ස්වයං ලිඛිත චරිතෝපදානයක් ලෙස මෙය ප්‍රධාන වශයෙන් බාල විය, තරුණ විය සහ
මැදි විය වශයෙන් කොටස් තුනකින් සපිරිය. ආරම්බයෙදී ම පැවසෙනා පරිදි මෙය ලියන විට කතිවරයා සැටනම වයසේ ය.
*1 බාලවියේ කතුවරයා ආවර්ජනය කරන්නේ, තම දෙමව්පියන් සහ සහෝදරියන් සමඟ විසූ අවදිය, ගුරු ගෙදරින් "අකුරු ඉගෙනීම", ඔහුගේ සමහර ගතිස්වාභාව - ඔහු සතුන් මස් කිරීම නැරඹීමට කැමැත්තෙකි ("හරකකු මස් කරන්නා, උගේ බඩ පළා හදවත, අක්මාව, පෙණහළු, වකුගඩු, බඩවැල එළියට ගන්නා අවස්ථාවේ මගේ කුහුළත් සන්තෝෂයත් ඉහළ නඟියි" - 13 පිටුව ), ආදි විස්තර රැගත් ය.
*2 නගර වාසින් හා ගම් වාසින් අතර ඇති භේදය, ගම් වාසින් නගර වාසින් අනුගමනය කිරීමට ඇති කැමැත්ත නිදසුන් සහිතව අප කතුවරයා පෙන්වා දෙයි. සබන් භාවිතයේ සිට මැදපංතිකයින් මෙන් පෙළපත් නම් හළා දැමීම, ඉන්ගිරිසි නම් තම දරුවනට යෙදීම දක්වා මෙය පැතිර තිබී ඇත. මේ විස්තර ඉතා රසවත් ය.
"ගාලු නගරයෙහි වෙසෙන උගත් නෑයන් ඇති අපේ ගමේ ගැමියෙක් තම පුතාට 'ඇඩ්වර්ඩ් බෲස්' නම තැබුවේය. 'බෲස්' උසුරුවන්ට නොහැකි ගැමියෝ ඒ නම 'බුරුස්' කොට ගත් හ. කෝපයෙන් හා ලජ්ජාවෙන් මිරිකෙන්ට වූ අර ගැමියා තම පුතාට අනික් නමක් ආරූඪ කෙළේය. (20 පිටුව )
*3 මෙහි පස්වන පරිච්ඡේදය රසගුලකි. ගුරුගෙදර "අකුරු උගෙනීමෙන්" අනතුරුව, පන්සලේ පැවිදි ඥාතියෙකු වූ මලලගම ධීරානන්ද හිමියන් යටතේ දේවනගිරි අකුරු කියවීම, හිතෝපදේශය කියවීම, සහ අනතුරුව ඉන්ගිරිසිය උගෙනීමට ගාල්ලේ බෝනවිස්තාවට ගිය අයුරු ද, බෝනවිස්තාවේ අකුරු උගත් කල රසවත් සිද්ධීන් ද මෙහි ඇත. රූමස්සල කඳු පාමුළ වූ බෝනවිස්තාව අද පවතී දැ යි නොදනිමි ( ගාලු ප්‍රදේශයේ අයෙක් මේ ගැන දන්නේ නම් පවසනු මැනවි ). දිනක් රාත්‍රියේ අමු කළුවරේ ගාල්ලේ සිට කොග්ගල තම නිවෙස තෙක් වූ සැතපුම් දහයක් පමණ වූ දුර තනියෙන්ම පයින් ගමන් කල විස්තරය, වර්තමාන පාඨක සිතේ අප්පුරු චිත්ත රූප මවන්නේ විසිවන සියවස මුල මේ කියනා පෙදෙස් කුමන ස්වරූපයක් ගත්තේ දැ යි සිතට නගා ගත් විටය.
*4 මීරන් හෑරවීමට අත තබා නොබෝ කලකින්, ඔහුගේ පියාගේ වියෝවත්, ඉන් අනතුරුව පතලේ වැඩ කල බාස්ගේ කීමට තියෙන දේපොළින් යම් කොටහක් ද විකුට, තවදුරටත් මිණිරන් කැණීමට ගොස්, තිබූ දෑ ද නැති කර ගෙන, පවුලේ ආර්ථික තත්ත්වය තවත් පරිහානියට ලක් කල කර ගත්තෝය. මේ ආර්ථික පරිහානියත් සමඟ බොනවිස්තාවෙන් සමුගත් මාර්ටින් ට අහංගම සිහළ පාසලේ අකුරු කිරීමට සිදු විය. පොත් කියවීමේ පුරුද්ද ඉතා පහළ මට්ටමක තිබුණු අවධියක වුවද, යසෝධරාවත සහ දෙවිදත් කතාවත් ඉතා පහත් කොට සැලකුවේ ලු. පාසැලේ ගුරුතුමා සහ පන්සලේ හාමුදුරුවන් ඒ පොත් ඉතා පහත් තත්ත්වයෙන් සැලකු බව පැවසේ. සමහර ජනකවි පොත් ප්‍රතික්ෂේපයට කුලමානය ද හේතු විය.
