Tuesday, 20 September 2022

සී+ - සුරත් ද මැල්

 ලේඛකයාගේ 'ති හා තා' *1 කියවීමෙන් ලත් රස වින්දනය මත, කතුවරයා ගේ ඊළඟ කෘතිය කියවීම ට දෙවරක් සිතන්නට ඇවැසි නොවීය. ඔහු ගේ ඍජු ලේඛන ශෛලිය, අපේ පරම්පරාවට වඩා ආසන්න වීම,  ඒ කැමැත්තට හේතුවයි. (අවම වශයෙන් තී හා තා වලදි ; සී+ හා තී හා තා අතර වසර 15 ක පමණ කාල පරාසයක් ඇත )


එනමුදු, සී+ මං එතරම් කැමති ප්‍රධාන මාතෘකාවක් ගැන නොවේ - ඒ 'රියැලටි ෂෝ' ගැන වීම නිසාය. එම අකමැත්ත අවම කිරීමට අවශ්‍ය අනෙක් මාතාවන් තිබීම ද, ලේඛන ශෛලියක් භාවිත වීම ද, කියවීම තරමක් පහසු කරවීය. නවකතාව ම මානසී ගේ ආඛ්‍යායනයකි. ඇය ඍජු ලෙස ( ඉංග්‍රීසියෙන් blunt යන අදහසින්) තමනට කීමට ඇති දේ කියයි - ඇය සැම විටම නිවැරදි නොවේ *2. උපහාසය, අපහාසය, උපරිමයෙන් තිබීම එම ආඛ්‍යායනයේ ශක්තියයි. තරුණ තරුණියන්ගේ විශ්ව විද්‍යාල සමයේ නවකතාවක් කියවීම රසවත් දෙයක් බවට වෙසෙසින් කිමට දෙයක් නැත. නුතන පරපුර පෙර පරම්පරාවට වඩා තම ලිංගිකත්වය සහ  ලිංගභේදය ගැන ඇති නිදහස් බව, විවෘත බව, සහ නිර්භීත බව, කෘතියට අත්‍යවශය නැවුම්බවක් එක්කරයි.  අප සාම්ප්‍රදායික සිතුම් හා ගලපා කෙරෙන කර්කෂ විවේචන සමස්ත සමාජය කෙරෙහි යම් බලාපොරොත්තුවක් ඇති කරයි.

කිරුළක් වෙනුවෙන් තමනට තමන් ව නැති කරගැනීම යන කාරණාව, අප රටේ  වන් බලාපොරොත්තු වලට විලංගු ලා යෞවනත්වයට මුහුණ දෙන දරුවන් කියවිය යුතු කාරණාවකි. ඒ අර්ථයෙන් නව යොවුනන් ගේ සිට මේ නවකතාව කියවීම සුදුසු යැයි සිතමි. අප රට මාධ්‍ය ආයතන වල කෙරෙන  ජඩකම් ගැන වෙසෙසින් ලිවීම අනවශ්‍ය, ඒ ගැන රට ම දන්නා හෙයිනි - ඇරත් නවකතාව කියවන්නෙකුට ඒ ටික ඉතිරි කරමි.

ඒ සියල්ල මධ්‍යයේ, සහ නවකතාවේ සියළු වින්දනයන් මධ්‍යයේ මට මෙය තී හා තා තරම් සිත් ගත්තේ ද නැත. එය පෙර කී රියලිටි ශෝ අජීර්ණය නිසා පමණක් වූවක් යැයි නොසිතමි. එක් කාරණයකට මෙම නවකතාව දිර්ඝ වැඩිය. පිටු 50ක වත් සංස්කරණයක් කරලීමට අවකාශ තිබුනේයැයි සිතේ. කුතුහලය රඳවා ගැනීමට සමත් වුව ද, විටෙක විශ්වාසනීයත්වයේ සීමාව පැන ඇත්තේදැයි නොසිතුණා නොවේ. වරෙක කතුවරයා තම ප්‍රබන්ධය උදෙසා භාවිත කරන උපක්‍රම ආයාසකාරී ප්‍රයත්නයන් යැයි සිතේ ( contrived). එහෙත් ඊළඟ විනාඩියේදී සුරත් කෘතියට හාස්‍ය රසයක් ගෙනෙන්නේ, එම "අතිරික්තයන්" වලට සමාවක් දිමට අප ට බලකරිමිනි. බලන්න මේ නිදසුන:

"සනූජ් මගේ උරහිසට වාරු වී හිස තියා ගත්තා. අඬන කොල්ලෝ සනසන නැලවිලි ගීය මම මතක් කළා. ' උලත් එකයි. පිලත් එකයි. මළත් එකයි. නැතත් එකයි. අපි සමදා සොමියෙ ඉන්නවා' තමයි මට මතක් වුණේ. "(268 පිටුව)

නවකතාව කියවා අවසන නැවත මෙනෙහි කරලීමක යෙදෙද්දී, කතුවරයා නිරායාසයෙන් සමස්තය තුලින් පිළිඹිබු කරවන කාරණාකාරණා ම, නවකතාවේ සාර්ථකත්වයට වැඩි බරක් පටවයි. මේ තරුණියන් තවම තමන් ව තේරුම් ගැනීමට යත්න දරන්නෝය. එය උගෙනීමට මිලක් ගෙවිය යුතුය - අවාසනාවකට අයෙක් අනවශ්‍ය මිලක් ගෙවයි. මුතූ හා මානසී තම ආත්මයන් ක්‍රමයෙන් අවබෝධ කරගත් බවක් අඟවන්නේ, නිදහස් ජීවිතයක් ගැන සිහින මවමින් අප රට යම් සංස්කෘතික සීමාවන් ද හෙළිදරවු කරගනිමිනි. එලෙසම අයෙක් තම උන්නතිය සඳහා අනෙකෙකු භාවිත කරන්නේ නම්, එහි ආචාර ධාර්මික පක්ෂය කුමක් වේවා, ඒ තමන් භාවිතාවට ගන්න කෙනා ගැන යම් කියවීමක යෙදීමේ  වැදගත්කම ගැන යටිපෙළ මෙම නවකතාවේ ගැබ් ව ඇත. කිම ද අප සියළු දෙනා ම අන් අය අඩු වැඩි වශයෙන් භාවිතා කරන්නෝය - විටෙක එය අනෙකා කැමැත්ත මත ය, බල කිරීම මතය, විටෙක එය අප විසින් කෙරෙන බලාපොරොත්තු දීමක්, හෝ රැවටීමක් මතය. ඇතැම් විට මේ සියළු දෙනා පාවිච්චි කරාට පසුව අපි ම වැය වී (Burnt out) ගොස් ය.

කතුවරයා මෑත කාලින සිංහල සාහිත්‍යයට යම් නිදහස් ආරක් ගෙන අයගෙන් කෙනෙකි ( කෞශාල්‍ය කුමාරසිංහ, ලියනගේ අමරකීර්ති, එරික් ඉලයප්ආරච්චි, සහ ශමෙල් ජයකොඩි ද මීට සමාන දායකත්වයක් අඩු වැඩි වශයෙන් ගෙන ඒ). එහෙත්, කෞශල්‍ය සහ සුරත් ට, නූතන සමාජය, යොවුනන් ගේ ජීවන රටාව, ඔවුන්ගේ බලාපොරොත්තු, වින්දනය, පිළිබඳ වඩා පරිපූර්ණ අවබෝධයක් ඇතැයි පෙනී යයි ( නම් කී අන් ලේඛකයන්ට  වෘත්තීය පසුබිම, කියවීමෙන් ලැබෙන ආභාෂය, හා ලාංකීය සමාජයෙන් තරමක් ඈතින් ජීවත් වීම, ආදිය බලපානු පෙනේ). සුරත් හා කෞශල්‍ය එහි බද්ධ වූ කොටසක් වීම තුලින් ම ලබන්නකි. එය සිංහල නවකතාවට ගෙනෙන නැවුම්බව අපට අත්‍යවශ්‍ය ම වර්ණ ධාරාවකි.

