ප්‍රථම වතාවට 1969 දි ප්‍රකාශ වූ, ගුණදාස අමරසේකරයන්ගේ එක ම කතාව නම් වූ කෙටි කතා සංග්‍රහය කියවුවෙමි. මෙය ඔහුගේ තෙවෙනි හෝ සිව්වැනි කෙටි කතා එකතුව යැයි සිතමි. රතු රෝස මල සහ ජීවන සුවඳ හි නොමැති දේශපාලන මේරීමක් අමරසේකරයන් මේ තුලින් දෘෂ්‍යමාන කරයි. එපමණක් නොව මේ කෘතිය ප්‍රකාශයෙන් වසර දෙකක් අනතුරුව අප රට ඇති වූ ප්‍රථම කැරැල්ල, පිළිබඳ ඉතා සියුම් හෝ ඉවක් මේ කෘතිය ඔස්සේ හමන්නේ යැයි සිතිය හැකිය. ඒ අතින් අප රට මැද පංතියේ මිනිසුන්ගේ දෛනික ගිහි ජීවිතයේ ඇති උභතෝකෝටික, සමාජ -දේශපාලන කලකිරීම, සහ අප රට විසූ කීර්තිමත් කලාකරුවන් අලලා කල කර්කශ විචාර කෙටිකතාවක් ඔස්සේ ඉදිරිපත් කරලීම යන ප්‍රධාන ලක්ෂණ මේ කෘතිය තුලින් දැකිය හැක.
පසුකාලීනව ඔහුගේ දේශපාලන අනාවැකියක් සහ බලාපොරොත්තුවක් වූ ( එනමුදු ඔහු කියන අර්ථයෙන් කිසිදා සැබෑ නොවුනු ), "මෙරට අනාගතය ඇත්තේ උගත් ගැමි තරුණයන් අතේය" යන අදහස මුල් වරට කියවුණේ මෙහිදී දෝ යැයි කල්පනා කරමි. ඒ මෙහි එන "උපකොමසාරිස්" නම් කෙටි කතාවෙහි ය. එහි ම එන "අපි ආවෙ ලොකු චරපුරුෂ කාර්යයකට. අපි අද මෙහේ තරුණ සංවිධානයක් ආරම්භ කරනවා. ඒකට අපේ සහෝදරයො දෙදෙනෙක් කොළඹින් ඇවිල්ල ඉන්නවා", යන ප්‍රකාශය තුල 1971 ඇති වූ පළමු දේශපාලන කැරැල්ලේ ඉවක් ඇත්දෝයි සිතේ. මෙරට දේශපාලන ව්‍යූහය කෙතෙරම් පිළිකුල් කල ද, තමන් තුලින් ද පංති ස්තර ඔස්සේ ඇට මිදුළු වලට කා වැදී ඇති මහන්තත්තය පිටුදැකිය නොහැකි වීමත්, තමන් ළඟා කරගෙන ඇති සැපයන් ඈත් කරලීමට පැකිලීමත් ඉතා මැනවින් මේ කෙටි කතාවෙන් පිළිඹිඹු වෙතැයි සිතමි.
අප රට විසූ කීර්තිමත්, එලෙසම අතිදක්ෂ කලාකරුවෙකුගේ පෞද්ගලික දිවියට ද අපහාස වෙන ආකාර නිර්මාණයක් ද මෙහි වෙයි. ඒ කෙටි කතාව කියවාගෙන යද්දි පාඨක අපිට මේ කියනුයේ මොහු ගැන නේ යැයි ඒත්තු ගැන්වෙන නිසා ය. ඒ "එක් විදග්ධයෙක් හෙවත් අපූරු වන්දනා ගමනක්" යන කෙටි කතාව ඔස්සේ ය.
"තමුසෙත් සිංහලයෙක්නේ.. සිංහල ඈයින්ට තේරෙන එක ම තූර්ය භාණ්ඩෙ දවුල විතර යි... කන පැළෙන ඒවඉන් විතර යි රසයක් විඳින්න පුළුවන්... සිංහලයාගේ ඕළාරික භාවේන්ද්‍රියවලට මොන සියුම් රසයක් ද?" මෙසේ කියා, අනෙක් පැත්තෙන් ඉන්දීය සංස්කෘතිය වැනීම ඔස්සේ, කෙතෙරම් නිවැරදිව එම කලාකරුවාව මින් නිරූපනය වන්නේ දැයි නොදන්න මුත්, ශරීර ලක්ෂන, ඔහුගේ ආවාහ විවාහ ආදියෙන් අමරසේකරුන් මේ ඇණුම් පද ගසා ඇත්තේ කවුරු ගැන දැයි වැටහේ. අමරසේකරයන් ගැන මට ඇති පැහැදීම සුළුවෙන් හෝ අඩු කිරීමට සමත් වූ කෙටි කතාවක් බව නොකියා ම බැරි ය. ඒ කෙටිකතාවේ දොසකට නොව, ඔහු අනුගමනය කල පිළිවෙත පිළිබඳව ය.
