Saturday, 25 June 2016

කඳු මුදුන - සමිත බී. අටුවබැන්දෑල



කඳු මුදුන - සමිත බී. අටුවබැන්දෑල
============================
****1/2

 සමිත බී.  අටුවබැන්දෑල කවියා ගේ කඳු මුදුන කියවූවෙමි. මා මතකය නිවැරදි නම්, 2015 වසරේ දී හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි විදුදය සම්මානය ට සම සම්මාන දිනූ වේ මේ සංග්‍රහයයි ( වෙඩිවර්ධන සමඟ ).  කවි පංති තිස් හයකින් සුපෝෂිත, බහුතරයක් ආඛ්‍යාන ගණයට අයත් යැයි සැලකිය හැකි ආරේ කවි එකතුව කි. සුද්දෙක් ඔබ අමතයි නාට්‍යය හඳුන්වාදෙමින් උදයසිරි වික්‍රමරත්නයන් පැවසූවේ අපි කථා ඇසීමට රුසියන් බවයි. ඒ මතය සනාථ කරමින්දෝ , මේ කවි පංති වලට කාව්‍යාකරණයේ රීතීන් වලින් ඔබ්බට ඇදී යන ලැදියාවක් මා සිත් හි උපන්නේ ය. එම කවි වල ගුණය වැඩි කිරීමට සමත් අනෙක් කාරණය වන්නේ අප සංස්කෘතික හා කලා ඉතිහාසයේ, වෙසෙසින් මෑත ඉතිහාසයේ එන නවකථා, ගාථා, පබැදුම් වලින් එය ලබා ඇති ආභාෂය, හා ඒවා මෙහි බොහෝ නිර්මාණ වලට නිමිති කරගෙන තිබීමයි.


මෙහි එන "තලගොයි පැටියා" නම් වූ කවි පංතිය, අප රට ජන කවි වලින් ආභාෂය සහ පෝෂණය ලත් එකකි.

"මලේ මලේ තැඹිලිය වැන්න පොල්      මලේ
උඹේ ගෑනි පිල් විදහා ගෙන            බැබළේ
බලේ බලේ දෙයියගෙ මල්ලිගේ           බලේ
ගෙදර ප්ලෑන හෙව්වයි සිට ම       ආවෙලේ

පාට එරන් කාරයෙ යන     කෙකින්නී
රෑට බතට හැම්බේකන්     හොයන්නි
මල්ලිගේ අතේ එල්ලීගෙන     සිටින්නී
ප්ලෑන රැගෙන බැංකුවකට     දුවන්නී

"අම්මා එපා කියද්දී මල්ලී මහගෙදර විකුණා සල්ලි ටිකක් අම්මාට ගෙනත් දෙයි", යන අඳුන්වාදීම ප්‍රස්තූතය කොට ගෙන ලියැවුණි අපූරු කවි පංතියකින් තෝරා ගත් කව් දෙකකි ඉහත දැක්වෙන්නේ. වත්මන් වන විට බොහෝ මහගෙවල් බිඳී අලුත් ඒවා ඉදි වෙද්දි, ඉඩම් කට්ටි කර පර්චස් 6-7 කුඩා කොටස් වලට බෙදෙද්දී, එම පුවත අපට වඩාත් සංවේදි වන අයුරින් අප ට හුරු පුරුදු ජන කවිය යන කෝව තුලට අපූරුවට රිංගවා ඇති අයුරකි. මා නම් ඉන් මහත් රසාස්වාදයක් ලැබුවෙමි.



මෙය ද පෙර කී ආරේ අප ට හුරු පුරුදු සංස්කෘතික උරුමයන් හී එන වන්දනා ගාථා භාවිත කොට කෙරුණු ප්‍රතිනිර්මාණයකි.



"ගෙදර බුදුන් කෙනෙකුන් මෙහි     එනවා
හිමි ඔබ පාමුල දන්                     වළඳනවා
හීනෙන් දරුවන් මුහුණ                සිඹිනවා
පිරිත් ම කිය කිය මඩමට                යනවා"

අප බොහෝ දෙනෙකු ට හුරු පුරුදු "රන්වන් පාටින් දළුලන බෝධිය - නිල් වන් පාටින් දිදුලන බෝධිය", මේ නිර්මාණයට උත්තේජනය ලබා දී ඇත. (අදට ත් මගේ අත්තමමා සවස හයට පමණ මෙය  ඇතුළු අන් ගාථා හඬ නගා කීම මතකයට නැගෙයි.) මෙහි චමත්කාරය ඇත්තේ මේ සියළු උරුම නිමිති අද ට ඔබින කවි නිමිත්තක ට යා කොට තිබීම යි.



මෙහි එන "(නො)දැකීම" යන කවි පංතිය අපට පුරුදු බෞද්ධ කථා වස්තූන් අශ්‍රයෙන් පෝෂණය වූවකි.

"මුඩුක්කුව ළඟදි
බඩගිනි මෘත ශරීරෙට බැඳ තිබූ
සෝපාක දුටිම්
කිසිදා නො දුටු
ළමා කාලයේ සරුංගලය ස්සෙවූ

....

