Thursday 21 January 2016

මීළඟ මීවිත - රුවන් බන්දුජීව



 ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් සහ විද්‍යෝදය සහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් රුවන් බන්දුජීව ගේ "මීළඟ මීවිත" කාව්‍ය සංග්‍රහය, මීට මාස කිහිපයකට පෙර  කියවූවෙමි. ඉතා කෙටි කාලයකින් කියවා හමාර කල එය, මෑත දිනෙක නැවත කියවූවේ, පළමු කියවීමේ දී ඒ මඟින් මා මනස තුල සෞන්දර්යත්මක වශයෙන්  විශේෂ හැඟීමක් ඇති නොකල නිසා ය. තවද, දෙවෙනි වර එය කියවූවේ ගේ "Terry Eagletonගේ "How to Read a Poem" පොත කියවීමට සමගාමීව ය ( එම පොත තවම කියවමි - එය සෙමින්, ළංව -close -යන අදහසින් කියවිය යුතු පොතකැයි සිතමි ). මාර්කුස් වාදී සාහිත්‍ය විචාරයට යම්තාක් ආනත, හා රුසියානි ආකෘතිවාදි විචාරයට යම් ඉඩක් ලබා දෙන එම කෘතිය හා පිරීක්සා බලා, සෝදිසි කලේ, මට මෙම කාව්‍ය එකතුවෙන් මීට යමක් එක්කාසු කර ගත හැකි ද යන්නයි. ඒ අනුව "මීළඟ මීවිත" පිළිබඳ මගේ අවියත් කියවීම මෙසේ ය (සංවාදයට විවෘතයි ).


රුවන් බන්දුජීව ගේ කවි වචනයේ පරිසමාප්තියෙන් ම නූතන කවි ය. ඉන් මා අදහස් කරන්නේ කවියේ ආකෘතිය, බස, අවදානය යොමු කරන විෂයන් හා ඉන් ජනිත කෙරෙන හැඟීම් සියල්ල වර්තමානයේ අප ජීවත් වන සමාජය අලලා ලියවුණු ඒවා ය. විශේෂයෙන් බස ගැන සඳහනක් කරනවා නම්, ඉතා මෑතක මා කියවූ ලක්ෂාන්ත අතුකෝරාල ගේ "ඊ" කාව්‍ය සංග්‍රහය, සාපේක්ෂ වශයෙන් වඩා සාහිත්‍යමය බසක් භාවිත කරද්දි රුවන් බන්දුජීව වඩා සරල බසකින්, තම කවි මනස චිත්‍රණය කරයි. එහෙත් "ඊ" ට වඩා අනිවාර්යයෙන්ම "මීළඟ මීවිත" පාඨකයා වෙත ලං වනු ඇත. මගේ දුප්පත් කියවීම අනුව ( මා එතරම් කවි පොත් කියවන්නෙකු නොවේ ), නූතන කවීන් අතර මට ලක්ෂාන්ත ට වඩා වියත් සහ කාව්‍යමය බසක් භාවිත කරන්නෙකු මුණ ගැසී ඇතිනම්, ඒ මංජුල වෙඩිවර්ධන ම විය යුතුය. වෙඩිවර්ධන වරෙක ඔහුගේ බසේ රසවත් බවම කවිය කරගනි. Terry Eagleton තැනෙක මෙසේ කියයි "Poetry is really a kind of spiritual therapy for those moderns whose words have withered, whose speech has become bland and favourless as their food... ". කවිය පිළිබඳ, මේ කියවීම වෙඩිවර්ධන ට සහ ඊට සාපෙක්ෂ ව අඩුවෙන් ලක්ෂාන්ත ට ගැලපෙන්නාක් මෙනි. බන්දුජිව මීට තරමක් වෙනස් තැනෙක සිට තම කවි පබදයි. ඔහු බොහෝ විට මේ නූතන සිංහල සමාජයේ විකෘති සහ නීරස භාෂා භාවිතාව ගැන අවදානය යොමු කොට, එම සමාජය තුල ම සිට ගෙන, තමන් වටා සිටිනා පාඨකයා ට ඇඟිල්ලෙන් ඇණ "මේ බලාපිය උඹලා ජීවත් වෙන හැටි" කියා පවසන්නාක් මෙනි. ඒ සඳහා ඔහු භාවිතා කරන බස, එම රෝගි සමාජයේ බසම ය. එය ද පැසසිය යුතු, සහ නිර්මාණාත්මක ගුණය නොඅඩුව ඇවැසි ඉසව්වකි. මා පෞද්ගලික්ව, වෙඩිවර්ධන ගේ  සහ වෙසෙසින් ලඛාන්ත ගේ කාව්‍යකරණය ට වඩා මනාප ය. එය හුදෙක් ම පෞද්ගලික රසාස්වාදය පිළිබඳ කාරණාවකි.