මීට යම් සමානතා පෙන්නුම් කරන කෙටිකතාවකි, මෙහි එන "නවකතාකරයකු ගේ ජීවිතයක්" යන කෙටි කතාව. නවකතාකරුවෙකු, තම විෂය උදෙසා භාවිතා කරනා සිද්ධීන් පිළිබඳ යම් පිළිඹිඹුවක් මෙහි දැක්වේ. මෙහි එන නවකතාකරුවා කෙතෙරම් ආර්මාර්ථකාමියෙකු ද යන්න ඉතා හොඳින් පෙන්වන, ඉතා ඉහළ තලයේ නිර්මාණයක් ලෙස මෙය දකිමි.
මෙහි එන "එක ම කතාව" මා තුල යම් කම්පනයක් ඇති කරලීමට සමත් කෙටි කතාවකි. අයෙක් අවුරුදු ගණණාවක් පුරා පුරුදු වූ ජීවිතයෙක් ඈත් වී හිඳිද්දි, ඔහු ගේ අලුත් සිතුවිල් රටාව අනුව, තමන් පෙර කල රසවිඳි පරණ කතා අලුත් ආකාරයෙන් දැකීම, ඒවා තම නව වටපිටාව හා ගැලපීම ආදි මාන ඔස්සේ මා මහත් සේ රස විඳි කෙටිකතාවකි.
"සිරුර තුළ ඇඹරෙන වේදනාව ගසාදමා මා උන් තැනින් නැගිට කාමරයෙන් එළියට ආවේ කිසියම් කෝපයකිනි. මෑ මේ සියල්ල කියන්නේ කිසි දු සිත් පිත් නැති පුද්ගලයකු ලෙස නො වේ ද ? මා මෙයට කලකට පෙර මේ පුවත අසන විට ශෝකි ස්වරයක් දැන් ඈ තුළ නැත. මගේ හදවත සියුම් අවියකින් කැබලිවලට කපන සුලු මේ තොරතුරු ඈ පවසන්නේ ඉන් කිසියම් ආස්වාදයක් ලබන්නියක මෙන් නොවේ ද " මේ ඔහු සිතින් දෝෂාරෝපනය කරන්නේ ඔහුගේ මව ට ය.
මීට සමාන මාතෘකවක් ඔස්සේ නිර්මාණය වූ කෙටි කතාවකි "අතරමඟ" යන කෙටි කතාව. තම විවා පත් වූ අයියා සමඟ අමනාපයෙන් සිටින්නී, පෙර අයියා සමඟ ගත කල විනෝදමත් කුඩාකාලය මතක් කරමින් තමන් තුල ඇති ඉච්ඡාභංගත්වය පිළිඹිබු කරන කෙටිකතාවකි.
තම දෙමාපියන්ගේ බලාපොරොත්තු මත තම දිවිය දිය හැරි, මැදි වියට ලංවූවෙකු, අමුත්තෙකු වශයෙන් පැමිණි තම යටත් නිලධාරියා සහ ඔහුගේ අලුත ගෙනා මනමාලිය ඔස්සේ තම සිත තුලට ස්ත්‍රී පහස එබිකං කරන අයුරු, ඉතා සියුම් ලෙස පෙන්නුම් කරනා රසවත්, එලෙසම සාර්ථක නිර්මාණයකි, "ධර්මසේන".
මෙහි එන "සිතුවම් පට" යන කෙටි කතාව තුල "ගන්ධබ්බ අපදානයේ" සියුම් හෝ ආභාෂයක් ඇත්තේ දෝ යි සිතේ. මුළු කෙටිකතාව ම සවසක මිතුරෙකුගේ පැමිණීම බලාපොරොත්තු වීමත්, ඒ ඔස්සේ අතීතාවර්ජනය සහ තත්කාලීන සමාජ දේශපාලන දිගහැරීමක් වන "මිතුරා බලාපොරොත්තුවෙන්" මෙහි එන අනෙක් කෙටිකතාව යි.
දුර්වල යැයි කිවහැකි කෙටිකතාවක් නොමැති මෙම සංග්‍රහය, අමරසේකරුන්ගේ සංක්‍රාන්ති සමයක ලියවුන්නක යයි සිතේ. ගමේ ජිවිතෙන් මෑත්ව නගරයට හුරු වීම, නොහොත් ගම අත හැරීම, සමාජ දේශපාලනය, නිර්මාණ කරුවන්ගේ මනෝභාවයන් යන කාරණා ඔස්සේ කෙටිකතා බෙදී ගිය සාර්තක කෙටි කතා සංග්‍රහයක් ලෙස නම් කල හැකිය.
No comments:
Post a Comment