2014 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් සෞම්‍ය සඳරුවන් ලියනගේ නිර්මාණය කල "හැටේ වත්තේ මග්දලේනා" කාව්‍ය සංග්‍රහය මීට මාස කිහිපයකට පෙර කියවූවෙමි. ගිය සතියේ මීළඟ මීවිත පිළිබඳ ලියූ ලිපියට දක්වපු උනන්දුව හේතුකොට ගෙන, මෙම සතියේ මේ කෘතිය ගැන ලිවීමට උත්සුක වූයෙමි.
සෞම්‍ය සඳරුවන්, වර්තමානයේ සිට වර්තමානය ගැන කවි ලියන්නෙකි. වර්තමානය, සහ ඔහු දකිනා විදිහට එහි ගැටළු ඉස්මතුවෙන අයුරෙන්, ඓතිහාසික-සංස්කෘතික රූපණ භාවිත කොට, එම වර්තමානය ගැන කවි ලියයි. එපමණක් නොව, කාව්‍ය සංග්‍රහය යේ කලාත්මක බවට කිසිදු හානියක් නොවී කෘතිය ප්‍රකාශිත කාලයට සියුම් දේශපාලන පෙරවදනක් ද රැගත් බව හැඟේ.
"අලුත් ගල් එබ්බවූ
මේ පදික මං තීරු
ඔබටමය, එ'ගැන සැක
නො කරන්න...
දෙපස ඉදිකර තිබෙන
කටුකම්බි වැටවල් ද
'රැකවරණ' පිණිසම ය;
නො පනින්න..."
( නගරාලංකාරය )
මෙම කාව්‍ය පංතිය ගතහොත් එහි භාෂාව පමණක් නොව ආකෘතිය පවා, කවිය පවසන දෙයට සම්ප්‍රයුක්ත බලය වැඩි වන ලෙස ම, ක්‍රියාත්මකය. "සිව්වෙනි" සහ "අටවැනි" පෙළි සළකන්න. මාත්‍රා දහය බැගින් ලියැවී පැමිණි පද පේළි, ආකෘතිකමව තිගැස්මක් - විධානයකට ඔබින ලෙස - මාත්‍රා පහකට ලොප් වෙයි. පදපේළි ඔස්සේ පණිවුඩයක් කියාපානවාට , හැඟිමක් කිය පානවාට වඩා, කවියා පණිවිඩය ( හෝ හැඟීම ), ආකෘතිය ( පෙළි බෙදීම, තෝරාගත් වචන, මාත්‍රා භාවිතය ) සහ භාෂාව යන තුනම භාවිත කොට කවියා විකුම් පායි. මෙවන් අවස්ථා මෙම කෘතිය කිහිප පොළක මා හඳුනාගැනීමට සමත් විය. මට Terry Eagleton තම "How to Read a Poem" පොතේ කියූ කියමනක් මතක් විය. එය මෙසේය:
"In most poetry, however it is not a question of experiencing the word rather than the meaning, but of responding to both of them together, or sensing some internal bond between the two"
පහත කාව්‍ය කොටස බලන්න. ඇත්තෙන්ම මෙය දේශපාලන අර්ථයෙන් අනතුරු ඇඟවීමකි. කවිය ලියැවුණු යුගය හා ඉන්පසු අප රට සිදු වූ දේශපාලන පෙරළි සළකා බලන කල මෙය දෛව වාක්‍යයක් ලෙසට පෙනේ. ආකෘතිමය වශයෙන් 10-10-10-5 බැගින් වූ මාත්‍රා බෙදීමකින් ලියැවුණු කවි පංතිය, අවසන් කවියේ දෙපේළිය ආකෘතිය මාරු කිරීමක් මගින් දෙන "දෛවඥ්ඥ වාක්‍යය" වෙත වෙසෙස් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින්නාක් මෙනි.
"නිකිණි කළුවර රැගෙන
ට්‍රක් පුරා පැමිණියෝ
සෙත් පැතූ - සුභ පැතූ
විරුවන් ය
බෝධි පූජා කෙරූ,
යෝධ බල - වෙර පැතූ
අත්වලින් පපුවලට මෑනුවේ,
පෙර දවස, පිරිත් කළ,
තුවක්කු ය...
....