"පැදුරු විවීම පහත් පන්තියේ ගෑනුන්ගේ අත්කමක් ලෙස සැලකූ මැද පන්තියේ ගැමියන් 'පැදුරු මාලය' තමන්ගේ ගෙවලට පිවිසෙනු නො ඉවසුවේ පණ්ඩිතයන්ගේ අර අනුශාසනය නිසා නොවේ. ගැමියන් අතර බමුණු කුලයක් වන්ට වෑයම් කළ මද පන්තියේ ඈයන්ගේ මානය ඊට හේතුවන්ට ඇත."
*5 ලේඛකයාට බාලවියේ දී උගැන්මේ හේතුවක් හෝ අනාගතය පිළිබඳ විශේෂ අදහසක් නොවීය. තැනෙක මෙසේ කියවේ:
"අනාගතය පිළිබඳ හැඟීමක් බාලවියෙහිදී පමණක් නොව විවාහ ජීවිතයට ඇතුළු වන තෙක්ම මගේ සිතට පිවිසි අවස්ථාවක් මට මතක් කළ නොහැකිය."
*6 දහ හත් හැවිරිදි වියේ ලිපිකරු සේවයට කොළඹ ගිය මාර්ටිනුන්, ස්ව-උත්සාහයෙන් ඉන්ගිලිසිය උගෙන, පොත් පත් කියවූ අයුරු ඇත්තෙන්ම, අද වන් බොහෝ පහසුකම් ඇති යුගයක භාෂාවක් උගෙනීම නොහැකිවීම රටේ, පාලකයන්ගේ දොසක් ලෙස ලඝු කරන අය ට ඉතා හොඳ පාඩමකි.
"මම සත පනහක් ගෙවා "Human Origins" (Samuel S. Laing ) නිබන්ධ සංග්‍රහය ගෙන ගොස් නොඉවසිල්ලෙන් කියවන්නට පටන් ගත්තෙමි. ඒ නිබන්ධ කියවා වටහා ගෑනීමට මගේ ඉංගිරිසි දැනුම මඳ බව වැටහිණ. මම සාක්කුවේ දමාගත හැකි ඉංගිරිසි ශබ්ද කෝෂයක් ගෙන 'රොබින්සන් කෲසෝ' නවකථා ද අනතුරුව ගලිවරායණය ( Gulliver's Travels) ද කියවීමි. මා අනතුරුව අද්භූත පෙම් කතා කියවන්නට පටන්ගත්තෙමි. රයිඩර් හැගාර්ඩ්ගේ නවකථා මගේ සිත් ගත්තේය. " ( 108 පිටුව )
"නවකථා කියවීමෙන් දියුණු කරගත් ඉංගිරිසි බස් දැනුම ඇතිව මම පරිණාම වාදය පිළිබඳ පොත් කියවන්ට පටන් ගත්තෙමි... මෙතෙක් කල් අඳුරෙහි අතපතගාන්නකු මෙන් ජීව ලෝකය පිළිබඳ ඇත්ත සොයන්ට වෑයම් කළ මගේ සිත එළිය කරන ලද්දේ මේ පොත් දෙක විසිනි ( Story of Creation - Edward Clodd ; Easy Outline of Evolution - Dennis Hird ). එතැන් සිට තිස් ඇවිරිදි විය වන තෙක් මා කියවූ පොත් වලින් සියේට හැත්තෑ පහක් පමණ පරිණාම වාදය හා ජීව විද්‍යාව පිළිබඳ පොත් වී ය. "( 113 පිටුව )
*7 මීට ආසන්න කාලයෙහි අනගාරික ධර්මපාල තුමන්ගේ ක්‍රියාකාරිත්වය සහ පියදාස සිරිසේනගේ රචනා පිළිබඳ විචාර ද පාඨකයකුගේ කුකුස අවදි කරනු ඇත. එහි අලංකාරයත් වටිනාකමත් ඇත්තේ, වත්මනෙහි සිට එකළ පිළිගැනෙන අදහස් කෝදුවක් කොට ගෙන අතීතය මිනුමින් තොරව, එකල ට ඔබින ලෙස ඒ අදහස් වල වටිනාකම තක්සේරු කිරීම යි. මේ අදහස සළකන්න:
"සුදු මිනිසුන් නිසා හටගත් හුඹස් බයක් සිංහල මින්සුන් තුළ ඇත. පිදුරු වලින් සාදා පාන්කඩ එතූ පඹයකු ගෙදර දොරටුවේ වහලේ එල්ලා ගන්නා සිංහලයා 'සුද්දට පහර දෙන්නේ මෙහෙමයි' සිතමින් පඹයාට උදේ හවස පහර දිය යුතුය. එවිට සුදු මිනිසුන් නිසා සිංහලයන් තුළ උපන් හුඹස් බය කෙමෙන් අතුරුදහන් වෙයි. මෙය අනගාරික ධර්මපාල තම ලිපියකින් කළ යෝජනාවකි. පියදාස සිරිසේන සුදු මිනිසුන්ටත් ඔවුන් ආගමනය කළ සිංහලයන්ටත් සරදම් කරමින් ලියූ ලිපි හා කවි සිංහල ජාතිය සඟරාවෙහි මසක් පාසා පළ විය." (117 පිටුව )
වෙසෙසින් ධර්මපාල තුමාගේ ප්‍රකශය අද වන් කලක උගතෙකු විචාරය කරනුයේ වෛරය වපුරුවන්නක් ලෙසට ය. එහෙත් ධර්මපාලතුමාගේ අරමුණ අනෙකක් බව පැහැදිලිය. ඔහුට ඇවැසි වූයේ සිංහලයාගේ මානසික තත්ත්වතට ආමන්ත්‍රණය කිරීමට ය. වික්‍රමසිංහයෝ වත්මන් විදවතුන්ගේ උගත්කමින් නොපෙළමුනෝ, ඒ පිළිබඳ නිවැරදි කියවීමක වූවෝය.
*8 මෙහි ඔහුගේ අම්මා ගැන මෙවන් සටහනක් වෙයි:
"අම්මා ජීවත් වූයේ තමා උදෙසා නොව අනුන් උදෙසා යයි සිතන්ට අනුබල දෙන, ඈ පිළිබඳ සමහර කරුණු මට අසන්ට ලැබුණේ ඈ මළ පසුයි. අම්මා තමා නොව මා ගැන සලකා මට කළ ඇතැම් අනුශාසනා උන්දෑගේ සන්තෝෂයට හේතු වුව ද මගේ කෝපයට හේතු විය. අම්මා රෝගාතුරු වූයේ අගහිඟවලින් මිරිකෙමින් ජීවත් වූ අවස්ථාවක බව මා දැනගත්තේ උන්දෑ මළ පසු ය. මගෙන් මසකට වරක් පවා මුදල් ගෙන්වා ගන්ට නොසිතූ අම්මා, අගහිඟ ගැන මට කිසිවක් නොලිය යුතු යයි දූන් ට අණ කළා ය.
මම අම්මා ගැන සොයන්නේ නැතිව මට ලැබෙන පඩිය පොත් පත් මිලට ගනු පිණිස වියදම් කළෙමි. එය මහා ආත්මාර්ථකමක් බව සිහිවුණු විට මගේ සිතේ හටගන්නේ වේදනාවකි. ලෝබකමින් තොරව වියදම් කරන්නාගේ පොත් පත්කියවීම අබින් කෑම වැනි දුසිරිතක් වෙයි."
මෙහි විකුම්සිහ තුල යම් ආත්මාර්ථයක් තිබුණා විය හැක. එසේම , උක්ත කාලයේ "ජීවත් වීමට වියදමක්" අවශ්‍යයයි යන්න එතරම් සැලකිල්ලට භාජනය කල වකවානුව ක් නොවීම ද, වික්‍රමසිංහ ට එම අදහස තම මනසට ග්‍රහණය නොවීම ට හේතු වූයේ ද?
*9 ලේඛකයා 1915 මුස්ලිම් කෝලහාල වලින් අනතුරුව නැවත සිය ගම්බිම් බලා පැමිණෙන්නේ, ඔහු සේවය කල වෙළෙන්දා සිය වෙළඳාම නවතා දැමීම හේතුවෙනි. ඔහු මෙකල වූ වෙළඳාම ගැන පහත පරිදි විස්තර කරයි.
"පිට රටින් බඩු ගෙන්වූ සුදු මිනිස්සු පොළී නොගෙවුවෝ ය. හෙට්ටියෝත් බායියෝත් සුදු බැංකු කාරයන්ට සුළු පොළියක් ගෙවූහ. හෙට්ටියෝත් බායියෝත් සිංහල වෙළඳුන්ට සියේට දහ අට විසි හතර පොළියට මුදල් හා බඩු ණයට දුන්නෝය. බඩු ණයට ගන්නා පිට පළාත්වල වෙළෙන්දෝ ඉන්දියානු වෙළෙන්දන්ට ගෙවන අධික පොළියත් තමන් සිතන පතන ලාබයත් එකතුකොට බඩුවල මිල නියම කරති. එසේ මිල නියම කෙරෙන බඩු ණයට ගන්නෝ සිංහල ගැමියෝය; දෙමළ කුලීකරුවෝය. දැනුදු මේ කොල්ලය නමැති පදනම උඩ පිහිටියකි අප රට වෙළඳාම."
