Sunday, 27 July 2025

චමින්දයට හෙණගහල නෙමේ, චමින්දයම තමා හෙණේ - තරිඳු ශ්‍රී ලොකුගමගේ

 තරිඳුගේ ප්‍රබන්ධ ලේඛනයේ එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඔහු භාවිත කරනා භාෂාවයි. මීට පෙර ඔහුගේ 'ජීවිතයේ ඔයිල් පැල්ලම්' නම් නවකතාවට බෙහෙවින් බැඳිණි. මේ උක්ත කෙටිකතා පොත මෑතක නිකුත් වුවද, කියවීම ඉක්මන් වුවේ පොත කියවූවන්ගෙන් ලැබුනු නිර්දේශයන් හේතුවෙනි. ඇරත් මෑතක සිංහල පොත් කියවීම තරමක් මග ඇරී තිබූ නිසා,  'ඔයිල් පැල්ලමෙන්' පස්සේ තරිඳු ගේ  පොතක් කියවීමට රුකුල් දෙන්නක් ම බව ඇති විශ්වාසය මත පොත අතට ගත්තේය. 

ඉතින් කෙටි කතා අට කෙසේ ද ?


අපි වැහි කාලවල් කීයක් දරා ගත්තු මිනිස්සු ද ?
පෙර කි භාෂා භාවිතය, සහ කොළඹට ආසන්න නාගරික ප්‍රදේශ වලට සුවිශේෂි යැයි කිවහැකි ජීවන රටාවල් අලලා ලියූ කෙටි කතාවකි. මට නම් මෙම කෙටිකතාවේ සුවිශේෂි බව ඇත්තේ එම පසුබිමත්, තරිඳු එම මුසුව භාවිතා කරනා අපූරත්වයේත් ය. කතාන්දරයේ එතරම් විශේෂත්වයක් නොවූවද, කෙටිකතාවක කතාවේ විශේෂත්වයක් තිබීම අත්‍යාවශ්‍ය කාරණාවක් නොවේ යැයි මා මුලින් ම අඳුනාගත් හෙමිංවේ ගේ කෙටිකතා මතක් කරවීය.

'අඳුරේ දිලී අඳුරේ ගිලුණු තරුවක් - The Untold Story of Mathew Mendis' - මට නම් ඇත්තටම හිතෙන්නේ මේ කෙටිකතාවට පසු බිම් වුණු, ඇත්තටම ජනප්‍රිය ගායකයෙක් ද සම්බන්ධ, සත්‍යකතාවක් ද ඇතිය කියාය. තරිඳු මේ කෙටිකතා ආඛ්‍යායනය භාවිත කරන්නේ මෙහි එන 'මැතිව් මෙන්ඩිස්' නම් ජනප්‍රිය ගායකයාගේ සත්‍ය ජීවිතයේ අවලස්සන සහ අසාධාරණය පෙන්නුම් කරලීමට සහ, වෙසෙසින් තමන්ගේ සම බේරාගැනීමට හිරිකිතයක් නැතිව, පරම්පරා ගණනක් විඳනවන්නට ඉඩ ඇති ජාතිවාදය ඇවිස්සීමේ අපේ සමහරක් ගේ 'වැඩ කිඩ' පෙන්වීමටය. සාර්ථක නිර්මාණයක් යැයි සිතිණි.

හොල්මන්ද පොල්කොළ - තුන්වෙනි කෙටිකතාව වෙද්දි 'මුතුවෙරළ ස්කීම්' එකට සැම කෙටිකතාවක් ම වචනෙකින් හෝ සම්බන්ධ වෙන බව පෙනී යයි. ඒත් මේ වෙනතෙක් කෙටිකතා තුන එකින් එක සම්පූර්ණ වෙනස් - සමානකම් තියෙන්නේ, භාෂාව (සහ මුතුවෙරළ ස්කීම් එක ) විතරයි. තුන්වෙනි කෙටි කතාව මනංකල්පිත චරිත හා බැඳී නැවුම් ගෙත්තමක්. නිර්මාණාත්මක ලෙස මේ අත්භූත චරිත මවලා තියෙනවා. කතාව අග වෙද්දී ඒ චරිත මැවුවේ ඇයි කියලා තේරුම් ගනිද්දී 'හප්පා' ව මතක් වෙනවා.

කල්පගේ, ඕවර් ද විකට් -
මෙම කෙටිකතා ව කුඩාවෙකුගේ දෘෂ්ඨිකෝණයෙන් ලියැවුණු රසවත් කෙටිකතාවකි. වයස 9-15 පමණ වන තෙක් ක්‍රීඩාව යනු කොළුවකුගේ ජීවිතයේ ප්‍රධානතම, වැදගත් ම අංගයකි. එහි රසවිඳි තැන් මතක් කරනා තැන් මෙන්ම, මධ්‍යම පාංතික දරුවෙකුගේ ආශාවන් සහ, ඒවා සම්පූර්ණ වන තැන් මෙන්ම එසේ නොවෙනා තැන් උපේක්ෂාවෙන් විඳ දරා ගන්නා ආකාරයද විදහා දැක්වෙන ආකාරය අපූරුවට ගෙත්තම් කොට ඇති කෙටිකතාවකි.

"මට එකපාරටම ලොකු දුකක් හිතට ආවා.

සමහර විට ඒ මැච් එකේ කල්පගේ බෝල් කරන එකක් නෑ. ගොඩක් වෙලාවට ධර්මසේන බෝල් කරන එකකුත් නෑ.