විරුවනේ දැන් ඉතින්
ප්‍රවේසම් විය යුතුය;
රුහිරු වුව,
දිනෙක ඇවිළිය හැකිය..."
( රුහිරු ඇවිළිය හැකිය )
මෙහි සමාජයට කෙරෙන සරදමක් මෙන්ම, එහි තීව්‍රතාව වැඩි කරනු වස් අදාළ කොටසේ එක් පද පේළියක මාත්‍රා ගණන 10 සිට 15 දක්වා වැඩි කර අත. එහෙත් කවියාගේ කෞශල්‍ය ඒ සියල්ල සිදුකිරීමට තරම් පොහොසත් ය. අර්ථය ගෙන හැර දැක්වෙන පද පේළි කිහිපයක් වෙනුවට අප කවියා සවිඥ්ඥාණකව සැම පේළියක්, සැම පදයක් ම තුලින් ඝට්ටනයක්, අගය වැඩි කිරීමක්, ධ්වනි රසය ඉහළ නැංවීම ක් ආදිය ගැන සැලකිලිමත් වී ඇත.
කවියා ගේ දේශපාලනමය කැරලිකාර බව ඉතා සාර්ථකව ගෙනහැර දැක්වෙන අන් කවි පංති දෙකකි, "සුළඟ එනු තහනම් ය..." සහ "මල් පිපිය යුතුව ඇත". මෙහි "මල් පිපිය යුතුව ඇත" මෙහි අවසන් කවි පංතියයි. එහි කවියාගේ සමස්ත දේශපාලන බලාපොරොත්තුවන් ඉතාමත් කාව්‍යමය ලෙස ඉදිරිපත් කෙරී ඇත.
එහෙත් මෙය හුදෙක් තම දේශපාලනය වෙනුවෙන් වෙන් වූ කාව්‍ය කෘතියක් නම් නොවේය. කොහෙත් ම නැත ( ඇත්තෙන්ම දේශපාලන අදහසක් රැගත් කවි පංතීන් අත්තේ අතලොස්සකි.) පහත නිදසුන් පහ එසේ නොවන බවට සාක්ෂි ය.
නිදසුන 1:
"ඉසුරුපායට යනෙන
ඉසුරු නැති ලංගමට නගින්නී
මසුරු නැති හදවතින්
පිච්චමල් හිනාවම ඉහින්නී
....
'පායේ' රතු ඉරය, උදයට හරි සැරය
පාරේ රතු එළිය, නොසිඳෙන තද බද ය
හවසත් එලෙසමය ගෙදරත් 'රතු ඉරි' ය
බසයට පමණි හිතවත මේ 'කහ එළිය'"
(ශ්වේතකි හෙවත් ලංගමේ පෙම් ගීය )
පළමු කොටසේ අර්ථය අනුපූරක වන ලෙස ශබ්ද රසය තීව්‍ර වන පද භාවිත කර ඇති අපුරුව බලන්න! අවසන් පැදි පෙළේ ඒ ඒ වර්ණ භාවිත කොට, යම් ඡන්දසක් රකිමින් අර්ථය පරිපූර්ණත්වයට ළඟා කරවන අයුරු බලන්න. කවියා කොළ එළියක් ගැන නොකියයි. සෝදිසියෙන් පමණක් හැසිරිය යුතු කහ එළියක් පමණි ඔහුගේ ඉස්පාසුව -අන් හැම තැනම රතු එළි පමණකි. රතු එළි තුනක් මධ්‍යයේ කහ එළියත් සැපකි.
නිදසුන 2:
තැනෙක කවියා අසම්මත පෙම ගැන පවසන්නේ ශෘංගාරය මතුවෙන අයුරෙනි.
"සියොළඟම රිදුම් දෙන,
රිදුම් දී කිතිකවන,
මන නන්දනීය වු
පරම ආනන්දයක
මෘදු පහස,..."
එහෙත් "ඈ" ප්‍රවෙශම් සහගත ද වන්නීය...
"මෘදු සැපුම් පහරවල්,
නියඟ වැද සීරීම්
දෙන මිහිරි වේදනා
නිබඳ උසුලන රිසිය
නමුදු මා සුපෙම්වත,
කිසි තැනෙක සළකුනක්
නොතබන්න..."
