Sunday, 22 January 2017

සර්පයකු හා සටන් වැද - කේ.කේ. සමන් කුමාර


"අපි සර්පයාට තලා එලවා දමන්නට සැදීමු. එහෙත් ඌට අපේ පහරවල් දැණුනේවත් නැත. ඌ මහත් සේ වැඩී අප වඩා දරණ ලා සිටියි.
  අපට ඌ මැරිය නොහැකි වනු ඇද්ද? අපි මුගුරු ගෙන දෑතින්ම ඌට තලමු. ඌ අද හෝ හෙට මිය යා යුතුය. නැතහොත් ගල්මුල්වලින් වැසී අපත් සමඟම මිය යා යුතුය." ( 35 පිටුව )

   මේ උදෘතය කේ.කේ. සමන් කුමාර ගේ 'සර්පයකු හා සටන් වැද' කෙටි කතා සංග්‍රහයේ එනමින් වූ කෙටි කතාවෙනි. එම කෙටි කතාව සැලකුවහොත්, එය පිටු තුනක් ඉක්මවන්නේ මදකිනි. ඒ පිටු තුන තුල, කෙටි කතාවේ මුඛ්‍ය්ය චරිතය ට තම දියණියගේ උත්පත්තිය, බිරිඳගේ වියෝව, දැරිවිය වැඩිවියට පත්වීම, ඇගේ ස්ත්‍රීත්වය පිළිබඳ ඔහු තුල වූ සඤ්ඤාව, ඇගේ සරණ බන්ධනය හා එහි දෙදරා යාම, ඇගේ අන් සබඳතා, ව්‍යාභිචාරය සහ එය පිළිගැනීම යන්න, පාඨක අපට දැනෙනා අයුරින් රචනා වී ඇත. කෙටි කතා දොළසකින් හෙබි මෙම සංග්‍රහයේ, පාඨකයා මහත් කම්පාවට ලක් කරන නිර්මාණය මෙය වුව ද, අනෙක් කෙටි කතා ද ඉතා සාර්තකය. මෙම කෙටි කතා දොළසටම සමන් කුමාර වියදම් කොට ඇත්තේ මුද්‍රිත පිටු 43කි. මා සතුව ඇති විශේෂ "Collector's" මුද්‍රණයේ පෙරවදනකින් ද,පසුවදනකින් ද, උපග්‍රන්තයකින් ද, සර්පයකු හා සටන් වැද කතාවේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් ද හෙබිය. මෙම අවශේෂ කොටස් පිටු අසූ හයක් පුරා පැතිරේ.

එක් ටැමකින් පොළවට - ප්‍රේමය, පෙම් කරන්නාගේ මනෝභාවය දෘෂ්ඨිය වෙතට කබඳු ආකාර බලපෑමක් සිදු කරන්නේ ද යන්න පිළිබඳ යතාර්තවාදි සීමාව සියුම් ව එහා මෙහා කරමින් ලියැවූ අපූරු නිර්මාණයකි. මේ කෙටි කතාව ලියැවුණේ රචකයා තරුණ වියේ දී බැව් සලකද්දි, ඔහුගේ ජීවිතාවබෝධය සහ කෞශල්‍යය පිළිබඳ ඇගයීමක් අපට ඇති වේ.


අපබ්‍රංස කතාවක් - දිවි තොර ගැනීමේ අටියෙන් සිටි ඇය,  අනතුරුව බලහත්කාරකමකට ලක් ව, තමනට බලහත්කාරකම් කල ඔහු වෙත සිතක් පහළ වීමේ අමුතු පෙරළීමකින් යුතු කතාවකි.

දේශ ද්‍රෝහියාග්ගේ පෙම්වතිය-පෙම්වතියක්  තම පෙම්වතා තමන්ගේ රාජ්‍යයට විරුද්ධ වීම, ඔවුන් අතර ඇති බැඳීම කෙරෙහි කෙසේ බලපායි ද? වෙසෙසින් ඔහු කලින් නිර්භීත ජාති හිතෛශියෙක් නම් ?

මගක් වසා මගක් - මවක ගේ ඉරණම කෙරෙහි දුවක් පිළිකුලින් යුතුව බලන්නි, ඇයට ද එම ඉරණම ට මුහුණ දීමට සිදු වූ විට එම මවගෙන් ම උපකාර පතන්නේ කෙසේ ද? එම  මවගේ ක්‍රියා කලාපය නිරතුරු අවඥ්ඥාවට, ගැරහීමට ලක් වූවේ ඔවුන්ගේ දේශපාලන දර්ශනයට යටත්ව ය.