ශ්‍රේණිය: ***1/2
නවකතා / සරසවි (2021)
2021 ප්‍රකාශ වූ නවකතා කියවීම -1



සටහන්:
*1-
https://me-and-err.blogspot.com/2021/12/surathdemel.html 
*2 - අප කතාකාරිය තමන්ගේ වයස අවුරුදු 20-23 කාල පරාසයේ සිදුවීම් ගෙනහැර දැක්වුවද, ආඛ්‍යායනය සිදුවන්නේ පසුවය. ඒත් තවම තම වයසේ තුන්වෙනි දශකයේ මුල් බාගයේ යැයි සැක කල හැක. ඇය කලාව ගැන කෙරෙනා ඇතැම් වැරදි අර්තකථන ස්වභාවික වැරදි ලෙස ම තිබීමේ වරදක නැත ( උදා - ඈත කඳුකර හිමව් අරණේ බුදුගුණ ගීයක් ලෙස කියවීම, killing me softly ගීතය රචනාව ෆ්‍රෑන්ක් සිනාත්‍රා ට බාර දීම). එලෙසම ඇගෙ මිතුරිය වන ඩිල් එල්ටන් ජෝන් සහ ජෝර්ජ් මයිකල් තම සමලිංගික තෝරාගැනීමට ගැලපෙන ගී නොකියූ බව කීම එම සංස්කෘතියෙන්, මුතූ ට පමණක් නොව, මානසීටත් වඩා ඈත අයෙකු ලෙස, පැවසීම තේරුම් ගත හැක. වෙසෙසින් මයිකල් ගේ මෙවන් ගී බහුතරයක් ඔහුගේ අවසන් ඇල්බම කීපයේ බහුල ය. වරෙක ඔහු නිනා සිමොන් ගේ "My Baby Just cares for me" ගීය ගයන්නේ, ඔහු ද My Baby ව he ලෙස ම  අමතමින්, ඔහු ගේ පෙම්වතා රිකී මාර්ටින්ගේ සිනාවට ද ඇලුම් නොකරන්නෙක් බව කයිවාරු ගසමිනි.

Wednesday, 31 August 2022

මැස්සා - එරික් ඉලයප්ආරච්චි

 පාපොච්චාරණවාදී නවකතාව! 




මෙවන් උප-ශානරයක පැවැත්ම පිළිබඳ දැනගත්තේම මැස්සා පිළීබඳ කතුවරයා දී ඇති කෙටි සාකච්ඡාවක්, නවකතාව කියවා අවසන් කොට සොයාගෙන කියවීමෙනි. ඒ, මෙම නවකතාව තුලින් ලේඛකයා බලාපොරොත්තු වූවේ කුමක් ද යන්න තේරුම් ගැනීමේ උත්සාහයේ කොටසක් ලෙසට ය. එය  නවකතාවේ පඨිතයෙන් බාහිරව දැනගැනීමේ කුකුසෙනි. කිමද, මා 'මැස්සා' වන තෙක් එරික් ලියූ සැම නවකතාව ම කියවා ඇතත්, ඉන් සියල්ල ම පාහේ රස විඳි ඇතත්, 'මැස්සා' මගින් ඔහු කීමට උත්සාහ කරන දේ ගැන තව දැනගත යුතු යැයි සිතුණු නිසය. පාපොච්චාරණය අපට මීට පෙර නවකතාවල හමු ව ඇත - Lolita, The Outsider, Crime and Punishment ඊට නිදසුන් ය - එම කෘති වල යම් පාපොච්චාරණවාදී ලේඛණ ශෛලියක් තිබුණු නිසා ම ඒවා පාපොච්ඡාරණවාදි ද යන්න නොදනිමි.

මේ නවකතාව මා කෝණයන් දෙකක් ආශ්‍රයෙන් විමසීමට කැමැත්තෙමි.

1. කතානායකයාගේ කෝණය: අප කතානායකයා යමක් කමක් තිබෙන පවුලකින් පැවතෙන, කුඩා කල යම් නොදැමුණු, ගවේෂණශීලි මෙන්ම, තරමක ප්‍රචන්ඩත්වයක් ද පෙන්නුම් කල අයෙකි. ඔහු අප රට ප්‍රධානතම පාසැලකට ඇතුල් වීමෙන් පසුව, එම සිසු සහ ගුරු සමාජයෙන් විකසිත වෙයි. ඔහු පාසැල් කොල්ලෙකු ලෙස උපරිම විඳීමක් මෙම කාලයේ ලබා ගෙන පසුව විද්‍යා උපාධියක් ලබා ගැනීමට විශ්ව විද්‍යාලයට තේරුණ ද, විද්‍යාව අතැර දර්ශනය හැදෑරීමට තීරණය කරයි. තරුණ වියට එත්ම, ඔහු විද්‍යාව දකිනා ආකරය, දර්ශනය ට පෙම් බඳිනාකාරය, කාන්තා ඇසුර, නවකවදයේ ඇති ම්ලේච්ඡත්වය, පමණක් නොව මෙරට විශ්ව විද්‍යාල වෙසෙසින් රට ට වැඩදායි පුද්ගලයින් බිහිකරනවාට වඩා, විශ්‍රාම යන තෙක් යැපීමට රැකියාවක් නම් වූ ලොතැරැයියක් ලබා දෙන ආකාරය ගැන ප්‍රශ්ණ කරයි. ඔහු අවසානයේ 'සමතලාවාදී' සංගමයක් ( එනම් ලෝකය සමතල බවට 'සාක්ෂි', සාක්ච්ඡා ආදිය කෙරෙන සංගමයකි) පිහිටුවන්නේ, පැරණි ආගම් නවීන විද්‍යාවෙන් තොරව ලොව පැතලි බව විශ්වාස කලද, අනෙකා පෙලන නවකවදය ආදී  පසුබිමක් එම ආගමික අධ්‍යාපන ආයතන වල නොතිබූ නිසා, එහි යම් උදාරත්වයක් දැකීම නිසා  යැයි සිතිය හැක. එනම් ඔහු ව්‍යංගයෙන් විමසන්නේ, අනෙකා පෙළීම තම පැවැත්මේ අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස අදහන පිරිසක් සහ තමනට නොතෙරේන විද්‍යාවක් අදහන පිරිසකට වඩා, එම "අඳුරු යුගය" ද වඩා නිරෝගි බවකි. ඔහු තම මිය ගිය සොයුරා මගින් පෙන්නුම් කරන්නේ විද්‍යාව නම් වූ පුළුල් දැනුම්, දුෂ්කර දැනුම් ගවේෂනය බවත්, විශ්ව විද්‍යාලයේ එය තිබේ ද යන්න ප්‍රශ්ණයක් බවත් සිතිය හැක. සමතලවාදී සංගමයක් මගින් යම් උත්ප්‍රාසයක් ද, යම් මතයක් වෙනුවෙන් නැමුණු ලිවීමක් තිබෙන බවද , සත්‍යය. එහෙත් දර්ශනයට නැඹුරු වූ තරුණයෙකු, එනම් සියල්ල ප්‍රශ්ණ කරන තරුණයෙකු එවැනි තැනකට තල්ලු වීම විය නොහැක්කක් ද නොවේ.