(අසම්මත පෙම්කව )
කවි, පද පේළි වලට බෙදුනද, නැවතුම් තිතක් ලැබෙන්නේ පේළි 6-7 ට වරකි. පද පේළි කෙටිය. ඉන් පාඨක මුවේ මේ කවිය වේගයෙන් කියවේ. ශබ්ද රසයක් ද රැගත් ය. කවිය කියන්නියගේ බලාපොරොත්තුව, බිය, උද්යෝගය මෙම කවි බස තුලත්, ආකෘතිය තුලත් ගැබ් වී ඇත.
නිදසුන 3:
ආකෘතියේ විශේෂයක් නොවුණු අවස්ථා වලදී පවා, කවියා තෝරා ගෙන ඇති වචන, ඉතා යෝග්‍යතම ඒවා බවට පාඨක අපිට සැක හැර දැනෙන්නාක් සේය. "මැයි මල් සාදය" යන මේ කවි පංතියේ පහත දක්වා ඇති උද්‍රිත කොටස් අවදානය ට යොමු කල මැනවි:
"වැඩකරන ජනතාව වෙනුවෙන්ම පේවි
ලංගමත් හැඳ, පුරුදු රතුපාට සාරී
මැයි දාට පාන්දර 'ඉස්පෙෂල් ඩියුටි'...
වැඩ කරන පන්තියේ ගුණ ගයන
වැඩ ගන්න පන්තියේ මැයි දාට;
'ගල්' වුණත් නොමිළේය, ...
සනුහුරේ නය ගෙවන මැයි දාට
.....
මැයි මහේ මල් පියසි හැරුණාම
ලංගමේ බස් පමණි රතුපාට..."
මම කවියාගේ විස්කම් දකිද්දි නැවත නැවත Eagleton වෙත ට හැරෙමි. ඔහු ආකෘතිය සහ අදහස අතර ගැටීම හා සම්බන්ධය කවියා දැන ගන්නේ පරිඝණකයෙන් නොවන බවත්, ශ්‍රවණේන්ද්‍රියෙන් පමණක් ම බව ද කියා පායි ( How , we might then ask, does a poet accomplish all this without the aid of a computer ? The answer is that he relies on his ear,... - From "How to Read a Poem") මට අපේ නිතර බැණුම් අසන (බාගයක් ම වෙලාවකට බැණුම් වලට ආරාධනා කර ගන්නා ) ගුණදාස අමරසේකර ශූරින් මතක් විය. ඔහු කොයි තරම් තැනෙක මෙතරම් ශාස්ත්‍රීය ලෙස නොවුන ද, ශබ්ද රසයේ අගය කියා පෑ ඇති ද ?
නිදසුන 4:
පාද යමක යුගලකින් එක් කවියක් නිර්මිතව, ඡන්දසක් ආරක්ෂා කර ගනිමින්, විජය-කුවේණි ඓතිහාසික කථාව ආභාෂයෙන් නිර්මිත මේ කවි පංතියේ අපූරත්වය බලන්න! මෙහි වෘත්තය දුටු විට කුවේණි අස්නේ එවන් වෘත්තයක් පවතින්නෙදැයි සිතෙහි පැණයක් නැඟින. ඒ ඒ පාද යමකයේ දිවුරුමක ස්වරූපයක් ආකෘතිමය වශයෙන් රඳවන කාව්‍ය නිර්මාණය, එහි ඓතිහාසික අකාලික සත්‍යයක් ගැන කියා පායි.
"...කප්පරක් හීන පොදි මන බඳින ප්‍රාසාද
හදේ ඉදිකළ බව ද ඇත්ත ය
එහි කුඩා කුටියකට සෛන්ධවයා අරා
ඔහු සමඟ ගිය බවත් ඇත්තය
....
ඒ නුමුදු දිවි දොසක් සිහිනෙනුදු ඔහු කෙරේ
පතන්නට බැරි බව ම ඇත්තය
....