*10 අද වන විට අප රට සාම්ප්‍රදායි ගම්මානය සොයා ගැනීම අපහසුය. මීට තෙවසකට පමණ පෙර මීමුරේ සංචාරය කල කල් හි, එහි වෙසෙන වැඩිහිටියන් තම ගම්ප්‍රදේශය ආරක්ෂණ පිළිවෙතක සිට සංවෘත විසුමට වඩා රිසි මුත්, තරුණ පරම්පරාව නවීන ලෝකයේ ඉලෙක්ට්‍රනික ආම්පන්න පිළිබඳ යම් කුකුසකින් පෙළෙන්නෝ බව පැහැදිලි විය. විකුම්සිහ මේ කෘතිය ලියා ඇත්තේ 1961 දී ය. කෘතියේ මධ්‍ය ස්ථානයට ද පෙර, පහත සඳහන් ඡේදය අප නෙත ගැටුනද, මේ නිරීක්ෂණය 1950 දශකයේ අග පමණ කාලපරාසයකට අයත් යැයි සිතීම නිදොස් යැයි සිතමි.
"ගැමියන් දිළිඳන් බව මම දනිමි. එහෙත් ඔවුහු පෙරට වඩා දැන් මුදල් අතපතගාති ; ගෙවලින් පිට යන විට විසිතුරු ලෙස හඳිති; පළඳිති. මේ පිටස්තර විසිතුරුවටත් මුදල් සුලබ වීමටත් යටින් ඇත්තේ ලද දෙයින් තුටුව ජීවත් වූ ගැමියන්ගේ හොඳ ගති කෙමෙන් දවා අළු කරන ගින්නක් වැනි ජීවන සංග්‍රාමයකි."
*11 අද වන විට විවාහ මංගෝලත්සවය යනු මංගල ජෝඩුවත් ඔවුන්ගේ පවුල්වල වල උදවියත් ණයකරුවන් කරනා ආටෝපවත් ක්‍රියාදාමයකි. මේ කෘතියේ එක් තැනෙක එකල විවාමංගලෝත්වය පැවතියාකාරය පිළිබඳ අලංකාර විස්තරයක් වෙයි. කවදත් ඥාති-අසල්වැසි සංග්‍රහයට කැමැත්තෝ, සිංහලයෝ මීට වසර හැට-හැත්තෑවකට පෙර ද මගුල් කෑම සිදු කල ද එකල පරිසරය ඔවුන්ව ණයකරුවන් බවට පත් නොකලේය.
"ගැමියන්ගේ මඟුල්කෑම වනාහි ඔවුන් සතු විශ්‍රාමය, ලද දෙයින් තුටුව ජීවත්වීම, සහල් ලුණු මිරිස් එලවළු ආදි ආහාර වර්ග ඉතාම අඩු මිලට ලැබීම යන තුන අනුව පැවැත්වෙන උත්සව වී ය. දිළිඳු ගැමිගෙදරක වුව ද විවාමඟුල නිමිති කොට 'මඟුල් දීම' නමින් නෑ මිතුරන් උදෙසා පැවැත්වෙන සංග්‍රහයක් වී ය. ඉඩම් හිමි ගැමියෝ මේ සංග්‍රහය දවස් දෙක තුන, ඇතැම් විට සතියක් තිස්සේ පැවැත්වූ හ."
*12 එකල් හි ද, ප්‍රාචීන භාෂාවෙහි සහ බුදු සමයෙහි හසළ දැනුමක් තිබූ සර් ඩී.බී. ජයතිලක, ඇම්. ඩබ්ලිව්. ඇච්. ද සිල්වා ආදීන් මෙරට ක්‍රියාකාරි දේශපාලනයෙන් "පයින් ගසා උඩු මහලට යැවීමේ" එකල එ.ජා.ප. ය ක්‍රමවේදය ගැන ද, එකල දේශපාලනය ගැන සාකාච්ඡා කරන පරිච්ඡේදයක සඳහන් කරයි.
*13 මෙහි නිතර සාකච්ඡාවට ගැනෙන තවත් පාර්ශවයක් වනුයේ කතෝලික පල්ලියයි. එකල බෞද්ධයන් එම ආගමික සංස්ථාව අභියෝගයක් ලෙස සැලකුව ද, අද වන විට එසේ සැලකීමේ ප්‍රබලතාව අඩුව ඇත. එම ආයතනයේ බලයේ අඩුවක් නොවූව ද, කතෝලික-බෞද්ධ ජනතාව අතර ඇති බැඳියාව මෙම තත්ත්වයට හේතුවන් බැව් සිතිය හැකිය.