ප්‍රේමය
අකාලේ මිය ගොස්
අලුත් පාලමෙන් ගඟට පැන්න
කිසාගෝතමි දුටිම්
වැලිකැට
අබ ඇට මෙන් පුපුරන
දහවල"

....


සිහින සේරම පුපුරලා
පැළී හදවත
පංසලක් හොයන
පටාචාරා දුටිම්
හවස

ඔබ වහන්සේ විතරක්
තාම නොදුටිම්"


වත්මන් සමාජයේ අප වටපිටාවේ සිදුවීම් තුලින් බුදුන් වැඩසිටි සමයේ සිදුවීම් ද දැකිය හැක. එහෙත් එකල මෙන් ඒ අසරණයින්ට පිහිට වීමට අයෙක් නොමැත. වත්මන වන විට නිර්-ආගමිකවාදය රැල්ලක් මෙන් සියළු දෙන වැළඳගනු පෙනෙන්නට තිබේ. මේ සමාජයේ තැලෙන පොඩි වෙන, අනේක විධ ප්‍රශ්ණ වලට මුහුණ දෙන අය  ට පිහිටවීමට නම් ඇත්තටම අයෙක් නොමැත. කවියා පවසන්නේ අද වන විට ගොඩනැගිලි තැනීමේ තරඟයක යෙදෙන පන්සල ට යන පටාචාර ට ද බුදුන් හමු නොවන බවකි.





මෙහි එන දඬුවම නම් වූ කවි පංතිය ද අපූරු ආඛ්‍යාන කවියක්. තම පැරණි පෙම්වතිය තම පුතුගේ පංතිභාර ගුරුවරිය බැව් ඇඳිනගන්නා පියා, ඇය වෙත පවසන්නේ;

"මතක ද ඔයාට
අපි දෙන්නා වෙන් කරලා
ඔයා ම හදපු තාක්ෂණේ තාප්පේ
විද්‍යාවේ තාප්පේ
විජ්ජාවේ තාප්පේ
නව දැනුමේ චීන මහා ප්‍රාකාරේ
මට බැරි විය
තාප්පේට උඩින් පායන්ට

ඉර වගේ
මැටිල්ඩාගේ හඳ බලන්ඩ.

ඊයේ ඔයා පුතාට
කියලා දීලා තිබුණා
අන්වීක්ෂ ඇසින්
මුලද්‍රව්‍ය බලන්ට
සංඝටක හොයන්ට
අංශු විච්චේදනය කරන්ට.

මං උට කියලා දුන්නා
පියවි ඇහින්
හදවත බලන ක්‍රමය."

අප සමාජයේ පවතින විද්‍යා අංශය ඉහත දමමින් කලාව හෙළා දැකීමේ ලතාව ආඛ්‍යාන කවියකට ගොණු කර ඇති අයුරු අපූරුය. එය වරෙක සෝමලතා සුබසිංහ විකෘති නාට්‍යයේ එන "ටියුෂන්" ගීතය මතක් කරවයි.

මෙහි එන "උදෑසන" නම් වූ කවි පංතිය ද ම හද චමත්කාරයට පත් කල කවි පංතියකි. එය අප සිත තුල මනෝ චිත්‍ර මැවීමට සමත් කවියකි.

"දුම් දමා ගෙන
ඊතලයක් පැමිණ කුඹුරට
ඩැහැ ගෙන කක්කොට්ටෙක්
කතුරුමෘංගා ගහට ගොස්
පිලිහුඬුවෙක් විණි.

නියර නම් වූ වැට උඩ
තනි කකුලෙන් හිට ගත්තු
තාපසයෙකි
වතුරට එබී ගෙන
තිත්තයාට වාරයක් ඒ දැයි
බලන.

...

පිස්සු පඹයෙක්
වළඳක් බෙල්ලේ හිර කර ගෙන
ඇද වෙවී හිනා වෙයි
උන් හැමට"

මා මේ කෙටි ලිපිය සිහත සඳහන් නිදසුන් වලට සීමා කරන මුත්, "අමතකවීම", "මංගල දැන්වීම", "අමුතු මනමාලයා", "දරු නැළවිල්ල", කවියෙකුට ලියූ කවියක්", "(අ )හිමියන්ට" ආදි වශයෙන් අපූරු කවි රාශියකින් මෙම කාව්‍ය සංග්‍රහය පොහොසත් ය. මෙහි එන නන්දාගේ කවිය, ගම්පෙරළියේ නන්දාගේ සිතුවිලි ගරා වැටෙන මහගෙදර ට සීමා නොවී  එළිය දකිනා කාව්‍ය සංකල්පනාවක් වැනිය.

මෑතක කියවූ මහත් රසවිඳි කාව්‍ය සංග්‍රහයකි. පරහකට ඇත්තේ කර්තෘ ප්‍රකාශයක් වන මෙහි පිටපතක් සොයාගැනීමේ අභියෝගයයි.



No comments:

Post a Comment