සුළඟට ගසා ගිය ගැහැනියක් - 1983 දී දකුණේ සිංහල සමාජයත් සමඟ, ඔවුන් විශ්වාස කල,  ඔවුන් හා අවාහ විවාහ කල දමිළ සමාජය ට අදහා ගත නොහැකි සිදුවීම් පෙළක් සිදු විය. දෙමළ තරුණෙකු හා පෙමින් බැඳුණු ඒ තරුණිය කුනාටුවකට හසු වූවාක් මෙනි.

පා පුවරුවේ ගිය මිනිහෙක් - පෘතග්ජන මිනිසාගේ ජාගර සිතත්, මැස්ලොව් නියමයේ ප්‍රකෘති අවස්තාවකුත් මතක් කෙරෙනා, සියුම් ගෙත්තමකි.

ලෙයත් කිරත් මුහුව ගියා - අයෙකුට තම අතින්, තම දොසින් නොවූව ද, ජීවිතහානියක් සිදුවුවහොත්, එම යතාර්තය සමඟ ජීවත් වීමට සිදු වේ. විටෙක එතැන හානියට පාත්‍ර වන්නේ එක් ජීවිතයක් නොව, දෙකකි. 

පුංචි විප්ලවකාරයා - පරම්පරා තුනක් විප්ලවය වෙනුවෙන් සිහින මැවූ අයුරු, වර්තමානයේ සිට අතීතාවර්ජනයේ යෙදෙන්නෙකුගේ දෑසින් දකිනායුරු ගෙත්තම් වී ඇත. විප්ලවය වෙනුවෙන් ඔවුන් බොහෝ දේ කැප කලෝය.

ගල්යුගයට පිම්මක් - රොකට් යුගයේ මිනිසා ගල් යුගයේ මිනිසෙකු ට ඇති ඥාතීත්වය, ඒ මුල් පෘතග්ජන අදහස් වල සෙවනැලි තවම සිතේ සොල්මන් කරන අයුරු, යතාර්තවාදි සීමාව විතැන් කරමින් ලියැවි ඇත.

ගිනි මැද පිනිබර මල් පිපුණා - යුද්ධය ස්වභාවයෙන් ම කුරිරු ය. සම්මතයන් ඉක්මවා යුද්ධය මුවාවෙන් අපරාධ සිදුවන විට, අයෙකුට එය විඳ  දරා ගත නොහැකිව තම පිළට ම විරුද්ධ ව නැගී සිටිය හැක. ඒ බොහෝ විට තම දිවි වන්දි වශයෙන් ගෙවමිනි.

ඇස් දහසක රෑ - වරදෙහි බැඳුනු ස්ත්‍රියක් බාරගත් පුරුෂයෙකුට, ඇය ජීවිතකාලයෙදී ම ණයගැති ව, දෙවියෙකුට වගේ සලකයි නම්, පෘතග්ජන ඔහුට එය කෙතෙරම් බරක් ද ?

පිටු දෙකේ සිට පහ දක්වා දිගු මේ ඉතා කෙටි, කෙටි කතා ගැන ඇවැසි නම් පිටු දහයක පහළොවක විචාරයක් ලිවිය හැක. කිමද ඒවා තුල එතරම් බරක්, අන්තර්ගතයක්  ඇති හෙයිනි. එහෙත් මම එසේ නොකරමි. අප රට පශ්චාත් නූතනවාදි චින්තකයකු ලෙස සැලකෙන දීප්ති කුමාර ගුණරත්න පිටු හතලිහක පසුවදනක් ලියා, එය මෙහි ඇතුලත් කොට ඇත. ඇත්තෙන්ම මේ කෙටි කතා දොළස කියවීමට වඩා දීර්ඝ කාලයක් මට එම විචාරය කියවීමට ගත විය. එහෙත් එම කාලය ප්‍රතිඵලදායක යැයි සිතේ. කිම ද මම එම අදහස් තනිකරම පිළිනොගත්ත ද, ඉන් අනතුරුව ජිජැක් ලියූ "How to Read Lacan" පොතත්, ගුණරත්න ලියූ ඇසිඩ් වැස්ස සහ හපුගොඩ/අලවත්ත මෑතක පළ කල ජිජැක් අධ්‍යයන ත් කියවීමට පෙළඹීමයි.

සර්පයකු හා සටන් වැද, යුගයේ විප්ලවීය කෙටිකතා එකතුවකි. මා එය  කියවූයේ වසර තිහක් ප්‍රමාදව ය ( මේ පොත මුලින් නිකුත් වන කල මා වසර දහයකුත් නැති තරම් ය ). සිංහල සාහිත්‍ය පරිශීලනය කරන, අධ්‍යයයනය කරන පාඨකයා අනිවාර්යයෙන්ම කියවිය යුතු කෙටි කතා සංග්‍රහයක් ලෙස කිසිදු පැකිලීමකින් තොරව ප්‍රකාශ කරමි.





No comments:

Post a Comment