2. ලේඛක අභිලාශය යන කෝණය: මා දන්නා තරමින් එරික් සාහිත්‍ය පරිශීලනය, තම ලිවීමට අමතරව කරනා ප්‍රමුඛතම කර්තව්‍යයි. ඊට අමතරව ඔහු විවෘත දෑසින් වටපිට බලමින්, තමන් දකිනා, කියවනා, බලනා, අසනා දෙයින් ආභාෂය ලබා, ඉන් වශී වී ලේඛනයේ යෙදෙයි.(1). එවන් ලිවීම සාර්ථක වූ විට, ඔහුගේ පාඨකයන් අමන්දානන්දයට පත්වෙයි. එහෙත් අත්හදාබැලීම් සැම විට සාර්ථක ද නොවේ; සැම ගේ කැමැත්ත දිනා ගන්නේ නැත.(2) මැස්සා තුලින්, එරික් කියවූ අනේක දර්ශනය පිළිබඳ කෘතීන් ට,  ඔහු ගේ සමාජ විචාරයට, මීට කලින් අවස්ථාවන් ට වඩා ඉඩ ලබා දී ඇත. මෙය සාර්ථක වන අවස්ථා මෙන්ම, අසාර්ථක වන අවස්ථා ද සමෝසමව මෙම කෘතියේ හමුවන බවකි අපගේ අදහස. පහත කොටස විමසන්න ( එය අප කථකයාගේ දින පොතෙනි):

උගත් පිරිමි - උගත් ගැහැනු විවාහයේ ෆැන්ටසිය තමයි සාත්‍ර-සිමොන් කපල් එකෙන් රිදී තිරේට වැටෙන්නේ. ලියන කියන දේවල් බෙදා ගන්න කෙනෙක්. හිරමනේ පොල් ගාන ගමන් ශේක්ස්පියර් ගැන, ටෝල්ස්ටෝයි ගැන කතා කරන කෙනෙක්. ළමයි නළවන ගමන් සැමුවෙල් බෙකට් ගැන කතා කරන කෙනෙක්. හනිමූන් යන ගමන් මිලාන් කුන්දේරා ගැන කතා කරන කෙනෙක් ...
  චන්දිමාල තවමත් ගොඩයා නිසා අර්ජුනා ඉදිරියේ සාත්‍ර - සිමොන් මායාව පෙන්න ගන්න මිනිහට උවමනා ඇති. ඒකත් අපූරුයි. සිංහල ස්පෙෂල් කරන සාත්‍ර සහ ෆොරින් ලැන්වේජස් කරන සිමොන්... උන් විතරක් නෙමෙයි තව එහෙම කී දෙනෙක් ඉන්නව ද මේ පඩංගුවේ රිංගලා සාත්‍ර - සිමොන් වෙන්ඩ හදන?
                                                                                                     ( 159 පිටුව )
ශාන්ත තෝමස් යැයි සිතිය හැකි තරමක ලිබරල් පාසල් වටපිටාවක පිබිදෙන, උද්දීපනය වන, විකසිත වන අප කතානායකයා විශ්වවිද්‍යාලයේ නවකවද ම්ලේච්ඡත්වය හමුවේ "අඳුරු යුගයකට" පෙම් කිරීමට පටන් ගනී.

අප විශ්වවිද්‍යාල හා සිසුන් බහුතරය ගැන මේ කියවීමද මා සිත් ගත්තේය.

"සරසවිය ගැන මා තුළ ඇති වුණු හැඟීම නවතම එකකි. බොහෝ සිසුන්ට එය ඉගෙන ගන්නා තැනකට වඩා විභාග සමත් වීමේ අවශ්‍යතාව නැමැති බරපැන දරමින් නිදහසේ ජීවත් විය හැකි තැනක් විය. එය පැරණි රාජකාරී ක්‍රමයට සමාන අනිවාර්‍ය විඳ විමකින් පසු රටවැසියන් ලෙස දෛවෝපගතව පැවරෙන මෙහෙවරක් ඉටු කිරීමේ බලාපොරොත්තුවෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට පුළුවන් තැනකි."
                                                                                                        (107 පිටුව)

මෙහිදී තවත් සැසඳීමක් කිරීම උචිත යැයි සිතමි. අප කතානායකයාගේ සොයුරා ද සොයුරිය ද තම විෂය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉමහත් කපවීමක් කොට ඒ හේතුවෙන් ම දිවි අහිමි වූවෝය. අප කතා නායකයා ද තමන් වඩාත් ම කැමති දේ වෙනුවෙන් ජීවිතයේ තීරණාත්මක ලෙස වෙනස්කරලූවෙකි.  ඒ තත්තවයත්, ඉහත පරිච්ඡෙදයෙන් පැවසෙනාකාරයෙන් "දෛවෝපගතව" ලැබෙන කුමක් හෝ රැකියාවකින් සෑහීමත් යනු අහසට පොළොව මෙන් ආස්ථාන දෙකකි. කතුවරයා මේ මගින් පෙන්නුම් කරන්නේ අප රට සිසු පරපුරේ දිෂානතියක් නැති බව, සහ 'ආත්මයක්' නැති බවයි.

එනුමුදු එරික් අනේක අවස්ථා වල තමන් සිත් දිනා ගත් මැයක් ඔස්සේ දීර්ඝ ලිවීමේ නැමියාවක්  මෙහි පෙන්වයි. එවිට ප්‍රධාන වශයෙන් සිදුවන්නේ නවකතාවේ විශ්වාසනියත්වය පළුදු වීමය. නිදසුනක් ලෙස සිසිල් සමරසිංහ ගුරුවරයාගේ කියවීම් සැලකිය හැක. එම ගුරුවරයාට වහන් වී එරික් දොඩවන්නේ ද යැයි සිතෙන්නේ, පාසැල් සිසුවෙකු මේ කියනා සිදුවීම් සිදු වූ කාලයේම සටහන් කල ද, එතරම් විස්තරයක් සටහන් විය නොහැකි නිසා ය. ගාන්ධි කෝලා, ගාන්ධී බුෆේ ගැන කීමට ප්‍රින්ස් ගේ ගොම බිස්නස් එක පවිච්චි කිරීම තවත් නිදසුනකි. මෙම ගන්ධි කතාව ආදි අතුරු කතා රැසක් අප ට මෙම නවකතවේ හමු වේ. ඒවා නවකතාවට රසයක් එක්කාසු කරන අවස්ථා මෙන්ම, පඨකයා වෙහෙසට පත්කරන අවස්ථා ද වේ. ඒ අනුව එරික් තම ලිවීම සංස්කාරක කෙනෙකුන් වෙත යොමු කිරීම උචිත යැයි සිතේ. ( ඒ මට සිතෙන හැටිය. එරික් ට තමන් ගේ සිතට එන බොහෝ කාරණා තම නවකතාව තුල තිබීම අත්‍යාවශ්‍ය යැයි සිතෙන්න ට පුළුවන. ඊට මිලක් ලෙස රුපියලින් සහ කාලයෙන් මිලක් ගෙවන මා වන් පාඨකයන්ගේ අදහස් ද ඉවසීමට සිදුවනු ඇත.)

