Thursday, 11 August 2022

ප්‍රදීපාගාරයක ඇස් බැල්ම - රවී සිරිවර්ධන

 මෙම කාව්‍ය සංග්‍රහය කියවීම ඇරඹුවේ එරික් ගේ ප්‍රොමිතියස් දූපත කියවීමෙන් අනතුරුව ය. ඉතින් මේ සන්සන්දය සමා වී විඳ දරා ගන්න. ඒ නිසා දෝ මෙම කවි වල ඇති සංකල්ප රූප වඩාත් ඍජු බවක් ( ඍජු වැඩි බවක් ?) දැනිනි. ඉන් මේ කව් මා රස නොවිඳි බවක් නොකියවේ. කව් වටහා ගැනීම මෙතරම් පහසු දෝ යන ගැටළුව මතු වුනේය. එරික් ගේ කාව්‍ය සංග්‍රහය සෙමින් සෙමින් මාස දෙකකට ආසන්න කාලයක්, විටෙන් විට කිය වූ අතර, මෙම කාව්‍ය සංග්‍රහය දිනකුත් පැය ගණනක් තුල කියවා හමාර කලෙමි. එය රවී ගේ කවිය සහ එරික් ගේ කවිය වෙනස බව සැබවි. එරික් ගේ ලෙහාගෙන රසවිඳිය යුතු නම්, රවීගේ කවිය විටෙක අපූරු මැයන් තෝරාගෙන අප භාවයන් අතර අතැර දමන්නේ, අපගේ පෞද්ගලික සිතුවිල්ලක තනිකරමිනි.  එය ය රවී ගේ කවිය අපූරත්වය. එලෙස අපූරු මැයන් හමුවන්නේ තරමක් සුලභ යැයි හැඟෙනා කවි සිතුවිලි අතර වීම ද පිළිගත යුතු අතර, එය යම් තරමකට මේ සංග්‍රහයේ සාපෙක්ෂ ඍණාත්මක ලකුණ ලෙස ය පෙනෙනුයේ. එය මට සාපේක්ෂ බව පිළිගනිමි, කිම ද දුර්වල යැයි ගිණිය හැකි නිර්මාණ මෙහි ඇත්තේ අතලොස්සකි.  එහෙත් නැවුම්බව ද එබිකම් කරන්නේ අතරින් පතර වීම, අපට ගෝචර වේ, අයෙකු එරික් ගේ කවිය ලෙහීමට කල් නොගෙවා රවී ගේ වඩා හොඳින් අරුත් වටහා ගතහැකි, හා අලංකාර බසකින් ද පොෂිත කවිය ම විඳින්නේ නම්, ඇගේ තීරණයේ වරදක් නැති බවකුත් සිතේ - කිම ද "ප්‍රොමිතියස් දූපත" යටතේ ලියූවා සේ, මට් අද එරික් ගේ කවි අතර දුර්වාබෝධ ඒව ඇත. එහෙත් අප වන් සමහරෙකු, දුක ම සැප ලෙස දකිමින්, ගැටළු ලිහීමට ම පැටලෙති.

රවීගේ කවි වල සිතට ආමන්ත්‍රණය ආරේ නිර්මාණ රැසක් මෙහි හමු විය. මා වඩාත් සිත් ගත් කවි අතර එකෙකි, "ආදරය කියන්නේ සොයා යන එකට" යන කවිය:


"යාත්‍රාවක පෙනේ ඈත තොටුපළ සොයන
ගොඩ බිමක් ඇති ඊට දෑස දල්වා හිඳින
ප්‍රදීපාගාරයක ඇස් බැල්ම හිමි නොවුණ
යාත්‍රිකයන් ඇද්ද කොතෙක් කරදිය විඳින"
"මගේ සිදුහත්" කවිය ද මා සිත් ගත්තේ එහි එන නිර්භය ස්ථාවරය වෙතින් ඇඟවෙන මේ කව කියනා මනංකල්පිත ස්ත්‍රී ආත්මය හේතුවෙනි:
"සතරක් නොව
පෙරනිමිති ම සිය ගණනක්
දුටුව ඇසින්
කලකිරෙන්න නොහැකි සිතින්
රෑ අඳුරත්
හමගිය කලිසමේ ඔතන්
මගේ මිනිහ ගෙට එනකොට
යසෝදරා
සිදුහත් මට පොඩි එකෙක් ය"
මෙහි කවි බස ද කවිය ට උක්ත "මගේ සිදුහත්" ඒ පරිසරයට ඔබින එකක් වීම එහහි සාර්ථකත්වාට හේතු වේ.

මේ සංග්‍රහයේ ගසක්, ගඟක්, කන්දක්, කැළයක් රූපයට ගෙන කියනා අපූරු කවි ගොන්නකි. විටෙක, මෙය රවි ගේ කවියේ සලකුණ ලෙස සලකමින් රස විඳිමින් ද, අන් අවස්ථාවක කවි පංති අතර ඇති විවිධත්වයේ සීමාව ගැන ද කල්පනා කරමින් මේ කවි බොහෝ ඒවා රස වින්දෙමි.

"දුර සරන කිරිල්ලක ඇවිදින්
අහම්බෙන් නතර උන රැයකට
වසන්තය මේ ගසට පරිණත
සතුටක්‍ය මේ ගසට පරිණත"
                 ( ගස කැමති රැය)

 අවස්තාවක දෙකක අපූරු රූපක භාවිත කෙරෙන නිර්මාණ අප උද්දාමයට ලක් කලේය. "පැහැරගත් පරමාදිත්‍ය" කවි පංතයේ අහසේ හිස්තැන විස්තර වෙන හැටි මා සිත් ගත්තේය.

"අයිති නැති පුර හඳක්
මුදුන් කර පෙන්වමින්
අහස නුඹ
කරන බොරුවක විසල්"

...

"හරි භයංකර මුහුණු පෙන්වමින්
වැහි වළාකුළු මුදුනෙ එල්ලමින්
නෙක අකුණු ගර්ජනා දක්වමින්
අනුන් සතු බලය කොරකන් කරන්"

කෙටියෙන් ම පවසතොත්, අරුත් වටහා ගැනීමට ඇති පැහැදිලිතාවත්, සැලකිය යුතු කවි සංඛ්‍යාවක් ස්වභාවික වස්තූන් භාවිත කරමින් විවිධ චරිත වෙත එබී බැලීමේ නැඹුරුව ( ඒ අනුව මවු පියන්, තනි වූ අන් අයට සිසිලක් ව වියපත් වූ කාන්තාවක්, මග ඇරී ගිය පෙම්වතෙක් හෝ පෙම්වතියක් ආදිය මේ ස්වභාවික වස්තූ ඔස්සේ කියවා ගත හැකිය), මෙම සංග්‍රහයේ ප්‍රධාන ලක්ෂණය ය. එම ලක්ෂ්ණය සංග්‍රහයේ සාර්ථකත්වය මෙන්ම යම් සිමාවන් පන්වා දීමද කරයි. රවී සිරිවර්ධන ගේය පද රචකයෙකු ලෙස වඩාත් සාර්ථක වීමට හේතු ද මෙම කාව්‍ය නිර්මාණ අතරින් දැක ගත හැකියැයි සිතමි.

ශ්‍රේණිය: ***1/2
කාව්‍ය ; අහස ප්‍රකාශණයක් (2019)



                      

1 comment: