙන් සිත් බඳනා කව් පිළිඹිඹු වලින් හෙබි, ඔප් නංවන ලද කඩදහියෙන් පෝෂිත මෙහි තව ද පිටපතක් ගෙන, සාලයේ ටීපෝවේ තබන්නට සිත් දෙන්නේ, මෙය අර කියනාකාරයේ "කෝපි මේසයක" ට ඔබින නිමාවෙන් යුක්ත නිසාවෙ නි. ආත්මෙට කවියක් කියවන්නේ නැති අවාසනාවන්තයෙකු, වාසනාවන්ත වී පොතේ පිටු කිහිපයක් පෙරළා මින් යම් රසාස්වාදයක් ලබාවි නේ ? එනුමුදු කවියාගේ අත්සන රැගත් මගේ පිටපත උන්ට නොදෙමි. සිතුවම් සංජීවි සෙනෙවිරත්නගෙනි.




No comments:

Post a Comment