ඉදින් සාරංශ ලෙස කිව හැක්කේ, මෙය තරමක් සංකිර්ණ කියවීමක් මෙන්ම, යම් සංස්කරණයකින් පොහොසත් වීමට ද අවකාශ තිබෙන කෘතියක් බවයි. එරික් ගේ නවකතා කියවන්නියන් මෙම නවකතාව අනිවාර්‍යයෙන් කියවිය යුතුය - කිමද ඔවුන් මෙහි එන රසවත් කොටස අගය කරනු ඇති නිසාත්, අඩුපාඩු වලට හේතුව තේරුම් ගන්නා නිසාත් ය. එහෙත් අප රට අනෙක් ප්‍රධාන නවකතාකරුවන් තරම් එරික්, බහුතර පාඨකයන් අතර නැත ( ඔහු ට ඔවුන් අතර ට ඒමේ උවමනාවක් ද නැතැයි සැක කරමි). ඔවුන් මෙම පොත විවේචනයට යොමු වනු ඇතැයි සිතමි - ඒ අර පේත "මෙලෝ දෙයක් තේරුන්නෑ" කියලා ඉවත දැමූ ආකාරයටය. පේත නොතේරුණු අයෙකු, "මැස්සා" නොකියවා සීටටියාට කම් නැතැයි සිතේ. එහෙත්, අයෙක් මේ මගින් කියන්නට තනන්නේ කුමක් ද කියා තමන්ගෙන් ම ප්‍රශ්ණ කරමින්, ආඛ්‍යායනයේ හැඩතල මගින් එය තෝරාබේරා ගන්නට වැඩ කරන පාඨකයකුට මෙහි අගය කල හැකි, රස විඳිය හැකි ස්ථාන බොහෝය.

සටහන්:
(1) මීට හොඳම සාධකය එරික් කොළඹ ගැන ලියා ඇති කවි ගොන්නය. 'මගේ කොළඹට හඳ පායයි', 'පිත්තල හංදිය', ආදිය පමණක් නොව, ඔහු මෑතක ම ලියූ ප්‍රොමීතියස් දූපත තුලින් ද කොළඹ කියවයි.

(2) මීට කලකට සමහර පාඨකයෙකු අමනාප නොසරුප් බසකින් මුහුණපොතේ කීවේ "එරික් ලියන්නේ මොනවාදැයි ඔහු ද නොදන්නා බවකි" ( මට මතක විදිහට පේත ගැන විය යුතුය. ) ඊට වඩා බොහෝ ශික්ෂිත අප මිතුරු කියවන්නියක් පවා පැවසුවේ එරික් ගේ ලිවීමේ යම් ව්‍යාජශීලි බවක් ඇති ලෙසය ( ඒ පරදේසි ගැන වූ සංවාදයකය - එහෙත්, මටත් තවත් කියවන්නියකට ද පරදේසී උපරිම වින්දනයක් ගෙන ආවේ එය වසරේ හොඳම පොත ලෙස අප දෙදෙනා එය ඔසවා තිබූ වටපිටාවකය).

ශ්‍රේණිය: ****
2020 පළ වූ නවකතා කියවීම: 5

Monday, 15 August 2022

A Streetcar Named Desire - Tennessee Williams

 


This play has showed up in various lists of best books, and I stumbled upon a discounted penguin copy of it, a few years back. I've averaged at a modest one play over the last couple of years ( 2020 - Fences; 2021 - Waiting for Godot ), and now felt a good time enjoy this play, and follow it up with the Vivian Leigh and Marlon Brando starring movie of 1951.


The book: While the script is rich with what is said, what is inferred, and the social commentary of the classes of the 1940s and 1950s, reading this in 2022, one cannot discount the change for the better, of the world as a whole, in its treating against racism. Negro wasn't a taboo word at the time of this book, and looking down upon commonness of people, categorizing them to their racial origin ( even if they were a generation or more removed from that origin, and has served the country in the military ) was common. I couldn't help but side with Stanley for the better part of the book, simply because the man had his commonness rubbed down into his face, in his own home. At one point Blanche wonders if her brother in law's hatred towards her is a reverse reaction to a more intimate feeling which he hides, and as the play ends we have reason to believe that it could
very well be so. From another perspective it can be said that the more established of the classes have been in a path of degradation over decades, and the last links of such generations like Blanche pay a heavy price, no doubt contributed by her own unfortunate circumstances. Another subject of discrimination is how Allan is pushed to commit suicide, for his sexual orientation. While it is true that Blanche couldn't have know better, given her own age at the time, and the times that she lived in ( 1930s ?), it brings to perspective one of the main themes of the whole play - treating of the other who is different. Stanley, for his commonness, Allan, for his sexual orientation, even the sundry characters such as the unnamed negro woman, and Mexican woman who sells flowers - in a nation in transformation. Stanley calls the United States the greatest Country in the world, for he sees himself one hundred percent American, although the classes that of the Dubois ( who too have  a French origin) , are slow to embrace this still setting American Oneness. It even looks as if the question of the colored segments of the society is still not even a consideration, as the main theme is class differences between the whites alone. I would venture that Williams suggests through the character of Stanley Kowalski, for all his coarseness, his awareness of  the thinking trend of the times - be it his rejection of racial origins, be it his demand to be considered  a king in his own home, and of the prevalent law of the land ( Napoleonic code).


The Movie: For all the richness of the script, it would've had little impact if not for the movie - Stanley's  ( Brando) aggressive male dominance, Blanche's charm and her deception ( Vivian won an Oscar for this performance), as well as of the apparent affection between Stella and her husband, Stanley, can only be comprehended in full, in its cinematic production ( the stage production too, am sure - which I hadn't watched) . The movie's end is a little different to that of the play, and is suggestive of a longer disagreement between the husband and wife. Plus, there is at least one line of script, not found in the play text, which suggest that even his friends see Stanley as having made use of an opportunity, against Blanche.

The play script, as well as the movie made such an impression on me, that I will think of these two, as great works of art - and I will not hesitate to recommend the two, to book lovers as well as movie buffs.

Rating: *****
Genre: Drama / Play script (1957)

Thursday, 11 August 2022

ප්‍රදීපාගාරයක ඇස් බැල්ම - රවී සිරිවර්ධන

 මෙම කාව්‍ය සංග්‍රහය කියවීම ඇරඹුවේ එරික් ගේ ප්‍රොමිතියස් දූපත කියවීමෙන් අනතුරුව ය. ඉතින් මේ සන්සන්දය සමා වී විඳ දරා ගන්න. ඒ නිසා දෝ මෙම කවි වල ඇති සංකල්ප රූප වඩාත් ඍජු බවක් ( ඍජු වැඩි බවක් ?) දැනිනි. ඉන් මේ කව් මා රස නොවිඳි බවක් නොකියවේ. කව් වටහා ගැනීම මෙතරම් පහසු දෝ යන ගැටළුව මතු වුනේය. එරික් ගේ කාව්‍ය සංග්‍රහය සෙමින් සෙමින් මාස දෙකකට ආසන්න කාලයක්, විටෙන් විට කිය වූ අතර, මෙම කාව්‍ය සංග්‍රහය දිනකුත් පැය ගණනක් තුල කියවා හමාර කලෙමි. එය රවී ගේ කවිය සහ එරික් ගේ කවිය වෙනස බව සැබවි. එරික් ගේ ලෙහාගෙන රසවිඳිය යුතු නම්, රවීගේ කවිය විටෙක අපූරු මැයන් තෝරාගෙන අප භාවයන් අතර අතැර දමන්නේ, අපගේ පෞද්ගලික සිතුවිල්ලක තනිකරමිනි.  එය ය රවී ගේ කවිය අපූරත්වය. එලෙස අපූරු මැයන් හමුවන්නේ තරමක් සුලභ යැයි හැඟෙනා කවි සිතුවිලි අතර වීම ද පිළිගත යුතු අතර, එය යම් තරමකට මේ සංග්‍රහයේ සාපෙක්ෂ ඍණාත්මක ලකුණ ලෙස ය පෙනෙනුයේ. එය මට සාපේක්ෂ බව පිළිගනිමි, කිම ද දුර්වල යැයි ගිණිය හැකි නිර්මාණ මෙහි ඇත්තේ අතලොස්සකි.  එහෙත් නැවුම්බව ද එබිකම් කරන්නේ අතරින් පතර වීම, අපට ගෝචර වේ, අයෙකු එරික් ගේ කවිය ලෙහීමට කල් නොගෙවා රවී ගේ වඩා හොඳින් අරුත් වටහා ගතහැකි, හා අලංකාර බසකින් ද පොෂිත කවිය ම විඳින්නේ නම්, ඇගේ තීරණයේ වරදක් නැති බවකුත් සිතේ - කිම ද "ප්‍රොමිතියස් දූපත" යටතේ ලියූවා සේ, මට් අද එරික් ගේ කවි අතර දුර්වාබෝධ ඒව ඇත. එහෙත් අප වන් සමහරෙකු, දුක ම සැප ලෙස දකිමින්, ගැටළු ලිහීමට ම පැටලෙති.