*14 සිංහල නවකථාවේ ළදරු අවදිය ගැන වෙසෙසින් සඳහන් කරන වික්‍රමසිංහ, පියදාස සිරිසේන ගේ සමාජ මෙහෙවර බටහිර නවකථා රීතියෙන් ඔබ්බට ගොස් දකින්නේ, ඒ පිළිබඳ මෙසේ කියයි:
"උගැන්මෙන් හිසෙහි පුරවාගත් දැනුම් වලින් තොර වී නම් සිරිසේන හොඳම සිංහල ජනකථාකාරයා වන්නේ ය. සමහර ඉංග්‍රීසි විචාරකයන්ගේ මතාන්තර පිහිටා සිරිසේන්ගේ නවකථා විවේචනය කරන්ට වෑයම් කරන්නා නගරයේ පාසලක ඉගෙන ජ්‍යේෂ්ඨ විභාගයෙන් සමර්ථ වූ දැරියක පීටිසර නෑයකුගේ ගෙදරට ගොස් තමා ණයට ඉල්ලාගෙන ආ රිදී ගැඋප්පුවෙන් හා පිහියෙන් ජාඩි, මුරුංගා, කොස් ඇට ඇඹුල, හා හාල්මැස්සන් හොද්ද සහිත බත් කෑමට කරන වෑයමට අසමාන නොවේ."
*15 මෙහි එන තව රසවත් කථාවක් වනුයේ 1915 මුස්ලිම් කෝලහාල යුගයේ දකුණේ සමාජ වටපිටාවයි. ආරංචි මාත්‍රයක් ඔස්සේ එක්තරා රැයෙක අවම ආයුධ ප්‍රමාණයක් ද රැගෙන වැලිගම දෙසට කරත්තයක නැඟී ගමන් ගත් අයුරුත්, ගෙයින් එළියට බැසීම තහනම් කර තිබූ එම යුගගේ පන්ජාබ් හේවායින්ගෙන් සෑහෙන තරමක අතවරයකට තිබූ ඉඩක් පෙර වාසනාවකට මගඇරී ගිය අයුරු, එකල වට්පිටාව සිතින් මවාගෙන කියවන කල ඇත්තෙන්ම අපූරු විස්තරයකි.
*16 කොළඹ රැකියාවෙන් ඉවත් ව ගම පැමිණ කලකින් මාර්ටින්, තම ඥාති සහෝදරියක් වන ඩෝරා ගේ සැමියා වන කොර්නේලිස් සිල්වා ගේ මඩකලපු කඩයේ සේවය ට එක් වෙයි. එම ගමනේ විස්තරත්, එහි විසූ කල එහි වෙළඳාම සිදු වූ ආකාරයත් ඉතා රසවත් විස්තරය. මේ එහි එන එක් රසවත් විස්තරයකි - බඩු ගැනීමට මිනිසුනට අධික මිලක් කියා පාන්නේ ඇයි දැයි, මාර්ටින්, කොර්නේලිස් ගෙන් විමසයි. කොර්නේලිස් ගේ පිලිතුර මෙසේ ය:
"ඉස්සර මෙහේ වෙළඳාම කෙළේ අහංගම, කතළුව, දොඩන්ගොඩ වෙළෙන්දන් පමණයි. ඒ ගොල්ලන් යාත්‍රාවලින් බඩු ගෙනාවා; වෙන කාටවත් බඩු ගේන්ට විදිහක් තිබුණේ නෑ. ඒ කාලේ සත දොළහේ චිමිනිය වික්කේ සිලින් තුන හතර බැගින්. සත දහයේ ලාම්පු නූල වික්කේ රුපියලට. කරුංකා ගෙඩියක් සත තුන හතර බැගින් විකුණෑ තියෙනවා. දැනුත් අපි බඩුවලට මිල කිව්වාම ඒ කාලේ පුරුද්ද නිසා දෙමළුන් ඉල්ලන්නේ ඉතාම අඩු මිලට. දැන් මම සිලින් පහය කිවු ඒ චිමිනිය ඒ මිනිහා ඉල්ලුවේ සත විසිපහට."
කාලය මැවු වෙනසක අරුමය නම්, අද වන විට මෙසේ දකුණෙන් ගොස් මඩකලපුවේ වෙළඳාම කරන්නවුන් නැත්තට ම නැතැයි විශ්වාස කිරීම වැරදි නැතැයි සිතෙන නිසා ය.