කුවණ්නා අක්කණ්ඩි, නුඹේ බාලම නැගණි
විජයටම පෙම් කළා ඇත්තය"
( කපු කටින කම්හලේ නැගණියගේ ලියමන )
නිදසුන 5:
වත්මනෙහි වෙසෙසින් සිංහල විවාහ මංගලෝත්සවය තනිකරම රැල්ලට ගොස් ඇති දෙයකි. ඔය කියන රැල්ලට, අබමල් රේණුවක විවේචනයක් නොකර, මම ද නතු වූවෙක් මි. මේ ක්‍රමය උපහාසයට ලක් කරමින් අප කවියා උපහාසය, හා හාස්‍යය මතු කරලමින් අපූරු කවි පංතියක් එක්කාසු කොට ඇත. මාත්‍රා ගණණ පංතිය පුරාවට ම සංඝතව තබමින් ලියැවී ඇති මෙහි, ආකෘතිමය වශයෙන් ඇති හරඹය ඉතාම ඔබින "ණයට" ගත් වචන එලෙසම භාවිත කර තිබීම ය.
"දෙවෙනි මල්ලි ගාණේ 'ඩී.ජේ.ත් ලාබෙටය
මහමෙරක වට්ටමකි 'ස්ටෝරි බුක්' එකට
යාළුවෝ අර අයිනේ,බෝතලුත් ඒ පැත්තේ
පොඩි මාම බිව්වමයි කට පරිස්සම් නැත්තෙ
ඉතිං අපි බඳිනවා, නො කීවයි නොකියන්න
සෙනේබර හිතවතුනි, නොවැරදී පැමිණෙන්න
'ඇන්විලොප්' ඇවැසි නම්, අයියගෙන් ඉල්ලන්න
ස්තූති පත්‍රිකා 'එක ගාණේ'ගෙනියන්න'"
(ඉතිං අපි බඳිනවා)
කවි තිස් හතකින් සුසැදි මේ කාව්‍ය එකතුව තුලින් බොහෝ රසාස්වාදයක් ලදිමි. මෙහි කවි අති බහුතරයක් ම, ඉතා අපූරු නිර්මාණය. දේශපාලනය, ස්වභාව සෞන්දර්ය, උපහාසය, සමාජ විචාර, ප්‍රේමය ආදි සියළු මාන දෙස තමා කවි මනස යොදවමින්, ඒ ඒ විෂය පථය වෙත, ඉතා යෝග්‍ය වදන් භාවිත කොට, අරුත් තීව්‍ර වන ලෙස අකෘතික හරඹ පාමින් කවියා මහත් දස්කම් පායි. "දියමැටියෝ", "මේ මෙතැන, මල් පඳුර පැළවුණු තැන", "හැටේ වත්තේ මග්දලීනා", "සෝයුරු හදක සටහන", "සුළං පෙම්වතාගේ නො පළ පෙම", "සැඳෑ සාදය මෙහි ය", "සුපින්වත් දේශය", "බෝඩිංකාරයාගේ අවුරුද්ද" , "කටු කම්බි" .... ඇත්තෙන්ම, මේ ලිපිය තවත් දිගු වීම, සහ කෘතිය ගැන ඇති කුකුස වැඩිමණක් කවි ගෙනහැර දැක්වීම තුලින් යම් වට්ටමකට නතුවීම නොවේ නම්, මේ කෘතියේ සාකඡ්ඡා කල හැකි කවි පංති තව රැසකි.
කෘතිය ට "මෙ'කව ගැන" නමින් පෙරවදනක් ලියන කර්තෘ මෙසේ කියයි:"හඳුන්වා දීමේ පහසුව තකා ම්'විසින් 'කවි' යැයි නම් කළ ද, මෙහි ඇති සියල්ල ඒකාන්තයෙන්ම කවි, යැයි කිසිවෙක් පූර්ව නිගමනයකට එළැඹිය යුතු නැත.... සැබවින්ම මේවා කවි විය හැක. එමෙන්ම කවි නොවන්නට ද ඉඩ ඇත". සම්‍ය සඳරුවන් මිතුරාණ, මේවා ඇත්තෙන්ම කවිය. මේ නිර්මාණ ඉතා සවිඥ්ඥාණකව නිර්මාණය කල කාව්යයෝමය. තම මනසට ආ කාව්‍යමය සංකල්පනා වලින් ඔබ්බට ගිය ඉතා අපූරු නිර්මාණයෝය. ඔබේ අනෙක් කවි එකතුව එනතුරු බලා සිටිමි.
ගොඩක් ස්තූතියි මේ සටහනට... :)
ReplyDelete