රවීගේ කවි වල සිතට ආමන්ත්‍රණය ආරේ නිර්මාණ රැසක් මෙහි හමු විය. මා වඩාත් සිත් ගත් කවි අතර එකෙකි, "ආදරය කියන්නේ සොයා යන එකට" යන කවිය:


"යාත්‍රාවක පෙනේ ඈත තොටුපළ සොයන
ගොඩ බිමක් ඇති ඊට දෑස දල්වා හිඳින
ප්‍රදීපාගාරයක ඇස් බැල්ම හිමි නොවුණ
යාත්‍රිකයන් ඇද්ද කොතෙක් කරදිය විඳින"
"මගේ සිදුහත්" කවිය ද මා සිත් ගත්තේ එහි එන නිර්භය ස්ථාවරය වෙතින් ඇඟවෙන මේ කව කියනා මනංකල්පිත ස්ත්‍රී ආත්මය හේතුවෙනි:
"සතරක් නොව
පෙරනිමිති ම සිය ගණනක්
දුටුව ඇසින්
කලකිරෙන්න නොහැකි සිතින්
රෑ අඳුරත්
හමගිය කලිසමේ ඔතන්
මගේ මිනිහ ගෙට එනකොට
යසෝදරා
සිදුහත් මට පොඩි එකෙක් ය"
මෙහි කවි බස ද කවිය ට උක්ත "මගේ සිදුහත්" ඒ පරිසරයට ඔබින එකක් වීම එහහි සාර්ථකත්වාට හේතු වේ.

මේ සංග්‍රහයේ ගසක්, ගඟක්, කන්දක්, කැළයක් රූපයට ගෙන කියනා අපූරු කවි ගොන්නකි. විටෙක, මෙය රවි ගේ කවියේ සලකුණ ලෙස සලකමින් රස විඳිමින් ද, අන් අවස්ථාවක කවි පංති අතර ඇති විවිධත්වයේ සීමාව ගැන ද කල්පනා කරමින් මේ කවි බොහෝ ඒවා රස වින්දෙමි.

"දුර සරන කිරිල්ලක ඇවිදින්
අහම්බෙන් නතර උන රැයකට
වසන්තය මේ ගසට පරිණත
සතුටක්‍ය මේ ගසට පරිණත"
                 ( ගස කැමති රැය)

 අවස්තාවක දෙකක අපූරු රූපක භාවිත කෙරෙන නිර්මාණ අප උද්දාමයට ලක් කලේය. "පැහැරගත් පරමාදිත්‍ය" කවි පංතයේ අහසේ හිස්තැන විස්තර වෙන හැටි මා සිත් ගත්තේය.

"අයිති නැති පුර හඳක්
මුදුන් කර පෙන්වමින්
අහස නුඹ
කරන බොරුවක විසල්"

...

"හරි භයංකර මුහුණු පෙන්වමින්
වැහි වළාකුළු මුදුනෙ එල්ලමින්
නෙක අකුණු ගර්ජනා දක්වමින්
අනුන් සතු බලය කොරකන් කරන්"

කෙටියෙන් ම පවසතොත්, අරුත් වටහා ගැනීමට ඇති පැහැදිලිතාවත්, සැලකිය යුතු කවි සංඛ්‍යාවක් ස්වභාවික වස්තූන් භාවිත කරමින් විවිධ චරිත වෙත එබී බැලීමේ නැඹුරුව ( ඒ අනුව මවු පියන්, තනි වූ අන් අයට සිසිලක් ව වියපත් වූ කාන්තාවක්, මග ඇරී ගිය පෙම්වතෙක් හෝ පෙම්වතියක් ආදිය මේ ස්වභාවික වස්තූ ඔස්සේ කියවා ගත හැකිය), මෙම සංග්‍රහයේ ප්‍රධාන ලක්ෂණය ය. එම ලක්ෂ්ණය සංග්‍රහයේ සාර්ථකත්වය මෙන්ම යම් සිමාවන් පන්වා දීමද කරයි. රවී සිරිවර්ධන ගේය පද රචකයෙකු ලෙස වඩාත් සාර්ථක වීමට හේතු ද මෙම කාව්‍ය නිර්මාණ අතරින් දැක ගත හැකියැයි සිතමි.

ශ්‍රේණිය: ***1/2
කාව්‍ය ; අහස ප්‍රකාශණයක් (2019)



                      

Wednesday, 10 August 2022

ප්‍රොමීතියස් දුපත - එරික් ඉලයප්ආරච්චි

 කෙටිකතාවට සහ නවකතාවට සාපේක්ෂව, එරික් ගේ කවිය කියවීමේ සාක්ෂරතාව මා ලබන්නේ සෙමිනි. එය තවම සතුටුදායක මට්ටමකට ලඟා වී තිබේදැයි යන්න සැක සහිත ය. එරික් වසරින් වසර අලුත් කවි ලියන්නේ , වෙසෙසින් ඔහු භාවිත ග්‍රන්ථයන් සහ කියවන කවි ආභාෂයෙන් ද, තත්කාලීන සමාජ දේශපාලන සිදුවීම් ඔස්සේ ය. ඔහු ගේ  කවිකමත්, කියවන්නියන් අතර පරතරය වැඩිකරමින් ඔහු හැල්මේ යන බවක් පෙනෙන්නට ඇත. අමරකීර්ති(1) 2016 දී, ප්‍රකාශ කලේ මෙවැන්නකි:

"ඉලයප්ආරච්චිගේ මෑත කාලීන බොහෝ කවිවල දී ආනුභාවික සංකල්ප රූප සහ කතිකාමය සංකල්ප රූප අතර පරතරය ඉතා වැඩිය. ඒ නිසා ඒ පරතරය රසිකයා ඇද වැටෙන අගාධයක් වැනිය. ඔහුගේ පළපුරුදු කවීත්වයත්, කාව්‍ය සං‍රචන ශිල්පයෙහි බුහුටිකමත් නිසා එක්තරා ආකර්ශනයක් ඒ කවිවල ඇතත්, තමන්ට තරම් නොවන රසිකයෙකුට ලියන්නාක් වැනි බුද්ධිවාදී ගර්වයෙන් යුතු කවියෙක් ඒ කවියෙන් මතු වී පෙනේ." (73-74 පිටු; නව කවි සලකුණු )
2016ත් අදත් අතර ඉලයප්ආරච්චි කාව්‍ය සංග්‍රහයන් හයක් පළ කොට ඇත ( ඉන් සතරක් කියවීමට අප යත්න දරා ඇත). ඒ හැම සංග්‍රහයක් අවසන ම, තරමක දුරවබෝධ කවියකත්, පූර්ණ රසාස්වාදයක් ලත් කවියකත් අතර දෝලනයක් ලත්තෙමි. ඒ අතර කාලය තුල එරික් ලියූ Wasteland ( T.S. Eliot) ගැන දීර්ඝ විචාරය, එරික් ගේ කවිය දැකීමට තරමක පිටුවහලක් වූ බවත් නොකියා බැරි ය. එහෙත් නියත වශයෙන් එරික් ගේ කවිය විෂයෙහි, මා තවම බැරි බැරි ගානේ පසුපසින් ඇවිදින සිසුවෙකු පමණකි. මේ තත්වය වෙනස්විමක් ද මා නොදකිමි; අපේක්ෂා ද නොකලමි. ( පූර්ණ කාලීන වශයෙන් අන් ක්ෂෙත්‍රයක නිරත වෙමින් කාලය සොරා ගෙන අන් ක්ෂේත්‍ර වලට වරින් වර එබිකම් කරන අප වැන්නන් ට අවම වශයෙන් විශ්‍රාම යනතෙක් අන් විකල්පයක් නැත.)