*17 වසර එකහමාරක මෙහි සේවයෙන් අනතුරුව ය, වික්‍රමසිංහ නැවත දිණමින ට ලිපි ලියන්න ට පටන් ගන්නේ. ඔහු ලියන්නේ "හේතුවාදි" නම් වූ අන්වර්ථ නාමයෙනි. ඔහු මුල් කාල්යේ ලියූ ලිපි දෙකක් වාද වලට හේතු වී ඇත. ඒ ලිපි දෙක පිළිවෙලින්, "බිම වාඩි වී ආසාවෙන් බණ අසන ගෑනුන් හා මිනිසුන් නිදාවැතෙන්නේ කුමක් නිසා ද?" සහ, පහත්, වෙසෙසින් ඒක ජීවී සතුන්ගේ පුනරුත්පත්තිය පිළිබඳ වූ ලිපියකි. අද වන විට ප්‍රධාන වශයෙන් ඉස්ලාම් ලෝකයෙන් මෙපිට සියළු ආගම් වඩවඩාත් ප්‍රශ්ණ කරනා වටපිටාවක මෙහි අරුමයක් නොවුණ ද, අද ට වඩා පුළුල් ලෙස 'හය-හතර' පිළිබඳ විශ්වාසයෙන් සහ ධර්මය ප්‍රශ්ණ නොකෙරෙනා වටපිටාවක මෙහි ආන්දෝලනාත්මක ස්වභාවය තේරුම් ගත හැක.
*18 හේ මඩකලපු විසූ සමයේ අත්විඳි, එම පලාතට හමනා කචං සුළඟ පිළිබඳ විස්තරය ද වැදගත් යැයි සිතමි.
"මඩකලපුවේ දේශගුණය අවුරුද්දකට වරක් අමුතුම වේසයක් ගනියි. මිනිසුන්, සතුන්, ගස්කොළන් තවමින් ප්‍රවාහයක් සේ කචං සුළඟ හමන්ට පටන්ගන්නේ දෙසැම්බර් මාසේ යැයි සිතමි. ඒ සුළඟ ගින්නෙන් කැකෑරෙන මහා තෙල් වැවක් පිසාගෙන එන පවනක් වැන්න. කචං පවනට හසුවන මිනිසුන්ගේ ඇඟපත අව්වට හසුව හැකිළෙන බංඩක්කා කරල් මෙන් හැලිළෙයි. තොල් පිපිරෙයි. ඇතැමුන්ගේ යටිපතුල් පුපුරයි." (220 පිටුව )
* 19 අනතුරුව ඔහු දිණමින ට බැඳී පත්තරකාරයෙකු වීමට තීරණය කලේය. මේ අවදියේ වෙසෙසින් සාහිත්‍යකරුවෙකු වශයෙන් ඔහුගේ උද්දීපනයක් සිදුව ඇති බැව් පෙනේ. සෝමා හා අයිරාංගනී නවකථා ලියා පළ කිරිම පමණක් නොව, ඩබ්ලිවු.ඒ. සිල්වා සමඟ සාහිත්‍ය පිළිබඳ කථාබහත්, වෙසෙසින් තෝමස් හාර්ඩි, ජෝර්ජ් එලියට්, තොල්ස්තෝයි, ගෝර්කි, ෆීල්ඩිං ආදීන්ගේ නවකථා පරිශීලනය ත් ඔහුට ධනාත්මකව බල පෑ බවට සිතිය හැකිය. මෙහි ඔලිවර් ට්විස්ට් ගැන වෙසෙස් විස්තරයක සඳහනක් ඇත්තේ, ඒ කෘතිය ඔහු කෙතෙරම් රස වින්දේ ද යන්න පසක් කරමිනි.
*20 දස්තොවුස්කි වික්‍රමසිංහ ට කල බලපෑම කොතෙක් ද කියතොත්, 242-244 පිටු පුරා දිග හැරෙන්නේ, ඔහුගේ නවකථා ගැනය. "The Buddhist Jataka Tale and the Russian Novel " යන නිබන්ධය ලිවීමට දස්තොවුස්කි මහත් සේ බලපෑ බව හේ පවසයි. අපරාධය හා දඬුවම ගැන ඔහු මෙසේ කියයි:
"තරුණ වියෙහි මා කියවූ නවකථාවලින් ඩොස්ටවිස්කිගේ 'Crime and Punishment ' තරම් මගේ සිත වෙහෙසූ අනිකක් නොවීය. එය කියවද්දී කිසිවකු මගේ මොළය පීරිගාන්නක් මෙන් මට හැඟිණ. මිනිස් සිත පිළිබඳ ඩොස්ටවුස්කිගේ ගූඪ ඥානය වටහා ගන්ට නොහැකි වූ මා ඒ අවස්ථාවේ ඒ පොත කියවූයේ අඳුරේ අතපත ගාන්නකු ලෙසිනි."(242 පිටුව )
*21 1934දී තාගෝර් ලක්දිවට පැමිණීම නිමිත්තෙන්, රෑ නොනිදා අනෙක් දින පත්තරයට ඔහු ගැන ලිපියක් ලිවීම ගැන විස්තර කරන වික්‍රමසිංහ, පසුව ඉන්දීය ජාතික ගීය ගැන මෙසේ කියයි:
"අවුරුදු ගණණ් ශාන්ති නිකේතනයේත් ඉන්දියාවේත් ජීවත් වූ මගේ මිත්‍රයෙක් ඉන්දියාවේ ජනනායකයන් පිළිබඳ තොරතුරු කීවේ ය.... වගු බස හොඳින් දන්නා ඔහු වංග ලේඛකයන්ගේ වගතුග ද දනියි. තාගෝර් තමාගේ 'ජන මන ගණ අධිනායක' ගීතය පළමුව රචනා කෙළේ ජොර්ග් මහ රජුට පැසසුමක් වසයෙනි යි ඔහු කීවේය. අනතුරුව සකස් කිරීමෙන් එය ජාතික ගීයක් කරන ලදී." ( 275 පිටුව )
*22 මැදි විය කොටසේ ඔහු තමන් විවා වීමෙන් පසු පවුල් දිවියත්, සාහිත්‍ය පිළිබඳ සහ ඔහුගේ අනෙකුත් නිරීක්ෂණ ගැන සඳහන් වේ.
බෞතිස්ම ලැබූ කතෝලිකයකු වුව ද, කතෝලික මතාන්තර අතැර දැමූ තම මිතුරෙකු වූ මර්වින් කාසිචෙට්ටි සමඟ වූ පිලිසඳරක කියැවෙන්නේ කාසිචෙට්ටි දිනෙක ලාදුරු රෝගීන් බැලීමට ගිය අයුරුත්, කිසිදු පිළිකුළකින් තොරව තුවාල සහිත රෝගීන් ට තම කුස ඔත් දරුවනට සාත්තු කරන මැණියන් මෙන් සලකන කතෝලික සහෝදරියන් දැක කම්පිත වූ කාසිචෙට්ටි, ඔවුන් සමඟ දොඩමළු වූයේ, ඔවුන් මෙසේ පැවසුවෝය:
"අපි මේ සියල්ල කරන්නේ එවැනි මානුෂික දයා කරුණාවකින් නොවේ ය." " අප මේ සේවය කරන්නේ දෙවියන් වහන්සේ උදෙසා ය. දයාව හා කරුණාව වැනි මානුෂික හැඟීමකින් නොවේ."
*23 මේ කොටසේ එන රසවත් සිදුවීම් කිහිපයකි. එකක් ජී.සී. මැන්දිස් හා සබැඳි සිද්ධියයි. එකක් මැන්දිස් තරුණ ක්‍රිස්තියානි සමිති සාලාවේ දි, මහවංශය විවේචනය ට උරණ වූ බොදුනුවන් ඔහුට බැණ වැදීමේ සිද්දියයි. විකුම්සිහ සිළුමිණේ මෙසේ පැවසුවේ ය.
"ශිලා ලිපි ආදියෙන් සමර්ථනය නොකරන තාක් දේවානම් පියතිස් - ගැමුණු කාලය පිලිබඳ ඉතිහාසය බැහැරකිරීම සාක්ෂ්‍ය අනුව ඉතිහාසය සොයන්නකු සතු කාරියකි. බෞද්ධයන් වසයෙන් අප මහවංශය පිළිගැනීම අනිකකි." එහෙත් අන් තැනෙක මැන්දිස්,ඉතා ආදානග්‍රාහි ලෙස එන්ගලන්තය සබැඳි කාරණා වල දී හැසිරී ඇති බැව් වික්‍රමසිංහ පෙන්වා දෙයි.
*24 මෙහි එන අනෙක් වැදගත් විස්තරයක් නම් කතුවරයා තමාගේ පොත් කිහිපයක් පිළිබඳ කියවෙන දෑ ය. ඊට ඔහුගේ කෘති ගැන අන් අයගේ විවේචන සහ ප්‍රශංසා ද, ඊට ලේඛක පාර්ශවයෙන් ප්‍රතිඋත්තර ද ඇතුලත් ය. ඒ අනුව මඩොල් දූව, ගුත්තිල ගීතය සහ සිංහල සාහිත්‍යයේ නැඟීම පිළිබඳ විවේචන සහ ප්‍රශංසා ද, කතුවරයාගේ ප්‍රති උත්තර ද මෙහි එයි. මඩොල් දූව ගැන පමණක් මෙහි සඳහන් කරනුයේ නම්, ඔහුගේ වදනින් ම ඒ මෙසේය:
"මොවුන් කියන එක ඉංගිරිසි කතාවක්වත් මම කියවා නෑ' මම කීවෙමි. 'බටහිර කථාවකට සමානකමක් මඩොල් දූවේ තිබෙනවා නම් එය මාර්ක් ට්වේන්ගේ කතා වර්ගයට පමණි. මඩොල්දූවෙන් නිරූපණය වන්නේ සිංහල ගැමි ජීවිතයයි."
*25 සර් පෝල් ඊ. පීරිස් ලංකාවේ සිහලින් ලියැවුණු පරංගි ඉතිහාසය ඉතිහාස පොත ඉංගිරිසියට පෙරළු කලැ කතෝලික පියවරුන් හා ඉතිහාසකරුවන් ඊට සාක්ෂි නැතැයි ඔහු නිහඬ කළෝය. ඇස්. ජී. පෙරේරා පියතුමා මෙහි මූලිකත්වය ගත් අතර, ඔහුගේ මේ අදහස් දැක්වීම ට විරුද්ධව ඇස්. ඩී. සපරමාදු පිලිතුරු බැඳි ආකාරයත්, ඒ විස්තරත් ලුහුඬින් හෝ මෙහි සඳහන් වන්නේ පාඨක රසය තීව්‍ර කරවමිනි.
*26 වික්‍රමසිංහ ලේක් හවුසියේ රාජකාරි කරනා කල, විජේවර්ධන ගේ භූමිකාව ගැන ද කුතුහලය වඩනාකාර තතු මෙහි වෙයි. විකුම්සිහ සිහල බසට හිමි තැන ලබා දීම වෙනුවෙන් තම කතුවැකි වලින් හඬ නැඟීමේදී, එකල ඉංගිරිසි පාසල් අධිපතින් විජේවර්ධන මගින් ඔහුට ඉතා සියුම් මුත් බලපෑම කල අයුරු මෙහි වෙයි. වරෙක විජේවර්ධන කියා තිබෙන්නේ, " භාෂා ප්‍රශ්නය ගැන නිතර නිතර ලියන එක හොඳ නෑ. මිනිසුන් කලබල වෙන්න පුළුවනි" කියා ය. ඊට අමතරව විජේවර්ධන සහ සර්. ඩී. බී. අතර තිබු මත ගැටුම ට ද, බණ්ඩාරනායක ගැන විජේවර්ධන ගේ විවේචන ද ගැන සඳහන් ව තිබීමෙන් අද ට වසර අසූවකට පමණ පෙර, විජේවර්ධන ට විශාල බලයක් තිබූ යුගයක, දේශපාලන වටපිටාව ගැන තරමක වැටහීමක් ලබා ගත හැක.
* 27 ඇත්තෙන්ම මෙපමණ විස්තර සහිත කෘතියක් වඩා විස්තර සහිතව ඇඳින්වීමක් කිරීම අපහසු කාරියකි. ඒ නිසා ම වික්‍රමසිංහ ලක්මිණ පුවත්පතේ රාජකාරි කල යුගය, ඒ.ඊ. ගුණසිංහ, මෙත්තානන්ද, එච්.ඩී.එස්. කුලරත්න, ලැනරෝල්, හේමපාල මුනිදාස ආදීන් සමඟ ක්‍රියා කල බව පිළිබඳ ලුහුඬින් සඳහනක් පමණක් කරමි.
*28 එකල ප්‍රකාශ වූ සාර්ථක , එලෙසම විවාදාත්මක වූත් කෘති කිහිපයක් ගැන එක් ලිපියක් ද වෙයි. ඒ අනුව සරච්චන්ද්‍රගේ මළ ගිය ඇත්තෝ, අමරසේකරගේ ජීවන සුවඳ සහ යළි උපන්නෙමි , සහ සිරි ගුණසිංහගේ හෙවනැල්ල ආදි කෘති ගැන අදහස් දැක්වීමක් ද රැගත් ය.
"යළි උපන්නෙමි හා හෙවණැල්ල ද වනාහි විශ්ව විද්‍යාලය පරිසරයෙහි කාමාතුර පැත්ත උදාසීනත්වයෙන් නොවේ නම් උපෙක්ෂාවෙන් ගත නොහැකිවීම නිසා උපන් අමනාපය, කලකිරීම හා යටිසිතට ගොස් සැඟවුණු ද්වශය ද පිට කෙරෙන කතා දෙකකි." ( 380 පිටුව )
මේ අගනා කෘතිය, මාර්ටින් වික්‍රමසිංහගේ චරිතාපදානය ට එහා ගිය කෘතියකි. මීට වසර 80-110 කලෙක අප රට සමාජය, වසර අසූවකට පමණ පෙර දේශපාලනය, එකල තිබූ දාර්ශනික ගැටීම්, ආගම් ගැටීම්, සහ එකල තිබූ සාහිත්‍ය වටපිටාව පිළිබඳ රූපපෙළක් නරඹන්නාක් මෙන් අත්දැකීමක් මේ කෘතියෙන් ලබා ගත හැකිය. සිංහල සාහිත්‍ය ඇසුරු කරන්නෙකු අනිවාර්යයෙන්ම කියවිය යුතු කෘතියකි.
No comments:
Post a Comment