ටීම් දෙකේම ගොඩක් අය එතන ඉන්න එකක් නෑ. එතකොට ඒක ඔස්ට්‍රේලියාවයි ශ්‍රී ලංකාවයි අතර මැච් එකක් වෙන එකක් නෑ. ඒක නිකං පන්ති දෙකක ළමයි කීප දෙනෙක් අතර මැච් එකක් වෙයි." (86 පිටුව) 


චමින්දයට හෙණගහල නෙමේ, චමින්දයම තමා හෙණේ
- චමින්ද නම් අතිශය සාමාන්‍ය, එහෙත් සුවිශේෂි චරිතයත්, ඔහු මුඛ්‍ය ඔහු වටා සමාජය ආශ්‍රයෙන් කියවෙන කෙටිකතවකි. සුමිත් ගේ චරිතයත්, ඔහු හා චමින්ද අතර ඇති අපූරු සබැඳියාවත් කියවන්නියට තේරුම් ගන්නට ඉඩහැර, දැන් වෙනකොට තරිඳුගේ සුපුරුදු වාග්මාලාවෙන් කියවෙන මහත් රසවිඳි කෙටිකතාවකි. ආ, තවෙකක්.... මේ කෙටිකතා පොතට, අර මංජුල ඔහුගේ කෙටිකතා පොතකට 'රත්මලානේ කතා' යන නම යෙදුවාක් මෙන්, 'මුතු වෙරළ ස්කීම් එකේ කතා' යන නම යන වඩා ඔබිනවා.

පර්ල් බීච් අපාර්ට්මන්ට් සිද්ධිය - මෙහි එන අනාගතයේ තරමක අසුබ නිස්සාර ලෝකයක සිදු වූ සිද්ධිමාලාවක් ආශ්‍රයෙන් නිමවුණු කෙටිකතාවකි. හොඳ ප්‍රයත්නයක් ලෙස නම් කල හැක.

රෙබල් විතවුට් අ කෝස් - මෙහි එන දීර්ඝතම කෙටිකතාවයි. සමරිසි යැයි ඇඟවෙන තරුණයෙක්, ඔහුගේ එතෙක් ඛේදවාචකයක් ව තිබූ ජීවිතයත්, දේශපාලනයට සැබැඳි අසංවේදී පියෙකුත්, ජේම්ස් ඩීන් ගේ කෙටි එහෙත් අති ශුර නළු කම, කඩවසම්කම,  සහ ඔහුගේ අවාසනාවන්ත මරණයත්, ආදී මාතෘකා රැසක් ඔස්සෙ ඇදී යන කෙටිකතාවකි. එක් තැනක තරුණයා ගේ ධනවත් පියා ඔහු ට රෝස වර්ණ මාච් රථයක් ත්‍යාගයක් ලෙස දීමට තර්ජනය කරයි. මට මතකය ට නැගුනේ බ්‍රොන්ස්කි බීට් ( Bronski Beat ) ගායක කණ්ඩායමේ Small Town Boy නම් මා ඉතා ප්‍රිය කරන ගීතය, සහ එහි විඩියෝවයි. එහි තම සම රිසි පුතුට යම් මුදලක් දී නිවසෙන් පිට කරන පියා, ඔහු ට අතට අත දිම ප්‍රතික්ෂේප කරයි. ඒ එංගලන්තය තමන් එතෙක් කල් සිතූ පටු ආකාරය වෙනස් කල යුගයකි. Bronski Beat හී එම ගීතය රැගත් ඇල්බමය ම නම් කර තිබුනේ The Age of Consent යනුවෙනි.

ඇත්තටම ඇයි උඹලට බැරි කාක්කො මැරෙන එක නවත්තන්න ? - සිංහල මනසට ආමන්ත්‍රණය කරන කෙටිකතාවකි. සැම දෙනාම තම තමන්ගේ පටු මානසිකත්වයෙන් බලනා ප්‍රශ්ණයක් තුල සැඟවී ඇති මහා ඛේදජනක ඉතිහාසය පෙන්නුම් කරනා අපූරු ගෙත්තමකි. මට නම් මෙය විශිෂ්ඨ කෙටිකතාවකි.

අයෙකුට තරිඳු සාමාන්‍යයෙන් cliche ( වර්තමානයේ නිතර කතාවෙන මාතෘකා යන අර්ථයෙන් ) මාතෘකා රැසක් තම නිර්මාණ වලට පාදා කොට ඇතැයි කිව හැක. එහි යම් සත්‍යයක් ඇත. එහෙත් එම මාතෘකා සුලභ, ජනප්‍රිය, හෝ විවාදසම්පන්න වූවාට, ඔහු එම මාතෘකා වලට තම නිර්මාණය තුල කරන සාධාරණය ම, මා මෙහි අගය කරන්නේය. 

මෙහි එන කෙටිකතා අටෙන් අතක් ම රස වින්දෙමි. සමහරක් ව සුවිශේෂිය. පර්ල් බීච් අපාර්ට්මන්ට් සිද්ධිය කියවීම අනෙක් හත තරම් ම උද්‍යෝගයෙන් නොකලද, ලේඛකයකු වශයෙන් තරිඳු එතැන වෙනස් දෙයක් කිරීමට ගත් උත්සාහය පසසමි. 

කෙටිකතා කියවන්නන් පමණක් නොව, සිංහල ප්‍රබන්ධ රසිකයින ට ඉහළින් ම නිර්දේශ කරමි.

ශ්‍රේණිය: ****1/2



No comments:

Post a Comment