මෙම සංග්‍රහයට පැමිණෙමි.

එරික් ට කවි විෂය වන්නේ අපූරු අවස්ථාය. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන බසයෙන් රැගෙන යාමේදී, කවුළුවෙන් ඉවතට හිස දමා විරෝධය පළ කිරීම, ඈත රටක තරුණ සිත්තරෙකු අතින්   අඟුරු සිතුවමකට පෙරලිම අප කවියාට කවි නිමිත්තකි. කවියේ ආකර්ශනීයම කොටස, ස්ටාලින් ඇමතීමෙන් අනතුරුව කවියා තම කුදු බව මෙසේ පවසනා කොටසයි:
"මම තවම කවියෙක්මි
සදා කල් සිසුවෙක්මි
ඔබ රැගෙන යන රියේ
නගින්නට නොහැකි වී,
පාපුවරු දෙක පවා
ඉඩක් නොදෙනා බැවින්
පසුපසින් ඇති යකඩ
ඉණිමගේ නඟින්නට
උමතු හැඟුමෙන් දුවන."
              (ස්ටාලින් බසය)

අන් තැනෙක පැරණි දේශපාලන ආස්ථනය යම් ආර්ථික වාසියක් වෙනුවෙන් මගහැර දැමූ අයෙකුට කෙරෙන උපහාසාත්මක කවකි.

"එකෙක් අඩුව ආ ගමනකි
ලොකු කුලියක් ගෙවන තැනට
නොලියනු ඇත කිසිම පොතක
නව ජීවය ලැබුණු විදිහ"
              ( අලුත් පක්ෂ කාර්යාලය සහ දමා ආ පැරණි රතු සහෝදරයා)
අප රටේ සාමාන්‍යයෙන් සැමදා මහජනයාගේ ඇස සහ සිත ඩැහැගන්නා පුවත් උපදී ( නූතන යුගයේ අන් රටවල ද එසේම බව නොරහසකි). පහන්තුඩාවේ යුවල ගැන ද මීට වසරකට දෙකකට පමණ පෙර  කසුකුසුවක් ඇති වූයේ, පහන්තුඩාව ඇල්ල ගැන නොදැන අය ට එවන් ඇල්ලක් ඇති බව දැනි ගැනීමේ පුවත අවශේෂ ආකර්ශනයක් බවට පත් කරමිනි.  තම තරුණ සිරුරු නිදහසේ විඳින එම යුවල ගැන බොහෝ අය යම් පැසසීමක් කල ද, සුළු වරදකරුවන් ට පමණක් කිසිදු බේරුමක් නැති අපේ පොලිසිය විසින් එම යුවළ සොයා ගන්නා ලදී. කවියා ගේ ස්වරය ඇත්තේ තමනට නොලැබුණු නිදහසක්, රසයක්, ගැන සියුම් ඊර්ෂ්‍යාසහගත ගෞරවයකි.
කිඳුරා සමඟ කිඳුරිය
දියබුං සදිසි පෙම් බස
අසමින් නිදයි වකුටුව
දෙපය මැද තරුණ අත

පහන්ඇලි තුඩාවක්
පිහිටි බිමවත් නොදැන
දුක් විඳිමි මම ද
වැතිර ගෙන තනි යහන
                  ( පහන්තුඩාව ගැන ලියූ සටහන්)
කවියා ට රත්මලානේ වරුණ පෙනී, එය කැප කරන්නේ රත්මලාන ගැන සාහිත්‍යයක් නිර්මාණය කල වෙඩිවර්ධන සාහිත්‍යකරුවා වෙනුවෙනි.
බෙලෙක් කඩේ බාර් එකේ
ක්‍රවුන් යුගේ ඔටුනු තුනේ
ගල් අරක්කු වීදුරුවල
දමා කැවුතු සහ පීකුදු
ඇඳෙන් බසිති මහපාරට
රෝහලකට වැඩිය ලෙඩ්ඩු
                   ( මංජුල වෙඩිවර්ධනට රත්මලානේ සිට)
ඉහත කවි මා රස විඳි ඒවාට නිදසුන් ය. කුරුඳු කවිය, ගාන්ධර්ව ළමා විය, වැලන්ටයින් නඩුකාරයා, රාත්‍රියක අයිතිය, පරණ මුද්දර, ප්‍රොමිතියස් දූපත, නර කෙස, සහශ්‍ර පුර ගෙවදීම, නිල ඇඳුම, වසංගතය සහ වෙස්මුහුණ ආදී කව් රැසක් ද රස විඳීම තුලින්, එරික්ගගේ කවියෙන් ඈත් නොවීමට හේතු පසක් වේ.

එනුමුදු පෙර කීවාක් මෙන් සමහර මැයන් අතර සබඳතා දුරස්තය. අමරකීර්ති කියනා කතිකාමය සංකල්ප රූප  කවියකට උචිත තරමේ ඒවාද යන ගැටළුව මා සිතට ආවද එය මගේ කියවීමේ අඩුපාඩුවක් ද විය හැක. එය බුද්ධිවාදි ගර්වයෙන් යුතු කවියෙකුට, යම් ගර්වයකින් සිටින සාමාන්‍ය පාඨකයෙකු ගේ මුණ ගැසීමක් විය හැකි පිළිගැනීමට සිදු වේ. ඒ අනුව කොළඹ ඉන්ද්‍රජෝති කුකුල් කොටුවේ රස්සාව, රත්නපුර වැහිලිහිණි සහ මැණික් බලන ටෝච් එළිය, ගොල්ෆ් බෝලය සහ යක් බෙරය ආදිය මගින් විෂයන් දෙකක් අතර තරමක් කෘතීම යැයි හැඟෙනා ගැටගැසුම් යැයි මට සිතේ.

එරික් ගේ කවිය කියවන රසිකයා, තවදුරටත් එහි රඳවා ගැනීමට අවශ්‍ය සාධක මෙහි ඕනෑ තරම් ඇත. එය තරමක දුරවබෝධ කවියකැයි, එය කියවීමට ඇවැසි ශ්‍රමය වැය කිරීමට පසුබට වන්නන් ද, එම ස්ථානයේ ම රැඳුනු මිස එහි ද වෙනසක් සිදු නොවනු ඇත. එනුමුදු, එරික් ගේ කවියේ ලකුණ අප දකින්නේ එරික් තුලින් ම පමණක් ම හෙයින්, ඔහු තම කවිය තව දුරටත් ලිවීම ඉතා අවශ්‍ය කාරණාවකි. ඔහුගේ කවිය ගැන සාධාරණ ගවේෂණයක්, විවේචනයක්, විචාරයක්, අනාගතයේ ඊට සුදුසුකම් ඇත්තන් අතින් සිදු වනු ඇත,

ශ්‍රේණිය: ****
ප්‍රකාශනය: ගොඩගේ (2021)


Sunday, 24 July 2022

ඩොල්කි - ජයතිලක කම්මැල්ලවීර

 සත්‍ය වශයෙන් ම පවසතොත්, මේ නවකතාව මා මිල දී ගත්තේ ලේඛකයා කෙරෙහි ඇති විශ්වාසයෙනි. ඔහු ගේ කෙටිකතාත්, විශේෂයෙන් ඔහුගේ "සුළු තනි තිත" නම් වූ කෘතියත්, කතුවරයා ගේ සාහිත්‍යය ට විශේෂ බරක් එක්කාසු කොට ඇත. එනුමුදු, මෙම නවකතාව කෙරෙහි එතරම් යහපත් ප්‍රතිචාර මෙතෙක් ලැබී නොතිබුනි.