බන්දුජීව තැනෙක නිසදැසේ ප්‍රධාන කාව්‍යමය අවිය යැයි සිතිය හැකි පෙළ බෙදීම යන ආකෘතිකමය ගුණාංගය පමණක් භාවිත කොට තම කවි නිර්මාණය කරයි. 


මේ දැනුත් පිටකොටුවේ
ජෑම්, බෝ, කොට්ටම්බා පැල් තුළ
පිපිරෙමින් ඇති කපුටු බිත්තර
පැටව් එළියට ආවම
උන් අහන පැනවලට
කපුටන්ට කෝ උත්තර ? 
           (කපුටන්ට කෝ උත්තර ?)

මේ තවත් එවන් උදාහරණයකි:

"හැට තුන ඉරක් දාහතයි පහළොව එළවන
නන්දසේනගෙ ගැහෙන වමතින්
වැටුණි දවසේ පළමු ගියරය
ගොර, ගොර හඬත් දීගෙන
ඩිපෝවෙන් එළියට ආ බස් එක
ඇරඹුවා කඳු ශිඛර තරණය"
                   (ඇහෙනවද ඒ සිනා සද්දේ)

මෙසේ අපේ ලංගම බස් එකක දැතිරෝද පන්නද්දී ඇති වෙන ගෝරනාඩුව මතක් කරනා අයුරකින් ඇරඹෙන කවි පංතිය, කඳු පංති ඔස්සේ බසය ගමන් ගන්නා විට රිද්මයකට, ධ්වනි රසයක් මතුකිරීමට සමත් වන  අයුරකට හුවමාරු වී, ලයාන්විතව ගලා යයි.

"රෑට මොනවද කෑවේ නන්දේ
පුතා මොනවද ඊයේ ඇන්දේ
කොණ්ඩෙ තනියෙන් ගොතා ගන්නට
දූට දැන් පුළුවන්ද නන්දේ"
                (ඇහෙනවද ඒ සිනා සද්දේ)

මේ කවි පංතිය වඩාත් රසවත් වන්නේ, ඡන්දසක් තුලින් පාඨක මනස තුල ජනිත වීමට ඉඩ ඇති, රිද්මයේ ඒකාකාරි බවේ අපේක්ෂාවය අභියෝග කරමින්, තෙවෙනි පේළිය තුලින් රිද්මය වඩාත් විචිත්‍ර කිරීමය. 

රිද්මයක් රැකෙන අයුරින් ලියැවී ඇති කවි වඩා රසවත් ය. එහෙත් කවියා තම නිර්මාණ වලින් වැඩි පරිශ්‍රමයක් යොදා ඇත්තේ තත්ත්කාලීන සමාජය ඔවුනට ම වැටහෙන බසකින් හෙළිදරව් කිරීමට ය. මේ උවමනාව වෙනුවෙන් කවියා තම නිර්මාණ වල සුඛනම්‍ය බව සහ මනරම් බව ආදිය හිළවු කලා දෝ යැයි මට සිතිණි.

විටෙක කවියා   රිද්මය සහ තම සමාජ විවේචනය (අර්ථය ) යන දෙකම රැකෙනා ලෙස තම නිර්මාණ ගෙන හැර දක්වයි. ඒවා වඩා සාර්ථක යැයි හැඟේ.

"පියවුරු දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑණු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි"
                      (මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි)

"ඌට චූ යන්න දුන්නා ඕයි" ආදි අද භාවිත විකෘති බස්, අවවහර එලෙසම භාවිත කරමින් කවියා තම නිර්මාණ සිදු කර ඇති බවට නිදර්ශනයකි මෙය. රෝගි සමාජයක් මැද ඉපිද එහි දොස, ඔවුන් සැම දෙනට වැටහෙන බසකින් කියාදීමට ගන්නා ප්‍රයත්නයක ට කදිම උදාහරණයකි, මෙය.

මේ කාව්‍ය සංග්‍රහයේ උසස් ම නිර්මාණය ලෙස මා දකිනුයේ "කුණ්ඩලකේසි" නම් වූ කාව්‍ය පංතියයි. එහි සරල බසක් භාවිත කරන අතරම, කවියට ආවෙණික ඡන්දස දෙකක් පෙළින් පෙළ මාරු වෙමින් රැක ගනිමින්, ඒ හරහා රිද්මයක් පවත්වා ගනිමින් නිර්මාණය වූවකි. 

"සූදු කෙළිනවා සත්තුක - මඩමේ ලගිනවා සත්තුක
මොනව කළත් මේ වෙනක්ම් ඉවසපු දේවි
'එපා තාත්තේ' කිය කිය - දූ හීනෙන් හඬන හඬින්
තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවි

සත්තුක නිදි ඇඳ වටේට- තුන් වටයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී"

මෙම තුලනය ( රිද්මය සහ සමාජ විචාරක අර්ථ රසය ) ආරක්ෂා කර ගෙන සිදු කල තවත් හොඳ නිර්මාණයකි, "උවැසියෝ බිය නොවෙති":

"බෝ ගහේ පහළ අතු අපල නසනට         නැහෙති
 බෝ ගහේ ඉහළ අතු සඳ එළිය වැද          වැටෙති
 'ඇති' කියා ගෙරෙව්වත් උවැසියෝ බිය  නොවෙති
 සිංහයන් අල්ලගෙන බලෙන් පැන් කළ    පොවති"

ඡන්දසක් හා විරිතක් ඇතිව ලියැවුණු  කවි පංති අත්ලොස්සකින් එකකි මෙය. මෙහි කවියා තම අරමුණ මුදුන් පත්කරගන්නා අතරම, කවිය තුලින් අර්ථ රසයට වඩා යමක් මතු කරගනී. 


එහෙත් කාව්‍ය සංග්‍රහයේ බහුතරයක් කවි පංති රූපක- සංකේත භාවිත ව, සමාජ විචාරයක් මූලික කොට ගෙන ලියැවුණු ඒවාය. කාව්‍යමය අලංකාරයටත්, වරෙක රිද්මයට ත්  කවියා දෙවෙනි තැන දීමට පැකිලෙන්නේ නැති හැඩය. මෙය නිසදැස ට විරුද්ධ ලිවීමක් ලෙස වැරදියට වටහා නොගන්න.කිමද මෙහි නිසදැස් එතරම්ම නැත. බොහෝ කවි පංති වල කවි කිහිපයක් තුල හෝ ඡන්දසක් පවති. ඇරත්, මෑතක කියවූ "තෙමි තෙමි ම මම" සියයට සියයක් පාහේ නිසදැසෙන් පෝෂිත, ඔප මට්ටම් වූ ,  මා මහත් සේ රස විඳි කාව්‍ය සංග්‍රයකි. මගේ පෞද්ගලික මතය නම් නිසදැස වඩාත් අලංකාරව භාවිත කල හැක්කේ ප්‍රේමය, ස්වභාව් ධර්මයේ චමත්කාරය වැනීම ආදි අවස්ථා වලදි  කියා ය ( තෙමි තෙමි ම මම හි සාර්ථකත්වය එයම විය හැක ). සමාජ විචාරය බඳු කටුක විෂයක් උදෙසා, රිද්මයක් එක්කාසු වූ විට කවිය වඩාත් රසිකයනට ලං වන බවකි මට සිතුනේ. එහෙත් "මීළඟ මීවිත" කාව්‍ය සංග්‍රහයේ භාවිත බස, විෂයානුබද්ධ රළු ස්වරූපය  හා සුසංයෝග වූ කල මා මනස තුල චමත්කාරයක් මතු කල අවස්ථා අල්පය. සමහර විට මා සොයන්නේ වැරදි දෙයක් විය හැක. මේ කාව්‍ය සංග්‍රහය තුල චමත්කාරය නොසොයා, සමාජ විවේචනයේ වැදගත්කම ගැන වඩා සංවේදී වූවා නම්, මෙය වඩා ඇගයීමට පාත්‍ර විය යුතු කාව්‍ය සංග්‍රහයක් ලෙස දැකිය හැකි වනු ඇත. පෙර කීවාක් මෙන් එදිනෙදා භාවිත වහරෙන් ම ලියැවී ඇති එම කවි වල ඇත්තේ පණිවුඩයේ වටිනාකමය. ඊට නිදසුන් කිහිපයක් පහත ගෙන හැර දක්වමි.


උලකුඩය දේවියත් - රජතුමත් - හිමි නමත්
සෝක පණිවුඩ තුනක් ඒවා තිබුණා මිසක
මගේ හිත හැදෙන්නට පුංචියට හරි යමක්
කියා යන්නට කියා ආවෙ නෑ මළගෙදර..."
                   (සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇත් ද ? )

"කුඩා ගැඩවිල් පුත
උදලු තලයකට පුරුද්දක් නැත
හඳුනගෙන
පස සරු කළ සහ නොකළ උන්ගේ වත
තව තවත් හාරගෙන
අඳුර තුල ගිලී යනු මිස
ඉහළ එළිමහන වෙත
යෑම නුසුදුසුය පුත"
     ( ගැඩවිල්ලු )

"ස්ප්‍රේ ගන් එකක් පිරෙන්නම
වර්ණ මූනිස්සම් බහාලමි
ලොරි බොඩිය වෙත ඉලක්කය ගෙන
දිගට හරහට වෙඩි තබන්නෙමි
සොඳුර ටින්කරින් ශිල්පය නම් මෙයය"
          (ශිල්ප දැක්වීම )

"නිදි සුව බින්ද මැඩියා
අන්දරේගෙන් මැරුම් කෑ පසු
මහරජ සුවෙන් සැතපෙයි

ඒ වුණත් අන්දරේ
රෑට හීනෙන් බය වෙයි
....."
  (අන්දරේ නැවතෙයි තිගැස්සි )

කෙනෙකුට මෙම කෘතියත්, "හැටේ වත්තේ මග්දලීනා" කෘතියත් ඇවැසි නම් යුගයේ අවශ්‍යතා අනුව - මේ කාව්‍ය සංග්‍රහ එළි දැක්වුණු කාලය අනුව - පෙරළියක් වෙනුවෙන් ලියැවුණු පූර්විකාවක් ලෙස ද දැකිය හැක. මට පෞද්ගලිකව එවැනි පුසුඹක් මෙම කාව්‍ය කෘති දෙක තුලින් වහනය වුණි. වඩා සාම්ප්‍රදායික තැනෙක සිට කවි රසවිඳින මට, පසු ගිය කාලයේ මීට වැඩියෙන් රසවිඳි කාව්‍ය සංග්‍රහ හමුවුණි. එහෙත් කවිය නම් මෙයයි කීමට අපට නොහැක. ඒ ගැන කිසිවක් නොදන්නා මට කොහොමත් ම  නිගමනයන් දිය නොහැක. මට කීමට හැකි වනුයේ, විෂයානුබද්ධ ඒකාකාරි බවක් නිසාත්, කර්කශ බසක් නිසාත්, මෙය පාඨක මනස චමත්කාරයට ගෙනයෑමේ බලාපොරොත්තුවකින් නොව, පොදු ජන හදට, බසට, ඔවුන්ගේ ප්‍රශ්න වලට වඩා සංවේදීව නිර්මාණය වූ කාව්‍ය සංග්‍රයක් ලෙසට ය. දැන් දැන් අප රට බොහෝ කාව්‍ය සංග්‍රහයන් මේ නිර්මාණ ආකල්පය පවත්වා ගනිතැයි මට සිතේ.

4 comments:

  1. වටිනා ලිපියක්. කියෙව්වෙමි. බොහොම ස්තූතියි ඔබට

    ReplyDelete
  2. බන්දුජීව කවියාගේ කවි හිතට දැනෙනවා ඔහු බොහොම හෘදයාංගම බසක් භාවිත කරනවා

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි මේ ලිපිය ගෙන ආවාට.මුහුණු පොතේ පලවුනු එක් කවියක කෙලවර දැකපු මීලග මීවිත යන වවනය හබාගෙන ඇවිත් නැවතුනෙම්.

    ReplyDelete
  4. අපූරුයි ...ඒත් ලක්ෂාන්ත...වෙඩ්ඩා එක්ක සංසන්දනය නම් විකාරයි....
    ඒව දැක්කොත් එයාලාටත් චූ යයි...

    ReplyDelete