කතුවරයා හැඳින්වීමක් ආරෙන් පවසන්නේ, මෙය අප රට තුල ඇති දැවන්ත සමාජ උත්ප්‍රාසය හේතුවෙන් කතුවර පරිකල්පනාවෙහි උපන්නක් බවක් ය.

මෙම කෘතිය පරම්පරා දෙකක් තුල සිතුම්පැතුම් අතර ඇති වෙනස ම මුල් කොට ගන්නකැයි මට සිතේ. මිසිනෝනා, තම මුළු දිවිය තම දරුවන් වෙනුවෙන් කැපකරයි. දරුවන් ද ඇගේ ශ්‍රමය හෙතුවෙන් බොහෝ සෙයින් සමාජයේ මිම්මෙන් සාර්ථක යැයි සැලකෙන ආරෙට, එනුමුදු ඔවුනොවුන් ට රිසි ලෙස ද තම දිවි ගෙවයි. ඇගේ එක ම පුතු වන පියල් සුවිශේෂි චරිතයකි. අප ට නවකතාව අවසන සඳහන් සටහනෙන්, ඔහුගේ දිවියට බලපෑ ප්‍රධාන කාරණාව ගෙන හැර දක්වයි. මිසිනෝනා ට මැදිවියේ දී ජීවිතයේ වින්දනය ගැන අදහසක් මතුකරලන්නේ වංශවතී මගිනි. කතුවරයා දීර්ඝ ලිවීමකට නොගිය ද, වංශවතී හා ආශ්‍රයෙන්, මිසිනෝනා ට ස්ත්‍රී-පිරිමි ආශ්‍රය ගැන අලුත් මානයකින් දකින්නට දොර විවෘත කරන බව පෙන්වා දෙයි. 

නවකතාවේ, කතුවරයා ම පවසන  උත්ප්‍රාසය මිසිනෝනා ගේ දැරියන් තිදෙනා ගේ සැමියන් ආශ්‍රයෙන් දැකිය හැකිය. අයෙක් ජාතිවාදයෙන් උදම් ව, ජාතිය මුල් කොට ගත් දේශපාලන ගමනක නිරත වන්නෙකි. අනෙක් කෙනා මුදල් හම්බ ලරලීමට දක්ෂ හීන් නූල් කාරයෙකි. රැවලයි කැඳයි දෙකම බේරගන්න දක්ෂයෙකි. තෙවැන්නා වෘත්තිකයෙක් වුව, ජීවිතය විඳිනා සරලබවක් පෙන්වුවද, වරෙක අපල උපද්‍රව ගැන දැඩි විශ්වාසයක නිරතවන්නෙකි. මිසිනෝනා ගේ චරිතය හැර මේ අනෙක් හැම චිරිතයක් ම පූර්ණව ගොඩ නගා නැත. මෙවන් කෙටිනවකතාවකින් එවැන්නක් බලාපොරොත්තු විය හැකි ද නොවේ. මගේ ගණන් බැලීම් අනුව, මිසිනෝනාගේ පවුල ට සම්බන්ධ අය හා වංශවතී ගිණිය හොත්, චරිත දහයකි. ඇත්තෙන්ම එසේ බැලුවහොත් මෙහි එන වඩා සංඝත හා විශ්වාසවන්ත චරිත දෙක තුනක් පමණි - මිසිනෝනා, වංශවතී, ජනක, හා ජයදේවයි. ජනක, සැම්සන් පැවදී වූ පසුව ඔහුව අසපුවකට සම්බන්ධ කරගන්නේ ද තම දේශපාලනයට භාවිත කිරීමට බව පැහැදිලිය.

එනුමුදු ලෙස, කියවනා අතර යම් වින්දයක් ලත් නිර්මාණයක් වුව, ඉතා සාර්ථක නවකතාවක් යැයි කීමට තරම් සාධක ඇතැයි නොසිතේ. සාර්ථක නිර්මාණයකට ඇවැසි මූලද්‍රව්‍ය මෙහි වූව ද, කතුවරයා ඇවැසි වූයේ යම් සමාජ විපරීතයන් මතුකරලීමට පමණක් ම දෝ සිතේ. ඒ අරමුණෙන් නම්, කතුවරයා සාර්ථකය. එහෙත් මා මෙය කියවූයේ නවකතාවක කෝදුවකින් පිරීක්සමිනි. එවිට මෙය තරමක ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කර ද සාමාන්‍ය නවකතාවකි.

ශ්‍රේණිය : ***
2020 ප්‍රකාශ වූ නවකතා කියවීම: 4

Monday, 18 July 2022

නිරෝධායන චාරිකාව - කපිල කුමාර කාලිංග

 කතුවරයා නවකතා හතරක් ම කියවා තිබුන ද, කිය වූ පළමු කෙටි කතා සංග්‍රහය මෙයයි ( මෙය කතුවරයා ලියූ පස්වැන්නයි). එය ද 2021 වසරේ කෙටි කතාවලට පිරිනැමෙන සම්මානයක් ලැබීම හේතුවෙන් බව පිළිගන්න ට සිදු වේ. ඒ එම වසරේ ගොඩගේ සම්මාන උළෙලෙ දී, හොඳම කෙටි කතා සංග්‍රහයට ලැබෙන ජී. බී සේනානායක අනුස්මරණ සම්මානය යි.


කෙටි කතා දහයකින් පිරි මෙම සංග්‍රහයේ, පියැසි කවුළුව සහ අදිසි නදිය කෘති වල අපට හමු වූ  යථාර්තය ඉක්මවන ආඛ්‍යායන රටාව රැගත් නිර්මාණත් ( මෙහි එන ඝන මීදුම, කාමරය, ඔටු දඩයම, ගුවනේ දී හමු වූ තරුණිය, තුවක්කුව , නිරෝධායන චාරිකාව, දුෂ්කර පළාතකට ආ ගුරුතුමි ), අනෙක් වා  සැප්තැම්බරයේ දිග දවසක් හි හමු වූ ගුප්ත එහෙත් යථාර්තයේ සීමාව තුල ලියැවුණු ඒවාත් ලෙස දකිමි. ඉන් මෙම නිර්මාණ තුල ක.කු.කා. ලාංඡ්නය, සලකුණ, දකින්නාක් මෙනි. 

පළමු කෙටි කතා දෙක කියවීමේ දී මා තුල, මෙම සංග්‍රහය තුල මහත් බලාපොරොත්තු ඇති විය.

ඝන මීදුම
, මෑත කාලීන ව අප රට මුහුණ දුන් වසංගතය මර්දනය ට හමුදාව මුල් කොට ගෙන රාජ්‍ය තන්ත්‍රය විසින් ක්‍රියාවට නැංවූ පිලිවෙත අපූරුවට අලුත් නිර්මාණයක් තුලින් විචාර වෙයි.

නීල් තමා දෙස අවධානයෙන් බලා සිටින, තරුණ සෙබළෙකුගෙන් මෙසේ ඇසීය.

"මොකක්ද මේ වෙන්නේ?"

"පරීක්ෂා කරනවා... පේන්නේ නැද්ද?"

"ඇයි ඒ? ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ මීදුම නෙ"

"අපිටත් ඒ ගැන අදහසක් නෑ"

එය සැබෑවක් විය යුතුය. ඔවුන් කරන්නේ නියෝග ක්‍රියාත්මක කිරීම පමණි. එහෙත් මීදුමට හේතුව නොසොයමින් - ඊට විසඳුමක් ක්‍රියාවට නොනංවමින් - ඒ වෙනුවට ජනතාව පරීක්ෂාවට ලක් කිරීම විකාරයකැයි නීල්ට සිතුණි.
(23-23පිටු)
කෙටි කතාව අවසන් වන්නේ ටියුෂන් ගුරුවරයකු වූ නීල් ට හෙට දවසේ තම පංති පවත්වන්නේ කෙසේද යන ගැටළුව තම රෑ නින්ද ට ද බාධාවක් කරවමිනි. සාමාන්‍ය ජනයාට තම දිවි පැවැත්ම ගෙන යාමට ඇති බාධාව අන් සියළු දේ ට වඩා වැදගත් බව මින් පෙන්නුම් කරන්නේ, ඔවුන් බොහෝ දෙනෙක් "තවම ගෙවීමට ඇති" භෞතික දේ පරිභෝජනයට ආර්ථික රටාව මගින් පුරුදු කර ඇති බැවිනි.

කාමරය කෙටිකතාව ද ඉතා රසවත් එකකි. එහි අවසන, එනම් කාමරය කුලියට ගැනීමට ආයේ අවේ කවු ද? පාඨකයා එම ප්‍රශ්ණයට පිලිතුරු සිතිය යුතුය. අමරසිංහ මහත්මිය ඉස්සරහ කාමරයේ තම මියගිය සැමියා සමග අතාත්වික ඇසුරක් පවත්වාගෙන යයි. නීරස ඒකාකාරී දිවියක් හිමි වූ ඇය, තම ජීවිතය සොයාගන්නේ එසේය.

ගුවනේ දී හමු වූ තරුණිය කෙටිකතාව ඔස්සේ, අයෙකු ට, තාක්ෂණය මිනිස් සිරුරේ යම් යම් ආබාධ වලට විසඳුම් ලෙස කෙතෙරම් අපූරු දේ ගෙන ආවද, මිනිස් සබඳතා වලදී එම නුපුරුදු බවින් මිදීමේ ඇති අභියෝගය හොඳින් ගෙනහැර දක්වයි. එපමණක් නොව, එම වෙනස්කම් වලට භාජනය වූ අය තුල ද තම වෙනස් කම සමාජය විසින් පිළිගැනීම සඳහා යම් පීඩනයක් ඇති කිරීමේ නැමියාව පෙන්වා දෙයි. දැනට ම ලොව පුරා පුරුෂ-ස්ත්‍රී යන බෙදීම අභියෝගයට ලක් වීමත්, එහි අතර අවස්ථා ගැන එම ආස්ථානයේ ඉන්නා අයගෙන් ඇතිවන පීඩනය ද මෙම ප්‍රවණතාව පෙන්නුම් කරයි.

මුරකාමි සමඟ දින කීපයක්
තාත්වික කෙටිකතාවක් වන අතර, එහි ඉතා සාර්ථක ලෙස පිටරටකින් පැමිණි මගඩිකාරයෙකු ගැන අපුරු දිගැරීමක් වන්නේ, අප කථිකයා ට අවසන් තුරුම  ඔහු සැක කල කෙනා ඇත්තෙන් ම මගඩියක් කලා දැයි යන ගැන විශ්වාසයක් නැති හෙයිනි.

ඉන් අනතුරුව මා වඩාත් රසවිඳි කෙටිකතාව කවුළුවෙන් එහා කෙටිකතාවයි. ප්‍රියලාල් ප්‍රේමාංලිංගනයට තම කාමරයට රැගෙනෙන සෑම කාන්තාවකගේ ම යම් හිමිකරුවෙකු ඔහුව බිය ගන්වයි. ඒ සියළු අය මිය ගිය ඇත්තන් ය. එය අපූරු ගුප්ත කෙටි කතාවකට නිමිත්තක් බව පැහැදිලිය.


ඔටු දඩයම කෙටි කතාව අතාත්වික එහෙත් අපූරු ආඛ්‍යායනයක් ඔස්සේ  අප ගෙන ගොස් නොසිතූ අවසනකින් අවසන් වේ. එසේ හදිසි අවසනකට හේතුවක් පෙන්වා දුන්න් ද පාඨක අප ඉන් සෑහිමකට පත්වන්නේ ද යන්න අවිනිශ්චිතය.

තුවක්කුව කෙටිකතාව අවසන් වන්නේ විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා යන කියමන ට පක්ෂව හා විපක්ෂව විපිලිසර වන ආස්ථනයකට පාඨකයා ගෙන එමිනි.

නිරෝධායන චාරිකාව, අවසන් ඇගයීමේ දී, විය හැකි අකරතැබ්බයකින් තරුණයෙකු මව් ඔවදන බේරාගන්නා රටාවක් පෙන්නුම් කල ද, එහි එන වැල්වටාරම් කෙටිකතාවේ වටිනාකමට එතරම් දෙයක් එකතු කරන්නේ ද යන්න සැක සහිතය.

අහස් මාළිගා මෙහි එන තවත් තාත්වික කෙටිකතාවකි. කෙටි රංගන වෘත්තියකින් පසුව, සියළු සැප සම්පත් මැද බලවතෙකු මගින් කූඩුවක සිර කෙරුණු මනරම් කිරිල්ලියෙකු ගේ පාළුව තනිකම ඉන් වෑහේ. නිර්මාණයක් ලෙස විඳිය හැකි මුත්, එහි නැවුම් බවක් නොදකිමි.


දුෂ්කර පළාතට ආ ගුරුතුමී, මෙහි එන වඩාත් අභව්‍ය කෙටිකතාව වන අතර, එහි යම් රසයක් ගැබ් වුන ද, එතරම් සම්පූර්ණ බවකින් තොර යැයි සිතේ. අදිසි නදිය නවකතාවේ යම් ප්‍රවණතාවන් මෙහි ද ඇත.

සමස්ත ලෙස සැලකුවහොත්, ඝන මීදුම, කාමරය, කවුළුවෙන් එහා ඉතා සාර්ථක නිර්මාණ වන අතර, ගුවනේ දී හමු වූ තරුණිය, මුරකාමි සමඟ දින කීපයක් ද සාර්ථක පක්ෂයට බරය. අනෙක් නිර්මාණ ද රස විඳිය හැකි මුත්, ඔටුවා, නිරෝධායන චාරිකාව ආදි නිර්මාණ කතුවරයා ගේ අරමුණු පිළිබඳව පාඨකයාට සැක ඇති කරන්නේ, ඒව විටෙක අයාලේ යන බවක් හැඟෙනා නිසාය. කෙටි කතා දහයෙන් අඩක් සාර්ථක පක්ෂයට බර නිසා, ඉවත දැමිය නොහැකි කෙටි කතා සංග්‍රහයක් බවට ගිණිය හැකි මුත්, විටෙක පාඨක ඉවසීම ද අභියෝගයට නැගෙන අවස්ථා ද පැහැදිවිම ඇත. ඉංග්‍රීසියෙන් නම් a mixed bag යැයි සැලකිය හැකි මුත්, මෙහි එන සාර්ථක නිර්මාණ අතැහිරීම ද සිංහල කෙටිකතා පාඨකයෙකුට පාඩුවකි.

ශ්‍රේණිය: ***1/2
ප්‍රකාශනය: ෆාස්ට් පබ්ලිෂින්
2020 ප්‍රකාශ වූ කෙටිකතා සංග්‍රහයන් කියවීම - 3